ලෝක ඉතිහාසය පිරික්සන විට රට රටවල් අල්ලාගත් නරපතීන් හා අධිරාජයන් ගණනාවක් හමු වෙනවා. මේ අතරින් මොංගෝලියානු අධිරාජ්‍යයේ නිර්මාතෘ ජිංගිස් ඛාන්ට හිමිවන්නේ ප්‍රමුඛතම තැනක් (ඇතැම්විට ඔහුගේ නම ගෙංගිස් ඛාන් ලෙස ද උච්චාරණය කරනු ලබනවා). ආසියාවෙන්ද නොනැවතී යුරෝපයේ එලිපත්ත දක්වාම​ සිය බළය තහවුරු කරගෙන ඉතිහාසයේ සටහන් විශාලතම අධිරාජ්‍යයක් ගොඩනැඟූ මොහුගෙන් වර්තමාන පාලකයන්ටද ගත හැකි ආදර්ශ බොහොමයි.

ක්‍රි.ව. 13-14 වන සියවස් වල ලෝකය පුරාම සිය බල පරාක්‍රමය පැතිරූ මොංගෝලියානු අධිරාජ්‍යය නිර්මාණය කළ තැනැත්තා ලෙස ජිංගිස් ඛාන් ඉතිහාසගත වනවා. වපසරිය අතින් උපරිමයකට පැමිණි සමයේදී මොංගෝලියානු අධිරාජ්‍යයට​ මධ්‍යම ආසියාවේ බහුතර පෙදෙසක්ද, චීනයද, වියට්නාමය, සිරියාව, කොරියාව හා පෝලන්තයේ කොටස්ද අයිති වුණා. මේ කාලයේදී මොංගෝලියානු අධිරාජ්‍ය වර්ග කිලෝමීටර මිලියන 11-12 පමණ ප්‍රමාණයක විහිදී තිබුණු බව සඳහන්.

ආක්‍රමණිකයෙකු වශයෙන් සිය ආක්‍රමණ වලදී මිනිස් ඝාතන රැසකට වගකිවයුතු වුවද ජිංගිස් ඛාන් සිය යටත් විජිත වල වෙසෙන්නන්ට ආගමික නිදහස ලබා දුන් අතර අනවශ්‍ය වද හිංසා වලට භාජනය වීමෙන්ද වැලැක්වූවා. මොහු රට රටවල වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට සහයෝගය දැක්වූ අතර ලොව ප්‍රථම අන්තර්ජාතික තැපැල් සේවාවද නිර්මාණය කළා.අධිරාජ්‍යය පුරාම තැපැල්හල් පිහිටවනු ලැබූ අතර ලිපි බෙදාහැරීම හා ප්‍රවාහනය සඳහා අශ්වයින්, බූරුවන්, ගවයින්, බල්ලන් වැනි සතුන් මෙන්ම ගංගා තරණයට බෝට්ටුද යොදා ගැණුනා. මේ නිසා ලෝක ඉතිහාසයේ සමහර තැන් වල ඔහුගේ නම සතුරු ආක්‍රමණිකයෙක් ලෙස ලියැවෙද්දී තවත් තැනක අති සාර්ථක අධිරාජයෙකු ලෙස ලියැවී තිබෙනවා.

කුඩා කාලය

ජිංගිස් ඛාන් උත්පත්තිය ලබන්නේ 1162 දී මධ්‍යම මොංගෝලියාවේ බෝජිගින් ගෝත්‍රයට අයත්වයි. ඔහුගේ පරපුර ක්‍රි.ව 1100 වැනි කාලයකදී කෙටි කාලයක් උතුරු චීනයේ ජින් අධිරාජ්‍යට එරෙහිව මොංගෝලියානුවන් එක්සේසත් කල කාබුල් ඛාන්ගෙන් පැවත එන්නක්. උපතින් ‘ටෙමුජින්’ ලෙස නම් ලද මොහු උපත ලබන විට ලේ කැටියක් අතෙහි රඳවාගෙන සිටි බවට සඳහන් වන අතර නැකැත් කරුවන් ඔහු අධිරාජ්‍යයෙකු වන බවට අනාවැකි පළ කළා.

