Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ

1947-1977 කාල සමය තුළ අප රටේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ යි. එම නියෝජන ක්‍රමයේ තිබුණු විවිධ අඩුපාඩු නිසා 1977 වසරේ දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදුන්නා. එම නිසා 1989 වසරේ දී පැවැත්වුණු මහා මැතිවරණය ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යි. එදා සිට අද දක්වා එම නියෝජන ක්‍රමය යටතේ මහා මැතිවරණ 7ක් පවත්වා තිබෙනවා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණ පිළිබඳ තොරතුරු යි.

1989 මහා මැතිවරණය

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර දින කිහිපයක් ගතවෙද්දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා යි. මහා මැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් 1989 වසරේ ජනවාරි 6 වැනිදා පිළිගත් දේශපාලන පක්ෂ 23ක නාම යෝජනා මැතිවරණ කොමිසම විසින් පිළිගනු ලැබුවා. එය සමානුපාතික ක්‍රමය යටතේ පැවති පළමු මහා මැතිවරණය නිසා ඡන්ද දායකයන්ට සහ අපේක්ෂකයන්ට නවතම අත්දැකීමක් වුණා. එදා රට පුරා ඇතිව තිබූ භීෂණකාරී වටපිටාවෙන් ප්‍රයෝජනගත් විවිධ පාර්ශවයන් මැතිවරණ දිනයේ දී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරනු ලැබුවා. එම නිසාම ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 63.60% ලෙසින් සටහන් වුණා. 

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සිය උපරිම ජවය යොදවා තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට මාස 3කටත් අඩු කාලයක් තුළ පැවැත්වුණු මහා මැතිවරණයට මුහුණදුන්නේ ඉතාමත් අසීරුවෙන්. එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1988 ජනාධිපතිවරණයේ දී ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය, සහ යාපනය යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර තිබුණා. එම නිසා 1989 මහා මැතිවරණයේ දී ඔවුන් ලැබූ පරාජය දැවැන්ත එකක් වුණා. පහත දැක්වෙන්නේ මැතිවරණය අවසානයේ දී ප්‍රධාන පක්ෂ 2ක ලබාගත් ආසන ප්‍රමාණය යි. 

එක්සත් ජාතික පක්ෂය   

ඡන්ද – 2,838,505

ඡන්ද ප්‍රතිශතය- 50.71%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 110

ජාතික ලැයිස්තුවෙන් ආසන – 15

මුළු ආසන – 125

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 

ඡන්ද – 1,785,369

ඡන්ද ප්‍රතිශතය- 31.90%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 58

ජාතික ලැයිස්තුවෙන් ආසන – 9

මුළු ආසන – 67

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය- 13

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ- 10

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 4

රණසිංහ ප්‍රේමදාස (gettyimages)

1994 මහා මැතිවරණය 

1994 මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගනු ලැබුවේ ජූලි 11 වැනිදා යි. මැතිවරණය පැවැත්වීම සඳහා නිර්දේශ වුණේ අගෝස්තු 16 වැනිදා යි. එවර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76.24%ක් ලෙසින් සටහන් වුණා. 

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට වඩාත් හිතකර වුණු මහනුවර, නුවරඑළිය, බදුල්ල, දිගාමඬුල්ල, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර තිබුණා. එසේම එක්සත් ජාතික පක්ෂය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම මැතිවරණයේ දී බහුතර බලයක් ලබාගත් පොදුජන එක්සත් පෙරමුණ උතුරු/නැගෙනහිර දිස්ත්‍රික්ක හැර දකුණේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ජයග්‍රහණය කර තිබුණා. පහත දැක්වෙන්නේ මැතිවරණය අවසානයේ දී ප්‍රධාන පක්ෂ 2ක ලබාගත් ආසන ප්‍රමාණය යි. 

පොදුජන එක්සත් පෙරමුණ 

ඡන්ද – 3,887,823

ඡන්ද ප්‍රතිශතය- 48.94%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 91

ජාතික ලැයිස්තුවෙන් ආසන – 14

මුළු ආසන 105

එක්සත් ජාතික පක්ෂය   

ඡන්ද – 3,498,370

ඡන්ද ප්‍රතිශතය- 44.04%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 81

ජාතික ලැයිස්තුවෙන් ආසන – 13

මුළු ආසන – 94

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 9

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 7

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ- 5

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

2000 මහා මැතිවරණය 

2000 වසරේ පැවති මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගනු ලැබුවේ අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා යි. මැතිවරණය පවත්වනු ලැබුවේ ඔක්තෝබර් 10 වැනිදා යි. එම කාල සමය වන විට ජනතා විමුක්ති පෙරමුණ තුන්වන බලවේගයක් ලෙස සැලකිය යුතු ජනතා ආකර්ෂණයක් දිනාගෙන තිබුණා. 

