Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බය හිතෙන ෆෝබියා හෙවත් භීතිකා

“බය” කියන්නේ බොහොම පොදු හැඟීමක්. අනතුරකට ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වන්න වගේ ම අනතුරුවලින් වැලකිලා ආරක්ෂිත ව ජීවත් වෙන්නත් “බය” කියන හැඟීම උදව් වෙනවා. හැබැයි මේ ලෝකේ සමහර පුද්ගලයන්, ඇතැම් දේ සම්බන්ධයෙන් දක්වන්නේ අප්‍රමාණ භීතියක්. බයකට එහා ගිය ඒ භීතියත් එක්ක ම ඔවුන් විශාල මානසික ආතිතයකට මුහුණ දෙනවා. ඒ ආතතිය නිසා සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු අවුල් කරගන්නත්, ඔවුන් ඇතැම් අවස්ථාවල දී විෂාදය තත්ත්වයන්ට ලක්වෙන්නත් ඉඩ තියනවා.

ෆෝබියා එහෙම නැත්නම් භීතිකා ලෙස හඳුන්වන මෙම තත්ත්වය මූලික වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ,

Specific phobias – කිසියම් නිශ්චිත වූ දෙයක්, අවස්ථාවක් සම්බන්ධයෙන් ඇතිවෙන භීතිය.
උදා: මකුළුවන්,කැරපොත්තන් වැනි කෘමීන් කෙරෙහි ඇති භීතිය
උස ස්ථානවලට යාමට ඇති භීතිය
ගුවන් යානාවල ගමන් කිරීමට ඇති භීතිය
රුධිරය දැකීමෙන් ඇතිවෙන භීතිය

Pediophobia හෙවත් බෝනික්කන් කෙරෙහි දක්වන අධික බිය
Pediophobia හෙවත් බෝනික්කන් කෙරෙහි දක්වන අධික බිය – www.thehits.co.nz

Social Phobia – තමන් කොන්වීමට, උපහාසයට ලක්වෙතැයි සිතා, සමාජය පිළිබඳ ඇති කරගන්නා භීතිය.

මෙවැනි පුද්ගලයන්ට තමන් පිළිබඳ ඇත්තේ බොහොම අඩු ආත්ම විශ්වාසයක්. ඔවුන් මිතුරන් ඇති කරගැනීමට හෝ රැකියාවක නිරත වීමට කැමැත්තක් දක්වන්නෙ නැහැ. තමන් අතින් සිද්ධවෙන බොහොම සුළු අතපසු වීමක් ගැන වුණත් බොහොම කලබල වෙන මෙම පුද්ගලයන්, ඒ පිළිබඳව ම සිතමින් ළතැවෙනවා. ඒ වගේ ම තමන් වටා සිටින සියල්ලන් ම තමන් දෙස ඇස් යොමා බලා සිටින බව සිතන නිසා ප්‍රසිද්ධ ස්ථානවල දුරකථනයෙන් කතාබස් කිරීමට, යමක් ලිවීමට, අවන්හලක් වෙත ගොස් ආහාර ගැනීමට ඔවුන් අකමැති යි.

Agoraphobia – මිනිසුන් රැස්ව සිටින ස්ථාන, පොදු හෝ ප්‍රසිද්ධ ස්ථානවලට යාමට ඇති භීතිය. මෙවැනි පුද්ගලයන් ඇතැම් අවස්ථාවල දී තමන්ගේ නිවසින් පිටවීමටවත් කැමැත්තක් දක්වන්නෙ නැහැ.
උදා: පුද්ගලයන් පිරුණු කාමරයක් තුළට හෝ සෝපානයක් තුළට යාමට දක්වන භීතිය
වෙළෙඳසල් තුළට යාමට ඇති භීතිය

මෙම ප්‍රධාන කාණ්ඩ තුන යටතට ගැනෙන භීතිකා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ එවැනි බොහොම දුර්ලබ, අසාමාන්‍ය භීතිකා කිහිපයක් ගැන.

