Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආතර් ෂෝක්‍රොස් – රාත්තල් 300ක මාරකයක්

ඇමෙරිකානු ජාතික ආතර් ෂෝක්‍රොස් විසිවන සියවසෙහි ඇමරිකාව දුටු දරුණුම ගණයේ දාම ඝාතකයෙකු ලෙස සැලකෙනවා. ගැටවර වියේ දී දේපළ ගිණි තැබීම වැනි කඩාකප්පල් ක්‍රියාවලින් ඇරඹි ඔහුගේ කරදරකාරී ක්‍රියාකාරකම් කෙටි කලකින්ම පෙදෙසක් තැතිගැන්වූ මනුෂ්‍ය ඝාතන දක්වා මුහුකුරා ගියා. මේ ඔහුගේ කතාව යි.

හැඳින්වීම

1945 වසරේ ජුනි මස 6 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයෙහි උපන් ආතර් ෂෝක්‍රොස් හට කුඩා කළ සිටම තිබුණේ එතරම් යහපත් හැසිරීමක් නොවේ. ඔහු නිතරම තමන් කළ කී දේ සම්බන්ධයෙන් මුසා බස් තෙපළූ අතර, තරහ පැමිණි විට ජනෙල් වීදුරු කුඩු කරන්නටත්, පසුකාලීනව ඔහුගේ බිරියන්ට පහර දෙන්නටත් කටයුතු කළා. සිය ජීවිත කාලය තුළ ඔහු මනුෂ්‍ය ඝාතන 13ක් සිදුකර ඇති අතර ඒවා වසර 17ක කාලයක් තුළ සිදුකර තිබුණා.

ආතර් ෂෝක්‍රොස්- factrepublic.com

ෂෝක්‍රොස් ව්විධාකාරයේ අන්වර්ථ නාම කිහිපයකින්ම හැඳින්වෙනවා. ගංගාවේ අමනුෂ්‍යයා, ජෙනසි නදියේ ගෙල සිර කරන්නා, ජෙනසි නදියේ ඝාතකයා ඉන් කිහිපයක්. ඔහු විශාල ශරීරයක් තිබූ අයෙකු වූ අතර අඩි 6කට වඩා උස හා රාත්තල් 300කට වඩා බරැති අයෙකු වුණා. ඔහුගේ උත්තුංග ශරීරය හා කාය ශක්තිය අපරාධ කිරීමෙහි ලා ඔහු මොනවට යොදාගත්තා.

කුඩා කල

ආතර් ෂෝක්‍රොස් උරුමකම් කීවේ අයහපත් ළමා කාලයකට යි. සිය නෑසියන්ගෙන් ක්‍රූර අඩන්තේට්ටම්වලට ඔහු ලක් වී තිබූ අතර, මේ නිසා ඔහුගේ මුල් ළමා විය සංවර්ධනය වීම යහපත් ලෙස සිදුවුණේ නැහැ. 11 වියැතිව සිටිය දී කෙමෙන් කෙමෙන් ඔහු හට ලිංගික හැඟීම් මෝදු වූ අතර සමලිංගිකත්වය හා අඩන්තේට්ටම් කිරීම ද ඇතුළු අත්හදා බැලීම් කරන්න්ට ඔහු පෙළැඹෙනවා.

ෂෝක්‍රොස් මේ සමයේ දී ඉතා දැඩි ලෙස බොරු කියන්නට ද වූ අතර නිතර නිතර කියනා දේ වෙනස් කරන්නට වූ නිසා ඔහු අවට හුන් බොහෝ දෙනා අපහසුතාවයට ළක් වුණා.

