Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒකාකාරී බව මකාගන්නට රෝගීන් මැරූ ජර්මානු හෙද නිලධාරියා

ලොව පුරා විටින් විට විවිධාකාරයේ දාම ඝාතකයින් වාර්තා වෙනවා. තමන්ට කුඩා කාලයේ සිදු වූ ‘අසාධාරණයක්’ හේතුවෙන් වෛරය පෙරදැරි කරගෙන සමහරු ඝාතන සිදුකරද්දී, තවත් සමහරෙක් මිනිසුන් මරා තිබුණේ ‘විනෝදයට’ යි. විවිධාකාර සංකීර්ණ මනෝභාව නිසා මෙවැන්නන් මේ තත්ත්වයට පත් වී ඇති අතර ඒවා සිදුකිරීමේ දී එකිනෙකාට සුවිශේෂී වූ ලක්ෂණ ප්‍රකට කරනවා. උදාහරණ ලෙස මෑතක දී දැඩි ලෙස කතාබහට ලක් වූ ‘හිතුමතේ ජීවිතේ’ සිය නැඟණිය මැරූ ඝාතකයින්ගෙන් පලිගන්නට ඝාතන සිදු කළ අතර ඒ සෑම විටෙක ම පාහේ ඔවුන්ගේ හිස කපා වෙන්කරගෙන තිබෙනවා.

අමුතු ම ආකාරයේ දාම ඝාතකයෙකු පිළිබඳ ව පසුගිය දා ජර්මනියෙන් වාර්තා වුණා. මේ සිද්ධියේ විශේෂ වන්නේ ඔහු හෙද නිලධාරියෙකු වීමත්, ඝාතන ‘කම්මැලි කමට’ සිදු කළායැ යි පැවසීමත් නිසා යි.

නීල්ස් හෝගල්

41 වියැති ජර්මානු ජාතිකයෙකු වන නීල්ස් හෝගල් කලක පටන් හෙද නිලධාරියෙකු ලෙස කටයුතු කළා. සිය හෙද ජීවිතයේ වැඩි කාලයක් ඩෙල්මන්හෝස්ට් හා ඔල්ඩන්බර්ග් හි සායනවල ගත කළ ඔහු බැලූ බැල්මට හොඳ කල්ක්‍රියාවක් සහිත ප්‍රසන්න අයෙකු සේ දිස් වුණා.

නීල්ස් හෝගල්- vecernji.hr

කෙසේ නමුත් 2008 දී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ බරපතල චෝදනා කිහිපයක් ම ඔහුට එරෙහිව නැඟුණු නිසා යි. ඔහුට චෝදනා 6ක් එල්ල වී තිබුණු අතර ඊට මිනීමැරුම් දෙකක්, මිනීමැරීමට තැත්කිරීමේ සිද්ධි 3ක්, හා අමානුෂික ලෙස අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් අන්තර්ගත වුණා. මේ සියල්ල ම ඔහු සේවය කළ සායනවලට පැමිණි රෝගීන් හට ඔහු සිදුකළ ඒවා බැව් කියැවුණා.

හෘත් අකර්මන්‍යතා ඇති වන පරිදි රෝගියෙකුට බෙහෙතක් ශරීරගත කරමින් සිටිය දී හෝගල් හසුවන අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වී ඔහු සිරගත කෙරෙනවා. මෙය වසර හතහමාරක සිරදඬුවමක් වූ අතර ඔහුට එරෙහිව නැඟුණු අනෙකුත් චෝදනා හරියාකාර ව ඔප්පු කිරීමට නොහැකි වීම නිසා එයට වඩා වැඩි දඬුවමක් ඔහුට හිමිවන්නේ නැහැ.

තව තවත් චෝදනා

හෝගල් සිරගත වීමත් සමග ම තව තවත් ඔහුට එරෙහි චෝදනා එල්ලවීමට පටන්ගත්තා. කලින් එල්ල වූ චෝදනා ද නැවත සමීක්ෂණය කරන ලෙස එල්ල වන බලපෑම් වැඩිවෙන්නට පටන්ගත්තා. අවසානයේ නැවත පරීක්ෂණ ඇරඹුණු අතර ඉන් ඔප්පු වුණේ හෝගල් එම මිනීමැරුම් දෙකට වැරදිකරු බව යි. මේ දෙක ම ඔහු විසින් සිදුකර තිබුණේ ඖෂධ අධිමාත්‍රා රෝගීන්ට ශරීරගත කරමිනුයි. මේ හේතුවෙන් හෘත් අකර්මන්‍යතා ඇති වන අතර, චෝදනා ඔප්පු වීමත් සමග කෙටි නඩු විභාගයකින් පසු ව නීල්ස් හෝගල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා.

මිනීමැරුම්වලට හේතුව

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමෙන් අනතුරුව නීල්ස් හෝගල් තමන් සිදු කළ ඝාතන පිළිබඳ ව එකින් එක වමාරන්නට පටන්ගත්තා. තමන්ට එතෙක් මෙතෙක් නැඟුණු චෝදනාවලට අමතර ව තවත් සාර්ථක මනුෂ්‍ය ඝාතන 30ක් පිළිබඳ ව ඔහු හෙළි කළා. කෙසේ නමුත් තමන් ඒ කිසිවෙකුත් සිතා මතා ඝාතනය කරන්නට නොසිතූ බව පුන පුනා ඔහු පැවසුවා.