ටෙමුජින් හා බිරිඳ බෝර්ටේ ගේ චරිත දැක්වෙන Mongol (2007) චිත්‍රපටයේ දසුනක්-readthespirit.com

ගෝත්‍රික රැහේ ප්‍රාදේශීය නායකයා ලෙස ක්‍රියා කළ ටෙමුජින්ගේ පියා තමන් දන්නා හඳුනන නිවසක (පසු කලෙක ඔහුගේ බිරිඳ වූ බෝර්ටේගේ නිවසේ) ටෙමුජින්ව නතර කර නැවත එන ගමනේදී ඔහුට විරුද්ධ ගෝත්‍රික පිරිසක් විසින් දෙන ලද විෂ පොවන ලද ආහාරයක් අනුභව කිරීමෙන් මිය යනවා. මේ වන විට 9 වන වියෙහි පසු වූ කුඩා ටෙමුජින් සිය රැහැ වෙත පැමිණ පියා වෙනුවට නායකයා වීමට සූදානම් වුවත් කිසිවෙක් මේ කුඩා දරුවා සිය නායකයා කර ගැනීමට කැමති වෙන්නේ නැහැ.මින්පසු ගතවූ කාළය ඔහුගේ ජීවිතයේ කටුක ම කාළයක් බව සඳහන් වනවා. වයස අවුරුදු 16 දී ටෙමුජින් විවාහ වෙනවා.වෙනත් මිතුරු ගෝත්‍රයකට අයත් ඔහුගේ බිරිඳ බෝර්ටේ එවකට 17 වන වියේ පසු වුණා. නොබෝ කලෙකින්ම බෝර්ටේ මර්කිට් (Merkit) ගෝත්‍රිකයන් විසින් පැහැරගන්නා අතර ඔවුන්ගේ අයෙකුට බලෙන්ම විවාහ කර දෙනවා. නමුත්  සිය මිතුරා වන ජමුකාගේ සහායද ඇතිව සේනා සංවිධානය කරගන්නා ටෙමුජින් ඇයව ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන නැවත ගෙන එන අතර ඉන් නව මසකට පසු ඇය පුත්‍රයෙකු බිහි කරනවා. ඔහුගේ පියා ටෙමුජින්ද නැතිදැයි විවාදයක් පැවතුනත් ටෙමුජින් එම දරුවා තමන්ගේම දරුවෙක් ලෙස පිලිගන්නවා.

මොංගෝලියාවේ පාලකයා දක්වා

කුඩාකළ සිට නායකයෙකු වීමේ ආශාව හා හැකියාව කුඩා ටෙමුජින් කෙරෙන් දිස් වුණා. එක වරක් ඔහු තම අඩ සොහොයුරාව ඝාතනය කරන්නේ සිය පවුලේ නායකයා වීම සඳහායි. මොහුට වයස අවුරුදු 20 දී සිය පවුලේ පැරණි සතුරන් පිරිසක් විසින් මොහුව ග්‍රහණයට ගන්නවා. කෙටි කාලයක් සිරකර තබාගෙන සිටියත් ඉන් මිදී පැමිණෙන මොහු සිය සොහොයුරන් හා සහචරයන් පිරිසක් කැටුව කුඩා කණ්ඩායමක් තනා ගන්නවා. මේ ආරම්භය ඉතා කෙටි කාලයක් තුල 20000 ක පමණ බල සේනාවක් දක්වා ගෙන යාමට ටෙමුජින් සමත් වෙනවා. සිය පියා ඝාතනය කළ සතුරන්, තමන්ව ග්‍රහණයට ගත් සතුරන් ඇතුළු විවිධ රුපු සෙන් පරයමින් කෙටි කළකින්ම මොංගෝලියානුවන් ඒකඡත්‍ර කිරීමට මොහු සමත් වෙනවා.

