ශ්‍රී ලංකා යුධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවේ ඉතිහාසය

1949 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ වුණා. ආරම්භක අවධියේ දී යුද හමුදා භට පිරිස්වලට පැවරී තිබුණු රාජකාරිය වුණේ රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සහාය වීම යි. නමුත් 70 දශකය මුල් භාගය වන විට 1953 හර්තාලය, 1958 සිංහල සහ ද්‍රවිඩ කෝලාහලය, 1971 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල වැනි හදිසි තත්ත්වයන් අප රට තුළ ඇතිව තිබුණා. එම අවස්ථාවන් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව යොදාගැනුනා. 

එලෙස ක්‍රමයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පත්වුණු ශ්‍රී ලංකා යුද හමුදාවට 80 දශකය ආරම්භවීමත් සමගම වඩාත් දුෂ්කර කාල සමයක් උදාවුණා. එම යුගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය හේතුවෙන් යුද හමුදාව තවත් පුළුල් කිරීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අළුතින් රෙජිමේන්තු කිහිපයක් යුද හමුදාවට එකතු වුණා. වසර 30කට ආසන්න කාලයක් පැවති පළමු, දෙවන, තෙවන, සහ සිව්වන ඊළාම් යුද්ධවල දී එම රෙජිමේන්තු නියෝජනය කළ භට පිරිස් විශාල මෙහෙයක් ඉටු කළා.

වර්තමානය වන විට අප රට තුළ යුද්ධයක් නැහැ. නමුත් යුද්ධය අවසන් කිරීම සඳහා එක් එක් රෙජිමේන්තු නියෝජනය කළ හමුදා භටයන් සිදුකළ මෙහෙවර අපට අමතක කරන්නට බැහැ. එම නිසා අපි මීට පෙර ලිපි දෙකකින් සිංහ රෙජිමේන්තුව සහ ගජබා රෙජිමේන්තුව පිළිබඳව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කළා. එලෙස හමුදා රෙජිමේන්තු පිළිබඳව ඉදිරිපත් කරන ලිපි පෙළේ තුන්වන ලිපිය වෙන්වන්නේ ගැමුණු හේවා බලකාය සඳහා යි. 

ගැමුණු හේවා රෙජිමේන්තුව ආරම්භ වුණු හැටි 

ශ්‍රී ලංකා යුද හමුදාව 1949 වසරේ දී පිහිටුවීමෙන් පසුව මුල්ම වරට නිත්‍ය රෙජිමේන්තුවක් ආරම්භ කළේ 1950 වසරේ මැයි 12 වැනිදා යි. එලෙස ආරම්භ වුණු රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල හමුදාව ලෙසින් නම් කරනු ලැබුවා. ඉන් වසර 6කට පමණ පසුව දියතලාවේ දී දෙවන නිත්‍ය රෙජිමේන්තුව ස්ථාපනය කළා. සිංහ රෙජිමේන්තුව නමින් හැදින්වුණු එය ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු රයිෆල් බලකාය බවට පත්වුණා. 60 දශකය ආරම්භ වීමත් සමගම ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් තවත් නිත්‍ය හමුදා රෙජිමේන්තුවක් පිහිටවනු ලැබුවා. 1962 වසරේ දෙසැම්බර් 7 වැනිදා දියතලාවේ පිහිටි ලංකා ස්වේච්ඡා බලකා කඳවුරේ දී ආරම්භ කළ එම රෙජිමේන්තුව ගැමුණු හේවා රෙජිමේන්තුව යන නාමය ලබාදුන්නා. එලෙස ලංකා යුද හමුදාවට එක් වුණු නව රෙජිමේන්තුවේ නිර්මාතෘවරයා බවට පත්වුණේ ජේ. එෆ්. හලංගොඩ නැමැති බ්‍රිගේඩියර්වරයා යි. 

රෙජිමේන්තු ධජය 

ගැමුණු හේවා රෙජිමේන්තුවේ අභිමානය, නිර්භීිත භාවය හා රණ ශූරත්වය මනාව පිළිබිඹු වන පරිදි එහි රෙජිමේන්තු ධජය නිර්මාණය කර තිබෙනවා. දුටුගැමුණු රජු සිය අවසන් සංග‍්‍රාමයේ දි භාවිතා කළ ධජ පතාකය අනුව යමින් අභිමානය සහ අභිතභාවය විදහා දක්වන අයුරින් මෙම ධජය නිර්මාණය කරනු ලැබුවා. එසේම අභිමානයෙන්, පවිත‍්‍රත්වයෙන්, සිහිකල්පනාවෙන්, සහ සුන්දරත්වයෙන් අගතැන් ගත් පක්‍ෂියෙකු වන  මයුරා, බලකා ධජය සඳහා යොදාගෙන තිබෙනවා. 