හෝගල් පර්යේෂණ පැවැත්වෙන විට- 2oceansvibe.com

ඔහුට අනුව හෘද රෝගීන් සුළු අසනීපවීම් සහිත ව සාත්තු කිරීම සඳහා තමන්ට බාරදුන් විට සිය වෘත්තිය කිරීමට ඔහුට මහා ‘අලස’ කමක් දැනී තිබෙනවා. මේ හේතුවෙන් හිතාමතා ම ඖෂධ අධිමාත්‍රා දී ඔවුන්ගේ අසනීපය බරපතළ කළ බව ඔහු පිළිගත් අතර ඉන්පසු තමන්ට හැකි උපරිම වික්‍රමයන් කරමින් ඔවුන් මුදාගැනීමෙන් තමන් ඉමහත් සතුටකට ලක්වෙන බැව් ඔහු ප්‍රකාශ කළා. එම උත්සාහයන් ව්‍යර්ථ වූ විට තමන් ඉමහත් දුකකට පත් වූ බවත්, රෝගියා බේරාගැනීම සාර්ථක වුවහොත් තමන් ඉන් ඉමහත් ආශ්වාදයක් ලැබූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ ආකාරයට තමන් රෝගීන් කිහිපදෙනෙකු ම ‘සුව කළ’ බවත්, මියගිය අය වෙනුවෙන් අදටත් දුක් වන බවත් පවසා තිබුණා.

දාම ඝාතකයෙක් හෙළි වෙයි

හෝගල්ගේ මෙම ප්‍රකාශයත් සමග මුළු මහත් ජර්මනිය ම කඩිගුලක් සේ ඇවිස්සුණා. ඔහු සේවය කළ සායනවලින් ප්‍රතිකාර ගෙන මියගිය රෝගීන් සියයකට වැඩි ප්‍රමාණයකගේ ඥාතීන් බලධාරීන් අමතා ප්‍රකාශ කළේ ඔවුන් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳවත් තමන්ට හෝගල් සැක බව යි.

හෝගල් 1999 සිට 2002 දක්වා ඩෙල්මන්හෝස්ට් හි ද, 2003 සිට 2005 දක්වා ඔල්ඩන්බර්ග් හි ද සේවය කර තිබුණු අතර එම කාලය තුළ ‘සැක කටයුතු’ ලෙස මියගිය කිහිපදෙනෙකුගේ ම දේහයන් නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමට ජර්මානු බලධාරීන් තීරණය කරනවා. මින් ඔප්පු වන්නේ ඔල්ඩන්බර්ග් හි තවත් රෝගීන් 35ක් හා ඩෙල්මන්හෝස්ට් හි රෝගීන් 62 දෙනෙකු ඖෂධ අධිමාත්‍රා ශරීරගත වීම හේතුවෙන් ඇති වූ හෘත් අකර්මන්‍යතාවලින් මියගොස් ඇති බව යි. මේ සියලු දෙනා ළඟ සාත්තු කටයුතු කර තිබෙන්නේ හෝගල් වන අතර, ඔහු ඒවා පිළිගැනීමත් සමග ඔහු විසින් සිදු කළ තහවුරු වූ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය සියයක් පමණ වී තිබෙනවා.

මෙම මනුෂ්‍ය ඝාතන හෙළිවීමත් සමග ම ප්‍රසන්න මිනිසෙකු ලෙස හඳුන්වනු ලැබ තිබූ නීල්ස් හෝගල් නම් හෙද නිලධාරියා යුරෝපය දුටු දරුණු ම දාම ඝාතකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ජර්මනිය මෑත යුගයේ දුටු බරපතළ ම අපරාධකරුවා ලෙස විචාරකයින් හඳුන්වනවා. මේ වන විට ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ පර්යේෂණ පැවැත්වෙනවා.

පොලීසියට චෝදනා

Getty Images/ ibtimes.co.uk

නීල්ස් හෝගල්ගේ මනුෂ්‍ය ඝාතන හෙළිවීමත් සමග එරට පොලීසියටත් මාධ්‍යයෙන් හා ජනතාවගෙන් චෝදනා එල්ල වන්නට පටන්ගත්තා. මොහුගේ ක්‍රියා පිළිවෙත සැකකටයුතු බව ඔහු සේවය කළ මුල් යුගයේ පටන් ම පොලිස් පොත්වල වරින් වර චෝදනා ගොනු වී තිබී ඇති බවත්, ඒ සඳහා ඔවුන් දක්වන ලද අලස ප්‍රතිපත්තිය  නිසා හෝගල්ට තව තවත් මනුෂ්‍ය ඝාතන කිරීමට අවස්ථාව ලැබුණු බවත් ඔවුන් පවසනවා. නමුත් සෞඛය අංශයට පෙරළා චෝදනා කරන පොලීසිය පවසන්නේ සිය රෝගීන් හා හෙද නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ ව මීට වඩා හොඳ අවධානයකින් ඔවුන් පසුවූවා නම් පහසුවෙන් ම හෝගල් නැවැත්විය හැකි ව තිබුණු බව යි.

හෝගල් පිළිබඳව විචාරකයින් පවසන තවත් බරපතළ කාරණාවක් තිබෙනවා. එනම් ඔහු සේවය කළ රෝහල්වල දී මියගිය සමහර රෝගීන් ආදාහනය කර ඇති නිසා ඔවුන් පිළිබඳ ව නිශ්චිත තොරතුරු සොයාගත නොහැකි බවත්, එනයින් හෝගල් දැනට ඔප්පු වී තිබෙනවාටත් වඩා දරුණු ගණයේ දාම ඝාතකයෙකු වීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බවත් යන කාරණය යි.

කවරයේ පින්තූරය- ivory-ng.com

Related Articles