Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහසුන් කෙළියේ තව මොන මොන සෙල්ලං වෙයිද?

Game of Thrones කියන්නේ මොකක්ද කියල දැන් අමුතුවෙන් කාටවත් කියල දෙන්න ඕනේ නෑ. කථා මාලා 6ක් තිස්සේ ලොව පුරාම ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳගත් මේ වෘතාන්තයට ලංකාවේ අපි හුඟක් දෙනාත් පිස්සු වැටිලා ඉන්නේ. දැන් හත් වෙනි කතා මාලාවේ කොටස් කිහිපයක් ගිහිල්ල තිබුණත් තාම මේක ඉවරයක් වෙන්නේ කොහොමද කියල කාටවත් පැහැදිලි නෑ. ඒ තරමට මේ සිහසුන් කෙළිය සංකීර්ණයි. ඒ ගැන මත වාද බොහොමයි.

උමුතු රැජිණක් වන සර්සෙයි, ජෙයිමි අතින් මැරෙනවා

සහෝදර ප්‍රේමය බිඳ වැටෙයිද? (WatchersOnTheWall.com)

සර්සෙයි ලැනිස්ටර් රාජධානි හතක අග රැජිණ වෙන්නේ ඉතාම කණගාටුදායක වගේම අමානුෂික විදිහකට. තම දරුවන්ගේ රැකවරණය උදෙසා ඇය සිදු කළ සියලුම කෘෘර දේවල් දැන් ගඟට කැපූ ඉනි සේයි. දැන් ඇයට ඉතිරිව ඇත්තේ බල තණ්හාව පමණයි. ඇගේ අතීත ක්‍රියාකලාපය අනුව ඇය තව තව උමතු වීම සිදු වුණොත් එය පුදුම වන්නට දෙයක් නෙමෙයි. ඒත් වෙස්ටරෝස් හි රාජාසනයේ උමතු පාලකයෙක් සිටි කලින් වතාවේ, ජනතාවගේ ආරක්ෂාව සඳහා ඒ එරිස් ටාර්ගේරියන් රජු ඝාතනය කළේ ඇගේ මල්ලි වන ජෙයිමි ලැනිස්ටර්. ඉතින් ඉතිහාසය නැවත එ් අාකාරයෙන්ම සිදු වෙයිද? සර්සෙයිට කුඩා කාලයේ කරන ලද අනාවැකියෙත් ඇය මල්ලි කෙනෙක් අතින් මිය යන බව කියවුණා.“ඔබ ගිලෙන තුරුම ඔබේ කදුළු වැටුණු පසු, ඔබේ බාල සොහොයුරා ඔය සුදුමැලි ගෙල වටා ඔහුගේ අත් දවටා ඔබේ ජීවය නැතිවෙන තුරු හුස්ම සිර කරාවි.”

ඒත් ජෙයිමිට දැන් අත් දෙකක් නැති නිසා, මේක ඔහුට අදාළද කියන එක ගැටළුවක්.

ආර්යා අතින් බේලිෂ් මැරෙනවා

මේ දෙන්නාගේ නැවත හමුවීම භයානක වෙන්න පුළුවන්. (FirstPost.com)

 දැන් අපි දන්නවා ආර්යා ස්ටාර්ක් ආයෙත් වින්ටර්ෆෙල්වලට යන බව. එහෙදී දැන් ඇයට සැන්සා වගේම සමහරවිට ජොන් වත් ආපසු මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම කූට පීටර් බේලිෂ් දැන් වින්ටර්ෆෙල්වල ඉන්නවා. ආර්යා බේලිෂ්ට අකමැති වෙන එක අපි හොඳාකාරවම දන්නවා. ඒ වගේම දැන් ඇය තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බවත් දන්නවා. බලන්න ෆ්‍රේ පරම්පරාවට වෙච්ච දේ.

