වැඩි ම පිරිසක් වෙසෙන ලොව විශාලත ම මුඩුක්කු 4ක්

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන් ම එකට භාවිත වන වදන් දෙකක්. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT, මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවා බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන් ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණවලින් සමන්විත බව පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වනවා. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා ඉහළ යනු ඇති බවට ද අනාවැකි පළ වනවා.

ලෝකයේ සෑම රටක ම දිළිඳු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකගෙන් වැඩි පිරිසකට ස්ථීර නිවාස නැහැ. එනිසා එම ජනතාව මුඩුක්කුවල ජීවත්වීමට පුරුදුව සිටිනවා. සාමාන්‍යයෙන් මුඩුක්කුවක ජන ඝනත්වය ඉතාමත් වැඩි යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුඩුක්කු ආශ්‍රිත ව අපරාධ වර්ධනය වීම, සනීපාරක්ෂක පහසුකම් අවම වීම,  ලෙඩ රෝග ඉක්මනින් ව්‍යාප්ත වීම, මත්ද්‍රව්‍ය ජාවාරම හා වෙළෙඳාම ව්‍යාප්ත වීම වැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. මුඩුක්කුවල ජීවත් වන ජනතාව ගත කරන්නේත් දුක්ඛිත ජීවිතයක්. 

මුඩුක්කුවක් ඇතුළත පරිසරය – gettyimages.com

 

මුඩුක්කුවක ජනගහනය වැඩි වන තරමට ම එහි ප්‍රශ්නත් උග්‍ර වෙනවා. ලෝකයේ සමහර රටවල්වල තිබෙන මුඩුක්කුවල මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනවා. ලක්ෂයකට අධින ජනගහනයක් ජීවත් වන මුඩුක්කු රැසක් විවිධ රටවල්වලින් හමුවෙනවා. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ලෝකයේ වැඩිම ජනගහනයක් වාසය කරන මුඩුක්කු 4ක් පිළිබඳ තොරතුරු යි.. 

4) ඛයෙලිට්ෂා (දකුණු අප්‍රිකාව)- ජනගහනය ලක්ෂ 4.5

 1980 දශකයේ මුල් භාගය වන විට කේප්ටවුන් නගරය ආශ්‍රිත ව අනවසර සංක්‍රමණිකයන් සැලකිය යුතු තරම් ප්‍රමාණයක් සිටියා. ඔවුන් පදිංචි කරවීම සඳහා මුඩුක්කුවක් ඉදිකිරීමට රජය තීරණය කළා. ඒ අනුව 1983 දී ඛයෙලිට්ෂා මුඩුක්කුව ස්ථාපිත කළා. එකල දකුණු අප්‍රිකානු රජයේ සහයෝගිතා සහ සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ පියට් කූන්හෝෆ් ඒ සඳහා මූලිකත්වය ගත්තා. වර්තමානය වන විට ඛයෙලිට්ෂා මුඩුක්කුව තුළ ලක්ෂ- 4.5 (450,000)ක පිරිසක් ජීවත් වෙනවා.

ඔවුන්ගෙන් 99%ක පමණ ප්‍රතිශතයක් කළු අප්‍රිකානුවන් වීම විශේෂත්වයක්. මෙම මුඩුක්කුවේ ජීවත් වන ජනතාවගෙන් 70%ක් තවමත් පැල්පත්වල ජීවත් වීම  කනගාටුදායක තත්ත්වයක්. ගෙවුණු දශක 4ක කාලය තුළ මෙම මුඩුක්කුව ආශ්‍රිත යටිතල පහසුකම්වල සැලකිය යුතු තරම් දියුණුවක් සිදුව නැහැ. 

ඛයෙලිට්ෂා මුඩුක්කුව – gettyimages.com

 

2012 දී සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වුණේ මෙම මුඩුක්කුව තුළ තිබෙන නිවාස 12000කට වැසිකිලි පහසුකම් නොමැති බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුඩුක්කුව ආශ්‍රිත ව සෞඛ්‍යය  ගැටලු රැසක් පැන නැඟී තිබෙනවා. ප්‍රමාණවත් තරම් පානීය ජලය නොමැතිකම මෙම මුඩුක්කුව තුළ තිබෙන තවත් විශාල ගැටලුවක්. 

මෙහි වාසය කරන ජනයාගෙන් සැලකිය යුතු තරම් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදුකරන පාතාල කණ්ඩායම් හේතුවෙන් මුඩුක්කුව තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුඩුක්කුවෙන් නිතර ම මනුෂ්‍ය ඝාතන වාර්තා වෙනවා. 

