යුදෙව්වන්ගේ ආලෝක මංගල්‍යය: හනකා

දින 8ක කාල සීමාවක් මුළුල්ලේ පවත්වනු ලබන යුදෙව්වන්ගේ ආලෝක මංගල්‍යය හඳුන්වන්නේ ‘හනකා’ යන නාමයෙන්. සාමාන්‍යයෙන් සරත් සමය අවසානයේ දී හෝ සිසිර ඍතුව ආරම්භයේ දී සමරනු ලබන හනකා උත්සවයේ ඇරඹුම සනිටුහන් වන්නේ, යුදෙව් දින දසුනේ 9 වැනි මාසය ලෙස සැලකෙන කිස්ලෙව් හි 25 වැනි දිනයේ දී හිරු බැස යාම සමග යි. 2018 වර්ෂයේ දී හනකා උත්සවය ආරම්භ වුණේ දෙසැම්බර් 2 වැනි දින වන අතර, එය දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ක්‍රි. පූ. 2 වැනි සියවසේ දී ග්‍රීක අක්‍රමණිකයන්ට එරෙහි ව සටන් වැදුණු යුදෙව් හමුදාවන්ගේ ජයග්‍රහණය සැමරීම සඳහා පවත්වනු ලබන හනකා උත්සවයේ දී ජෙරුසලමේ පිහිටි දෙවොල පිරිසිදු කර නැවත කැප කිරීමේ දී (The Cleansing and Rededication of the Temple in Jerusalem) සිදු වූ ප්‍රාතිහාර්යයන් සිහිපත් කිරීම ද සිදුවෙනවා. පුරාවෘත්තයන් හි සඳහන් වන්නේ පූජා කටයුතු සඳහා යොදා ගන්නා ලද ‘මෙනෝරා’ නම් පහන් වෘක්ෂය (candelabrum) දැල්වීම සඳහා පැවති තෙල් ප්‍රමාණවත් වුණේ එක් දිනකට පමණක් වුව ද, එය දින 8ක් පුරාවට නොනිමී පැවතුණු බව යි.

(© The Temple Institute) ජෙරුසලමේ පිහිටි දෙවොල පිරිසිදු කර නැවත කැප කිරීම

යුද ජයග්‍රහණයෙන් බිහි වූ ආලෝක සාම්ප්‍රදායය

හනකා උත්සහයේ ඇරඹුම අදින් වසර 2,000කට පමණ පෙර කාලයට (ක්‍රි. පූ. 2 වැනි සියවස දක්වා) දිව යනවා. වත්මන් ඊශ්‍රායලය පවතින භූමි ප්‍රදේශය එවකට පැවතුණේ සෙලූසිඩ් අධිරාජ්‍යයේ (ක්‍රි. පූ. 323 දී මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයා මිය යාමෙන් පසු ව බිඳ වැටුණු මැසිඩන් නම් ග්‍රීක අධිරාජ්‍යයෙන් වෙන් වූ රාජ්‍යයක්) කොටසක් ලෙස යි. වත්මන් තුර්කියේ සිට මැදපෙරදිග ඔස්සේ වයඹ දිග ඉන්දියාව දක්වා පැතිරුණු සෙලූසිඩ් අධිරාජ්‍යය, ක්‍රි. පූ. 200 වන විට 3 වැනි ඇන්ටියෝකස් රජු යටතේ පාලනය වුණා.