ඉතින් බේලිෂ්ට ජීවිත අවදානමක් තියෙන්න පුළුවන්. මේ මතයට මුල පිරුණේ Entertainment Weekly සඟරාවේ තිබුණු ඡායාරූපයක් නිසා. එ්කේ ආර්යා පැළඳගෙන සිටියේ ‘නීඩ්ල්’ කඩුව සමග ‘කැට්ස්පෝ’ (බළල් අත) කියන කිනිස්සයි. මේක තමයි පළමු කතා මාලාවේ බ්‍රැන්ව මරන්න උත්සාහ කරපු වෙලාවේ පාවිච්චි කරපු කිනිස්ස. ඒක අන්තිමට තිබුණේ පීටර් බේලිෂ් ළඟ. පුර්ව ප්‍රචාරක පටවල ඔහු මේ කිනිස්ස පාවිච්චි කරන අවස්ථාවක් පෙන්නුම් කරන ආකාරයක් තියෙනවා. සන්සාගේ අණ මත බේලිෂ් මිය යන බවත් තොරතුරු තියෙනවා. ඒ මෙතන පෙන්නුම් කරන දේ නිසාද දන්නේ නැහැ.

යුරෝන් ග්‍රේජෝයි මකරෙක් පාලනයට ගන්නවා

සිනහවෙන් බෑ මනින්නට මිනිසා (IndianExpress.com)

මේක පොත්වලින් එන මතයක්. හැබැයි වෙන්න පුළුවන්. දැනටමත් පේනවා යුරෝන් ග්‍රේජෝයි කියන්නේ භයානක චරිතයක් කියල. යාරා සහ තියොන්ගේ සේනාව සම්පුර්ණයෙන් විනාශ කළා විතරක් නෙමෙයි සර්සේයිට තෑග්ගක් විදියට යාරා සහ එලාරියා සෑන්ඩ් අරගෙන ගියා. යුරෝන් තවත් වැදගත් වෙන්නේ පොත්වල කියවෙන විදියට ඔහු ළඟ ‘ඩ්‍රැගන්බයින්ඩර්’ කියන හොරණෑවක් තියෙන නිසයි. ඒකෙන් මකරෙක් පාලනය කරන්න පුළුවන් කියල පුරාවෘත්තයක් තියෙනවා.

බ්‍රැන් ස්ටාර්ක් තමයි තුෂර ප්‍රාකාරය ඉදි කරන්නෙත්, විනාශ කරන්නෙත්

සිත ඇත්නම්, පත කුඩාද? (Youtube.com)

බ්‍රැන් ස්ටාර්ක්ට කාල තරණය කරන්න පුළුවන් කියන එක දැන් පැහැදිලි කරුණක්. ඒ වගේම වෙනත් සතුන්ට, මිනිසුන්ට ආවේශ වෙන්නත් ඔහුට පුළුවන්. මේ නිසා සමහරු හිතනවා අතීතයේ සිටි බ්‍රැන් ස්ටාර්ක්ලා සියලු දෙනාම මේ බ්‍රැන් ස්ටාර්ක්ම තමයි කියල. ඒ කියන්නේ නෙඩ් ස්ටාර්ක්ගේ බාල සහෝදරයා වුණු බ්‍රැන්ඩන් ස්ටාර්ක්, අතීතයේ Night’s King පරාජය කල ‘බ්‍රැන් ද බ්‍රේකර්’ වගේම ස්ටාර්ක් වංශය ආරම්භ කළ, තුෂර ප්‍රාකාරය ඉදි කළ ‘බ්‍රැන් ද බිල්ඩර්’ ආදී සියලුම බ්‍රැන් ලා මේ බ්‍රැන් ස්ටාර්ක්ගේ පාලනයට නතු වෙලා කියල. ඒ වගේම පහුගිය කතා මාලාවේ බ්‍රැන්ගේ අතේ Night’s King සලකුණක් තිබ්බා. ඒ සලකුණ ප්‍රාකාරයට ගෙන එ්මෙන් ප්‍රාකාරයේ ආරක්‍ෂිත බලය බිඳ වැටුණු බව සමහරු හිතනවා. ඒත් ප්‍රාකාරය වැටෙන වෙන ක්‍රමයක් ගැනත් තොරතුරු තියෙනවා.

