Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ මිහිපිට අපාය බඳු මැනිලා ‘සන්තුෂ්ටි පුරවරය’

එහි මඩ සහිත වීදි දිගේ ඇවිද යනවිට විට අහස උසට නැඟුණු දැවැන්ත කසළ කඳු නිරායාසයෙන් දක්නට ලැබෙයි. ඒවායින් හමන දුගඳ හාත්පස ම මහත් අපුලජනක සේ පැතිර යයි. නිරන්තර තෙත් සහිත මඩ පොළොව, කුණු වී ගිය කසළ සමඟ මිශ්‍ර වූ පොළොවේ සෑම තැනක් ම කුණුවලින් සෑදුණු පුඩිමක් සේ පෙනේ. එම දසුන දකින ඕනෑම කෙනකුට ඒ මඩ පොළොව මත මිනිසුන්ට එසේ ජීවත් විය හැකිදැයි සිතා ගත නොහැකි වනු ඇත.

පිලිපීනයේ මැනිලා හි ඒ මුඩුක්කු ජනාවාසය ලෝකයේ විශාලත ම මුඩුක්කු පරිසර අතරට ගැනෙන තවත් එකකි. පොදුවේ ගත් කල එහි වැඩිහිටියන් හා ළමයින් ද, කාන්තාවන් සහ පිරිමින් ද දෛනික ව යමක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් අතට හසු වන ඕනෑම වර්ගයක කුණු කසළ සොයා එකතු කරමින්, ඒවා වර්ග කරමින් දවසේ ආදායම උපයා ගනිති. බොහෝ දරුවන්ට පාසල් යාමට නොහැකි වන්නේ ඔවුන්ගේ පවුලට දිවි ගලවා ගැනීම සඳහා තමන්ගේ ද දායකත්වය අත්‍යාවශ්‍ය වන බැවිනි. මෙය ඔවුන්ගේ ජීවන යථාර්ථය යි. මෙය ඔවුන්ගේ ජීවිතය යි.

මැනිලා මුඩුක්කු ජීවිතය – www.nytimes.com

ඇස්තමේන්තු ගත කර ඇති පරිදි පිලිපීනයේ මෙට්‍රෝ මැනිලාහි ජනගහනයෙන් සියයට 35 ක් ජීවත් වන්නේ ඉතාම අස්ථිර ලෙස අටවා ගත් මුඩුක්කු නිවාසවල ය. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා අනුව පිලිපීනයේ මැනිලාහි මුඩුක්කු ජනගහනය මිලියන 3.4 ක් පමණ යැයි ගණන් බලා තිබේ. මුඩුක්කු පදිංචිකරුවන්ගෙන් සියයට එකොළහක් එහි දුම්රිය මාර්ග අවට සහ මහාපරිමාණ කුණු කසළ කඳු සහ අපිරිසුදු ජලය ගලා බසින ඇළ මාර්ග ඉවුරු වැනි අනාරක්ෂිත ප්‍රදේශ අසල ජීවත් වෙති.

ලෝක බැංකුවට අනුව, පිලිපීනයේ අන්ත දුගී ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය හා සසඳා බලද්දී පැල්පත්වාසීන්ගේ ජීවන තත්ත්වය වඩාත් ම ඛේදජනක ය. ‘මෙගා සිටීස් ව්‍යාපෘතිය’ නම් ආයතනයේ පර්යේෂණයෙන් හෙළි වූයේ මුඩුක්කු නොවන ප්‍රදේශවලට වඩා ක්ෂය රෝග බෝවීමේ අනුපාතය නව ගුණයකින් මෙහි වැඩි බවත්, පාචන රෝග අනුපාතය දෙගුණයක් වැඩි බවත් ය. පිලිපීනයේ සෙසු සාමාන්‍ය ප්‍රදේශවලට වඩා ළමා මන්දපෝෂණ අනුපාතය මුඩුක්කු නිවාසවල තුන් ගුණයකින් වැඩි ය. ලියාපදිංචි ස්ථිර ලිපිනයක් නොමැති බැවින් මුඩුක්කු ජනගහනය පිළිබඳ ප්‍රමාණවත් සංඛ්‍යාලේඛන දත්ත රැස් කිරීම අතිශයින් දුෂ්කර ය.

මැනිලාහි නිවාස තදබදය – gettyimages.com

දුගී භාවය දෛවයේ සරදමක්

දුගී භාවය දෛවයේ සරදමක් ද යනුවෙන් සිතෙන තරමට මෙහි ජීවන තත්වය ඛේදනීය වේ. කෙදිනකවත් යමකුට මේ මට්ටමේ දුක්ඛිත ජීවන තත්ත්වයක් දැක ගැනීමට නොව ඒ ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම්ය . සමහරු එම පරිසරයේ දැඩි ලෙස දූෂිත දුර්ගන්ධ ඇළ මාර්ගවල පාලම් යට ජීවත් වෙති. මෙම තාවකාලික නිවාස කුණු කන්ද මත ම යැපෙන විශාල ජනකායක් එහි වාසය කරන අතර එක් කොන්ක්‍රීට් කුටීරයක, පවුල් 100 ක් පමණ කුඩා පෙට්ටි නිවාසවල එකිනෙකා අසල ජීවත් වෙති. සෑම නිවාස කොටසක ම පොදු නාන කාමර දෙකක් පමණක් ඇති අතර එහි වාසය කරන 500 ක් හෝ ඊට වැඩි පිරිසක් එය බෙදා හදා ගත යුතු ය.