Melissophobia හෙවත් මී මැස්සන් කෙරෙහි ඇති අධික බිය
Melissophobia හෙවත් මී මැස්සන් කෙරෙහි ඇති අධික බිය – www.thehits.co.nz

Nomophobia – ජංගම දුරකථනය අහිමි වීමේ බය

තමන්ගේ දුරකථනය නැති වුණොත් කලබල වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් Nomophobia තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට තමන්ගේ ජංගම දුරකථනය අහිමි වීම හෝ ආවරණ කලාපයෙන් බැහැර වීම, බැටරිය දුර්වල වීම වැනි හේතු නිසා දුරකථනය භාවිත කිරීමට නොහැකි වීම කියන්නේ බොහොම මාරන්තික සිදුවීමක්. ඔවුන් ඒ නිසා විශාල ලෙස කලබලයටත්, මානසික ආතතියටත් පත්වෙනවා.

මේ දුර්ලභ මානසික තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක් විදිහට සලකන්නේ, යමක් හෝ කෙනෙක් මඟහැරේවී යැයි දැනෙන බය නිසා නිතර නිතර සිය දුරකථනය පරීක්ෂා කිරීමෙන් එයට “ඇබ්බැහි වීම”.

Plutophobia – මුදල්වලට/ ධනයට ඇති බය

හැමෝ ම සල්ලිවලට කැමති ඇති කියල හිතුවට, එහෙම නැති පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ Plutophobia කියන තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්. මුදල් සම්බන්ධයෙන් දක්වන බිය නිසා ම ගනුදෙනුවලට මැළිකමක් දන්වන මොවුන්, ධනවත් පුද්ගලයන් ගැන පසුවෙන්නෙත් බියෙන්. ධනවතෙක් බවට පත්වෙයි කියන භීතිකාව නිසා ම ඔවුන් ඇතැම් අවස්ථාවල දී තමන්ගේ රැකියාව පවා අහිමි කරගන්නට කටයුතු කරනවා.

මෙම මානසික තත්ත්වයට හේතූන් ලෙස සැලකෙන්නේ, මුදල් ඉපැයීමෙන් ධනවත් වීම නිසා ඇති විය හැකි පීඩනය සහ ඒ වඟකීම් සහගත ජීවිතයට ඔවුන් දක්වන අධික අකමැත්ත හා ධනය කොල්ලකෑමකට හසුවිය හැකියැයි හටගන්නා බය යි.

Pteronophobia හෙවත් කුචි කැවීම කෙරෙහි දක්වන අධික බිය
Pteronophobia හෙවත් කුචි කැවීම කෙරෙහි දක්වන අධික බිය – www.thehits.co.nz

Xanthophobia – කහ පැහැයට ඇති බය

හිත නිවන, ඇහැට ප්‍රිය පාටක් විදිහට සලකන “කහ”, Xanthophobia තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට නම් මාරන්තික වර්ණයක්. කහ පාට වාහනයක්, මල් වර්ගයක්, ඇඳුමක්, ගොඩනැගිල්ලක්, කහ පැහැති ආහාරපාන හෝ කහ වර්ණය සහිත ඕනෑ ම දෙයකින් ඔවුන් අධික කලබයට පත්වෙනවා. මේ මාරන්තික වර්ණය දුටු සැණින් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුව, උගුර සිරවීම, පපුවේ සිරගතියක් හා වේදනාවක් දැනීම, හෘද ස්පන්දන වේගය ඉහළ යාම, වෙව්ලීම, අධික සීතලක් හෝ අධික ලෙස දහඩිය දැමීම, වමනය, පාචනය, ශරීරය අඩපණ, මරණ බිය දැනීම, මනස පාලනයෙන් තොර වීම වැනි මානසික සහ කායික රෝග ලක්ෂණ රැසක් මතුවෙන ඔවුන්, උත්සහ දරන්නේ හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පලා යෑමට යි.