අසොර් අහායි

ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති? (Youtube.com)

අසොර් අහායි කියන්නේ වෙස්ටරෝස් පුරාවෘත්තවල එන විරුවෙක්. ඔහු පෙර පැමිණි අඳුර පරදා දිගු රාත්‍රිය නිම කළා කියල කියන්නේ. ඔහු මේ සඳහා තම බිරිඳ බිලි දී Lightbringer (ආලෝකය ගෙනදෙන්නා) නැමැති අසිපතක් නිර්මාණය කළා. ඊළඟ දිගු රාත්‍රිය නිමා කරන්න ඔහු යළි පැමිණෙන බවට අනාවැකි තියෙනවා. දැනට අසොර් අහයිගේ ලක්ෂණවලට වඩාත් සමානකම් දක්වන්නේ ජොන් ස්නෝව් සහ ඩැනේරිස් ටාර්ගේරියන්. ඒත් ටිරියන් ලැනිස්ටර්, ජෝරා මොර්මොන්ට්, බෙරික් දොන්දරියන් වගේ අයත් අසොර් අහායි වෙන්න පුළුවන් කියල මත පලකරන අය ඉන්නවා.

මකර-වෘක විවාහයක්

(Youtube.com)

වෙස්ටරෝස්වල කාටවත් තනියම යුද්ධ කරන්න තරම් ශක්තියක් දැන් නැහැ. ඉතින් තමන්ගේ පැත්තට තව කෙනෙක් ඈඳ ගන්න එක තමයි කරන්න තියෙන දේ. රජ පෙළපත් අතර ඒක වෙන්නේ විවාහවලින්. අපි දැක්කා උතුරේ අලුත් රජතුමා ජොන් ස්නෝව් ඩැනේරිස් ටාර්ගේරියන්ගේ ආධාර බලාපොරොත්තුවෙන් ඩ්‍රැගන්සටෝන් වෙත යන හැටි. ඩැනේරිස් ටාර්ගේරියන්ටත් වෙස්ටරෝස් ගැන හොඳට දන්නා අයගෙන් තම සේනාව තර කරගන්න අවශ්‍යයි. ස්නෝව් බොහෝ විට කැමති වෙන එකක් නැහැ උතුරේ ජනතාවට අලුතින් ලැබුණු ස්වාධීනත්වයට විරුද්ධව ඩැනේරිස් ටාර්ගේරියන්ට යටත් වෙන්න. එතකොට මේ සේනා දෙක එකතු කරන්න ඉතිරි වෙන්නේ විවාහයක් විතරයි.

මේ විදිහටම සර්සෙයි ලැනිස්ටර් සහ යුරෝන් ග්‍රේජෝයි අතර විවාහයක් සිදු වෙන්නත් බැරි නැහැ.

ලැනිස්ටර් නෙමෙයි, ස්ටාර්ක් නෙමෙයි, ටාර්ගේරියන්

(Youtube.com)

ටයිවින් ලැනිස්ටර් මිය යන වෙලාවේ ටිරියන්ට කිව්වේ ඔහු තමන්ගේ පුතෙකු නෙමෙයි කියලා. ඒ ජීවිත කාලයක් පුරාවට ඔහුට වෙනස්කම් කළාට පස්සේ. ඒ වගේම ඩැනේරිස්ගේ මකරුන් ඔහුට හානියක් කළේ නැහැ. මේ නිසා ටිරියන් ඇත්තටම ටාර්ගේරියන් කෙනෙක් වෙන්න පුළුවන් කියල සමහරු හිතනවා. ඒ ඔහුගේ සැබෑ පියා උමතු රජු ඒරිස් ටාර්ගේරියන් කියල හිතල. එතකොට ඔහු ඩැනේරිස්ගේ සහෝදරයෙක් වෙනවා.