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට වඩාත් හිතකර දිස්ත්‍රික්කවලින් කොළඹ, බදුල්ල, පමණක් ජයග්‍රහණය කරන විට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙක පරාජයට පත්ව තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. නමුත් එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට සහ පොළොන්නරුව යන අවාසිදායක දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබුණු බවත් මෙහි දී සඳහන් කළ යුතු යි.  එම මැතිවරණයේ දී බහුතර බලයක් ලබාගත් පොදුජන එක්සත් පෙරමුණ දිගාමඬුල්ල, ත්‍රිකුණාමලය යන නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකත් සමගින්   දකුණේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ජයග්‍රහණය කර තිබුණා. පහත දැක්වෙන්නේ මැතිවරණය අවසානයේ දී ප්‍රධාන පක්ෂ 2ක ලබාගත් ආසන ප්‍රමාණය යි. 

පොදුජන එක්සත් පෙරමුණ 

ඡන්ද – 3,900,901

ඡන්ද ප්‍රතිශතය- 45.11%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 94

ජාතික ලැයිස්තුවෙන් ආසන – 13

මුළු ආසන – 107

එක්සත් ජාතික පක්ෂය   

ඡන්ද – 3,477,770

ඡන්ද ප්‍රතිශතය- 40.22%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 77

ජාතික ලැයිස්තුවෙන් ආසන – 12

මුළු ආසන – 89

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

ජනතා විමුක්ති පෙරමුණ- 10

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ- 5

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 4

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 4

2001 මහා මැතිවරණය 

2000 වසරේ දී බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණු රජය වසරක් ඇතුළත පෙරළා දැමීමට විපක්ෂයට හැකි වුණා. එම නිසාම 2001 වසරේ දී පැවති මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගනු ලැබුවේ ඔක්තෝබර් 20 වැනිදා සිට ඔක්තෝබර් 27 වැනිදා දක්වා යි. මැතිවරණය පැවැත්වීම සඳහා නිර්දේශ වුණේ  දෙසැම්බර් 5 වැනිදා යි. එවර මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 8කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තේ ප්‍රධාන පක්ෂ 2කටම ප්‍රබල අභියෝගයක් වෙමින්. 

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළේ මොණරාගල දිස්ත්‍රික්කය පමණ යි. එක්සත් ජාතික පක්ෂය අනෙකුත් සියලුම දකුණේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළා. එසේම ඔවුන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කළා.

එක්සත් ජාතික පක්ෂය  

ඡන්ද – 4,086,026

ඡන්ද ප්‍රතිශතය- 45.62%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 96

ජාතික ලැයිස්තුවෙන් ආසන – 13

මුළු ආසන – 109

පොදුජන එක්සත් පෙරමුණ 

ඡන්ද – 3,330,815

ඡන්ද ප්‍රතිශතය- 37.19%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 66

ජාතික ලැයිස්තුවෙන් ආසන – 11

මුළු ආසන – 77

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

ජනතා විමුක්ති පෙරමුණ- 16

දෙමළ ජාතික සන්ධානය- 15

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 5

2004 මහා මැතිවරණය 

2001 වසරේ දී බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මාස 27කින්  කින් විසුරුවා හැරීමට එවකට ජනාධිපතිනිය ලෙසින් කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක තීරණය කරනු ලැබුවා. ඒ අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිර්දේශ වුණේ 2004 වසරේ අප්‍රේල් 2 වැනිදා යි. එවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට තීරණය කළා. 

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී දකුණේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන පක්ෂ 2ක අතර කරට කර සටනක් පැවතුණා. එහි දී එක්සත් ජාතික පෙරමුණ කොළඹ, මහනුවර, නුවරඑළිය, සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන විට අනෙකුත් දකුණේ දිස්ත්‍රික්ක සියල්ලම ජයග්‍රහණය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යි. සුපුරුදු පරිදි දෙමළ සහ මුස්ලිම් පක්ෂ උතුරු/නැගෙනහිර දිස්ත්‍රික්කවල බලය හිමිකරගන්නා විට දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

ඡන්ද – 4,223,970

ඡන්ද ප්‍රතිශතය- 45.60%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 92

ජාතික ලැයිස්තුවෙන් ආසන – 13

මුළු ආසන – 105

එක්සත් ජාතික පෙරමුණ  

ඡන්ද – 3,504,200

ඡන්ද ප්‍රතිශතය- 37.83%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 71

ජාතික ලැයිස්තුවෙන් ආසන – 11

මුළු ආසන – 82

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

දෙමළ ජාතික සන්ධානය- 22

ජාතික හෙළ උරුමය- 9

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 5

2010 මහා මැතිවරණය 

යුධ ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව පැවති 2010 මහා මැතිවරණය පැවැත්වුණේ අප්‍රේල් 8 වැනිදා යි. එම කාල වකවානුව වන විට ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී තිබුණා. නමුත් යුධ ජයග්‍රහණය හේතුවෙන් ලැබී තිබුණු ජනතා ආකර්ෂණය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එය වඩාත් වාසිදායක මැතිවරණයක් වුණා.

