Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට ග්‍රාම නිලධාරී ක්‍රමය ආරම්භ වුණු හැටි

ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය වන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය යි. එහි පරිපාලන කටයුතු මෙහෙයවන ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි සහ බලතල රැසක් පැවරී තිබෙනවා. 

ගම් පාලනය කිරීම සඳහා සිංහල රජ කාලයේ සිටම නිලධාරියෙකු පත් කර තිබුණා. කලින් කලට විවිධ නම්වලින් හඳුන්වනු ලැබූ එම තනතුර 19 වැනි සියවසේ මුල් භාගයේ දී ගම්මුලාදෑනියා ලෙසින් නම් කරනු ලැබුවා. ඒ අනුව සියවසකට වැඩි කාලයක් මෙරට ග්‍රාමීය පාලන පද්ධතියේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළේ ගම්මුලාදෑනියා යි. 

දීර්ඝ කාලයක් මෙරට පරිපාලන පද්ධතිය තුළ පැවති ගම්මුලාදෑනියා නම් තනතුර අහෝසි වී ගියේ 1960 දශකයේ දී යි. එදා ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව මෙරට තුළ ආරම්භ වුණු ග්‍රාම සේවක ක්‍රමය අද වන විට වඩාත් දියුණු තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව වර්තමානය වන විට 14000කට අධික ග්‍රාම නිලධාරීවරුන් ප්‍රමාණයක් රට පුරා රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටිනවා.

මෙරට ග්‍රාම පාලනය ආරම්භ වුණු හැටි 

ලංකාවේ ග්‍රාම පාලනයේ අතීතය අනුරාධපුර යුගය දක්වාම දිව යනවා. එම අවධියේ දී ගම් පාලනය කිරීම සඳහා ගමික නමින් තනතුරක් ඇති කර තිබුණු බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. එසේම අනුරාධපුර යුගය තුළ පිහිටුවා තිබුණු ගම් සභාවලින් ගම්වල වැඩ කටයුතු පාලනය වී තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු ඇතැම් සෙල්ලිපිවල සටහන් වී තිබෙනවා. 

ගම් සභාවේ කාර්යභාරය 

අනුරාධපුර යුගයේ දී ක්‍රියාත්මක වුණු ගම් සභාවේ ප්‍රධානත්වය ගනු ලැබුවේ ගම් ප්‍රධානියා යි. ඊට අමතරව ගමේ සිටි උසස් පවුල්වල වැඩිහිටියන් කිහිප දෙනෙකු ගම් සභාවට ඇතුළත් වුණා. එදා ඔවුන්ට පැවරී තිබුණු රාජකාරි කිහිපයක් පහත දක්වා තිබෙනවා. 

1) කුඩා ගම් වැව් සාදා ඒවා නඩත්තු කිරීම 

2) ගොවිතැන් කටයුතු සඳහා ජලය බෙදා හැරීම 

3) ගමේ තිබෙන සුළු ආරවුල් විසඳීම 

4) ගමේ පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම 

5) ගමට අවශ්‍ය බැංකු සේවාව සැපයීම 

එකල ගම් සභාව විසින් බැංකු සේවාව සැපයූ බව දැක්වෙන අවස්ථාවන් දෙකක් පිළිබඳව සෙල්ලිපිවල සටහන් වී තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි.

1) ශ්‍රී මේඝවණ්න රජතුමා අනුරාධපුරය පාලනය කරමින් සිටි සමයේ දී ඔහුගේ ඇමතියෙකු විසින් නගරයේ උතුරු පෙදෙසේ පිහිටා තිබුණු ගම් සභාවක උඳු ධාන්‍යය තැන්පත් කොට ඉන් ලැබුණු වාර්ෂික පොලිය යහිසපවත නම් ආරාමයේ භික්ෂූන්ට ආහාර සැපයීම සඳහා වෙන් කරනු ලැබුවා.

2) උතුරු මැද පළාතේ මොරවැව ආසන්නයේ පිහිටා තිබෙන ලුහුඇටබැඳිගල සෙල්ලිපියට අනුව සගය නැමැති ඇමතිගේ පුත් සිරිනාග විසින් ගම් සභාවක තැන්පත් කරන ලද කහවණු 100ක මුදලකින් ලැබුණු වාර්ෂික පොලිය දේවගිරි විහාරයේ වස් පිංකම සඳහා වෙන් කළ බව සඳහන් වනවා.