ඒ වගේම Game of Thrones පටිගත කිරීම්වලදී පිටවුණු තොරතුරුවලට අනුව වින්ටර්ෆෙල්වලදී සෑම් සහ බ්‍රැන් හමුවෙනවා. ඔවුන් දෙදෙනා නිගමනය කරනවා ජොන් ගේ සැබෑ නම “ඒගොන් ටාර්ගරියන්” කියලා.

මකරුන් පිට නැඟි තිදෙනා

(Screenjunkies.com)

පුරාවෘත්තවලට අනුව ටාර්ගේරියන්වරු වෙස්ටරොස් පාලනයට ගත්තේ මකරුන් තිදෙනෙක් යොදාගෙන. ඒ මකරුන් පිට නැඟී ඔවුන් හසුරුවන්න ටාර්ගේරියන්වරු තිදෙනෙක් හිටියා. දැන් ඩැනේරිස්ට වෙස්ටරෝස් අතට ගන්න, ඉතිහාසය නැවත සිදු වෙන්න වෙයි වගේ. ඒත් මකරු තුන්දෙනාගේ පිටේ යන්නේ කව්ද? එක්කෙනෙක් අනිවාර්යයෙන් ඩැනේරිස්. අනිත් දෙදෙනා ටිරියන් ලැනිස්ටර් සහ ජොන් ස්නෝව් විය හැකියි. ඔවුන් දෙදෙනාගේම සැබෑ පියවරු ටාර්ගේරියන්වරු වීමට පුළුවන් බව කියන සලකුණු රාශියක් දැනටමත් පෙන්වලා තියෙනවා. Game of Thrones පටිගත කිරීම්වලදී පිටවුණු තොරතුරුවලට අනුව හත්වන මාලාවේ ජොන් ඩැනේරිස්ගේ මකරෙකු වන ද්‍රෝගොන්ට බිය නොවී මකරාගේ හිසට අත තියන දර්ශනයක් තිබෙනවා. මේකට ද්‍රෝගොන් ඉඩ දීම ගැන ඩැනේරිස් පුදුම වෙනවා.

තුෂාර මකරා

මේ ජෝර්ජ් ආර් ආර් මාටින් විසින් රචිත The Ice Dragon ළමා කතාවෙන් එන රුපයක්, (avclub.com)

මේකත් Game of Thrones පටිගත කිරීම්වලදී පිටවුණු තොරතුරක්. White Walkers සැබෑ බව ඔප්පු කරන්න ඉන් එකෙක් අල්ලා ගැනීමට ජොන් කුඩා කණ්ඩායමක් සමග පිටත් වෙනවා. ඒ සැන්ඩොර් ක්ලිගේන්, බෙරික් දෝන්දරියන්, මීර් හි තොරෝස්, ටොර්මුන්ඩ්, ජෝරා සහ ගෙන්ද්‍රි සමග. නමුත් ඔවුන්ගේ උපාය වැරදී ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා. අවසාන මොහොතේ ඔවුන්ව බේරා ගන්නේ මකරුන් තිදෙනා පිට පැමිණෙන ඩැනේරිස්. නමුත් අවාසනාවකට විසේරියන් මකරා මෙහිදී මිය යනවා. කණ්ඩායමේ බොහෝ දෙනා අනික් මකරුන් පිට නැගී පැන යන නමුත් Night’s King විසේරියන්ට නැවත පණ දෙනවා තුෂාර මකරෙක් හැටියට. දැන් විසේරියන් නිල් පැහැති ගිනිදැල් පිඹිනවා. අවසාන කොටසේ මේ මකරා අතින් ප්‍රාකාරය විනාශ වෙනවා.

තුෂාර මකරෙක් ගැන කතා ස්ටාර්ක් ළමයි බලාගත්ත වයසක “නෑන්” කියල තියෙනවා. ඒ වගේම ජෝර්ජ් ආර්. ආර්. මාටින් The Ice Dragon කියල ළමා කතාවක් ලියල තියෙන හින්ද ඒ වගේ මකරෙක් මේ කතන්දරේටත් එකතු කරයි කියල සමහරු බලාපොරොත්තු වෙනවා.