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණේ සියලුම දිස්ත්‍රික්කයන් පහසුවෙන්ම ජයග්‍රහණය කළා. ඊට අමතරව දිගාමඬුල්ල, සහ ත්‍රිකුණාමලය යන නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකත් ජයග්‍රහණය කළා. එදා වාර්තාගත ජයක්  හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් පක්ෂය ලෙසින් ඉතිහාසගත වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

ඡන්ද – 4,846,388

ඡන්ද ප්‍රතිශතය- 60.33%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 127

ජාතික ලැයිස්තුවෙන් ආසන – 17

මුළු ආසන – 144

එක්සත් ජාතික පෙරමුණ 

ඡන්ද – 2,357,057

ඡන්ද ප්‍රතිශතය- 29.34%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 51

ජාතික ලැයිස්තුවෙන් ආසන – 9

මුළු ආසන – 60

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

දෙමළ ජාතික සන්ධානය- 14

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය- 7

මහින්ද රාජපක්ෂ (gettyimages)

2015 මහා මැතිවරණය 

අවසන් වරට 2015 වසරේ මහා මැතිවරණයක් පැවැත්වුණේ ශ්‍රී ලංකා දේශපාලන පිටිය තුළ අවුල් වියවුල් රැසක් නිර්මාණය වී තිබුණු පසුබිමක යි. අගෝස්තු 17 වැනිදා පැවති එම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම දිගු කලකට පසුව බලය ලබාගැනීමට සමත් වුණා.

මැතිවරණ ප්‍රතිඵල සාරාංශය 

එවර මහා මැතිවරණයේ දී දකුණේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන පක්ෂ 2ක අතර කරට කර සටනක් පැවතුණා. එහි දී එක්සත් ජනතා නිදහස් සන්ධානය  ගාල්ල, මාතර, හම්බන්තොට, රතනපුර, කළුතර, අනුරාධපුරය, මොණරාගල, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන් ජයග්‍රහණය කරන විට අනෙකුත් දකුණේ දිස්ත්‍රික්ක සියල්ලම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පෙරමුණ යි. සුපුරුදු පරිදි දෙමළ සහ මුස්ලිම් පක්ෂ උතුරු/නැගෙනහිර දිස්ත්‍රික්කවල බලය හිමිකරගන්නා විට දිගාමඬුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජයග්‍රහණය ද හිමි වුණේ එක්සත් ජාතික පෙරමුණට යි. 

එක්සත් ජාතික පෙරමුණ 

ඡන්ද – 5,098,916

ඡන්ද ප්‍රතිශතය- 45.66%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 93

ජාතික ලැයිස්තුවෙන් ආසන – 13

මුළු ආසන – 106

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

ඡන්ද – 4,732,664

ඡන්ද ප්‍රතිශතය- 42.38%

දිස්ත්‍රික් පදනමෙන් ආසන – 83

ජාතික ලැයිස්තුවෙන් ආසන – 12

මුළු ආසන – 95

පහත දැක්වෙන්නේ එම පක්ෂවලට අමතරව වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අනෙකුත් පක්ෂ යි.

දෙමළ ජාතික සන්ධානය- 16

ජනතා විමුක්ති පෙරමුණ- 6

දිවයිනේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් 

පහත දැක්වෙන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පැවති එක් එක් මහා මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා යි. 

1989- ලලිත් ඇතුලත්මුදලි (එක්සත් ජාතික පක්ෂය/කොළඹ දිස්ත්‍රික්කය)- 235,447

1994- චන්ද්‍රිකා බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ/ගම්පහ දිස්ත්‍රික්කය)- 464,588

2000- රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය/කොළඹ දිස්ත්‍රික්කය)- 363,668

2001- රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය/කොළඹ දිස්ත්‍රික්කය)- 415,686

2004- රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය/කොළඹ දිස්ත්‍රික්කය)- 329,524

2010- බැසිල් රාජපක්ෂ (එක්සත් ජනතා නිදහස් සන්ධානය/ගම්පහ දිස්ත්‍රික්කය)- 425,861

2015- රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය/කොළඹ දිස්ත්‍රික්කය)- 500,566

රනිල් වික්‍රමසිංහ (gettyimages)

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍ර‍යයන්- General Election Results 1989-2015 (Election Department)

Related Articles