මෙහි ඇති අපිරිසුදු මංතීරු මාර්ග තුළ, මූලික සනීපාරක්ෂාව, පිරිසුදු ජලය හෝ නිසි ආහාර සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතාවල සේයාවකුදු පවා නොමැති ව, ජීවන මාර්ගයක් සොයන අදිටනින් පිලිපීනයේ සෑම තැනකින් ම පැමිණි මිනිස්සු එහි ජීවත් වෙති. සෑම දිනක ම ඔවුහු කුණු කසළ වර්ග කරති, ලෝහ, ප්ලාස්ටික් හෝ සමහර විට ඉතිරි ව ඇති ආහාර පවා රැස් කරති.

පැග් පැග් සඳහා ඉවතලන මස් එකතු කරන කාන්තාවක් – www.scmp.com 

කුකුළු මස් කැබලි ප්‍රතිචක්‍රීකරණය

අවන්හල්වලින් ඉවත ලන කුකුළු මස් කැබලි, ඇටකටු සහ විවිධ පිළිකුල් ජනක මාංශ කොටස් කුනු කන්දෙන් අහුලා ගන්නා ඔවුන් එය නැවත තම්බා, කැබලිවලට කපා නැවත කබලෙන් රත්කොට පරිභෝජනයට ගනිති. කසළ බඳුන්වලින් සහ කසළ කන්දෙන් කුකුළු මස් කැබලි ටොන් ගණනක් එකතු කර තම්බා ප්‍රතිචක්‍රීකරණය කරයි.

එය “පැග්පැග්“ලෙස හැඳින්වෙන අතර, ඒවා මුඩුක්කු නිවාසවල කුසගින්නෙන් පෙළෙන පවුල්වලට පෙසෝ කිහිපයක් සඳහා විකුණනු ලැබේ. පැග්පැග් පරිභෝජනය විශේෂයෙන් ම ළමයින්ගේ වර්ධනයට බාධාවක් වන අතර හෙපටයිටිස් ඒ, කොලරාව සහ ටයිපොයිඩ් වැලඳීමේ අවදානම එමඟින් වැඩි කරයි. එහෙත් පැග්පැග් ආහාරයට ගැනීම සහ විකිණීම මුඩුක්කු නිවාසවල තවත් එක් ජීවන මාර්ගයකි.

දරිද්‍රතාව නිසා ම මුඩුක්කු ජනාවාසයේ නිවාසවල අය නිසි මාර්ගෝපදේශ හෝ නිසි බලයක් රහිත ව අඟුරු නිෂ්පාදනය දිගට ම කරගෙන යති. සෑම දිනකම ළමයින් සහ වැඩිහිටියන් ඔවුන්ගේ අඟුරු පෝරණුව පෝෂණය කිරීම සඳහා සොයා ගත හැකි ඕනෑම වර්ගයක දැව සහ ලී එකතු කර ගැනීම පිණිස කුණු කසළ හා ඉදිකිරීම් ස්ථාන හරහා ගමන් කරති.

අඟුරු සඳහා දැව සහ කසල එකතු කරන මුඩුක්කු වැසියන් -makechange.aspiration.com 

අඟුරු නිෂ්පාදනය

එය අපිරිසුදු අප්‍රසන්න දෙයක් වුව ද, ඔවුන්ට වෙනත් විකල්පයක් නැත: අඟුරු සෑදීම ඔවුන්ගේ එක ම ප්‍රධාන ආදායම් ක්‍රමය යි. මිලියන 3 ක පමණ ජනතාවක්, පවුල් සිය ගණනක් ඔවුන්ගේ ආදායම උපයා ගන්නේ අඟුරු සෑදීමෙනි. අඟුරු පස් කන්ද අසල තාවකාලික නිවාසවල වාසය කරන අඟුරු නිෂ්පාදකයෝ දවසේ පැය 24 පුරා ම, සතියේ දින හතේ ම උදුන සමඟ වැඩ කරති.

