අප්‍රිකානු රටක් වන ඝානාව භූමි ප්‍රමාණය හා ජනගහනය අතින් කුඩා වුවත් අප්‍රිකාව තුළ වැදගත් ස්ථානයක් හිමි වන රටක් ලෙස දැක්විය හැක. මෙහි සැලකිය යුතු ප්‍රමාණයේ ස්වභාවික සම්පත් පැවතීම හා යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලබා ගත් දකුණු සහරාවේ පිහිටා ඇති පළමු කළු ජාතික අප්‍රිකානු රට මෙය වීම මීට හේතුවයි. ඝානාවේ දක්නට ලැබෙන සුන්දර වනාන්තර, විවිධ ශාක හා සත්ව ප්‍රජාව, වැලි සහිත සුන්දර වෙරළ තීරයන් වලට අමතරව මෙරට ඉතිහාසය හා සංස්කෘතික උරුමයන්ද බොහෝ දෙනාගේ හිත් ඇද බැඳ ගැනීමට සමත් වී ඇත. ඝානාව අප්‍රිකානු මහාද්වීපයේ වඩාත් ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක් ලෙස හැඳින්විය හැක. පෘථිවියෙහි ඉතාමත්ම ව්‍යාකූල ප්‍රදේශයක පවතින එය “සමාදානයේ දූපත” වශයෙන්ද හැඳින්වේ.

15 වන සියවසේදී යටත් විජිතයක් ලෙස යුරෝපය සමඟ ඇති කර ගත් සෘජු වෙළඳාම් ඝානාවේ ජනතාවගේ ජීවන තත්වයන්ට විශාල බලපෑමක් එල්ල කරන ලදි. පසු කාලයේදී ඝානාව කොකෝවා නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය. 1957 වසරේදී නිදහස ලබා ගත් ඝානාවේ පරිපාලන අග නගරය වන්නේ accra ය. වර්තමානය වන විට මෙය රටේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය හා අධ්‍යාපනික මධ්‍යස්ථානය ලෙසද දැක්විය හැක. ඝානාවේ දැකිය හැකි තවත් ප්‍රධාන වෙළඳ නගරයක් ලෙස Kumasi දැක්විය හැක. මෙවන් වැදගත්කම් රාශියක් ඇති ඝානාව පිළිබඳවයි මෙම ලිපිය තුළින් තොරතුරු ගෙන එන්නේ.

පිහිටීම

pulse.com.gh

ඝානාව පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ දකුණු වෙරළ තීරය තුළයි. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 238,540 කි. මෙහි මායිම් ලෙස නැගෙනහිරින් Togo, දකුණින් අත්ලාන්තික් සාගරය, බටහිරින් cote d’ivoire, වයඹින් burkina faso ද දැක්විය හැක. ඝානාවේ සම්පූර්ණ දේශ සීමා භූමි ප්‍රමාණය කිලෝමීටර් 2633කි. මෙයින් කිලෝමීටර් 539ක් වෙරළ තීරයයි. සංසන්දනාත්මකව බලන විට ඝානාවේ භූමි ප්‍රමාණය Oregon රාජ්‍යයේ භුමි ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී.

දේශපාලන පද්ධතිය

buzzghana.com

ඝානාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත ජනාධිපති ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී රටකි. මෙහි රාජ්‍යයේ ප්‍රධානියා හා ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති වේ. විධායක බලතල හසුරුවාලන්නේ ආණ්ඩුව විසිනි. ව්‍යවස්ථාදායක බලය ආණ්ඩුව හා පාර්ලිමේන්තුව යන දෙක විසින්ම නිර්මාණය කරයි.

2016 වසරේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ලද්දේ Nana Akaufo-Addo ය. මෙහිදී Erudite නමැති මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ වරයා විසින් 53.8%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.  ඝානාවේ ඉතා ඉහළ මාධ්‍ය නිදහසක් පවතී. මෙරට මාධ්‍යයන් සැලකිය යුතු මට්ටමේ නීති රීති හා රෙගුලාසි වලින් තොරව ක්‍රියාත්මක වේ. ඝානාවේ ප්‍රධාන හා ප්‍රසිද්ධම සන්නිවේදන මාධ්‍ය වන්නේ ගුවන් විදුලියයි.