ටෙමුජින් පසු කලෙක ප්‍රජාතන්ත්‍රවාදී ඝනයේ පාලකයෙක් වුවත් ඔහුගේ තරුණ කාලය ගත වෙන්නේ දැඩි ආකාරයටයි. ඉතාම උපක්‍රමශීලීව සිය හමුදා ශක්තිමත් කරගනිමින් ප්‍රදේශ අත්පත් කරගත් තෙමුජින් සිය පියා ඝාතනය කළ සතුරු ගෝත්‍රයෙන්ම පළි ගන්නේ එයට අයත් අඩි 3ට වඩා උසින් යුතු සියළුල්ම පිරිමින් ඝාතනය කරන ලෙස අණ කිරීමෙන්.ඉන්පසු තමන්ව පැහැරගත් ගෝත්‍රය දෙසට හැරෙන මොහු ඔවුන්වද පරාජය කරන්නේ සිය දක්ෂ අශ්වාරෝහක හමුදාවේ පිහිටෙන්. ටඉචි-උට් (Taichi’ut) නමින් හැඳින්වුණු එම ගෝත්‍රයේ නායකයින් ඔහු පණ පිටින් තම්බා දමනවා. ක්‍රිව 1206 වන විට මොංගෝලියානු භූමියේ එවකට සිටි ප්‍රභලම ගෝත්‍රයක් වන නඉමන් (Naiman) ගෝත්‍රයද පරාජය කරන්නට ටෙමුජින් සමත් වන්නේ නැඟෙනහිර හා මධ්‍යම මොංගෝලියාවේ බළය තමන් වෙත තහවුරු කරගනිමින්.

මේ බලය තහවුරු කරගැනීමේදී ජිංගිස් ඛාන්ට එක් අසීරු තීරණයක් ගැනීමට සිදු වෙනවා. කුඩා කළ සිට තමන් සමඟ සොයුරෙක් සේ එකට බැඳී සිටි ජමුකා සමඟ සටන් කරන්නට ඔහුට සිදු වෙනවා. එක් කුස නොඉපදුණද සොහොයුරන් ලෙස ලෙයින් ගිවිසාගෙන සිටි ඔවුන් දෙදෙනාටම අධිරාජ්‍යයෙකු වීමේ නොතින් ආශාව තිබූ නිසා පසු කළෙක පරම සතුරන් බවට පත් වෙනවා.සිය බිරිඳ වන බෝර්ටේ සතුරු ගෝත්‍රයක් විසින් පැහැරගනු ලැබූ අවස්ථාවේදී ඇය බේරාගන්නට සහය දුන්නේ ජමුකා වුවත් බල ලෝභීත්වය නිසා ඉක්මනින්ම ඔවුන් අතර විරසක ඇති වෙනවා. ක්‍රි.ව 1187 දී ටෙමුජින්ගේ බලකායට එරෙහිව දලන් බල්සුත් (Dalan Bhalzut) හීදී සටනක් දියත් කර ඉන් ජයගන්නා ඔහු ටෙමුජින්ගේ සෙබළුන් කිහිප දෙනෙක්ම කල්දේරම් වල බහා පණපිටින් තම්බන්නේ ටෙමුජින්ට ඔහු කෙරෙහි බද්ධ වෛරයක් ඉතිරි කරමින්. කොටින්ම මොංගෝලියාව තමන්ගේ යටතේ ඒකඡත්‍ර කිරීමේ සටනේදී ජිංගිස් ඛාන් හෙවත් ටෙමුජින්ට විරුද්ධ වන පාර්ශව සිය නායකයා හැටියට තෝරාගන්නේ ජමුකාවයි. ක්‍රි.ව 1201 සටනින් ටෙමුජින්ට පරාජය වන ජමුකා සැඟවී සිට සේනා සංවිධානය කර 1203-1204 වසර වල ඔන්ග් ඛාන් සමඟ ටෙමුජින්ට එරෙහිව නැවත සටනට එන මුත් පරාජය වෙනවා. නොබෝ දිනකින් සැඟවී සිටියදී ටෙමුජින්ට ජමුකාව හසු වන අතර නැවත මිතුරන් වීමට කල ආරාධනය පිළි නොගැනීම හේතුවෙන් ඔහුව මරා දමනු ලබනවා.