ඛයෙලිට්ෂා හි මිනිසුන් ගෙවන කටුක ජීවිතය – gettyimages.com

 

ඛයෙලිට්ෂා මුඩුක්කුවේ ජීවත් වන අයගෙන් 73%කට රැකියාවක් නැහැ. එනිසා ඔවුන් ජීවත්වීම සඳහා නීතිවිරෝධී රැකියාවල නිරත වෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ගැට කැපීම, ගණිකා වෘත්තීය ඊට උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්. මුඩුක්කුව ආශ්‍රිත ව ජීවත් වන බොහෝ තරුණ පිරිස් ගණිකා ඇසුරට ලොල් වී සිටිනවා. එනිසා මෙම පරිසරය තුළ ජීවත් වන අය ලිංගාශ්‍රිත රෝගවලට  ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. එම තත්ත්වය ඉදිරියේ දී තවත් වර්ධනය විය හැකි බවට එරට සෞඛ්‍යය අංශ අනතුරු අඟවනවා. 

3) කිබෙරා (කෙන්යාව)- ජනගහනය ලක්ෂ 7

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටා තිබෙන කිබෙරා මුඩුක්කුව ආරම්භ වුණු වසර පිළිබඳ නිශ්චිත සඳහනක් නැහැ. එය 20 වන සියවස ආරම්භයේ දී ස්ථාපිත කරන්නට ඇති බව අනුමාන කරනවා. මෙම මුඩුක්කුව තුළ ලක්ෂ- 24ක (700,000) ජනගහනයක් ජීවත් වෙනවා. එය නයිරෝබි නුවර සමස්ත ජනගහනයෙන් 60%ක ප්‍රතිශතයක්. කිබෙරා මුඩුක්කුව ආශ්‍රිත ව තිබෙන සියලුම ඉඩම්වල අයිතිය පවතින්නේ කෙන්යානු රජය සතුව යි.

මුල් යුගයේ දී මෙම මුඩුක්කුවේ වැඩි වශයෙන් ජීවත් වුණේ නූබියානු ජනතාව යි. වර්තමානයේ දී මෙම මුඩුක්කුවේ ජීවත් වන නූබියානු ජන ප්‍රතිශතය 15% දක්වා අඩු වී තිබෙනවා. නූබියානුවන්ට අමතරව, ලුඕ, ලුයා සහ කම්බා ගෝත්‍රවල ජනතාව මෙහි වැඩි වශයෙන් ජීවත් වෙනවා.

කිබෙරා මුඩුක්කුවේ ජීවත් වන ජනතාව – gettyimages.com

 

ගෙවුණු දශක කිහිපය තුළ කිබෙරා මුඩුක්කුවේ ජීවත් වුණු උදවියට අපිරිසුදු ජලය පානය කිරීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොළරාව සහ උණසන්නිපාතය වැනි රෝග මේ මුඩුක්කුව පුරා ව්‍යාප්ත වුණා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා මෑත යුගයේ දී කිබෙරා මුඩුක්කුවට ජල නළ 2ක් සම්බන්ධ කළා. ඉන් එකක් ලෝක බැංකුවේ ආධාර මත ද, අනිත් නළය නගර සභාවේ ආධාර ඇතිව ද ලබා දුන්නා.

එනිසා මේ වන විට මුඩුක්කුව තුළ තිබුණු ජල ගැටලුව තරමක් දුරට සමනය වී තිබෙනවා. කිබෙරා හි තිබෙන අනිකුත් විශාලත ම ගැටලුව වන්නේ වැසිකිළි පහසුකම් නොමැති කම යි. මෙහි ජීවත් වන පුද්ගලයන් අතුරින් සෑම 50 දෙනකුට ම  එක් වැසිකිළියක් භාවිතා කිරීමට සිදුවීම  ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. 

මුඩුක්කුවේ ඇති ගෙවල් – gettyimages.com

කිබෙරා මුඩුක්කුව ආශ්‍රිත ව ජීවත්වන බොහෝ උදවිය අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා අනවශ්‍ය ගැබ්ගැනීම් ද සිදුවෙනවා. 16-25 අතර වයසේ පසුවන තරුණියන් ඒ සඳහා වැඩි වශයෙන් ගොදුරු වෙනවා. එහි දී බොහෝ තරුණියන් ගබ්සා කිරීම මඟින් දරු ගැබ ඉවත් කිරීමට පුරුදුව සිටිනවා. ගෙවුණු දශකය තුළ මෙම තත්ත්වයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණා.

මෙහි ජීවත්වන උදවියට සියලුම පුද්ගලයන්ට නොමිලේ HIV පරීක්ෂාවක් කරගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන අනුග්‍රහය ලබාදෙනවා. එහි දී ඒඩ්ස් රෝගයට ගොදුරු වී සිටින උදවියට නොමිලේ ප්‍රතිකාර සහ උපදෙස් ලැබෙනවා. එම වැඩපිළිවෙළ හරහා මෙහි ජීවත් වන බොහෝ අයගේ ජීවිත සුරක්ෂිත වී තිබෙනවා.

