පද්මාවතියට තහංචි දැමූ රාජස්ථානයේ ජන නැටුම : ඝූමර්

ගෙවී ගිය වසරේ වඩාත් කතාබහට ලක් වූ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පද්මාවත්’ චිත්‍රපටය (නම වෙනස් කිරීමට පෙර ‘පද්මාවතී’) එළි දැක්වීමට නියමිත පැවතුණේ දෙසැම්බර් 1 වැනි දින යි. නමුත් චිත්‍රපටය රිදී තිරයට මුදා හැරීමට පෙර ඔක්තෝබර් 25 වැනි දින පූර්ව ප්‍රචාරණ කටයුත්තක් ලෙස චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් අන්තර්ජාලයට නිකුත් කිරීමට පද්මාවත් හි නිෂ්පාදන කණ්ඩායම කටයුතු කළා. ‘ඝූමර්’ ලෙස නම් කරන ලද එහි දැක් වුණේ රාජ සභාව මධ්‍යයේ සොඳුරු නැටුමක යෙදෙන පද්මාවතී රැජින  ඇතුළු නළඟනන් පිරිසක්.

© YouTube

මෙම වීඩියෝ පටය එළි දැක්වීම සමග ‘ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා’ නම් විරෝධතාකරුවන් කණ්ඩායමක් විදී බැස්සේ අදාළ වීඩියෝ පටය මගින් පද්මාවතී රැජිනගේ නාමයට හානියක් සිදු වන බැවින් එය තහනම් කළ යුතු බව තරයේ ප්‍රකාශ කරමින්. ඔවුන්ගේ පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨ රාජ්ජුත් රැජිනක් වූ පද්මාවතී, ඉතිහාසයේ කිසිම දිනෙක රාජ සභාවක් ඉදිරියේ නළඟනක් මෙන් නර්තනයේ නොයෙදුණු බව යි. කෙසේ වුව ද දීර්ඝ නෛතික සටනකින් පසු ව ‘පද්මාවත්’ ලෙස නම වෙනස් කරන ලද චිත්‍රපටය එළි දැක්වීම සඳහා අවසර හිමි වුණා.

මේ ලිපිය ‘පද්මාවත්’ චිත්‍රපටය අධිකරණයට පවා රැගෙන යාමට හේතු වූ ‘ඝූමර්’ නම් රාජස්ථානයේ ජන නැටුම ගැන යි.

සරස්වතී දේවිය වෙනුවෙන් රඟ දැක් වූ ‘ඝූමර්’

© Strawberry Singh

වයඹ දිග ඉන්දියාවේ වාසය කළ ආදිවාසී සමූහයක් වන ‘භීල්’ නම් ජන කණ්ඩායම විසින් රාජස්ථානයේ සංස්කෘතියට එක් කළ ‘ඝූමර්’ මුල් කාලයේ රඟ දක්වා ඇත්තේ සරස්වතී දේවිය වෙනුවෙන් සිදු කරනු ලබන නමස්කාරයක් ලෙස යි. භ්‍රමණ නර්තනය හෝ වටේට කරකැවීම යන අරුතෙන් යුතු ‘ඝුම්නා’ යන වදනෙන් බිඳී පැමිණි එය මුල් කාලයේ දී ‘ජූමර්’ ලෙස ද හඳුන්වා තිබෙනවා.

පසු කාලීන ව රාජස්ථානයේ අගනුවර වූ ජායිපූර් හි පාලනය බලය මෙහෙය වූ ‘කච්වාහා’ නම් රාජ්පුත්වරුන් ‘භීල්’ ආදිවාසීන් ව පරාජය කරමින් වයඹ දිග ඉන්දියාවේ බලය අල්ලාගෙන තිබෙනවා. නමුත් දෙපාර්ශවය ම වසර කිහිපයකට පසු ව සමාදානයෙන් වාසය කිරීමට ගිවිසගෙන ඇති අතර රාජ්පුත් හි රාජ වංශිකයන්, භීල්වරුන්ගේ සාම්ප්‍රදායන් සහ සිරිත් විරිත් කිහිපයක් අනුගමන කිරීම අරඹා ඇත්තේ එය සංකේතවත් කිරීම සඳහා යි. රාජ්පුත් සාම්ප්‍රදායන් තුළට ‘ඝූමර්’ ඇතුළු වුණේ මේ අයුරින්.

