Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ පුද්ගලයා- ග්‍රේටා තුන්බර්ග්

ටයිම් සඟරාව විසින් 2019 වසර සඳහා වසරේ පුද්ගලයා (“Person of the Year”) ලෙස වයස අවුරුදු 17ක ස්වීඩන් ජාතික දැරියක් වන ග්‍රේටා තුන්බර්ග්ව නම් කර තිබෙනවා. එම නාමය ලැබුණු ලොව වයසින් අඩුම පුද්ගලයා ලෙස ග්‍රේටා වාර්තාවක් ද තබා තිබෙනවා. ඇයට එම නාමය හිමි වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් ඊට එරෙහිව කටයුතු කරන ලොව ළාබාලතම පුද්ගලයා වීම යි. එම කවරය ඔවුන් විසින් නම් කර තිබෙන්නේ “තාරුණ්‍යයේ ජවය” (The Power of Youth) ලෙස යි. 

ටයිම් සඟරාව විසින් සෑම වසරකම “වසරේ මිනිසා” ලෙස කාන්තාවක් හෝ පුරුෂයෙක් නම් කිරීම ආරම්භ කරන්නේ 1927 වසරේ සිට යි. 1999 වසර වන තුරු එය නම් කර තිබෙන්නේ “Man of the Year” හෝ  “Woman of the Year” නමින්.

එම වසරෙන් පසුව “Person of the Year” නමින් එය වෙනසකට ලක් කරනවා. මෙහි අරමුණ වන්නේ යහපත් හෝ අයහපත් ආකාරයෙන් ලෝකයට බලපෑම් කළ වසරේ පුද්ගලයා හෝ කණ්ඩායම නම් කිරීම යි.

එය “වසරේ පුද්ගලයා” ලෙස නම් කරන නමුත්, කණ්ඩායම් සඳහා ද මෙම නාමය පිරිනැමෙනවා. එම සංශෝධනය ක්‍රියාත්මක වන්නේ 1937 වසරේ දී යි.

2018 වසරේ දී වසරේ පුද්ගලයා

තාරුණ්‍යයේ ජවය (scmp.com)

2018 වසරේ මිනිසා (person of the year) ලෙසින් ටයිම් සඟරාව මාධ්‍යවේදීන් කණ්ඩායමක් නම් කරන අතර, එම මාධ්‍යවේදීන් කණ්ඩායම නම් කරන්නේ The Guardians (රැකවල්ලු හෙවත් ආරක්ෂකයින්) නමින්.

මෙම මාධ්‍යවේදීන්ගේ විශේෂත්වය ලෙස; ‘සත්‍ය වෙනුවෙන් නොබියව ඉදිරියට ගොස් සටන් කිරීම’ යන්න ටයිම් සඟරාව විසින් සඳහන් කර තිබෙනවා. ටයිම් සඟරාව කවර හතරක් ඔවුන්ගේ පින්තූරවලින් සරසනවා.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සාල් කාර්යාලයේ දී ඝාතනය වූ ඇමෙරිකානු “වොෂින්ටන් පොස්ට්” පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් එක් කවරයක් ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ “ද කැපිටල්” පුවත්පතේ කාර්ය මණ්ඩලය තවත් කවරයක් ද, මියන්මාර රෝහින්‍යා සංහාරය වෙනුවෙන් පෙනී සිට සිරගත ව සිටි “රොයිටර්” මාධ්‍යවේදීන් දෙදෙනාගේ පින්තූර රැගෙන සිටින ඔවුන්ගේ බිරින්දෑවරු දෙදෙනාගේ කවරයක් හා පිලිපීනයේ “රැෆලර්” වෙබ් අඩවියේ ප්‍රධානී, පිලිපීන මාධ්‍යවේදිනී මරියා රෙස්සා වෙනුවෙන් ද තවත් කවරයක් මුද්‍රණය වෙනවා.