HIV පිළිබඳ  දැනුම්වත් කිරීමේ වැඩසටහනක් – gettyimages.com

 

2) ධාරාවි (ඉන්දියාව)- ජනගහනය ලක්ෂ 10

මුඩුක්කු යන නම ඇසුණු සැනින් ඉන්දියාවත් අපගේ මතකයට නැගෙනවා. ඒ ඉන්දියාවේ ප්‍රධාන නගර ආශ්‍රිත ව සුවිසල් මුඩුක්කු දක්නට ලැබෙන නිසා යි. එම මුඩුක්කු අතුරින් විශාලතම මුඩුක්කුව වන ධාරාවි මුම්බායි නගරය තුළ පිහිටා තිබෙනවා. 18 වැනි සියවසේ දී මෙම ප්‍රදේශය ධීවරයන් වාසය කළ දූපතක්.

පසුව මෙහි වගුරු පිරීයාම නිසා මසුන් ඇල්ලීමේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් නතර වුණා. ඉන් පසු මෙම ප්‍රදේශය ආශ්‍රිත ව විශාල මුඩුක්කුවක් නිර්මාණය වුණා. එය 1884 දී ආරම්භ වුණු බව පැරණි මූලාශ්‍රවල ලියැවී තිබෙනවා.  

ධාරාවි මුඩුක්කුව – orfonline.org

 

1887 දී මෙම ප්‍රදේශයේ සම් පදම් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ වුණා. පහත් කුලවලට අයත් වුණු ඉන්දියානුවන් එහි සේවය කිරීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණියා. ඔවුන්ගේ නවාතැන්පොළ බවට පත්වුණේ ධාරාවි මුඩුක්කුව යි. යටත් විජිත යුගයේ මුම්බායි නගරය තුළ තවත් කර්මාන්තශාලා ඉදි වුණා. ඒවායේ සේවයට වෙනත් ප්‍රදේශවලින් පැමිණි දිළිඳු ඉන්දියානුවන් ද මෙම මුඩුක්කුවේ නවාතැන් ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් යටත් විජිත යුගයේ දී ධාරාවි හි ජනගහනය වේගයෙන් වර්ධනය වුණා. අතීතයේ සිට මෙම මුඩුක්කුව තුළ යම් කිසි කර්මාන්තයකට දක්ෂ පිරිසක් වාසය කළා. එනිසා අදටත් ධාරාවි මුඩුක්කුව තුළ කුඩා පරිමාණයේ කර්මාන්තශාලා ක්‍රියාත්මක වෙනවා. මෙහි තනි කාමරයේ කර්මාන්තශාලා 15000ක් පමණ තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!. ඔවුන් නිපදවන භාණ්ඩ අලෙවි කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පවතිනවා.

මුඩුක්කුව තුළ තිබෙන කුඩා කර්මාන්තශාලා – klook.com

 

ධාරාවි මුඩුක්කුව ආශ්‍රිත ව සනීපාරක්ෂක ගැටලු වැඩි වශයෙන් පවතිනවා. එයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ධාරාවි මුඩුක්කුව කුඩා බිම් කඩක පිහිටා තිබීම යි. එනිසා මෙම මුඩුක්කුවේ ජීවත් වන උදවියට ප්‍රමාණවත් තරම් වැසිකිළි පහසුකම් නැහැ. මෙහි ජීවත් වන සෑම 1450 දෙනකුටම එක් වැසිකිළියක් පමණක් වෙන්ව තිබීම විශාල ගැටලුවක්. ඒ වාගේම ධාරාවි මුඩුක්කුවේ ජීවත් අය උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙනවා.

අපවිත්‍ර ජලය භාවිත කිරීම හේතුවෙන් ඔවුන් භයානක ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිත ව පවතින වායු දූෂණය හේතුවෙන් ක්ෂය රෝගය, පෙනහලු පිළිකා වැනි රෝගවලට වැඩි දෙනෙක් ගොදුරු වෙනවා. එදා සිට අවස්ථා ගණනාවක දී මෙම මුඩුක්කුව තුළ කොළරාව, ලාදුරු, උණ සන්නිපාතය වැනි රෝග වසංගතයක් සේ පැතිර ගොස් තිබෙනවා. එම සෑම අවස්ථාවක ම විශාල පිරිසක් මරණයට පත්වුණු බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා.