© Arian Zwegers

මුල් කාලයේ දී රාජකීයයන් විසින් රඟ දක්වන ලද ‘ඝූමර්’ නර්තනය, අද වන විට රාජස්ථානයේ සෑම අයෙක් ම පාහේ අනුගමනය කරන සිරිතක් වී අවසන්. එසේ ම මුල් කාලයේ එය රඟ දක්වා ඇත්තේ සරස්වතී දේවිය වෙනුවෙන් වුවත් වර්තමානයේ දී මෝසම් සමයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා, හෝලි වැනි උත්සවවල දී මෙන් ම අලුත් මනමාලියක් ඇගේ වෛවාහක නිවෙස වෙත පැමිණෙන මුල් දිනයේ දී ‘ඝූමර්’ නර්තනය ඉදිරිපත් කිරීම සිදු කරනවා.

ස්ත්‍රීත්වයේ සලකුණක් වූ ජන නැටුම

සාම්ප්‍රදායික ව රැළි තබන ලද දිගු සායකින් සැරසී ගීත ගායනා කරමින් කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කරන ‘ඝූමර්’ නර්තනය සැලකෙන්නේ ස්ත්‍රීත්වයේ සලකුණක් ලෙස යි. වර්තමානයේ දී සියලු ම වයස් කාණ්ඩයන්ට අයත් කාන්තාවන් ‘ඝූමර්’ රඟ දැක් වුව ද අතීතයේ දී එය සිදු කර ඇත්තේ ස්ත්‍රීත්වයට පිය තබන නව යොවුන් යුවතියන් විසින්.

© Dave Stamboulis

රාජස්ථානයේ සොඳුරු සංස්කෘතිය විදහා දක්වන අංගයක් ලෙස ‘ඝූමර්’ නර්තනය හැඳින්වීමේ වරදක් නැහැ. එය රාජ්පුත්වරුන්ගේ මියුරු ජන ගී පමණක් නොව සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් ද මැනවින් ඉස්මතු කරනවා. සාමාන්‍යයෙන් ‘ඝූමර්’ නර්තනයේ යෙදෙන කතුන් ‘ඝාග්‍රා’ ලෙස හැඳින්වෙන නොයෙක් පැහැති මිණි කැට සහ විස්තුරු ගෙත්තම්වලින් හැඩ ගන්වන ලද රැළි තබන ලද කඩා හැලෙන නදියක ස්වරූපය ගන්නා දිගු සායකින් සහ චෝලියකින් (හැට්ටයකින්) සැරසෙනවා. ‘ඝාග්‍රා’ සාය කොතරම් විසිතුරු ලෙස නිමවා තිබුණ ද රීදි ආභරණ සහ වීදුරු වළලු වැනි ස්වර්ණාභරණ රැසකින් සැරසීම සිටීම ‘ඝූමර්’ නර්තනයේ යෙදෙන කාන්තාවන්ගේ සිරිත යි.

ප්‍රීතිමත් තාලයන් හා මුසු වූ සොඳුරු අභිනයන්

© Abhinav Mathur

සාමාන්‍යයෙන් ‘ඝූමර්’ නර්තනයේ යෙදෙන්නේ විසිතුරු වේල් පටකින් හිස ආවරණය කර ගත් කාන්තාවන් කණ්ඩායමක් වුවත් ඇතැම් අවස්ථාවල දී ඒකල නර්තනයක් ලෙස ද ‘ඝූමර්’ ඉදිරිපත් කරනවා. බොහෝ විට නර්තනය සිදු කරන්නේ ප්‍රීතිමත් තාලයක් සහිත ජන ගීයකට යි. එසේ ම නර්තනය රවුමට කරකැවෙමින් සිදු කරන මනහර අභිනයන්, අත්පුඩි ගැසීම් සහ ළයමානය (tempo) පවත්වාගෙන යන පාද චලයන්ගෙන් යුතු වෙනවා. ඇතැම් විටෙක පිත්තල හෝ මැටි කළ ගෙඩියක් හිස මත තබාගෙන හෝ දල්වන ලද පහන් දෑතින් රැගෙන ‘ඝූමර්’ නර්තනයේ යෙදීම සිදු කරනවා.

මෙසේ වර්ණවත් ඇඳුමෙන් සැරසී මියුරු ජන ගීතයන් හි තාලයට තබන සොඳුරු පාද චලයන් හේතුවෙන් ‘ඝූමර්’ නර්තනය ලොව මනරම් ම ජන නැටුමක් බව පත් වී ඇති බව පැවසීම බොරුවක් නොවෙයි.

කවරයේ පින්තූරය : © rightlog.in

Related Articles