'ෆ්‍රෙඩී සිල්වා' කියූ සැනින් ඔබට සිහිවනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රකට, විකට නළුවාගේ සලකුණ යි. මන්දයත්, ඔහු චිත්‍රපට 450කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති හෙයිනි. එම හඳුනාගැනීමේ ද වරදක් නැත. ඒ බහුතරයේ කැමැත්ත ය. බහුතරයේ බලය ලැබුණු කොතැනත් අවසන මතු වන්නේ සුළුතරයේ අර්බුදය බව අපි පාඩම් ඉගෙන ගනිමින් පසුවන්නෙමු. අප මෙම ලිපියෙන් නියෝජනය කරන්නේ ෆ්‍රෙඩී පිළිබඳ වූ සුළුතරයේ ස්වරාදේශය යි.

ෆ්‍රෙඩීගේ ජාතකේ

1938 ජුනි මස 18 වන දා හල්පෙලියනගේ මොරිස් ජෝශප් ද සිල්වා ලෙස මොරටුවේ, පුවක්අරඹේ දී උපත ලබන පවුලේ එකම දරුවා වන ෆ්‍රෙඩී, මොරටුව නගර සභාවේ වැඩ බලන නිලධාරියෙකුගේ පුත්‍රයා ය. මව, ගලවාගැනීමේ හමුදාවේ සාමාජිකාවකි. රංගන ශිල්පී මානෙල් චන්ද්‍රලතා ෆ්‍රෙඩීගේ ආදරණීය බිරිඳ වූ අතර, විකට රංගන ශිල්පී ජනේෂ් සිල්වා ඔහුගේ පුතණ්ඩියා ය. ඒ ඔබ, අප කවුරුත් දන්නා දෑ ය. එහෙයින්, අපි පීලි පැන ඊට ඔබ්බෙන් වූ ෆ්‍රෙඩී සිල්වාගේ නිර්මාණාත්මක කැඩපත ඉදිරියේ සිට ගන්නට කැමැත්තෙමු.

ජෝන්ට සූර් වෙන්න වැදුණු ෆ්‍රෙඩීගේ “බාර්”

එකල අග්‍රාමාත්‍යව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ උපන්දින සාදයකට සංගීතමය දායකත්වය සපයන්නට නියමව තිබුණේ ෆ්‍රෙඩීගේ ඥාති සහෝදරයෙකු වූ සී. එල්. ෆොන්සේකාට ය. ඔහුගේ පෙරැත්තයෙන් මේ ගමනට ෆ්‍රෙඩී ද එක්වෙයි. එකී සාදය නර්තනයෙන් හැඩගස්වන්නට ජෝන්, ප්‍රංශයෙන් නළඟනක් ගෙන්වා තිබුණු අතර උත්සවයට සහභාගී වූවන්ට යම් අභියෝගයක් එල්ල විය. ඒ “මීට වඩා අගනා ඉදිරිපත් කිරීමක් කරනට උත්සව සභාවේ යම් සමතෙක් වේ නම් ඉදිරියට පැමිණෙන ලෙසට” ය. පමා නොවීම එම අවස්ථාව ලබාගන්නා ලෙසට ෆ්‍රෙඩීගේ සහෝදරයා ෆ්‍රෙඩීට පවසා ඇත. එහි දී ෆ්‍රෙඩීගේ “බාර්” ගැයුමෙන් ජෝන්ට සූර් වී, ඉන්පසු ෆ්‍රෙඩීට ගුවන් විදුලි ගායකයෙකු ලෙස වැඩ පෙන්වන්නට අවස්ථාව ලැබුණු වග කියැවෙයි.

ෆ්‍රෙඩී, පළමු වරට දොට්ට දැම්ම- “මොට්ටපාල”

ඉහත දී සඳහන් කළ “බාර් බාර්” ගීතය ඇසුරු කොටගෙන “මොට්ටපාල” ගීතය ලියැවෙන්නේ සිරිල් ඒ. සීලවිමල නැමැත්තා විසිනි. පාසලෙන් දොට්ට දැම්ම සමහරු තම ස්වෝත්සාහයෙන් ජීවිතේ සරසා ගත් අයුරු මෙන්ම, තවත් එවන් සම’හරක් දොට්ට යනගමන් ඇවිත් රටම වනසනු ද අප දැක ඇත. කවටකම්වලින් වෙට්ටපිත්තල වී ඇති ඒ උන්දැලා දොට්ට දමන්නට අපමණක් හේතු ද, ඊට කාලය ද පැමිණ ඇත. “වවන්නෝ- දිනන්නෝ” වගේ මාර්කටින් මන්ත්‍රණ ද අප කාට කාටත් නුහුරු නැත. සව් දොදොලුයි මිරිස් මාලුයි වගේ ළඟින් යන කෑමක් කවලා පැනපු අවස්ථා ද අපට අමතක නැත. අවුරුදු ගණනක් ඒ අය තාමත් මාරුවෙන් මාරුවට පොල් ගාමින් ඇත.

දන්න දේකුත්, නොදන්න දේකුත් නැතුව තම තම නැණ පමණින් මඩිය තර කරගනු ද අපට පෙනේ. කොයි වැඩටත් ඒ අයට ලොකුවට රවුමෙන් ලැබෙන බව ද අපි දනිමු. බිංදු වැඩි වෙනවට විභාග ලියන ළමුන් අකමැති වුණාට, සමහරු නම් ඊට බෙහෙවින් මනාප ය. අල්ප “ද”යන්න වගේ අපි තාමත් කොන්ද වකුටු කොටගෙන ඇත්තෙමු. බෙදන්න බැරි තැනුත් බෙදන්න හපනුන් ද අප නොදැක නැත. මේ සේරම දැනගෙනත් අපි නොදන්නවා මෙන් සිටින්නෙමු (මම නෙමෙයි කියන්නෙ, ඔය සින්දුවෙන් ෆ්‍රෙඩී කියන්නෙ. නිකමට ආයෙත් අහලා බලන්නකෝ).

