ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ගැන දැනගනිමු

ඈත අතීතයේ පටන් ලක් පොළවෙන් මැණික් මතුවුණු නිසා අප රට රත්නභූමි යන නමින් හඳුන්වනු ලැබුවා. එකල ලංකාව පාලනය කළ රජවරුන් වටිනා මැණික් පරිහරණය කළ බව විවිධ ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. රාජකීයයන්ගේ ඔටුනු, ආභරණ, සහ වෙනත් පළඳනා සෑදීමේ දී මෙලෙස වටිනා මැණික් වර්ග භාවිතා වී තිබෙනවා. එසේම අතීතයේ දී මෙරටින් පිටරටවලට මැණික් යැවූ බව අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. මීට සියවස් ගණනාවකට පෙර ලක් භූමිය තුළ විවිධ මැණික් වර්ග සුලභවම දක්නට ලැබුණේ මැණික් කර්මාන්තය රට තුළ ව්‍යාප්ත වී තිබුණු නිසා යි. එලෙස දිගු කලක සිට මෙරට ක්‍රියාත්මක වුණු මැණික් කර්මාන්තය අදටත් බොහෝ දෙනෙකුගේ ජීවිකාව වී තිබෙනවා. 

මැණික් පිළිබඳව කෙටියෙන් 

ස්ථිර රසායනික සංයුතියක් හා ක්‍රමවත්ව සැකසුණු පරමාණු සැකැස්මකින් සමන්විත, ස්වභාවික අකාබනික ක්‍රියාවලියකට අනුව නිර්මාණය වුණු සමජාතීය ඝනයක් ඛණිජයක් ලෙසින් හඳුන්වනු ලබයි. මැණික් ද ඛණිජ පවුලට අයත් වුණත් එහි තිබෙන සුවිශේෂී ගුණාංගයන් නිසා අනිකුත් ඛණිජ වර්ගවලට වඩා වටිනාකමක් එයට ලැබී තිබෙනවා. මැණික්වලට සුවිශේෂී වටිනාකමක් ලැබී තිබෙන්නේ ඒවායේ ඇති කල්පැවැත්ම, විරලතාවය, සහ අලංකාරවත්ය නැමැති ගුණාංග නිසා යි. එවැනි සුවිශේෂී ගුණාංග තිබෙන මැණික් නම් ඛණිජ වර්ගය තවත් අලංකාර අයුරින් දිස්වන්නේ ඔප දැමීමෙන් පසුව යි. 

 මැණික් ගලක් (GIA)

මැණික් නිධි වර්ග 

ශ්‍රී ලංකාවෙන් හමුවන මැණික් නිධි, ප්‍රාථමික මැණික් නිධි සහ ද්වීතික මැණික් නිධි ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන්කරනු ලබනවා. සාමාන්‍යයෙන් ප්‍රාථමික මැණික් නිධියක මවු පාශාණය සහ මැණික් එකට පිහිටා තිබෙනවා. නමුත් ද්වීතීක මැණික් නිධියක පිහිටා තිබෙන මැණික් මවු පාශාණයෙන් වෙන්ව ජලයත් සමග සේදී ගොස් වෙන්ව පවතිනවා. මැණික් කර්මාන්තයේ යෙදෙන අය එවැනි නිධි හඳුන්වන්නේ ඉල්ලම් පස් ලෙස යි. පැරණි ජනවහරේ හොඳ ඉල්ලමක් පෑදුනා යනුවෙන් භාවිතා කරන්නේත් එම හේතුව නිසා යි. සාමාන්‍යයෙන් අප රට තුළ ද්වීතික මැණික් නිධි සුලභව දක්නට ලැබුණත් ප්‍රාථමික මැණික් නිධි සුළු වශයෙන් හෝ දක්නට ලැබෙන්නේ ඔක්කම්පිටිය, ඇළහැර, බකමූණ, සහ ඕපනායක වැනි ප්‍රදේශවල යි.