(© Thomas Lessman) සෙලූසිඩ් අධිරාජ්‍යය දැක්වෙන සිතියමක්

නමුත් ක්‍රි. පූ. 188 දී ඔහු ව පරාජයට පත් කළ රෝම හමුදාවන්, සෙලූසිඩ් අධිරාජ්‍යය ආක්‍රමණය කළ අතර, යුදෙව් බැතිමතුන්ගෙන් අධික ලෙස බදු එකතු කළ බව සඳහන් වෙනවා. මේ හේතුවෙන් ඇතැම් යුදෙව්වන් පිළිම වන්දනය සිදුකළ සිරියානු-ග්‍රීක ආගම් ඇදහීම අරඹන ලද අතර, ඔවුන් ව හඳුන්වා ඇත්තේ හෙලනිස්තිකවරුන් ලෙස යි. කෙටි කලක් තුළ දී යුදෙව් බැතිමතුන් සහ හෙලනිස්තිකවරුන් අතර පැවති භේදය උග්‍ර වූ අතර, ක්‍රි. ව. 168 දී එවකට සිහසුන දැරූ 4 වැනි සෙලූකස් රජුට යුදෙව් දෙවොලේ භාණ්ඩාගාරය තුළ පැවති වස්තු සම්භාරය ගැන තොරතුරු හෙළිදරව් කර ඇත්තේ හෙලනිස්තිකවරුන් විසින්. දෙවොල අලුත්වැඩියා කිරීම, අනාත දරුවන් සඳහා අවැසි මූල්‍යාධාර ලබා දීම සහ බිලි පූජා සඳහා අනුග්‍රහය දැක්වීම වැනි කටයුතු සඳහා යොදා ගන්නා ලද භාණ්ඩාගාරය සතු සියලු ම මුදල් ලබා ගැනීමට 4 වැනි සෙලූකස් රජු තැත් කළ ද ඔහුගේ උත්සාහයන් සාර්ථක වී නැහැ.

(© Berthold Werner) ඊශ්‍රායල් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ජෙරුසලමේ දෙවොලේ ආකෘතියක්

කෙටි කලෙකින් ඔහු ව මරණයට පත් කරන ලද අතර, ඉන් අනතුරු ව සිහසුන හිමි වුණේ ඔහුගේ සහෝදරයෙකු වූ 4 වැනි ඇන්ටියෝකස් රජු යි. දෙවොලේ ප්‍රධාන පූජකයා ව ඉවත් කිරීමට කටයුතු කළ ඔහු ඒ සඳහා හෙලනිස්තිකවරයෙකු පත් කර තිබෙනවා. සෙලූසිඩ් අධිරාජ්‍යය තුළ සිරියානු-ග්‍රීක ආගම් ප්‍රචාරය කිරීමට කටයුතු කළ ඔහු, දෙවොලේ භාණ්ඩාගාරය සතු ව පැවති ධනය රජු සමග බෙදා ගැනීමට පවා කටයුතු කරන ලද බව යි සඳහන් වන්නේ. එයින් කෝපයට පත් යුදෙව් බැතිමතුන් ප්‍රධාන පූජකයාට එරෙහි ව කැරැල්ලක් දියත් කරන ලද අතර, රජුගේ හමුදාවන් යුදෙව් බැතිමතුන්ට එරෙහි ව සටන් බිමට පැමිණ ඇත්තේ එයට ප්‍රතිචාර වශයෙන්. එහි දී යුදෙව් බැතිමතුන් දහස් ගණනක් මරණයට පත් කරන ලද අතර, ඔවුන්ට යුදෙව් දහම සහ චාරිත්‍ර පිළිපැදිය නොහැකි වන අයුරින් දැඩි නීතිරීති පනවා තිබෙනවා.

(© Wikimedia Commons) පීටර් පෝල් රූබින්ස් විසින් අඳින ලද ශක්තිමත් ජූඩාගේ නායකත්වය යටතේ මැකබීස්වරුන් ලද ජයග්‍රහණය දැක්වෙන සිතුවමක්

එයට එරෙහිව ‘මැකබීස්’ නම් යුදෙව් බැතිමතුන් කණ්ඩායමක් යුද වැදී ඇත්තේ ශක්තිමත් ජූඩාගේ නායකත්වය යටතේ යි. භටයින් 40,000කින් සැදි ග්‍රීක හමුදාවන්ට එරෙහිව කිහිප වරක් ම යුද වැදුණු ඔවුන් අවසානයේ දී ජයග්‍රහණය කරන අතර, ක්‍රි. පූ. 139 දී ජෙරුසලමේ දෙවොල තුළ තැන්පත් කරන ලද හෙලනිස්තිකවරුන් ප්‍රතිමා ඉවත් කරන එය පිරිසිදු කිරීම සිදුකර තිබෙනවා. කිස්ලෙව් මාසයේ 25 වැනි දිනයේ දී නැවත කැප කරන ලද දෙවොල තුළ ‘මෙනෝරා’ නම් පහන් වෘක්ෂය දල්වන ලද අතර, එය දින 8ක් පුරාවට නොනිමී දැල්වීම සැලකෙන්නේ හනකා උත්සවයේ ප්‍රාතිහාර්යය ලෙස යි.

