ඉරේෂා හේමමාලි කියන්නෙ මුහුණු පොතෙන් අප හඳුනාගත් නිර්මාණකාරිණියක්. ඇය, විවිධ වූ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ නිහඬ තැනැත්තියක් විදියට යි අප හඳුනාගන්නෙ. විටෙක තෙලිතුඩ ද, තවත් විටෙක කැමරාව ද ඇයට සමීප වන්නී ය. එයින් නොනැවතී ඈ, තම පන්හිඳෙන් ද දැන් කවිය ඔස්සේ අප හමුවට පැමිණ ඇත. මේ ජූලි මස 07 වනදා එළිදකින ඇයගේ පළමු කාව්‍ය ග්‍රන්ථය වන ‘හමාර බණවර’ වෙනුවෙන් අප සිදුකළ කෙටි සංවාදය යි.      

ඉරේෂාට 'කවි' ලියන්න හිතුණේ ෆේස්බුක් කවි රැල්ලත් එක්ක ද?

මම කවදාවත් රැල්ලත් එක්ක ගැටුණු කෙනෙක් නෙවෙයි. ෆේස්බුක් එක හොඳ තැනක් කවි ලියන අයට වගේම, කවි ලියන දුහුනන්ට.ලැබෙන ලයික්ස්, කමෙන්ට්ස්, ශෙයාර්ස් අරමුණු කරගෙන මම කවි ලියන්නෙ නෑ කවදාවත්. ඇත්තටම, මම මුහුණු පොතට සෑහෙන්න ආධුනික යි. නමුත්, කවියට මං ආධුනික නෑ. මුහුණු පොතට යන-එන රැළි ගැන මට විශේෂ හැඟීමක් නෑ. රැළි එක්ක ගැටෙනවට වඩා කවිය එක්ක ආත්මීයව බැඳෙන එකයි මගේ විදිහ.

ඉරේෂා හේමමාලි

තමන්ගෙ කලා ප්‍රකාශනයන් එළියට දාන්න ඇයි 'මෙච්චර කාලයක්' ගත්තෙ?

මං හිතන්නේ හැමදේටම සුදුසු කාලයක් තියෙනවා. තමන් නිර්මාණ කරන පලියට අවුරුද්දෙන් අවුරුද්දට ඒ නිර්මාණ එළිදක්වන්න ඕනි කියලා මම විශ්වාස කරන්නෑ. මට කවියක් ලියන්න සිතුවිල්ලක් ඇති වුණොත්, මං ඒ කවිය ලියන්න කාලයක් ගන්නවා. නිර්මාණයක් කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ‘හොඳම සැරය හීන්සැරය’ කියලා කතාවකුත් තියෙනවනේ.

සිතුවම්කරණය යි, කවිය යි 'හැරුණාම' ජීවිතේට ගොඩක්ම ළඟ?

මම දරු දෙන්නෙක් ඉන්න අම්මෙක්. මගේ නිර්මාණ හැරුණු විට මට වඩාත්ම සමීප මගේ පුත යි දුව යි. නිර්මාණ කියන්නේ කලාකරුව⁣කුගේ දරුවෝ. මගේ දරුවො කියන්නෙ මගේම නිර්මාණ. කවිය, චිත්‍රය, කැමරාව ඇසුරු කරනවා වගේ තමයි මං මගේ දරුවන්ව ඇසුරු කරන්නේ සහ විඳින්නේ. එයාලා ගොඩනැගෙන දිහා බලන් ඉන්න එක මට කවියක්, චිත්‍රයක්, අහම්බෙන් කැමරාවට හසුකරගන්න ඡායාරූපයක් තරමටම සොඳුරු සංවේදනාවක්.

ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට දක්ෂ කෙනෙක් වෙලත්, 'වෘත්තිමය' වශයෙන් ඊට නොපිවිසුණේ ඇයි?

ගෘහ නිර්මාණකරණය රැකියාවකට වඩා මගේ විනෝදාංශය කියලා කීවොත් තමයි නිවැරැදි. මට ඒක වෘත්තීයමය රාමුවකට කොටුවෙලා කරන්න ඕනිකමක් නෑ. ගෘහ නිර්මාණකරණය වගේ කර්තව්‍යයක්, රැකියාවක් කරනවා කියන හැඟීමෙන් කරන්නත් බෑ. මගේ හිතේ මැවෙන නිවසක් තව කෙනෙක් ආසා වෙන විදියට නිර්මාණය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් මට හිතුණම ගෙවල් හදනවා, ගෙවල් හදන්නෙ නැති වෙලාවට එක්කො කවි ලියනවා නැතිනම් චිත්‍ර අඳිනවා. ඒත් නැතිනම්, කැමරාවත් අරන් ඇවිදින්න යනවා. ⁣මේ හැමදෙයක්ම මගේ ජීවිතේ වේදිතයන්.

ඉරේෂාගේ කැමරා ඇස 

තමන් පෙනී සිටින මාධ්‍යය වෙනුවෙන් කෙළින් හිටගන්න ‘කොන්දක් නෑ’ කියලා චෝදනාවක් මතුවෙලා තියෙනවා දැක්කා. තාම ඔබ 'කිවිඳියක්' යැයි නොපිළිගන්න හේතුව?

