මහා මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. එම ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් ලබාගෙන සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් ඉහළම ආසනය ප්‍රමාණය දිනාගත්තා. පොදුජන මෙවර මහා මැතිවරණයේ දී නොසිතූ ජයග්‍රහණයක් ලබන විට ප්‍රධාන විරුද්ධ පක්ෂ කිහිපයක් ප්‍රබල පසුබෑමකට ලක් වුණා. එහි දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ එක් ආසනයක් පමණ යි. පහත දැක්වෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

කොළඹ දිස්ත්‍රික්කය

මෙවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තරග කළ නිසා කොළඹ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටියා. පසුගිය අගෝස්තු 6 වැනිදා නිකුත් වුණු ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 57.04%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එය මහා මැතිවරණ ඉතිහාසයේ දී යම් පක්ෂයක් කොළඹ දිස්ත්‍රික්කය තුළ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් වාර්තා වුණා. ඔවුන්ට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2015 මහා මැතිවරණයේ දී 53%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජාතික පක්ෂයට යි. නමුත් මෙවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කය තුළ දී ඡන්ද 30,875ක් පමණක් හිමිව තිබීම ඇදහිය නොහැකි සිදුවීමක් වුණා. පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මැතිවරණ බල ප්‍රදේශ 9ක් ජයග්‍රහණය කරන විට ඉතිරි මැතිවරණ බල ප්‍රදේශ 6 ජයග්‍රහණය කළේ සමගි ජන බලවේගය යි.  

පොදුජන පෙරමුණ- 674,603 (57.04%)- ආසන 12

සමගි ජන බලවේගය- 387,145 (32.73%)- ආසන 6

ජාතික ජන බලවේගය- 67,600 (5.72%)- ආසන 1

එක්සත් ජාතික පක්ෂය- 32,875 (2.61%)

ගම්පහ දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළා. එහි දී ඔවුන්ගේ පාර්ශවය ඡන්ද 807,896ක් ලබාගෙන 65.76%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 63.37%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ දොම්පේ ආසනය තුළ 74.32%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දොම්පේ ආසනයම  71.94%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර තබා තිබුණා.

පොදුජන පෙරමුණ- 807,896 (65.76%)- ආසන 13

සමගි ජන බලවේගය- 285,809 (23.27%)- ආසන 4

ජාතික ජන බලවේගය- 61,833 (5.03%)- ආසන 1

එක්සත් ජාතික පක්ෂය- 28,282 (2.30%)

කළුතර දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එහි දී පොදුජන පෙරමුණ ඡන්ද 448,699ක් ලබාගෙන 64.08%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් කළුතර දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 63.68%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ හොරණ ආසනය තුළ 72.47%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් කළුතර දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත්සිංහල ආසනය 68.51%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර පිහිටුවා තිබුණා.

පොදුජන පෙරමුණ- 448,699 (64.08%)- ආසන 8

සමගි ජන බලවේගය- 171,988 (24.56%)- ආසන 2

ජාතික ජන බලවේගය- 33,434 (4.77%)

එක්සත් ජාතික පක්ෂය- 16,485 (2.35%)

මහනුවර දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එහි දී එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණු මහනුවර ආසනය සමානුපාතික ක්‍රමයට පැවති මැතිවරණයක දී මුල්ම වතාවට ඔවුන්ගෙන් ගිලිහී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. ජයග්‍රාහී පොදුජන පෙරමුණ ඡන්ද 477,446ක් ලබාගෙන තිබුණේ 58.76%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. 

පොදුජන පෙරමුණ- 477,446  (58.76%)- ආසන 8

සමගි ජන බලවේගය- 234,523 (28.86%)- ආසන 4

ස්වාධීන කණ්ඩායම 1- 25,797 (3.17%)

ජාතික ජන බලවේගය- 22,997 (2.83%) 

එක්සත් ජාතික පක්ෂය- 19,012 (2.34%)

මාතලේ දිස්ත්‍රික්කය 

 මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 4 පහසුවෙන්ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ඡන්ද 188,779ක් ලබාගෙන තිබුණේ 65.53%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළ මාතලේ ආසනය මෙවර සමගි ජන බලවේගයට අහිමි වී තිබීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

පොදුජන පෙරමුණ- 188,789 (65.53%)- ආසන 4

සමගි ජන බලවේගය- 73,955 (25.67%)- ආසන 1

ජාතික ජන බලවේගය- 7,542 (2.62%) 

එක්සත් ජාතික පක්ෂය- 6,592 (2.92%)