මොංගෝලියාවේ ස්ථාපිත ජිංගිස් ඛාන් ප්‍රතිමාවක්-Alastair Rae/Wikipedia

ජිංගිස් ඛාන් මේ තරම් යුධමය වශයෙන් සාර්ථක වුණේ පිරිස් බලයටත් වඩා උපාය ඥානයෙහි දක්ශයෙකු වූ නිසායි. සිය සතුරාගේ උපක්‍රම හඳුනාගැනීම සඳහා හොඳින් පැතිරුණු ශක්තිමත් ඔත්තු සේවාවක් අනුයුක්ත කළ මොහු ඉතා ඉකමණින් සතුරු සේනා වල නවීන යුධෝපක්‍රම වලට අනුගත වෙනවා. සිය භට කණ්ඩායම් වලට නිසි පුහුණුවත් දියුණු අවි ආයුධත් ලබා දුන් මොහු සතුරාට හසු නොවන දියුණු පණිවිඩ ක්‍රම හා දියට නොතෙමෙන පැසවල් සිය සේනාවට ලබා දීමට තරම් උපක්‍රමශීලී වී තිබුණා. යුධ සේනාවට අමතරව ඔවුනට සාත්තු කිරීමට වෙදුන්ද, යුධ සැලසුම් කිරීමට හා සටහන් තැබීම සඳහා ශක්‍යතාවය ඇති අයවලුන්ද සිය සේනාවට එක් කර ගැනීමට ජිංගිස් ඛාන් අමතක කොට තිබුණේ නැහැ.

මොන්ගෝලියානු ගෝත්‍ර කීපයක්ම යටත් කර ගැනීමෙන් පසු ඉතිරි ගෝත්‍රයන් ටෙමුජින් සිය නායකයා ලෙස පිළිගැනීමට එකඟ වෙනවා. ඒ අනුව මොංගෝලියාව එක්සේසත් වෙනවා. ඔවුන් එකතු වී ටෙමුජින්ට ‘ජිංගිස් ඛාන්’ යන නම තබනවා. එහි අර්ථය ‘ලෝක පාලකයා’ යන්නයි.

ලෝක අධිරාජ්‍යයෙකු දක්වා ගිය ගමන

සම්පූර්ණ මොංගෝලියාවේ පාලකයා වශයෙන් පත් වූ පසු ජිංගිස් ඛාන් වෙතින් ඉතා බුද්ධිමත් පාලකයෙකුගේ ලක්ෂණ පෙන්නුම කෙරෙන්නට පටන් ගැනෙනවා. ඔහු ගෝතික සමාජ අතර ඝට්ට්න අඩු කරන්නට සියළුම වංශවත් තානාන්තර ඉවත් කළ අතර කාන්තාවන් විකිණීම හා පැහැරගෙන යාමට එරෙහිව තදින් ක්‍රියා කළා. වහල් භාවය තහනම් කළ මොහු ගෘහාශ්‍රිත සතුන් හොරකම් කරන්නන්ට මරණ දඬුවම පැනෙව්වා. අධ්‍යාපනයට, සාහිත්‍යට නිසි තැන දුන් ඔහු සියළු ආගම් ඇදහීමේ නිදහස සිය වැසියන්ට දුන්නා.

