Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුං ඇටවල යහ ගුණ

ශාකමය ප්‍රෝටීන ප්‍රභවයක් සොයන්නෙකුට පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත හැකි ආහාරයක් ලෙස රනිල භෝග සැලකෙනවා. මේ අතරිනුත් මුං ඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. සෑහෙන කල‍ෙක සිට මුං ඇට ශ්‍රී ලාංකිකයින් සිය ආහාර වේල් සකසාගැනීමේ දී සුලබව භාවිතා කරනවා. අවුරුදු කෑම මේසයේ දකින්නට ලැබෙන මුං කැවුම්, මුං ගුලි මෙන්ම මුං කිරිබත් වැනි දේත් ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ මුං ඇටවලට ඉහළ තැනක් තිබුණු බවට සාක්ෂ්‍ය සපයනවා.

මුං ඇට එදිනෙදා ආහාරයක් ලෙස පැරැන්නන් මෙන්ම වර්තමාන පෝෂණවේදීන් අතරත් ජනප්‍රියව ඇත්තේ එහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය හා ප්‍රණීත බව නිසාම පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය විවිධාකාර වාසි රැසක් මේවා ආහාරයට ගන්නාට අත් වෙනවා.

මුං ඇටවල සම්භවය හා ඉතිහාසය

මුං ශාකය- foodcnr.com

Vigna radiata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුං ශාක‍යේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියානු උපමහාද්වීපය යි. මීට වසර 3500කට පමණ පෙරත් ඉන්දියානු උපමහාද්වීපයේ ජනයා මුං වගා කිරීම සිදුකර ඇති අතර පසුකාලීනව ඒවා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, හා උතුරු ඇමෙරිකානු මහාද්වීපය වැනි ප්‍රදේශවලට පැතිරී තිබෙනවා.

මුං ශාකය කෙටි ජීවිත කාලයක් ඇති, වේගයෙන් වර්ධනය වන ශාකයක් වන අතර ඝර්ම කලාපීය හා උප නිවර්තන දේශගුණයත් මුහුදු මට්ටමේ සිට මීටර 1850ට අඩු ප්‍රදේශත් ප්‍රිය කරනවා. හොඳින් ජලය බැස යන ලෝම පස් හා මධ්‍යම ප්‍රමාණයේ වර්ෂාවක් ඇති ප්‍රදේශවල මුං ශාකය හොඳින් වැඩෙනවා. ලොව විශාලතම මුං නිෂ්පාදකයා ඉන්දියාව යි.

මුං ඇටවල පෝෂ්‍ය ගුණ‍ය

මුං ඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙහි කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද, තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගත වෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හි  මුං ඇටවල විටමින් ‘බී‘ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ, සී, ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත යි. එමෙන්ම මුං ඇටවල කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණත් අන්තර්ගත වෙනවා. මුං ඇට ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ශරීරයට දෛනිකව අවශ්‍යය විටමින් ඒ වලින් 2%ක් ද, විටමින් සී වලින් 8%ක් ද කැල්සියම්වලින් 13%ක් හා යකඩවලින් 37%ක් ද ලබාගත හැකි අතර එමඟින් සෝඩියම් මිලිග්‍රෑම් 15ක් හා පොටෑසියම් මිලිග්‍රෑම් 1246ක් ශරීරයට ලැබෙනවා.

teambuffet.com

මුං ඇටවල යම් පමණකට ප්‍රතිපෝෂක වන රැෆිනෝස්, ස්ට්‍රැචියෝස්, සහ වර්බස්කෝස් වැනි දේ අන්තර්ගත නමුත් ඒවා තැම්බීමට හෝ පිසීමට පෙර හොඳින් පොඟවා ගැනීමෙන් ඉවත් කරගත හැකි යි. කෙසේ නමුත් මේ ප්‍රතිපෝෂකම ජලයේ දිය වන තන්තු ලෙසත් ක්‍රියා කරනවා. එමෙන්ම මුං ඇටවල ග්ලයිසීමික අගය 25ක් තරම් අඩු අගයක් ගන්නවා. මීට අමතරව මුං ඇට ශාක පෝෂක හා ප්‍රතිඔක්සිකාරකවලින් ද පොහොසත්.