කිංස් ලෑන්ඩින්වල සම්මුතියක්

මකරුන්ට නිවහනක් වූ Dragonpit ගොඩනැඟිල්ල දිස්විය හැකි ආකාරය. (Youtube.com)

අමාරුවෙන් පැහර ගත්ත White Walker පෙන්වන්නේ ඩැනේරිස්ට විතරක් නෙමෙයි. කිංස් ලෑන්ඩින්වල අතීත ටාර්ගරියන්වරු තම මකරුන්ට නිවහනක් විදිහට ඉදිකළ Dragonpit නම් විශාල ගොඩනැගිල්ලක් තිබෙනවා. මෙය දැන් අභාවයට ගොස් ඇති නමුත් යුද්ධය අතරතුර තාවකාලික සාමයක් ඇතිකර ජොන් ස්නෝව් මේ White Walker මෙතනට ගේනවා. මෙහිදී සර්සෙයි, ටිරියන්, ජොන්, ඩැනේරිස්, ජෝරා, වාරිස්, මිසාන්දෙයි, කයිබර්න් සහ The Mountain නමින් හඳුන්වන ග්‍රේගෝර් ක්ලිගේන් සියලු දෙනාට මේ සැබෑ තර්ජනය පෙන්වා දෙන බවට තොරතුරු නිකුත් වී තිබෙනවා. ග්‍රේගෝර් ක්ලිගේන්ගේ පහරදීම් හමුවේත් White Walker මිය නොයාම කාටත් බිය ගෙන දෙනවා. සර්සෙයි එකඟ වෙනවා තමුන්ගේ හමුදා උතුරට යවන්න. නමුත් සටන් ඇරඹුණු විට ඇය සේනා යැවීම මග හරිනවා. මින් ඇය කෙරෙහි කළකිරෙන ජෙයිමි තනිව උතුර බලා පිටවෙනවා.

ගෙන්ද්‍රි නැවත එනවා

(gameofthrones.wikia.com)

මුල් කතා මාලාවල රොබට් බරැතියන් රජුගේ අවජාතක පුත්‍රයෙක් වුණු ගෙන්ද්‍රි ඔබට මතක ඇති. ඔහු නැවතත් මේ මාලාවේ වැදගත් භූමිකාවක් රඟන්න පැමිණෙන බවට තොරතුරු තිබෙනවා.

කතාව කියන්නේ සෑම්

(inverse.com)

සැම්වෙල් ටාර්ලි කියන්නේ පොත්ගුල්ලෙක් කියල මුල ඉඳන්ම කියල තියෙනවා. දැන් ඔහු ඕල්ඩ් ටවුන්වල මේස්ටර්වරු පුහුණු කරන විශ්වවිද්‍යාලයට ඇවිල්ල වැදගත් දේවල් රැසක් හොයා ගන්නවා. මේ අතර ඔහුගේ ගුරුතුමා පවසනවා ඔහු දැන් වෙස්ටරෝස්වල තත්වය පොතක ලේඛනගත කරමින් සිටිනවා කියල. හැබැයි සෑම් කියනවා ඒ පොතේ නම එච්චර හොඳ නැහැ කියල. සමහර විට අන්තිමේ A Song of Ice and Fire කියල නම දාල පොත ඉවර කරලා, මේ කතාව අපිට කියන්නේ සෑම්ද දන්නේ නෑ. (Game of Thrones උපුටා ගන්නා ලද පොත් මාලාව හඳුන්වන්නේ A Song of Ice and Fire නමින්.)

තව මොනවා වෙයි කියල ඔබ හිතනවද? මේ ඔක්කොම මේ සැරේ සිදු වුණත් නැතත්, තව අලුත් නොහිතපු දේවල් සිදු වුණත්, ඔක්කොම ඉවර වෙන්න තව කථාංග කිහිපයයි තියෙන්නේ. හැබැයි ඒවා එන්නත් තව කොච්චර කල් යයිද දන්නේ නෑ.

Related Articles