නුවරඑළිය දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ  නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රතිඵලය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිඵලයක් වුණා. ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පසුව තරග බිමට පිවිසි ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නුවරඑළිය-මස්කෙලිය ආසනයේ ජයග්‍රහණය පොදුජන පෙරමුණට හිමිකර දුන්නා. එසේම දිස්ත්‍රික්කයේ සෙසු ආසනත් පොදුජන පෙරමුණ පහසුවෙන්ම ජයග්‍රහණය කළා. 70 සහ 80 දශකවල නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කැපී පෙනෙන චරිතයක් වුණු ගාමිණී දිසානායකගේ පුත් නවීන් දිසානායකගේ නායකත්වය යටතේ තරග වැදුණු එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දී ප්‍රබල පසුබෑමකට ලක් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පොදුජන පෙරමුණ- 230,389 (54.47%)- ආසන 5

සමගි ජන බලවේගය- 73,955 (25.67%)- ආසන 3

ස්වාධීන කණ්ඩායම 1- 17,107 (4.04%)

එක්සත් ජාතික පක්ෂය- 12,974 (3.04%)

ගාල්ල දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළා. එහි දී ඔවුන්ගේ පාර්ශවය ඡන්ද 430,334ක් ලබාගෙන 70.54%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් ගාල්ල දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 66.17%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ කරන්දෙණිය ආසනය තුළ 76.61%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කරන්දෙණිය ආසනයම 71.15%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර තබා තිබුණා.

පොදුජන පෙරමුණ- 430,334 (70.54%)- ආසන 7

සමගි ජන බලවේගය- 115,456 (18.93%)- ආසන 2

ජාතික ජන බලවේගය- 29,963 (4.91%)

එක්සත් ජාතික පක්ෂය- 18,968 (3.11%)

මාතර දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එහි දී පොදුජන පෙරමුණ ඡන්ද 352,217ක් ලබාගෙන 73.63%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් මාතර දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 65.31%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. 

පොදුජන පෙරමුණ- 352,217 (73.63%)- ආසන 6

සමගි ජන බලවේගය- 72,740 (15.21%)- ආසන 1

ජාතික ජන බලවේගය- 37,136 (7.76%)

එක්සත් ජාතික පක්ෂය- 7,631 (1.60%)

හම්බන්තොට දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 75.10%ක වාර්තාගත ප්‍රතිශතයක් රඳවාගනිමින්. එය මහා මැතිවරණ ඉතිහාසයේ යම් පක්ෂයක් හම්බන්තොට  දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2004 මහා මැතිවරණයේ දී 64.05%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ තංගල්ල ආසනය තුළ 77.80%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2004 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය තංගල්ල ආසනයම 68.15%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර පිහිටුවා තිබුණා. මෙවර හම්බන්තොට ඡන්ද ප්‍රතිඵලයේ දක්නට ලැබෙන අනිකුත් සුවිශේෂී කාරණය වන්නේ ජාතික ජන බලවේගයට ආසනයක් අහිමිව තිබීම යි. අතීතයේ සිටම ඔවුන්ට ඉතාමත් හොඳ ඡන්ද පදනමක් තිබුණු දිස්ත්‍රික්කය වුණේ හම්බන්තොට යි. මෙවර ද ඔවුන් 8.90%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්ත ද  එය ආසනයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් වී නැහැ.

පොදුජන පෙරමුණ- 280,881 (75.10%)- ආසන 6

සමගි ජන බලවේගය- 51,758  (13.84%)- ආසන 1

ජාතික ජන බලවේගය- 31,362 (8.39%)

එක්සත් ජාතික පක්ෂය- 5,017 (1.34%)

කුරුණෑගල දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළා. එහි දී ඔවුන්ගේ පාර්ශවය ඡන්ද 649,965ක් ලබාගෙන 66.92%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 63.84%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ වාරියපොල ආසනය තුළ 72.61%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගල්ගමුව ආසනය 70.94%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර පිහිටුවා තිබුණා.

පොදුජන පෙරමුණ- 649,965 (66.92%)- ආසන 11

සමගි ජන බලවේගය- 244,860 (25.21%)- ආසන 4

ජාතික ජන බලවේගය- 36,290 (3.74%)

එක්සත් ජාතික පක්ෂය- 26,770 (2.76%)

පුත්තලම දිස්ත්‍රික්කය 

මෙම දිස්ත්‍රික්කයේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශය හැර සෙසු බල ප්‍රදේශ 4 පහසුවෙන්ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 220,566ක් ලබාගත්තේ 57.26%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. මෙවර මහා මැතිවරණයේ දී මුස්ලිම් ජාතික පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආසනයක් ජයග්‍රහණය කර තිබීම කැපී පෙනෙන සිදුවීමක් ලෙසින් දැක්විය හැකියි.

පොදුජන පෙරමුණ- 220,566 (57.26%)- ආසන 5

සමගි ජන බලවේගය- 80,183 (20.81%)- ආසන 2

මුස්ලිම් ජාතික පෙරමුණ- 55,981 (14.53%)- ආසන 1

ජාතික ජන බලවේගය- 9,944 (2.58%) 

එක්සත් ජාතික පක්ෂය- 7,985 (2.07%)

අනුරාධපුර දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 344,458ක් ලබාගෙන 67.95%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් මෙම දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 66.52%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. 