මැණික් හමුවන ප්‍රදේශ 

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන්ම මැණික් හමුවන දිස්ත්‍රික්කය රත්නපුරය යි. එයට ‘රත්නපුරය’ යන නම ලැබී තිබෙන්නේ ද බහුලවම මැණික් නිධි දක්නට ලැබෙන නිසා යි. රත්නපුරයට අමතරව මාතර, මාතලේ, පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, බදුල්ල, කළුතර වැනි දිස්ත්‍රික්කවලින් ද මැණික් ඉල්ලම් හමුවනවා. පහත දක්වා තිබෙන්නේ ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක ආශ්‍රිතව බහුලවම මැණික් දක්නට ලැබෙන ප්‍රදේශ යි.

රත්නපුර දිස්ත්‍රික්කය- කුරුවිට, නිවිතිගල, පැල්මඩුල්ල, රක්‌වාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, බලංගොඩ

මාතලේ දිස්ත්‍රික්කය- නාඋල, හත්තොට අමුණ 

පොළොන්නරුව දිස්ත්‍රික්කය- බකමූණ, ඇළහැර 

මාතර දිස්ත්‍රික්කය- මොරවක, රිදියගම, දෙනියාය, අකුරැස්ස 

ගාල්ල දිස්ත්‍රික්කය- හිනිදුම, මීටියාගොඩ 

කළුතර දිස්ත්‍රික්කය- බුලත්සිංහල, අගලවත්ත 

මොණරාගල දිස්ත්‍රික්කය- ඔක්කම්පිටිය

බදුල්ල දිස්ත්‍රික්කය- ලුණුගල 

මැණික් පතල් වර්ග 

මැණික් කර්මාන්තය සිදුකරන ප්‍රදේශ ආශ්‍රිතව විවිධ ආකාරයේ මැණික් පතල් වර්ග දක්නට ලැබෙනවා. ගොඩ පතල්, මඩ පතල්, සහ අදින පතල් ලෙසින් ඒවා හඳුන්වනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ එම පතල්වල කටයුතු සිදුවන ආකාරය යි.

මඩ පතල් 

සාමාන්‍යයෙන් මඩ පතල් සකස් කරන්නේ කුඹුරු ආශ්‍රිතව යි. එම පතල් සෑදීමේ දී දැවවලින් සකස් කරගත් රාමුවක් භාවිතා කරනවා. එය පතලේ බිත්ති කඩා නොවැටෙන සේ සවි කළ හැකියි. මඩ පතලක් කැපීමේ දී මතුවන ප්‍රධානතම ගැටළුව වන්නේ පතලට ජලය පිරීම යි. එම නිසා ජල පොම්ප මඟින් අඛණ්ඩව ජලය ඉවත් කිරීම කළ යුතු යි. එසේම මඩ පතලක් තට්ටු වශයෙන් සාදන නිසා සෑම තට්ටුවකටම ලී රාමුවක් සවිකර තිබෙනවා. එහිදී ලී රාමු දෙකක් අතර බිත්තිය කිතුල් පටි හෝ පුවක් පටි මඟින් හිරකර, කැකිල්ල ගස්වලින් සිදුරු වසනු ලබනවා. එවිට පතල තුළට බිත්ති කඩා වැටීම සිදුවන්නේ නැහැ. 

මඩ පතලක් (SL Story)

අදින පතල් 

අදින පතල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ගංඟා, ඇළ දොළ ආශ්‍රිත ප්‍රදේශවල දී දිගු මිටක් සහිත උදැල්ලක් මඟින් ඉල්ලම් මතුපිටට ගැනීමේ ක්‍රියාවලිය යි. ඒ සඳහා භාවිතා කරන උදැල්ලේ තලය ඉතා විශාල වන අතර උදළු මිට අඩි 10-20ක් අතර දිගකින් යුක්ත යි. එම ක්‍රියාවලියේ දී තනිව, දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු විසින් ඉල්ලම් මතුවන තුරු පස් හා බොරළු දිය මතුපිටට ගැනෙයි. ඉන් පසුව ගලායන දිය මතුපිට දී මැණික් තිබේදැයි පරීක්ෂා කරයි. ඊට අමතරව වැලිගෝනි මඟින් දිය පහරවල් හරස් කර, ගල් සහිත වලවල් පතුළේ ඇති ඉල්ලම් සේදීම ද සිදුකරනු ලබයි.