මුඩුක්කුව තුළ අපවිත්‍ර ජලය භාවිතය – orfonline.org

 

ධාරාවි මුඩුක්කුවේ තිබෙන අමුතු වටපිටාව  නිසා එය චිත්‍රපට රූගතකිරීම් සඳහාත් යොදා ගන්නවා. එදා මෙදාතුර මෙම භූමිය තුළ සැලකිය යුතු තරම් චිත්‍රපට ප්‍රමාණයක් රූගත කර තිබෙනවා. ඒ අතුරින් 1992දී තිරගත වුණු ධාරාවි චිත්‍රපටය සහ 2008දී තිරගත වුණු ස්ලම්ඩෝග් මිලියනර් යන චිත්‍රපට දෙක අමතක වන්නේ නැහැ. ඒ එම යුගවල දී ඒවාට සම්මාන රැසක් හිමිවුණු නිසා යි. මෙම මුඩුක්කුව තුළ චිත්‍රපට රූගත කිරීම හේතුවෙන් මෙහි වාසය කරන සමහර උදවියට චිත්‍රපට කර්මාන්තය ආශ්‍රිත රැකියා හිමිවන බව මෙහි දී සිහිපත් කළ යුතු යි. 

ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයේ අවස්ථාවක්  – reelcontender.com 

 

1) ඔරංගි (පාකිස්තානය)- ජනගහනය ලක්ෂ 24

ලොව විශාලත ම මුඩුක්කුව වශයෙන් සැලකෙන ඔරංගි පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටා තිබෙනවා. 1965 දී ස්ථාපිත කළ එම මුඩුක්කුව තුළ අද වන විට ලක්ෂ- 24ක (2400,000) පිරිසක් ජීවත් වෙනවා. 1971 දී නැගෙනහිර පාකිස්තානයේ, බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වුණා. එදා නැගෙනහිර පාකිස්තානයේ ජීවත් වුණු සැලකිය යුතු තරම් පිරිසක් සරණාගතයන් ලෙස වර්තමාන පාකිස්තානයේ ප්‍රධාන නගර වෙත පැමිණියා.

එදා කරච්චි නුවරට පැමිණි දහස් සංඛ්‍යාත සරණාගතයන් ඔරංගි මුඩුක්කුව තුළ පදිංචි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔරංගි හි ජනගහනය විශාල වශයෙන් ඉහළ ගියා. එදා සිට ගෙවුණු දශක 5ක කාලය තුළ මෙහි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වර්තමානය වන විට මෙහි ජන ඝනත්වය දැරිය නොහැකි තරම් වැඩි අගයක් ගෙන තිබෙනවා.

ඔරංගි මුඩුක්කුව – dawn.com

 

ඔරංගි නගරයේ ජීවත් වන ජනතාව මුහුණදෙන ප්‍රධානත ම ගැටලුව වන්නේ ජල හිඟය යි. අපවිත්‍ර ජලය පරිභෝජනය කිරීම හේතුවෙන් මෙහි ජීවත් වන උදවිය කොළරාව, පාචනය වැනි රෝගවලට නිතර ම ගොදුරු වෙනවා. එම රෝග නිසා ළමා මරණ වැඩිපුර සිදුවීම කනගාටුදායක තත්ත්වයක්. මෙම මුඩුක්කුවේ යටිතල පහසුකම් ද අවම මට්ටමක පවතිනවා.

ජන ඝනත්වය දැරිය නොහැකි තරම් වැඩිවීම හේතුවෙන් මුඩුක්කුව තුළ නිවාස ප්‍රශ්නය උග්‍ර වී තිබෙනවා. එනිසා බොහෝ උදවිය හුවමාරු ක්‍රමයට නිවාසවල ජීවත් වෙනවා. ගෙවුණු දශකයක පමණ කාලය තුළ ඔරංගි හි පදිංචිකරුවන් එකතු වී මුඩුක්කුවේ මලාපවහන නළ පද්ධතිය සකස් කරගැනීම විශේෂ සිදුවීමක් ලෙසින් දක්වන්නට පුළුවන්.

මුඩුක්කුවේ ජීවත් වන ජනතාවගේ එකමුතුකම – spatialagency.net

 

ඔරංගි මුඩුක්කුව තුළ ප්‍රචණ්ඩ කල්ලි රැසක් ද ක්‍රියාත්මක යි. එම කල්ලි මත්ද්‍රව්‍ය වෙළෙඳාම, කප්පම් ගැනීම, නිවාස සහ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැනි ක්‍රියාකාරකම් හරහා විශාල ආදායමක් උපයා ගන්නවා.

මෙම මුඩුක්කුවේ ජීවත් වන බොහෝ කුඩා දැරියන් සහ කාන්තාවන් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වෙනවා. එනිසා ඔරංගි හි ජීවත් වන බොහෝ කාන්තාවන් දුක්ඛිත ජීවිතයක් ගත කරන බව කිව යුතු යි.

ඔරංගි හි ජීවත් වන කාන්තාවන් – gettyimages.com

කවරයේ ඡායාරූපය- ධරාවි මුඩුක්කුවේ දසුනක් - gettyimages.com 

මූලාශ්‍ර:

weforum.org

lifeinsaudiarabia.net

kibera.org.uk

wirally.com

borgenproject.org

frsthand.com

Related Articles