ගමක පිහිටා ඇති කුඩා වැවක් (Silumina)

අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී එලෙස ක්‍රියාත්මක වුණු ගම් සභාව 10 වැනි සියවස වන විට වඩාත් දියුණු තත්ත්වයකට පත් වුණා. ඒ අනුව ගම් සභාවට ලැබුණු බලතල වැඩි වී එයට තවත් නිලධාරීන් ඇතුළත් වුණා. ක්‍රි.ව 935-938 කාල සමය තුළ රජකම් කළ 3 වන උදය රජුගේ හෝපිටිගමු සෙල්ලිපියේ ද ක්‍රි.ව 956-972 කාලය තුළ රජකම් කළ 4 වැනි මහින්ද රජුගේ වේවැල්කැටිය සෙල්ලිපියේ ද ඒ පිළිබඳව කරුණු සඳහන් වී තිබෙනවා. 

ගම්මුලාදෑනි ක්‍රමය 

අනුරාධපුර යුගයෙන් පසුව පැවති යුගවල දී ගමික තනතුර විවිධ නම්වලින් හඳුන්වනු ලැබුවා. එසේම එම යුගවල දී මෙරට ග්‍රාම පාලනය සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුණා. 19 වැනි සියවසේ දී මෙරට ආරම්භ වුණු ගම්මුලාදෑනි ක්‍රමය 1960 දශකය දක්වාම ක්‍රියාත්මක වුණා. ඉංග්‍රීසි පාලනය සමයේ දී ක්‍රියාත්මක වුණු මෙම තනතුර සඳහා පත්වීම ලබාදුන්නේ මහ ඒජන්තවරයා යි. මහ ඒජන්තවරයා විසින් එම පත්වීම ලබාදුන්නේ ගම්මුලාදෑනියා අයත්ව සිටි වසමේ ආරච්චිගේ රෙකමදාරුවට යි. සාමාන්‍යයෙන් එකල ගම්මුලාදෑනි තනතුර සඳහා පත්කළේ වංශවත් හොඳින් මිල මුදල් තිබුණු උදවිය යි. ඔවුන් බොහෝ විට ආරච්චිගේ ළඟම හිතවතුන් වුණා. 

ගම්මුලාදෑනියාට පැවරී තිබුණු වගකීම වුණේ ගමේ තිබුණු ගැටළුවලට විසඳුම් ලබාදෙමින් එහි පාලනය ගෙන යාම යි. එම අවධියේ දී ආරච්චි කෙනෙකු ගම්මුලාදෑනි වසම් කිහිපයක් පාලනය කළා. ඒ අනුව ගම්මුලාදෑනියෙකුට විසඳීමට නොහැකි වුණු ගැටළු සියල්ලම ඉදිරිපත් කරනු ලැබුවේ අදාළ ගම්මුලාදෑනි වසම භාර වුණු ආරච්චිට යි. 

ලංකාව තුළ ක්‍රියාත්මක වුණු ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කරවීම සඳහා විවිධ පාර්ශවයන් උනන්දු වුණේ 20 වැනි සියවස මුල් භාගයේ දී යි. එකල පැවති  පුවත්පත්වල පවා ගම්මුලාදෑනි ක්‍රමයට විරෝධය දක්වන ලිපි පළ වුණා. 1992 වසරේ මැයි 16 වැනිදා ceylon patriot පුවත්පතේ ගම්මුලාදෑනි ක්‍රමයට එරෙහිව පළ කළ ලිපිය ඊට නිදසුනක් ලෙසින් දැක්විය හැකියි. එසේම 1935 වසරේ දී ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂයේ මූලික අරමුණක් වුණේ ලංකාවේ ගම්මුලාදෑනි ක්‍රමය නැති කිරීම යි. නමුත් 1948 වසරේ දී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ද ගම්මුලාදෑනි ක්‍රමය ක්‍රියාත්මක වුණා.

ඉංග්‍රීසි පාලන සමයේ ආරච්චි කෙනෙක් (ගාමිණීගේ විජිතය)

ග්‍රාම සේවක ක්‍රමය ආරම්භ වීම 

1802 වසරේ දී ලංකා සිවිල් සේවය නමින් ආරම්භ වුණු රාජ්‍ය සේවය 1963 වසරේ දී ලංකා පරිපාලන සේවය නමින් වෙනස් වුණා. එලෙස ලංකාවේ පරිපාලන කටයුතු නව මඟකට යොමු වුණු අවස්ථාවේ එතෙක් පැවති ගම්මුලාදෑනි ක්‍රමය ද වෙනස් වන ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව 1963 වසරේ මැයි මාසයේ සිට එතෙක් ක්‍රියාත්මක වුණු ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කර ග්‍රාම සේවක ක්‍රමය ක්‍රියාත්මක කළා. 