පොදුජන පෙරමුණ- 344,458 (67.95%)- ආසන 7

සමගි ජන බලවේගය- 119,788 (23.63%)- ආසන 2

ජාතික ජන බලවේගය- 24,492 (4.83%)

එක්සත් ජාතික පක්ෂය- 8,254 (1.63%)

පොළොන්නරුව දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 73.66%ක වාර්තාගත ප්‍රතිශතයක් රඳවාගනිමින්. එය මහා මැතිවරණ ඉතිහාසයේ යම් පක්ෂයක් මෙම  දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වුණා. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 2010 මහා මැතිවරණයේ දී 69.22%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ මින්නේරිය ආසනය තුළ 77.07%ක වාර්තාගත  ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මින්නේරිය ආසනයම 72.57%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර පිහිටුවා තිබුණා. 

පොදුජන පෙරමුණ- 180,847 (73.66%)- ආසන 4

සමගි ජන බලවේගය- 47,781 (19.46%)- ආසන 1

ජාතික ජන බලවේගය- 6,792 (2.77%)

එක්සත් ජාතික පක්ෂය- 6,525 (2.66%)

බදුල්ල දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 309,538ක් ලබාගෙන 62.06%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් මෙම දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින්. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 1989 මහා මැතිවරණයේ දී 58.97%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණු එක්සත් ජාතික පක්ෂයට යි.

පොදුජන පෙරමුණ- 309,538 (62.06%)- ආසන 6

සමගි ජන බලවේගය- 144,290 (28.93%)- ආසන 3

ජාතික ජන බලවේගය- 19,308 (3.87%)

එක්සත් ජාතික පක්ෂය- 9,163 (1.84%)

මොණරාගල දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී මොණරාගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 74.12%ක වාර්තාගත ප්‍රතිශතයක් රඳවාගනිමින්. නමුත් 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මොණරාගල දිස්ත්‍රික්කය තුළ දී වාර්තා කළ 75.64%ක ප්‍රතිශතය අභිබවා යාමට පොදුජන පෙරමුණට හැකි වුණේ නැහැ.

පොදුජන පෙරමුණ- 208,193 (74.12%)- ආසන 5

සමගි ජන බලවේගය- 54,147 (19.28%)- ආසන 1

ජාතික ජන බලවේගය- 11,429 (4.07%)

එක්සත් ජාතික පක්ෂය- 3,494 (1.24%)

රත්නපුර දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළා. එහි දී ඔවුන්ගේ පාර්ශවය ඡන්ද 446,668ක් ලබාගෙන 68.86%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ යම් පක්ෂයක් රත්නපුර දිස්ත්‍රික්කයේ දී වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශත වාර්තාව සම කරමින්. ඊට පෙර 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයත්  68.86%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබුණා. 

පොදුජන පෙරමුණ- 446,668 (68.86%)- ආසන 8

සමගි ජන බලවේගය- 155,759 (24.01%)- ආසන 3

ජාතික ජන බලවේගය- 17,611 (2.72%)

එක්සත් ජාතික පක්ෂය- 12,349 (1.90%)

කෑගල්ල දිස්ත්‍රික්කය 

මෙවර මහා මැතිවරණයේ දී කෑගල්ල  දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. එසේම මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණ කෑගල්ල ආසනය තුළ 70.27%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී යම් පක්ෂයක් කෑගල්ල  දිස්ත්‍රික්කය තුළ ඇති ආසනයක දී රඳවාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය යි. 2010 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය අරණායක ආසනය 69.91%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර එම වාර්තාව ඊට පෙර පිහිටුවා තිබුණා. 

පොදුජන පෙරමුණ- 331,573  (66.29%)- ආසන 7

සමගි ජන බලවේගය- 131,317 (26.25%)- ආසන 2

ජාතික ජන බලවේගය- 14,033 (2.81%) 

එක්සත් ජාතික පක්ෂය- 12,168 (2.43%)

නැගෙනහිර පළාත 

දිගාමඬුල්ල, මඩකලපුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක නැගෙනහිර පළාතට අයත් වනවා. ඒ අනුව මහා මැතිවරණයක දී එම පළාතට ආසන 16ක් හිමිවනවා. 2015 මහා මැතිවරණයේ දී එම ආසන 16 බෙදී ගියේ මෙසේ යි.