පරිසරය, ශාක හා සතුන්

worldatlas.com

ඝානාවේ ඇත්තේ නිවර්තන කලාපීය දේශගුණයකි. නමුත් රට පුරා විවිධ ප්‍රදේශ වල කාලගුණික වෙනස්කම් දැකිය හැක. මාර්තු හා අප්‍රේල් මාස වලදී හදිසි සුළන් තත්ත්ව ඇති විය හැක. මීට අමතරව අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා තද සුළන් ඇති විය හැක. මෙරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 – 32 ත් අතර පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 83 – 220 ත් පවතී. බොහෝ ප්‍රදේශ වල මාර්තු මාසයේ උෂ්ණත්වය  ඉහළ අගයක් ගන්නා අතර අගෝස්තු මාසයේ අඩුම අගයක් ගනී.

ඝානාවේ පස වගා කටයුතු නිසා බොහෝ දුරට ඛාදනයට ලක් වී ඇත. පතල් කර්මාන්තය හා අනවශ්‍ය ලෙස කැලෑ එළි පෙහෙළි කිරීමද මෙයට බලපා ඇත. ඝානාවේ භූමියෙන් 1/3ක් කාන්තාරීකරනය වීමේ තර්ජනයට මුහුණ පා සිටී. බොහෝ විට කර්මාන්ත වලින් ඉවත් කරන අපද්‍රව්‍ය, කෘෂිකාර්මික රසායනික ද්‍රවය ආදිය ජලයට එක් වීම නිසා ජල දූෂණය සිදුවේ.

africa.com

නිවර්තන කලාපයේ ජීවත් වන බොහෝ ශාක හා සතුන් ඝානාවේ දැකිය හැක. නමුත් අප්‍රිකාවේ අනෙකුත් කොටස් වලට වඩා මෙහි විශාල ක්ෂීරපායින්ගේ ප්‍රමාණය අඩුය. මෙහි බොහෝ වනාන්තර රටේ දකුණු කොටසේ හා Togo දේශ සීමාව දිගේ ව්‍යාප්තව පවතී. 2002 වසරේ දත්ත වාර්තා වලට අනුව ඝානාවේ ක්ෂීරපායින් වර්ග 222, කුරුළු වර්ග 206ක්, ශාක හා පැළෑටි වර්ග 3700ක් ඇති බව දක්වා ඇත.  

භාෂා ජනවර්ග හා ආගම්

ඝානාවේ ජන වර්ග 100කට වඩා ප්‍රමාණයක් ඇති බව දැක්වේ. මේ සෑම ජන කොට්ඨාසයකටම ඔවුන්ට ආවේණික භාෂා දැකිය හැක.  නමුත් මෙහි නිල භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. මීට අමතරව අප්‍රිකානු භාෂාවන් වන Akan, Ewe වැනි භාෂාවන්ද මෙහි බහුලව භාවිතා වේ. මෙරට පවතින ප්‍රධාන ආගම් ලෙස ක්‍රිස්තියානි, ඉස්ලාම් හා ස්වදේශීය ආගම් වර්ග දැක්විය හැක.

ආර්ථිකය

ඝානාවේ වෙළඳපල පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් දැකිය හැකි අතර අනෙක් රටවලට සාපේක්ෂව මෙහි වෙළඳ හා ආයෝජන සම්බාධක අඩු තත්වයක පවතී. ඝානාව යනු ස්වභාවික සම්පත් පිරුණු රටකි. කෘෂි කර්මාන්තය ඝානාවේ ආර්ථිකය සඳහා සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් සපයන අතර විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රධාන ක්‍රම ලෙස රත්‍රන් හා කොකෝවා අපනයනය දැක්විය හැක. වර්තමානය වන විට ඛනිජ තෙල් කර්මාන්තයද ඝානාවේ ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයයි. විවිධ අංශ රටේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා සිදු කරන දායකත්වය පහත ලෙස දැක්විය හැක.

  • කෘෂි කර්මාන්තය – 18.3%
  • කර්මාන්ත – 24.5%
  • සේවා – 57.2%

මෙරට ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස කොකෝවා, සහල්, මඤ්ඤෝක්කා, කජු, ඉරිඟු, කෙසෙල්, හා දැව දැක්විය හැක. මෙරට පවතින ප්‍රධාන කර්මාන්ත වන්නේ පතල් කර්මාන්තය, ඇලුමිනියම් උණු කිරීම, ආහාර නිෂ්පාදනය, සිමෙන්ති, කුඩා වාණිජ නැව් නිෂ්පාදනය හා පෙට්‍රෝලියම් කර්මාන්ත යි. 2017 වසරේ දත්ත වලට අනුව මෙරට සම්පූර්ණ ශ්‍රම බලකාය මිලියන 12.49 ක් වන අතර ඉන් 44.7% ම කෘෂිකර්මාන්තයේ නිරත වී සිටී.

කවරයේ පින්තුරය – wikimedia.org