ජෙෆ්රි බාවා නම් දක්ෂ නිර්මාණ ශිල්පියාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු ධජයට ගැමුණු හේවා බලකායේ නිර්මාතෘ බි‍්‍රගේඩියර් ජේ. එෆ්. හලංගොඩ විසින් එකතු කෙරුණු වේලායුධ දහය දුටුගැමුණු රජුගේ විජයග‍්‍රහණයන් සඳහා සිය අයෝමය බලයෙන් දායක වුණු දසමහ යෝධයන් සංකේතවත් කරනවා. එසේම එයින් ධජයට  විචිත්‍රවත් බවක් ලැබෙනවා. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පෙර සිටම සිරිතක් වශයෙන් භාවිතා කරන මූලික වර්ණයන් වන රතු, සුදු, රන්වන් කහ, සහ නිල් යන වර්ණ සතර පෙරදැරි කරගෙන ගැමුණු හේවා බළකා ධජය සකස් වී තිබෙනවා. එම වර්ණවලින් පහත සඳහන් දේවල් නිරූපණය වනවා.

*රතු වර්ණය- සටනේ දී ජයග‍්‍රහණය  

*සුදු වර්ණය- නිර්මල භාවය

*රන්වන් කහ වර්ණය- දුටුගැමුණූ රජතුමාගේ ජන්ම භූමිය වුණු රුහුණු රටට හිමි වර්ණය

*නීිල වර්ණය- දුටුගැමුණු රජු, කතරගම දෙවියන්, සහ මොණරා අතර ඇති ති‍්‍රවිධ සම්බන්ධය 

ධජයෙහි නිරූපිත ඉර සහ සඳ පිළිබිඹු කරන්නේ සදාතනික බව සහ ස්ථිරසාර භාවය යි. එසේම වේලායුධ දහයෙන් දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින් සංකේතවත් කරනවා. එලෙස දස මහ යෝධයින් පෙරදැරි කොට යෝධ බල යෝධ ශක්තිය යොදා ගොඩනගා ඇති මෙම බලකායේ ආදර්ශ පාඨය වන්නේ  ‘‘නොනැවති ඉදිරියට’’ යන්න යි.

රෙජිමේන්තු ධජය (army.lk)

ගැමුණු හේවා භටයන් ඊළාම් යුද්ධය සඳහා ලබාදුන් දායකත්වය 

ගැමුණු හේවා රෙජිමේන්තුව ආරම්භ වී වසර 8ක් පමණ ගතවන විට 71 කැරැල්ල ඇති වුණා. එම කැරැල්ල මර්ධනය කිරීම සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටයන් විශාල දායකත්වයක් ලබාදුන්නා. ඉන් පසුව 80 දශකයේ මුල් භාගයේ දී ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමගම ගැමුණු රෙජිමේන්තුව තවත් පුළුල් කිරීමට සිදුවුණා. එම නිසා යුද්ධය පැවති කාලය තුළ නිත්‍ය බලකායන් 16ක් සහ ස්වේච්ඡා බලකායන් 6ක් පිහිටවනු ලැබුවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කඳවුර ගැමුණු හේවා රෙජිමේන්තුවේ මූලස්ථානය ලෙසින් ක්‍රියාත්මක වුණා. 

එඩිතර හමුදා භටයන් රැසකගෙන් සැදුම්ලත් ගැමුණු හේවා රෙජිමේන්තුව ප්‍රධාන මෙහෙයුම් රැසකට ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා. ඒ අතුරින් වඩමාරච්චි, බලවේගය, රිවිරැස, සත්ජය, සහ ජයසිකුරු වැනි මෙහෙයුම් අමතක කරන්නට බැහැ. එසේම අවසන් සටනේ දී පුදුකුඩුඉරුප්පු, ඉරණමඩු සහ විශ්වමඩු වැනි ප්‍රදේශ අත්පත් කරගැනීමේ දී ගැමුණු හේවා රෙජිමේන්තු භටයන් විශාල කාර්යභාරයක් ඉටු කළා. එහි දී ගැමුණු හේවා බලකා භටයන් සිවුදෙනෙකුට පරමවීර විභූෂණ සම්මානය හිමි වුණා. 

බලවේගය මෙහෙයුමේ අවස්ථාවක් (Twitter)

පරම වීර විභූෂණ සම්මානය ලබාගත් ගැමුණු හේවා රෙජිමේන්තු විරුවන් 

ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ සෙබලෙකුගේ හෝ නිළධාරියකුගේ වීරත්වය උදෙසා පිරිනැමෙන ඉහළම හා ගෞරවාන්විතම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කම යි . එම වීර පදක්කම දිනාගත් හමුදා සෙබලුන් සිවුදෙනෙකු ගැමුණු හේවා රෙජිමේන්තුව නියෝජනය කළා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් එම සම්මානය දිනාගැනීම සඳහා පෑ හපන්කම් පිළිබඳව යි.