ජිංගිස් ඛාන්ගේ මොංගෝලියානු අධිරාජ්‍යය නිර්මාණය වීම-paradoxplace.com

මොංගෝලියාවෙන් පිටතට සිය රාජ්‍යය පුළුල් කර ගැනීමේ පළමු පියවර ජිංගිස් ඛාන් තැබුවේ වයඹදිග චීනයේ ක්සි-ක්සියා (Xi Xia) රාජධානිය ආක්‍රමණය කිරීමෙන්. 1209 වසරේදී එහි අගනුවර වන යින්චුවාන් යටත් කර ගන්නට ජිංගිස් ඛාන්ට හැකි වෙනවා. ඉන් පසු උපක්‍රමිකව 1211 -1214 කාලය තුළ ජින් රාජ්‍යය අත්පත් කරගන්නා මොහු චීනයෙන් නොනැවතී 1219 වන විට අසල්වැසි රටවල් වන ටර්ක්මෙනිස්ථානය, උස්බෙකිස්ථානය, ඉරානය හා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කරනවා. එවකට ක්වරේසම් (Khwarezm) අධිරාජ්‍ය යනුවෙන් හැඳින්වුණු මේවායේ අධිරාජ්‍යයා වෙළඳ ගිවිසුමක් මුවාවෙන් ජිංගිස් ඛාන්ගේ රටවැසියන් මුළාවට පත් කර භාණ්ඩ සොරාගැනීම ආක්‍රමණයට මූලික හෙතුව වුණා. ආක්‍රමණයේදී වංශවතුන් හා හමුදා නිළධාරීන් පමණක් මරා දැමුණු අතර වඩුවන්, රත්‍රන් බඩු නිර්මාණ ශිල්පීන්  වැනි වෘත්තීන් වල නිපුණ මින්සුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මඟින් පාලකයෙක් වශයෙන් ජිංගිස්ගේ තිබූ දුරදක්නා නුවණ මොනවට පැහැදිලි කෙරෙනවා.

අවසාන කාලය හා මරණය

ක්‍රි.ව 1225 වන විට යුධ කටයුතු හාමාර කළ ජිංගිස් ඛාන් නැවතත් මොංගෝලියාවට පැමිණෙනවා. මේ වන විට ඔහු ජපාන මුහුදේ සිට කැස්පියන් මුහුද දක්වා විශාල භූමි ප්‍රමාණයක් යටත් කරගෙන තිබුණා. ක්‍රිව 1227 දී ක්වරේසම් සංග්‍රාමයට ප්‍රතිපාදන හා පිරිස් බලය නොසැපයූ ක්සි ක්සියා රාජධානිය පිළිබඳව අප්‍රසාදය පළ කළ ජිංගිස් අවශ්‍ය වුවහොත් යුද්ධයකට යාම සඳහා නැවතත් පුහුණුවීම් වල යෙදෙනවා. වැඩි කළක් නොයාම අසු පිටින් මොහු බිමට වැටෙන්නේ අභ්‍යන්තර තුවාල ඇති කරගනිමින්. එය එතරම් ගණන් නොගෙන සිය වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට උත්සාහ කළත් 1227 අගෝස්තු 18 වෙනිදා සුවයක් නොළබාම මිය යනවා.

මොංගෝලියානු අධිරාජ්‍යය වැඩියෙන්ම ව්‍යාප්ත වී තිබුණු කුබ්ලායි ඛාන් සමයේ සිතියම -paradoxplace.com

ජිංගිස් ඛාන් එකල ලොව අනෙකුත් පාළකයින් සියල්ලටම සාපේක්ෂව තනි පාලකයා වශයෙන් ඔවුන්ට වඩා දෙගුණයක් වැඩි වපසරියක් සහිත රාජධානියක් නිමවා රජකළ බවට ඉතිහාසයේ ලියැවී තිබෙනවා. මොහු පෙරදිග හා අපරදිග ශිෂ්ටාචාර එකට එක් කළ අයෙක් සේ සැළකෙනවා. ජින්ගිස් ඛාන් ගෙන් පසුව මොංගෝලියාවේ පාලකයන් වූ ඔගෙඩෙයි හා කුබ්ලායි ඛාන් විසින් සාර්ථකව මොංගෝලියනු ලෝක ආධිපත්‍යය ඉදිරියට ගෙන යනවා. ජපානයද ආක්‍රමණය කරන්නට උත්සාහ කරන නමුත් එම ආක්‍රමණය අසාර්ථක වනවා. එසේ වුවත් ආසියාව සහ යුරෝපය යන මහාද්වීප දෙකෙහි ම විශාල ප්‍රදේශයන් ඇතුලත් මොංගෝලියානු අධිරාජ්‍යයක් ඔවුන් විසින් නිර්මාණය කරනවා.

(කවරයේ පින්තූරය -දාශි නමදකොව් විසින් නිර්මිත ජිංගිස් ඛාන් ප්‍රතිමාව-Tony Kyriacou/Rex)