එක්සත් ජාතික පක්ෂය- ආසන 7

දෙමළ ජාතික සන්ධානය- ආසන 5

එක්සත් ජනතා නිදහස් සන්ධානය- ආසන 3

මුස්ලිම් කොංග්‍රසය- ආසන 1

නමුත් මෙවර මහා මැතිවරණයේ දී ඉහත ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. පහත දැක්වෙන්නේ මෙවර නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කයන් හි ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

දිගාමඬුල්ල දිස්ත්‍රික්කය 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 126,012 (32.65%)- ආසන 3

සමගි ජන බලවේගය- 102,274 (26.50%)- ආසන 2

සමස්ත ලංකා ජනතා කොංග්‍රසය- 43,319 (11.22%)- ආසන 1

ජාතික කොංග්‍රසය- 38,911 (10.08%)- ආසන 1

මඩකලපුව දිස්ත්‍රික්කය 

දෙමළ ජාතික සන්ධානය- 79,460 (26.66%)- ආසන 2

තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්- 67,692 (22.71%)- ආසන 1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 34,428 (11.55%)- ආසන 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 33,424 (11.22%)- ආසන 1

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 

සමගි ජන බලවේගය- 86,394 (40.56%)- ආසන 2

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 68,681 (32.25%)- ආසන 1

දෙමළ ජාතික සන්ධානය- 39,570 (18.58%)- ආසන 1

ඉහත ප්‍රතිඵලවලට අනුව මෙවර මහා මැතිවරණයේ දී නැගෙනහිර පළාත තුළ ආසන බෙදී ගොස් ඇත්තේ පහත ආකාරයට යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 5

සමගි ජන බලවේගය- ආසන 4

දෙමළ ජාතික සන්ධානය- ආසන 3

තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්- ආසන 1

සමස්ත ලංකා ජනතා කොංග්‍රසය- ආසන 1

ජාතික කොංග්‍රසය- ආසන  1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- ආසන 1

උතුරු පළාත 

යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක උතුරු පළාතට අයත් වනවා. ඒ අනුව මහා මැතිවරණයක දී එම පළාතට  ආසන 13ක්  හිමිවනවා. 2015 මහා මැතිවරණයේ දී එම ආසන 13 බෙදී ගියේ මෙසේ යි.

දෙමළ ජාතික සන්ධානය- ආසන 9

එක්සත් ජාතික පක්ෂය- ආසන 2

එක්සත් ජනතා නිදහස් සන්ධානය- ආසන 1

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- ආසන 1

නමුත් මෙවර මහා මැතිවරණයේ දී උතුරු පළාත තුළ දෙමළ ජාතික සන්ධානයට තිබුණු බලය විශාල ලෙස අඩු වී තිබෙනවා. පහත දැක්වෙන්නේ මෙවර උතුරු පළාතේ දිස්ත්‍රික්කයන් හි ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

යාපනය දිස්ත්‍රික්කය 

දෙමළ ජාතික සන්ධානය- 112,967 (31.46%)- ආසන 3

අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්- 55,303 (15.40%)- ආසන 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 49,373 (13.75%)- ආසන 1

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 45,797 (12.75%)- ආසන 1

තමිල් මක්කල් තේසීය කුට්ටනි- 35,927 (10.00%)- ආසන 1

වන්නි දිස්ත්‍රික්කය 

දෙමළ ජාතික සන්ධානය- 69,916 (33.64%)- ආසන 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 42,524 (20.46%)- ආසන 1

සමගි ජන බලවේගය- 37,883 (18.23%)- ආසන 1

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 11,310 (5.44%)- ආසන 1

ඉහත ප්‍රතිඵලවලට අනුව මෙවර මහා මැතිවරණයේ දී උතුරු පළාත තුළ ආසන බෙදී ගොස් ඇත්තේ පහත ආකාරයට යි.

දෙමළ ජාතික සන්ධානය- ආසන 6

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- ආසන 2

අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්- ආසන 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ආසන 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 1

සමගි ජන බලවේගය- ආසන 1

තමිල් මක්කල් තේසීය කුට්ටනි- ආසන 1

අවසන් ප්‍රතිඵලය

මෙවර මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්ක 18ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් ලබාගන්නා විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පමණක් ජයග්‍රහණය කළ සමගි ජන බලවේගය ආසන 54ක් ලලබාගත්තා. පහත දැක්වෙන්නේ මෙවර අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණු ආකාරය යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 6,853,693 (59.09%) ආසන 145

සමගි ජන බලවේගය- 2,771,984 (23.90%)- ආසන 54

ජාතික ජන බලවේගය- 445,958 (3.84%)- ආසන 3

දෙමළ ජාතික සන්ධානය- 327,168 (2.82%)- ආසන 10

එක්සත් ජාතික පක්ෂය- 249,435 (2.15)- ආසන 1

කවරයේ ඡායාරූපය- Sri Lanka Mirror 

මූලාශ්‍රයයන්- මැතිවරණ ප්‍රතිඵල- මැතිවරණ දෙපාර්තමේන්තුව

Related Articles