තුරුණු වියේ දී – Youtube

විවාහ හා යුධ සමය

1967 වසරේ ඔක්තෝබරයේ දී ෂෝක්‍රොස් හමුදාවට අනුයුක්ත කෙරෙන අතර වියට්නාම යුධ පෙරමුණට යන්නට සිදුවෙනවා. මේ වන විට ඔහු යන්තම් 22 වැනි විය සපිරූ තරුණයෙක් වුව ද, ඒ වන විටත් දෙවරක් විවාහ වී ඒ ද්විත්වයෙන්ම වෙන්වී සිටියා. මේ විවාහ දෙකම බිඳවැටීමට හේතු වී තිබුණේ ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හා දැඩි අඩන්තේට්ටම්වලට බිරියන් ලක් කිරීම යි.

1968 වසරේ දී මුල්ම වතාවට ෂෝක්‍රොස් සිරභාරයට ගැනෙන්නේ දේපොළ ගිණිතැබීමේ සිද්ධියක් කරණකොට ගෙන යි. මේ නිසා දෙවසරක් සිපිරිගෙයි තපින්නට ඔහුට සිදුවුණා. ඔහු ඉන් ඉවතට ආවේ තවත් ප්‍රචණ්ඩ වීමෙන් පසුව යි.

ඝාතන සිද්ධීන්

සිරෙන් නිදහස් වී පැමිණි ෂෝක්‍රොස් කෙටි කලක් ගත වෙද්දීම සිය පළමුවන මිනිස් ඝාතනය සිදුකරනවා. 1972 වසරේ අප්‍රේල් මස 7 වන දා ඔහුගේ අසල්වාසී දස වියැති දරුවෙකු වන ජැක් බ්ලේක් මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටිය දී අතුරුදන් වෙනවා. මේ වන විට ෂෝක්‍රොස් සිය තෙවන විවාහය ද කරගෙන තිබූ අතර බිරිය ගැබ්ගෙන ද සිටියා. මාස 5කට පසු බ්ලේක්ගේ සිරුර හමුවන අතර ඔහු ලිංගික අඩන්තේට්ටම්වලට ලක්ව තිබුණා. මේ තදාසන්නවම ෂෝක්‍රොස් කේරන් ඈන් හිල් නම් අට හැවිරිදි දැරියක ද අඩන්තේට්ටම් කොට ඝාතනය කරනවා.

ෂෝක්‍රොස් විසින් සිදුකළ ඝාතනයක් විමර්ශනය කරමින්- democratandchronicle.com

උක්ත මිනිමැරුම් දෙක සඳහා සැකපිට ෂෝක්‍රොස් පොලිස් භාරයට ගැනෙන අතර, චෝදනාවලට වරදකරු වූ ඔහුට වසර 25ක සිර දඬුවමක් නියම වෙනවා. කෙසේ නමුත් වසර 15කට පසු ඔහුට නිදහස ලැබෙන අතර 1987 වසරේ සිපිරි ගෙයින් නික්මෙන විටත් මිනී මැරීමේ චේතනාව ඔහු කෙරෙන් දුරස් වී තිබුණේ නැහැ.

සිරෙන් නිදහස් වූ ෂෝක්‍රොස් සිව්වැනි විවාහයක් ද කරගන්නා අතර එම යුවල රොචෙස්ටර් නුවරට සංක්‍රමණය වෙනවා. මේ අතර ඇමෙරිකානු අධිකරණය එක්තරා තීන්දුවක් ගන්නවා. ඒ ෂෝක්‍රොස් දැන් දඬුවම් විඳ අවසන් නිසා ඔහු පිළිබඳව දැනගතහොත් ඔහුගේ අසල්වාසීන් නොසන්සුන් වනු ඇතැ යි සිතා ඔහුගේ අපරාධමය වාර්තා මුද්‍රා තබා පසෙකට දැමීම යි. මේ නිසා රොචෙස්ටර්හි වැසියන් 12 දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න්නට වේයැ යි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැහැ.