2009 වසරේ පෙබරවාරි 1 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව විශ්වමඩු ප්‍රදේශය මුදාගැනීම සඳහා දරුණු සටනක් ක්‍රියාත්මක කළා. එම සටන සඳහා එක්ව සිටි ගැමුණු හේවා රෙජිමේන්න්තු 7 වන බලඇණියට පී. ඇම්. ඇන් පුෂ්පකුමාර නම් කෝප්‍රල්වරයා අනියුක්ත කර තිබුණා. එදා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ පුෂ්පකුමාර රණවිරුවා තුවාල ලැබුවා. නමුත් එම දරුණු තුවාල පිළිබඳව නොතැකූ කෝප්‍රල්වරයා පපු පෙදෙසෙහි ක්ලේමෝ බෝම්බයක් බැඳගෙන සතුරා වෙතට පැන්නා. එම අවස්ථාවේ දී සතුරන් විශාල ප්‍රමාණයක් විනාශ කරමින් මියගිය කෝප්‍රල් පුෂ්පකුමාරගේ වීරත්වය අගයමින් 2012 වසරේ මැයි 19 වැනිදා පරම වීර විභූෂණ පදක්කම පිරිනැමුණා. 

2009 වසරේ මාර්තු 2 වැනිදා පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ දී යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටනක් ඇවිලී තිබුණා. එම සටන සඳහා ගැමුණු හේවා බලකායේ ජී. ඇස්. සමරනායක සහ කේ. අයි. මේඝවර්ණ යන කපිතාන්වරුන් දෙදෙනා සහභාගි වුණා. එදා ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ඔවුන් දෙදෙනා දරුණු ලෙසින් තුවාල ලබා සිටියත් තම සගයන් ආරක්ෂිත ස්ථාන යනතෙක් අඛණ්ඩව සටන් කළා. ඔවුන් දෙදෙනාම මරණය හමුවේ නොසැලෙමින් පෑ වීරත්වය නිසා 2012 මැයි 19 වැනිදා පරම වීර විභූෂණ පදක්කම පිරිනැමුණා. 

2009 අප්‍රේල් 20 වැනිදා ඉරණමඩු ප්‍රදේශයේ දී යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටනක් පැවතුණා. එම සටන සඳහා සහභාගි වුණු දෙවන ලුතිනන් ඩබ්ලිව්. ඩී. ජයතිලක සිය සගයන් සමග එක්ව කොටි ත්‍රස්තයන්ගේ බංකර් පෙළක් අල්ලා ගත්තා. නමුත් ඉන් අනතුරුව ප්‍රතිසංවිධානය වුණු කොටි ත්‍රස්තවාදීන් ජයතිලක ඇතුළු පිරිසට නොසිතූ ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් ඔහුගේ පිරිසේ ඇතැම් අයට බරපතල තුවාල සිදුවුණා. එහි දී ක්ෂණිකව ක්‍රියාත්මක වුණු ජයතිලක බෝම්බ දෙකක් අත්වලට ගෙන කොටි බංකරය වෙත පැන්නේ සතුරු ප්‍රහාරය මර්ධනය කිරීම සඳහා යි. එදා ජයතිලක සිය ජීවිතය පිදුවත් ඔහු පෑ වීරත්වය වෙනුවෙන් 2013 මැයි 18 වැනිදා පරම වීර විභූෂණ පදක්කම පිරිනැමුණා. 

පරම වීර විභූෂණ පදක්කම (The Blacklight Arrow)

ගැමුණු හේවා රෙජිමේන්තුවෙන් බිහිවුණු ප්‍රසිද්ධ නිලධාරින්

පසුගිය වසර 58 පුරාවට ගැමුණු හේවා රෙජිමේන්තුවෙන් යුද හමුදාපතිවරුන් දෙදෙනෙකු බිහිවුණා. ඉන් පළමුවන යුද හමුදාපතිවරයා වුණු තිස්ස වීරතුංග 1981-1986 කාල සමය තුළ එම ධූරයේ කටයුතු කළා. ඊට අමතරව ජෙරී ද සිල්වා 1994-1996 කාල සමය තුළ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළා. ලංකා යුද හමුදා ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් නිලධාරියෙකු වුණු විජය විමලරත්න සිය හමුදා ජීවිතයේ මුල් යුගයේ දී ගැමුණු හේවා රෙජිමේන්තුවට අනියුක්තව සිටියා. නමුත් පසුකලෙක ඔහු ගජබා රෙජිමේන්තුව නිර්මාණය කළා. 

තිස්ස වීරතුංග (Colombo Telegraph)

තවද ලකී අල්ගම, පාරමී කුලතුංග වැනි නම් දැරූ හමුදා නිලධාරීන් ගැමුණු හේවා රෙජිමේන්තුව නියෝජනය කළා. ගැමුණු හේවා රෙජිමේන්තු නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් රණවිරුවෙකු සිටියා. මේජර් වික්‍රමසිංහ විමලදාස නම් ඔහු 1974 වසරේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 පිරිමි සහ මීටර් 400 සහාය යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තා. එසේම ඔහු එදා නව ආසියානු තරග වාර්තාවක් ද බිහිකරමින් සිය මව්බිමට ගෞරවයක් හිමිකර දුන්නා.

විමලදාස ක්‍රීඩකයා (Sri Lanka Olympians)

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයන්- army.lk

                     අමරණීය සොල්දාදුවන් 29

Related Articles