කවුද මේ ග්‍රේටා 

ග්‍රේටා තන්බර්ග් (ichef)

ග්‍රේටා තුන්බර්ග් යනු 16 හැවිරිදි ස්වීඩන ජාතික දැරියක් වන අතර, මුළු ලෝකය පුරා ඇය ප්‍රසිද්ධ වන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධයෙන් ඊට විරෝධතාවය පළ කරන දැරියක් ලෙස යි. ඇය වරක් එරට පාර්ලිමේන්තුව ඉදිරියේ ද මීට විරුද්ධව විරෝධතාවල යෙදෙනවා. සෑම සිකුරාදා දිනකම පාසල් නොයන ඇය, ඒ දවස තුළ ස්වීඩනයේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයක යෙදෙනවා. ඒ ගෝලීය උණුසුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ස්වීඩන රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව විරෝධය එල්ල කරමින්. එම විරෝධතා මාලාව ‘Fridays for Future’ නමින් මුළු ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා. 

පසුව යුරෝපයේ රටවල ශිෂ්‍ය සංවිධාන රැසක් ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර සඳහා අවතීරණය වන අතර, එයට නායකත්වය සපයන්නේ ග්‍රේටා යි. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ඇමෙරිකාව වැනි රටක රාජ්‍ය නායකයා ද කිසිදු තැකීමක් නොකරන අවස්ථාවක, ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරන ලොව ළාබාලතමයා ලෙස ලෝකය විසින් ඇයව හඳුන්වනවා. 

ඇය දේශගුණික විපර්යාස හා ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට අවස්ථාවක් උදා කරගන්නේ මීට වසර කිහිපයකට ප්‍රථමව යි. නමුත් ඇය වඩාත් ලෝකය පුරා ජනප්‍රිය වන්නේ එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස (COP24) පිළිබඳව 2018 වසරේ පැවති සමුළුවෙන් පසුව යි. එහි දී ලබාගත් ජනප්‍රියත්වය හේතුවෙන් 2019 වසරේ ජනවාරි මාසයේ දී ඇයට ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා.

නොබෙල් සාම ත්‍යාගය සඳහා ද නිර්දේශ වෙයි 

ග්‍රේටා (axios)

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ග්‍රේටා තුන්බර්ගේ නම ද යෝජනා වෙනවා. නමුත්, එය හිමි වෙන්නේ ඉතියෝපියානු අගමැතිවරයා වන අබියි අහමඩ්ට යි. වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියානු-එරිත්‍රියානු විරසකය නිමා කිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීම යන කරුණ මත යි ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ. 2018 වසරේ දී ඉතියෝපියාවේ අගමැති ධුරයට පත් වූ අබියි අහමඩ්, වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියා-එරිත්‍රියා අර්බුදය නිමා කිරීමට කටයුතු කරනවා. එමෙන්ම, එරිත්‍රියා ජනාධිපතිවරයාට සාමයේ දෑත් දිගු කිරීමෙන් වසර ගණනාවක් පැවති අර්බුදය ස්ථිරවම විසඳීමට ද සමත් වෙනවා.

2019 වසරේ දෙසැම්බර් මාසයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවට (COP25) සහභාගී වීමට හා එය ඇමතීමට අවස්ථාව ලබා ගන්නවා. එම කාල වකවානුව තුළ යි ඇයට ටයිම් සඟරාව විසින් “වසරේ පුද්ගලයා” යන ගෞරවය පිරිනමන්නේ. ඉන් අනතුරුව ඇය, 2020 වසරේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට ද සහභාගී වෙනවා.

ග්‍රේටා 

ග්‍රේටා තුන්බර්ග් උපත ලබන්නේ 2003 වසරේ ජූනි මාසයේ යි. ස්වීඩනයේ වෙසෙන කලා පවුලක උපත ලබන ඇයගේ පරම්පාරවම එරට කලාකරුවන් ලෙස ප්‍රසිද්ධ යි. 2018 මේ වන විට ඇය පසුවන්නේ ස්වීඩනයේ පාසලක 11වන ශ්‍රේණියේ යි.

කවරයේ පින්තූරය- adage

මූලාශ්‍රයයන්: 

Dw.com

Bbc.com

Gretathunbarg.org

Related Articles