1988 වසරේ මාර්තු මාසයේ දී ෂෝක්‍රොස් නැවතත් මිනිස් ඝාතන සිදුකිරීම පටන්ගන්නවා. එම වසරේ මාර්තු මස 24 වන දා ප්‍රදේශයේ විසූ ගණිකාවක වූ ඩොරති බ්ලැක්බර්න් නම් 27 හැවිරිදි නැනැත්තිය ගෙල සිරකොට ඝාතනය කරන ඔහු අනතුරුව ඇයගේ සිරුර ජෙනසි නදියට තල්ලු කරනවා. ඇගේ සිරුර දඩයක්කරුවන් කිහිපදෙනෙකුට හමුවන්නේ එහි පාවෙමින් තිබිය දී යි. ඉන් අනතුරුව උදා වූ වසර 2ක කාලය තුළ මේ ආකාරයටම ඔහු විසින් ඝාතන කිහිපයක්ම සිදුකරන අතර ඒ එක් අවස්ථාවක දී වත් ඔහු පොලිසියට හසුවන්නේ නැහැ. රොචෙස්ටර් පෙදෙස හා ජෙනසි නදිය අසබඩ ගැවසෙන මේ “අද්භූත ඝාතකයා” සෙවීමට එහි පොලිසිය වෙහෙසුණු අතර, ඒ ඝාතන සියල්ලේම යම් රටාවක් අධ්‍යනය කළ ඔවුන්  ඝාතකයා හඳුනාගනු වස් එෆ්.බී.අයි ආයතනයේ සහාය පතනවා. මෙහිදී කිහිප දෙනෙකු සැක පිට පරීක්ෂා කළ ද ෂෝක්‍රොස් ඒ ගොන්නට අයත් නොවූයේ ඔහු පිළිබඳ වාර්තා ඒ වන විට මුද්‍රා තබා තිබූ නිසා යි.

හසුවීම හා අවසානය

නඩු විභාගය අතරතුර- panicamongus.com

1989 වසරේ දෙසැම්බර් හා 1990 වසරේ ජනවාරි මස තවත් මළසිරුරු දෙකක් ජෙනසි නදිය අසබඩ තිබී හමුවුණා. මේවා පිළිබඳව පොලිසිය ඉතා අවධානයෙන් සිටි අතර 1990 වසරේ ජනවාරි මස දෙවන දා හදිසියේම ඔවුනට යම් ‘පොටක් පෑදෙනවා’. එදින මළසිරුරක් සොයා මෙහෙයුම් කරන අතරතුර හෙලිකොප්ටරයක වූ නියමුවෙක් මළ සිරුර දර්ශනය කරගන්නට සමත් වන අතර ඒත් සමගම ඒ අසල පාළමකට වී ඒ දෙස බලා සිටින මිනිසෙක් ද ඇස ගැටුණා. ඒ අසල කුඩා වාහනයක් ද තිබූ අතර නියමුවා වහා එහි අංක පුවරුවේ තොරතුරු සටහන් කරගත්තා. ඒ මොහොතේ පොලිසිය එතැනට පැමිණෙන විට එම මිනිසා ඉන් ඉවත්ව ගොස් සිටි මුත් අංක තහඩු විස්තරය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා එහි අයිතිකරු පොලිස් භාරයට ගන්නට ඔවුන් සමත් වෙනවා. ඒ අන් කවරෙකුත් නොව ආතර් ෂෝක්‍රොසුයි. බන්ධනාගාරගතව සිටිය දී ඔහුගේ සියළු අතීත තොරතුරු ගෙන්වාගත් පොලිසිය ඒවායේ බරපතල බව දැක ඔහු ප්‍රශ්න කිරීම්වලට බඳුන් කළ අතර, අවසානයේ පාපොච්ඡාරණයක් කරමින් ඔහු තමන් සිදුකළ ඝාතන එසේ කළායැ යි පිළිගන්නවා.

නඩු විහාගයකින් අනතුරුව ආතර් ෂෝක්‍රොස් 250 වසරක් සිපිරිගෙට නියම වන අතර සිරගතව සිටිය දීම 2008 වසරේ දී මියයනවා. ඒ වන විට ඔහු 63 වන වියෙහි පසුවුණා.

Related Articles