දරුවෙක් හදලා සමාජෙට දැම්මට පස්සෙ ඒ දරුවා කරන කියන දේවලින් හොඳ දේවලට වඩා නරක දේවල ලොකුම කොටස හිමිවෙන්නෙ අම්මට. දරුවො නරක වුණත්, හොඳ වුණත් දරුවෝ වෙනුවෙන් අම්මෙකුට පෙනී ඉන්න කෂේරුකාවක් නැතිවෙන්න විදියක් නෑ. එහෙම කෂේරුකාවක් නැති අම්මලත් ඇති. ඒත් මම එහෙම නෑ. මගේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන රසවින්දනයන් වගේම විවේචනත් මම ඕනැම අවස්ථාවක බාරගන්න සැදී පැහැදී ඉන්නවා. නිර්මාණයක් විඳින්න දන්න මිනිස්සුයි විවේචන හරි විචාර හරි කරන්නේ, තැන් තැන්වල කතා බහ නොකර. 

මම කිවිඳියක් කියන නාමකරණයට කොටු වුණොත්, ඒක මම මගේ අනිත් දරුවන්ට කරන අසාධාරණයක්. වචනයක් රිද්මයානුකූලව ගැලපූ පමණින් තමන් කවියන් කිවිඳියන්යැ යි ප්‍රකාශ කරගන්නා සමාජයක, 'මම කිවිඳියක්' කියලා කටු ඔටුන්නක් දාගන්න මට ඕනි නෑ. මම කවි ලියනවා, චිත්‍ර අඳිනවා, ෆොටෝ ගන්නවා, ගෙවල් හදනවා, දරුවො එක්ක සතුටින් ඉන්නවා. ඒ හැමදේමත් එක්ක මේ මහපොළොවේ ගෑනියෙක් හැටියට පය ගහලා ජීවත් වෙනවා. ඔය චෝදනාව සම්බන්ධව මම කිසිම පැහැදිලි කිරීමකට නොගියේ, ඒ චෝදනාව මට අදාළ නොවන නිසා යි. කවිය කියන්නේ මට මගේ එක භාව ප්‍රකාශන මාධ්‍යයක් විතර යි.

මේ දවස්වල 'සම්මාන' ගැන වැඩියෙන් කතාබහ වෙනවනෙ. මේ වෙද්දි සිද්ධවෙන සම්මාන නිර්දේශයන් ගැන ඉරේෂාගේ අදහස?

සම්මාන බලා⁣පොරොත්තුවෙන් නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකාරිණියක් නෙවෙයි මං. සම්මාන සහ සම්මානවලට නිර්දේශ වන නිර්මාණ තෝරන නිර්ණායකයන් කුමන පදනමකින් සකසනවා ද කියන කාරණය දන්නේ සම්මාන උළෙල සංවිධායකයින් සහ තීරකයින්. ඒ පිළිබඳ අපට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔය කාරණා ගැන පසුතැවීම හෝ හිතලු නිර්මාණය කිරීමට වඩා නිර්මාණකරණය වෙනුවෙන් කාලය වෙන් කිරීම වඩාත් සුදුසු යි කියලයි මං විශ්වාස කරන්නෙ.

ජූලි 7 වෙන්න යන වැඩේ ගැන කතාකරමු ද දැන්?

07 වෙනි දා හවස ⁣2:30ට මගේ පළමු කාව්‍ය සංග්‍රහය ‘හමාර බණවර’ නමින් මියුසස් ප්‍රකාශනයක් විදියට ‘මහනුවර කැන්ඩියන් ආට්’හි දී එළිදක්වනවා. එදාට ප්‍රධාන දේශකයන් හැටියට සම්මානනීය ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන සහ නීතිඥ ඩිල්ශාන් පතිරත්න යන අය සහභාගි වෙනවා. ප්‍රවීණ රංගන ශිල්පී සනත් විමලසිරි තමයි වැඩසටහන මෙහෙයවන්නේ. කවියට ආදරේ කරන හැමෝටම එදාට ඇවිත් අලුත් විදියෙ බණවරයක් අහන්න මම ආරාධනා කරනවා.

ඔබ සැමට ඇරයුම්!

‘හමාර බණවර’වලින් හමාර වෙනවා ද ඉරේෂාගේ ‘කවිය’?

පිරිත් සජ්ඣායනාවක් ‘හමාර බණවර’ දේශනා කළාට පස්සෙ අහවර වෙනවා. මම මේ වැඩේ පටන් ගන්නෙම, තව පිරිසක් නිමාව සටහන් කරන තැනකින්. එහෙම තැන්වලින් ආරම්භ වන වැඩවල නිමාවක් තීරණය කරන්න අපහසු යි. අනික මගේ කවියට වස්තු විෂය වන අනුභූතීන්වලට සීමා මායිම් දාගෙන නැති නිසා මට මගේ කවිය අවසන් වන තැනක් ගැන තාම නිශ්චිත අදහසක් දැන්ම කියන්න බෑ. ‘හමාර බණවර’ කියන්නේ, මම අලුත් විදියකට නැවත ඉපදීමක්. තාම ඉපදුණා විතරනේ. බලමු තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද කියලා.