ගොඩ පතල් 

ගොඩ පතල් හෑරීමේ දී සිදුකරන්නේ පස් කපා හාරා ඉල්ලම මතුකර ගැනීම යි. ගොඩ පතලක ඉල්ලම පොළව මතුපිටට ආසන්නව පවතින අවස්ථා ද තිබෙනවා. බොහෝ විට මෙවැනි පතලක් අඩු මිනිස් ශ්‍රමයක් සහ අඩු වියදමක් භාවිතා කරමින් සිදුකළ හැකියි. නමුත් ගොඩ පතල් හෑරීමේ දී විශාල පරිසර හානියක් සිදුවනවා. එසේම අනවසරයෙන් ගොඩ පතල් හාරන අවස්ථාවන් පිළිබඳව පසුගිය කාලයේ නිතර අසන්නට ලැබුණා.

ගොඩ පතලක් (Facebook)

පතලක වැඩ සිදුවන ප්‍රධාන ආකාර 

සාමාන්‍යයෙන් පතලක වැඩ සිදුවන ප්‍රධාන ආකාර 2ක් තිබෙනවා. ඒ කුලී ක්‍රමය සහ කරු හවුල් ක්‍රමය යි. කුලී ක්‍රමයට පතලක වැඩ කිරීමේ දී අයිතිකරුවා විසින් කුලියට සේවකයන් යොදවා පතලේ වැඩ කටයුතු සිදු කරයි. එවිට පතලෙන් හමුවන සියළුම මැණික්වල අයිතිය ලැබෙන්නේ එහි අයිතිකරුවාට යි. මෙම ක්‍රමයට වඩා අප රට තුළ බහුලව භාවිතා කරන්නේ කරු හවුල් ක්‍රමය යි. එම ක්‍රමයේ දී පතලෙහි වැඩකරන අයට, ඉඩම් හිමියාට, ලී දඬු සපයන්නාට, ජල පොම්ප සහ ඉන්ධන සපයන්නන්ට කොටස් හිමිවනවා. ඉඩම් හිමියාට හිමිවන්නේ බිම් පංගුව පමණ යි. ඒ අනුව පතලෙන් මැණිකක් හමුවුණු පසුව මුලින් එකඟ වුණු ආකාරයට වටිනාකම් බෙදාගැනීම සිදුකරනු ලබනවා.

මඩ පතලක සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් 

මුලින්ම පතල හාරන ස්ථානය ලකුණු කරනු ලබයි. ඉන් පසුව දෙවියන්ට භාරහාර වී පළමු පස් පිඩැල්ල කපයි. එලෙස පතල කැපීම සිදුකරන ස්ථානයේ පොල්අතු වලින් පැලක් ඉදිකරනු ලබයි. එය හඳුන්වනු ලබන්නේ පතල් වාඩිය ලෙස යි. මඩ පතලක් හෑරීමේ දී පතලට වතුර පිරීම වලක්වා ගැනීම සඳහා ජල පොම්පමඟින් අඛණ්ඩව ජලය ඉවත් කර යුතු යි. ඉන් පසුව ලී රාමු භාවිතා කරමින් තට්ටුවෙන් තට්ටුව ඉදිකරමින් පතල හාරාගෙන යයි. සාමාන්‍යයෙන් මඩ පතුලක ගැඹුර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරය දැකිය හැකියි. එලෙස පතල හාරාගෙන යන විට පසේ වර්ණය ක්‍රමයෙන් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. සාමාන්‍යයෙන් ඉල්ලම පිහිටා ඇත්තේ මාලාව ලෙස හඳුන්වන පාෂාණ තට්ටුවක් මත යි. ඉල්ලමේ පැහැය තීරණය වන්නේ මාලාවේ වර්ණය අනුව යි. බොහෝ විට මාලාව ඉතා දීප්තිමත් පැහැයක් ගනියි. මාලාවේ වර්ණය අනුව එහි තිබෙන මැණික් වර්ග පිළිබඳව අනුමාන කිරීමේ හැකියාව පළපුරුදු පතල්කරුවන් සතුව පවතිනවා. 