දින 8ක් සහ රාත්‍රීන් 8ක් පුරාවට සමරන හනකා උත්සවය

(© James / Wikimedia Commons) ‘මෙනෝරා’ නම් පහන් වෘක්ෂය

නොවැම්බර් මාසය අවසානයේ දී හෝ දෙසැම්බර් මාසය ඇරඹුමේ දී එළැඹෙන කිස්ලෙව් මාසයේ 25 වැනි දිනයේ හිරු බැස යන යාමයේ දී ආරම්භ කරන හනකා උත්සවය, දින 8ක් සහ රාත්‍රීන් 8ක් පුරාවට සමරනු ලබනවා. සෑම දිනෙක ම හිරු බැස යන විට ‘මෙනෝරා’ නම් පහන් වෘක්ෂයේ එක් අත්තක් දැල්වීම සිදුකරන අතර, පළමු දිනයේ දී එක් ඉටි පහනක්, දෙවැනි දිනයේ දී ඉටි පහන් ද්විත්වයක් ආදි වශයෙන් පහන් දැල්වීම සිදුකරනවා. එසේ ම සාම්ප්‍රදායික ව ඉටි පහන් දැල්වීම සිදුකරන්නේ දකුණේ සිට වමට යි. එයට අමතර ව ඉටි පහන් දැල්වීමේ දී යාතිකා කිරීම ද සිදුවෙනවා. ‘මෙනෝරා’ නම් පහන් වෘක්ෂය දල්වා, අවසානයේ දී එය වීදියට මුහුණලා පිහිටි කවුළුවක් ආසන්නයේ තැන්පත් කරන්නේ අසල්වැසියන් සමග අලෝකය බෙදා ගැනීමේ අරමුණෙන්.   

(© A. Namenko / iStock by Getty Images) ‘ලාකස්’ නම් පෑන්කේක් සහ ‘සුෆ්ගන්යොට්’ නම් ඩෝනට්

හනකා උත්සවය සතු තවත් සුවිශේෂී අංගයක් වන්නේ සාම්ප්‍රදායික යුදෙව් ආහාර පාන යි. සාමාන්‍යයෙන් ඒ සඳහා අර්තාපල්, ලූනු, බිත්තර, පිටි, සහ කුළුබඩු යොදා සකස් කරන ‘ලාකස්’ නම් පෑන්කේක් සකස් කරන අතර, එය පිළිගන්වන්නේ ඇපල් සෝස් සහ කිරි මෝරු සමග යි. එයට අමතර ව හනකා උත්සවය සැමරීම සඳහා ‘සුෆ්ගන්යොට්’ නම් ගැඹුරු තෙලේ බදින ලද ජෙලි පිරි ඩෝනට් සැකසීම ද සිදුකරනවා. එසේ ම හනකා උත්සවයේ දී යුහුඩිත් හෙවත් ජූඩිත්ට සිදුකරන ගෞරවයක් ලෙස චීස් සහ අනෙක් කිරි ආහාර සැකසීම සිදුකරනවා. පුරාවෘත්තයන් හි සඳහන් වන අන්දමට ග්‍රීක හමුදාවන් සහ යුදෙව්වන් අතර පැවති සටනේ දී යුහුඩිත් හෙවත් ජූඩිත් විසින් ග්‍රීක සෙන්පතියෙකු සඳහා ලුණු සහිත චීස් ආහාරයට ලබා දී තිබෙනවා. අධික ලෙස ලුණු ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ පිපාසය නිවා ගැනීම සඳහා ඇය, ග්‍රීක සෙන්පතියාට වයින් ලබා දී ඔහු ව මත් කර පසු ව ඔහුගේ හිස ගසා දැමීම, යුදෙව්වන්ගේ ජයග්‍රහණය සඳහා මහත් රුකුලක් වූ බව යි යුදෙව්වන්ගේ විශ්වාසය වන්නේ.

කවරයේ පින්තූරය: © Tomert / Deposit Photos

Related Articles