මුං ඇටවල සෞඛ්‍යමය ගුණ

මුං ඇට ආහාරයට ගැනීම තුළින් ලඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොම යි. මේවා අත්කර දීමට එහි ප්‍රතිඔක්සිකාරක හා විෂබීජ නාශක ගුණ වැනි දේ ඉවහල් වෙනවා.

කොලෙස්ටරෝල් මට්ටම හා හෘද රෝග අවදානම අඩු කිරීම

අඩු ඝණත්ව ලීපො ප්‍රෝටීන ඔක්සිකරණය වීම වැළැක්වීම උදෙසා වූ ප්‍රතිඔක්සිකාරක මුං ඇටවල අන්තර්ගත බැවින් මේවා ආහාරයට ගැනීම තුළින් රුධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා. මීට අමතරව ප්‍රාදාහ තත්ත්ව ඇති වීමත් වළකින අතර රුධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා. රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවධානමත් අඩු වෙනවා.

පිළිකා අවදානම අඩු කිරීම

මුං ඇටවල අඩංගු ඇමයිනෝ අම්ල, ඔලිගොසැකරයිඩ හා පොලිෆීනොල නිසා ශරීරයේ ගැටිති ඇතිවීම මෙන්ම පිළිකා ඇතිවීමටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව ඒවා ආහාරයට ගන්නා අයට ලැබෙනවා. මීට අමතරව ඩී. එන්. ඒ. දාමවල හානි ඇති වීම හා විකෘති වීම වැළකෙනවා.

මුක්තඛණ්ඩක නිශේධනය කරමින් ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකරන අන්දම- www.haleo.co.uk

ශරීරයේ බර අඩු කර ගැනීම

මුං ඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත් විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම නැවතෙනවා. මීට අමතරව මෙහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය නිසාත් මුං ඇට සුළු ප්‍රමාණයකින් තෘප්තිමත් වන්නට ඒවා ආහාරයට ගන්නන්ට පුළුවන්. එමෙන්ම මුං ඇට රනිල භෝග අතරින් පහසුවෙන්ම දිරවාගත හැකි රනිල භෝගය නිසා බඩ පුරවාදැමීම් වැනි තත්ත්ව ඇති වන්නේත් ඉතා කලාතුරකින්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම

මුං ඇටවල අඩංගු ශාක පෝෂක රාශිය මඟින් ප්‍රතිප්‍රදාහ මෙන්ම විෂබීජ නාශක ගුණයත් ඊට ලබාදෙනවා. මෙමඟින් ශරීරයට වැඩි ප්‍රතිශක්තීකරණ හැකියාවක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න උදරයක් ලබාදෙනවා. මේ නිසා අනෙකුත් ආහාරවල පෝෂකත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වෙනවා.

දියවැඩියා අවදානම අඩු කිරීම.

මුං ඇට ආහාරයට ගැනීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා. මේ නිසා දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ හැකියාව අඩු වන අතර මුං ඇට ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා.

නිරෝගීමත් දිවියකට මුං ඇටවලින් ලැබෙන පිටුවහල අති මහත්- jonbarron.org

සමෙහි සෞඛ්‍යය ඔප්නැංවීම

මුං ඇටවල අඩංගු ශාක පෝෂක ශරීරයේ කොලැජන්, ඉලාස්ටින්, හයලුරොනික් අම්ලය වැනි දේ නිපදවීම උත්තේජනය කරන අතර එමඟින් වඩා තරුණ සෞඛ්‍යමත් සමක් ප්‍රතිඵල කරනවා.

විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස

citnutritionally.com

මුං ඇටවල ඉහළ ග්ලොබියුලින් හා ඇල්බියුමින් ප්‍රතිශතයක් අඩංගු යි. එමෙන්ම මුං ඇට මඟින් ලෙයුසීන්, අයිසොලෙයුසීන්, වැලීන් වැනි ඇමයිනෝ අම්ලත් යහමින් ශරීරයට ලැබෙනවා. මේ හේතුවෙන් ශාකමය ප්‍රෝටීන ප්‍රභව සොයන කායවර්ධක ක්‍රීඩකයින්, ගිලන්ව සිටින්නන් වැනි අයට ඉතා සුදුසු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මුං ඇට ඉහළින්ම තිබෙනවා.

කවරයේ පින්තූරය -whiteorganics.co.in

Related Articles