පතලක වැඩ කරන පතල්කරුවන් (Aniwa)

සාමාන්‍යයෙන් ඉල්ලම දක්වා ළඟා වීමට දින ගණනාවක් ගතවනවා. එම නිසා සෑම දිනකම උදෑසන ජලය ඉවත් කිරීම සිදු කළ යුතු යි. ඉල්ලම හාරන යකඩ කූර ඉල්ලම් කූර යන නමින් හඳුන්වනු ලබනවා. ඉල්ලම් කූර වැදීම නිසා මැණික් පළුදු විය හැකි බැවින් එය ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු යි. පත‍ලෙහි පතුලේ තිබෙන සියළුම ඉල්ලම් පස් ලබාගත් පසුව විවිධ ඔස්සේ උමං මාර්ග සකස් කරයි. එලෙස සකස් කරන උමං මාර්ග දෝණා ලෙසින් හඳුන්වනු ලබයි. දෝණා සෑදීම තරමක් අවදානම් නිසා ඒ සඳහා ශක්තිමත් ලී දඬු යොදා ගනියි. 

ඉල්ලම් පස්වලින් මැණික් මතුකර ගැනීම 

පතලෙන් ඉහළට ගන්නා ඉල්ලම් පස් කලින් සකසන ලද ඉල්ලම් කමත නම් ස්ථානයේ තැන්පත් කරනවා. ඉල්ලම් සේදීම සඳහා ගැරුම් වට්ටි භාවිතා කරනවා. පුනීලාකාර නොගැඹුරු කූඩයක් වන එය බොහෝ විට වේවැල් භාවිතා කරමින් සාදා තිබෙනවා. ඉල්ලම් පස්වලින් මැණික් මතුකර ගැනීමේ දී මුලින්ම කරන්නේ විශාල ගල් කැබලි ඉවත් කර ඉල්ලම් කූඩ දෙකක් පමණ ගැරුම් වට්ටියට දමා කරකවමින් සෝදා හැරීම යි. එලෙස ගැරුම් වට්ටිය කරකවීමේ දී බරින් වැඩි මැණික් සහ අනිකුත් පාෂාණ ගැරුම් වට්ටියේ පතුලට බසියි. එවිට උඩින් ඇති බරින් අඩු ගල් කැබලි අතින් ඉවත් කළ හැකියි. එය ගල් බේරීම යනුවෙන් හඳුන්වනු ලබයි. එම ආකාරයට ඉල්ලම් කූඩ 10ක් 12ක් පමණ සෝදා බර අඩු ගල් බේරූ පසු ගැරුම් වටිටිය පතුලේ ඉතිරිවන කොටස නාව්ව හෝ නම්බුව නමින් හඳුන්වයි. ඉන් පසුව පතලේ හිමිකරු හෝ හවුලේ ප්‍රධානියෙකු විසින් හොඳින් ඉර අව්ව ඇති ස්ථානයකට ගොස් සැම දෙනා ඉදිරියේ නාව්ව පරීක්ෂා කරනු ලබයි. එලෙස නාව්ව පරීක්ෂා කර විට ඉන් මැණික් ලැබෙන හෝ නොලැබෙන අවස්ථාවන් දැකිය හැකියි. එය පතල් හිමියාගේ හෝ හවුල්කරුවන්ගේ වාසනාව හෝ අවාසනාව මත රඳාපවතින දෙයක් බවට මතයක් සමාජය තුළ පවතින බවත් මෙහි දී සිහිපත් කළ යුතුයි.