මෙම දුර්ලභ ෆෝබියා තත්ත්වය ඇති වීමට බලපාන මූලික හේතුවක් ලෙස වෛද්‍යවරුන් හඳුනා ගෙන ඇත්තේ, කහ වර්ණය සමඟ බැඳි පුද්ගල මනසේ තැන්පත්ව ඇති අමිහිරි මතක සහ යම් කිසි සිදුවීමක් නිසා හටගත් කම්පනය යි. කුඩා කල මී මැසි ප්‍රහාරයකට ලක් වීම, කහ පැහැති වාහනයක් හා ගැටී අනතුරක් සිදුවීම, කහ පැහැති ඇඳුමක් ඇඳි පුද්ගලයකු අතින් හිරිහැරයට ලක් වීම වැනි සිදුවීම් මේ සඳහා උදාහරණ ලෙස ගත හැකි යි.

Megalaphobia හෙවත් විශාල ද්‍රව්‍ය‍යන් කෙරෙහි ඇති අධික බිය
Megalaphobia හෙවත් විශාල ද්‍රව්‍ය‍යන් කෙරෙහි ඇති අධික බිය – www.thehits.co.nz

Pogonophobia – රැවුළට ඇති බය

ලංකාවේ බොහෝ දෙනෙක්, විශේෂයෙන් අලුත් පරම්පාව අතර “රැවුළ වැවීම” කියන්නෙ එක්තරා ආකාරයක මෝස්තරයක්. පරිණත බවක් ආරෝපණය කර ගන්න, කැපී පේන රූපයක් ලබා ගන්න හිතාගෙන රැවුළ වවන බොහෝ දෙනකුට කාන්තා ආකර්ෂණයත් නොඅඩුව ලැබෙන බවයි විශ්වාසය. කෙනකුට මානසික කම්පනයක්, ආතතියක් ඇති කරන්න රැවුළකට පුළුවන් කියල ඔබ දැනගෙන හිටියා ද?

Pogonophobia මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් රැවුළ වවාගෙන සිටින්නන් සම්බන්ධයෙන් දක්වන්නේ අධික බයක්. රැවුළ නිසා පුද්ගලයන්ගේ මුහුණේ කොටසක් ආවරණය වී යාම දැකීමට ඇති අකමැත්ත මෙම භීතිකාවට හේතුව යි.

මෙම තත්ත්වය සහිත පුද්ගලයන් රැවුළ වැවූ අය ඇසුරු කිරීමට හෝ ඔවුන් සමඟ කතාබස් කිරීමට දක්වන්නේ විශාල අකමැත්තක්.

Eisoptrophobia – කැඩපත් කෙරෙහි ඇති බය

Spectrophobia හා Catoptrophobia යන නම්වලින් ද හඳුන්වන මෙම භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන්, කැඩපතකින් සිය රූපය දෙස බැලීමට දක්වන්නේ අධික බයක්. මෙම තත්ත්වය සහිත ඇතැම් පුද්ගලයන් තමන්ගේ ප්‍රතිබිම්භය දැකීමෙන් ද බියට පත්වෙනවා. කැඩපතක්, වීදුරුවක් බිදීම ඉතා අසුබ දෙයක් බවට ඇති මිත්‍යාමත පිළි ගැනීම නිසා හෝ කැඩපත තුළින් කිසියම් අද්භූත දෙයක් මතුවිය හැකි බව විශ්වාස කිරීම නිසා මෙම භීතිකාව ඇති විය හැකි යි.

ඇතැම් අවස්ථාවල දී තමන් පිළිබඳ ආත්මාභිමානයක් නොමැති, තමන් අවලස්සන බව සිතින පුද්ගලයන් මෙම භීතිකාවට ගොදුරු වන අතර නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ඔවුන් විෂාදයට ද ගොදුරු වීමේ අවධානමක් පවතිනවා.

නිසි මානසික ප්‍රතිකාර මඟින් මේ සියලුම ෆෝබියා තත්ත්ව, විෂාදය දක්වා යාමට නොදී පාලනය කළ හැක. එම නිසා ෆෝබියා තත්ත්ව සඳහා ප්‍රතිකාර සඳහා නොපමාව යොමු වීම අතවශ්‍ය කරුණක්.

 

කවරයේ ඡායාරූපය- බයකට එහා ගිය ඒ භීතියත් එක්ක ම ඔවුන් විශාල මානසික ආතිතයකට මුහුණ දෙනවා - gettyimages.com

මූලාශ්‍ර:

www.therecoveryvillage.com   

www.mhanational.org

www.fearof.net 

Related Articles