ග්‍රාම සේවක ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසුව ගම්මුලාදෑනියා, ග්‍රාම සේවක ලෙසත් ගම්මුලාදෑනි කොට්ඨාසය, ග්‍රාම සේවක කොට්ඨාසය ලෙසත් හඳුන්වනු ලැබුවා. ග්‍රාම සේවක ක්‍රමය ආරම්භ වීමට පෙර පැවති ගම්මුලාදෑනි ක්‍රමයේ දී ආරච්චිගේ හිතවතෙකු එම තනතුරට පත් කළා. නමුත් ග්‍රාම සේවක තනතුරට යම් කෙනෙකු පත්කරගනු ලැබුවේ ඒ සඳහා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව යි. එම නිසා ඒ වන විට ගම්මුලාදෑනි තනතුරු දරමින් සිටි සුදුස්සන් ග්‍රාම සේවක තනතුරට පත් කරද්දී සෙසු අයට විශ්‍රාම ගැනීමට සිදු වුණා. 

ග්‍රාම සේවක ක්‍රමය වර්තමානය දක්වා විකාශනය වුණු අයුරු 

1977 අංක 5 දරණ පදවි නාම සංශෝධන පනත තුළින් එතෙක් පැවති ග්‍රාම සේවක නම් නාමය ග්‍රාම සේවා නිලධාරී ලෙසින් වෙනස් කරනු ලැබුවා. ඉන් පසුව 1993 අංක 2 දරණ පනත මඟින් ග්‍රාම සේවා නිලධාරී යන නාමය ග්‍රාම නිලධාරී ලෙසින් වෙනස් කිරීම සිදුවුණා. එසේම 1982 වසරේ දී ග්‍රාම සේවා නිලධාරීවරුන් සඳහා උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ අනුව ග්‍රාම සේවා නිලධාරීන් සඳහා පළමු සහ දෙවන ලෙසින් ශ්‍රේණි 2ක් ඇති  කළා. ඉන් වසර 27කට පසුව එනම් 2009 වසරේ දී ග්‍රාම නිලධාරීන් සඳහා තුන්වන ශ්‍රේණියක් ද ඇති කරනු ලැබුවා. 

1990 වසරේ දී ග්‍රාම සේවා නිලධාරීන් මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් රාජ්‍ය සේවයට අනියුක්ත කළා. නමුත් 1995 වසරේ දී ඔවුන්ව යළිත් මධ්‍යම රජය යටතට ගනු ලැබුවා. ඒ අනුව වර්තමානය වන විට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් වන ග්‍රාම නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය යටතේ රාජකාරි කටයුතුවල නිරත වනවා.

ග්‍රාම නිලධාරී කාර්යාලයක් (Mawbima)

මෙරට ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය 14,000 ඉක්මවා ගොස් තිබෙනවා 

1963 වසරේ දී මෙරට පැවතියේ ග්‍රාම සේවා වසම් 3,669ක් පමණ යි. නමුත් වර්තමානය වන විට එය 14,022ක් දක්වා වැඩි වී තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ පසුගිය වසර කිහිපය තුළ ග්‍රාම නිලධාරී සේවය අප රට තුළ ව්‍යාප්ත වී ඇති බව යි. ඒ අනුව වර්තමානය වන විට වැඩිම ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණයක් තිබෙන දිස්ත්‍රික්ක 5 පහතින් දක්වා තිබෙනවා.

1) කුරුණෑගල දිස්ත්‍රික්කය- 1610

2) මහනුවර දිස්ත්‍රික්කය- 1188

3) ගම්පහ දිස්ත්‍රික්කය – 1177 

4) ගාල්ල දිස්ත්‍රික්කය- 896

5) කළුතර දිස්ත්‍රික්කය- 762

මූලාශ්‍රයයන්- ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සාඵල්‍යතාවය 

                        ලංකාවේ පළාත් පාලන ඉතිහාසය

කවරයේ ඡායාරූපය- ග්‍රාම සේවා කාර්යාලයක නාම පුවරුවක් 

Related Articles