ලංකාවෙන් හමුවන මැණික් ප්‍රභේද 

ශ්‍රී ලංකාවෙන් හමුවන මැණික් වර්ග වටිනා මැණික් සහ අර්ධ වටිනා මැණික් යන වර්ග 2කට අයත් වනවා. සාමාන්‍යයෙන් පතල් කර්මාන්තයේ යෙදෙන පතල්කරුවන් ඒවා හඳුන්වනු ලබන්නේ ජාති ගල් සහ පජාති ගල් ලෙස යි. 

වටිනා මැණික් ප්‍රභේද 

කුරුවින්ද සහ කණක වටිනා මැණික් ප්‍රභේදයන් ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් කුරුවින්ද පවුලට අයත් වන්නේ නිල් කැට, පුෂ්පරාග, ආරුනූල්, පද්මරාග, සහ රතු කැට යන මැණික් වර්ග යි. ඉහත සඳහන් කළ මැණික් වර්ග අතුරින් ආරුනූල් නම් මැණික් ගල් වර්ගය කපා ඔප දැමීමෙන් පසුව නූල් 06ක හැඩයක් ගල තුළින් නිර්මාණය කරගත හැකියි. එලෙස නිර්මාණය කරගත හැකි ආරුනූල් වර්ග අතුරින් නිල් සහ සුදු  ආරුනූල් වර්ගවලට වැඩි වටිනාකමක් හිමිවනවා. කණක පවුලට අයත් වන්නේ පසිංගල් සහ වෛරෝඩි යන මැණික් වර්ග යි. වෛරෝඩි සහ පසිංගල් යන මැණික් ප්‍රභේද සෑදෙන්නේ තෝරමල්ලි යනුවෙන් හැඳින්වෙන ප්‍රාථමික අවස්ථාවේ කණක වර්ග තවදුරටත් විකිරණ ක්‍රියාවලියට ලක්වීම නිසා යි. සාමාන්‍යයෙන් කහ, සුදු, කොළ සහ කහ මිශ්‍ර, සහ කොළ යන වර්ණවලින් යුත් වෛරෝඩි දක්නට ලැබෙනවා. වෛරෝඩි මැණික් වර්ගය මත ඇති නූල හරි ආකාරයට පිහිටා නැත්නම් එයට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඉහත සඳහන් කළ මැණික් ප්‍රභේදවලට අමතරව චන්ද්‍රකාන්ති, සූර්යකාන්ති සහ ඉන්ද්‍රනීල යනුවෙන් හදුන්වනු ලබන මැණික් ප්‍රභේද තිබුණත් ඒවා සුලභව දක්නට ලැබෙන්නේ නැහැ. 

වටිනා මැණික් ගල් කිහිපයක් (news.lk)  

අර්ධ වටිනා මැණික් ප්‍රභේද 

අර්ධ වටිනා මැණික් ප්‍රභේදවලට අයත් වන්නේ රබහ, තරිප්පු, පළිගු, පූනක්කන්, තෝරමල්ලි, කිරිංචි, කලු කට්ට ආදී මැණික් වර්ග යි. වටිනා මැණිකක් වුණත් විවිධ විකිරණ ක්‍රියාවලීන්ට ලක්වීමෙන් හෝ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීමෙන් අර්ධ වටිනා මැණික් බවට පත්විය හැකියි. ගෙවුඩ සහ කාක නිල් එයට උදාහරණයක් ලෙසින් දැක්විය හැකියි.

කවරයේ ඡායාරූපය- වටිනා මැණික් ගල් කිහිපයක් 

මූලාශ්‍රයයන්- ශ්‍රී ලංකාවේ මැණික්- D.H ආරියරත්න 

Related Articles