අනුන්ගෙ දේවල් විවේචනය කර කර නොඉඳ, තමන් දන්න දේ හරියට කරන්න.

වැඩ පෙන්වන්න පුළුවන් මිනිස්සු වැඩ පෙන්වද්දී, වැඩක් නැති මිනිස්සු අර වගේ මිනිස්සුන්ගෙ වැඩ විවේචනය කර කර ඉන්නවා අපි කොතෙකුත් අසා, දැක, මෙන්ම අත්විඳ ද ඇත්තෙමු. තමන්ගෙ පාඩුවේ තමන් දන්න දේ, දන්න උපරිමෙන් කරන්න උත්සාහ කරනවුන් අතර දන්න ටිකවත් හරියට නොකරන අය ද අපට දැකගන්නට අපහසු නැත. වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කෙරුණු, ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත, ෆ්‍රෙඩීගේ “පාන් කිරිත්තා” අප වෙසෙන සමාජයේ පැතිකඩක් අපටම ප්‍රක්ෂේපනය කරයි.

උඩින් යන්නෙ ඇයි, පාරේ යන්නෙ බැරුව ද?

අප වෙසෙන මේ සමාජයේ දී අපට විවිධ චරිත හමුවෙයි. ඒ අතර බොරු කකුල්කාරයින් ද නැතුවාම නොවේ. අහංකාරකම්වලින් හිස උදුම්මාගෙන, අනෙකාට පහත් කොට සලකන ඇතැමුන් අපට හමුවෙයි. ඔවුන් මෙන් අහසේ නොඇවිදින, පොළොවේ පය ගසා ඇවිදින මිනිසුන් ද ඒ අතර දුලබ නැත. මෙකී පන්ති පරතරය හා මිනිසුන්ගේ ආකල්පමය ගැටළු උපහාසාත්මක ස්වරයකින් ගයන්නට ෆ්‍රෙඩී වෙත “බොරු කකුල්කාරයෙක්” ගීතය රචනා කර දෙන්නේ ද ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි.

ඉන්ෂුවර් එකට වඩා ෂුවර් මිනිහෙක්, ෆ්‍රෙඩී

“ආදරයට කොහේදෝ නැත්තේ බාධා” කියා හැඟෙන අවස්ථා එමට ය. ඔබට, මට ඇතුළු අප සියලු දෙනාට පාහේ එවන් සුන්දර අත්දැකීම් එකක්, දෙකක් හෝ නැතුවා නොවේ. ගෙදරට හොරා ආදරය කරන සමයේ තරම් ආදරයේ රස දැනෙන කලක් තවත් වේදැ යි විටෙක හැඟෙයි. පාර්ක් එකක් කියන්නෙ පෙම් කරන කාටත් ප්‍රේම උද්‍යානයකි. ෆෙඩී නිරූපණය කරන ගණයේ උයන්පල්ලන් දැන් සංස්කෘතික පොලීසිය විසින් වඳ කොට ඇති හෙයින් දැන් දැන් පෙම කෙළින්නෙත් පිස්සු ය. “වාසනා” චිත්‍රපටයේ දී විජය සහ මාලනී රඟපාන පෙම් යුවළට මුහුණපාන්නට වන අවාසනාවන්ත අත්දැකීම “කොන්ගහේ” ගීතයෙන් ඔබට විඳිය හැක. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීය රචනා කොට ඇත්තේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් විසිනි.  

ඇටසැකිල්ල වාගේ, අපේ කැකිල්ලේ රජ්ජුරුවෝ

පැමිණිලිකාරයෝ වැරදිකාරයින් වෙන, විත්තිකාරයෝ නිදහස් වෙන යුගයක ජීවත් වන අපට ද ෆ්‍රෙඩී ගයනා “ඇටසැකිල්ල වාගේ” ඉන්න කැකිල්ලේ රජ්ජුරුවන්ව නුහුරු නුපුරුදු නැත. එකල සිට මෙකල තෙක් යුක්තියේ සාධාරණය ආශ්චර්යයක්ම පමණක් වී තිබීම කණගාටුවට කරුණක් වුව, ෆ්‍රෙඩී කියනා පරිද්දෙන්ම අසාධාරණයට එරෙහිව නැගී සිටින්නන්ට උරුම වනුයේ කලින් කලට එන අයට අවේණික වූ මර්දනයම පමණි. මෙකී නොකී කරණා පිළිබඳ සිහිපත් වෙන අයුරුන් කොයිකලටත් ගැලපෙන්නට මේ ෆ්‍රෙඩීට ගීය රචනා කර දෙන්නේ ද ප්‍රේමකීර්ති ද අල්විස් විසින්ම ය.

දැක්කම, ඇහුවම “පිස්සු ඩබල්” වෙන මට්ටමේ වැඩ තොගයක් කළ, ෆ්‍රෙඩී නම් “විකට රජා” 2001 ඔක්තෝබර් 29 වන දා “රාජ මාළිගේ පරෙවියා වගේ” සදහටම ඉගිල ගියේ ය. එකී හිස්තැන පුරවන්නට තවමත් කිසිවෙකු බිහි ව නැත. මන්දයත්, ඕනෑම අයෙකුට කොපි කළ හැකිමුත් සමකල නොහැකි තැනෙක “ෆ්‍රෙඩී” සදාතනිකව ලැගුම්ගෙන හමාර බැවිනි.

මූලාශ්‍රයයන්:

nfc.gov.lk

yaathraa.blog

කවරයේ පින්තූරය: aniwa.lk