මුඩුක්කු ප්‍රජාවේ කුඩා ළමයි තම කුඩා දෑත්වලින් ලබා ගත හැකි ඕනෑම බෑගයකින් සන්නද්ධ ව, කුණු ගොඩවල් හරහා ගොස්, හැකි තරම් දැව සොයා ගැනීමට උත්සුක වෙති. ඒ දර දාහකයන්ට භාර දේ. දර එක්රැස් වූ පසු, ලී පිරමීඩයකට ගොඩ ගසා, ගිනි තබන අතර පසු ව ගිනි ගත් දර යකඩ තහඩු සහ පසෙන් ආවරණය කර ඔක්සිජන් ක්ෂය වීමට සලස්වා, ඔක්සිජන් නොමැති ව දැව පුළුස්සා දැමීමේ ක්‍රියාවලිය මගින් අඟුරු නිපදවයි.

මුඩුක්කු පරිසරයේ දේශගුණික අවදානම – gettyimages.com

 

දේශගුණික අවදානම් දර්ශකයේ සිව්වන ස්ථානයේ

පිලිපීනය, ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ සිව්වන ස්ථානයේ පසුවන රටකි. බොහෝ විට සුළි සුළං, ගංවතුර, භූමිකම්පා සහ වෙනත් ස්වාභාවික විපත්වලට රට ගොදුරු වේ. එවන් අවදානම් තත්ත්වයන් යටතේ මුඩුක්කු පරිසරයේ සාදා ඇති ලක්ෂ ගණනක් කූඩාරම් වැනි වාසස්ථාන එහි දුක්ඛිත ජනයාට මෙම විපත්වලින් ආරක්ෂා වීමට කිසිදු අනුග්‍රහයක් සපයා නොදෙයි.

ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ මෙම මුඩුක්කු භයානක ස්ථානවල පැවතීම නිසා ඒවා ස්වාභාවික විපත්වලට ගොදුරු වීමේ අනිවාර්ය ප්‍රවණතාවක් පවතින බව ය. වර්ෂ 2000 ජුලි මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කුණු කන්දක නාය යෑමකින් කසළ කඳු මුදුනක පදිංචි වී සිටි මුඩුක්කු ජනාවාසයේ පුද්ගලයන් 218 දෙනකු මිය ගොස් ඇත.

මුඩුක්කු දරුවන් – www.newstatesman.com 

 

මුඩුක්කු නිවාසවල දරිද්‍රතාව හේතුවෙන් එහි ළමයින් මාර්ග ගත ළමා ලිංගික අපයෝජනයට ලක්වීම සුලබ ව සිදුවන දෙයකි. මෙම ස්ථානවල ළමා කාමුක දර්ශන සජීවී ව විකාශනය කිරීම නිසා යුනිසෙෆ් සංවිධානය, ළමයින්  අපචාර වෙළඳාමේ යොදා ගන්නා ගෝලීය කේන්ද්‍රස්ථානය ලෙස පිලිපීනය නම් කර තිබේ.

පිලිපීනයේ ජාතික පොලිස් මූලස්ථානයේ නව සයිබර් අපරාධ ඒකකය සහ ළමා කාමුක දර්ශනවලට එරෙහි නීතියක් සම්මත කර තිබියදීත්, එවන් සිදුවීම් ඉහළ මට්ටමක පවතියි. වරදකරුවන් නීතියට හසුවීම සිදුවන්නේ කලාතුරකිනි. යුනිසෙෆ් සංවිධානය වාර්තා කරන්නේ බොහෝ මව්පියන් පවා ස්වකැමැත්තෙන් තම දරුවන්, මුදල් උපයා ගැනීමට මෙම සංදර්ශන සඳහා රැගෙන එන බව යි. එය මුඩුක්කුවේ ආර්ථික සහ සංස්කෘතික උපාය මාර්ගයක්ද වේ. වීදි ගණිකා ව්‍යාපාරය, ළමා ලිංගික කටයුතු, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ භාවිතාව, ප්‍රචණ්ඩ ක්‍රියා ආදී සියලු පාතාල කටයුතු ද මෙම මුඩුක්කු සංස්කෘතියේ ම අන්තර්ගත ය. ගින්න, අපරාධ සහ මාරාන්තික විෂ දුමාරවලට මුහුණ දීම මෙහි ජීවිතය යි.

මැනිලා බොක්ක අසල මුඩුක්කුවල තත්ත්වය අහස දකින හැටි – gettyimages.com

 

ස්වසන රෝග සහ හෘද රෝග

මැනිලා බොක්ක අසල මුඩුක්කුවල තත්වය ඒ තරම් දරුණු ය. එය කිසිසේත් සෞඛ්‍ය සම්පන්න බවක අවම මට්ටම හෝ නොවේ. ඔවුන් ජීවත් වන්නේ කුණු කන්දක් මත ය. අපවිත්‍ර මඩ සහ දුර්ගන්ධ ඇළ මාර්ග සමඟ ය. දැව අඟුරු සහ කසළ සමඟ ය. අඟුරු සෑදීමේ මූලික ක්‍රියාවලිය මගින් කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හානිකර විමෝචන රසායනික ද්‍රව්‍ය ද පරිසරයට නිරාවරණය වේ.

මෙහි ප්‍රතිඵලය වන්නේ ස්වසන රෝග සහ හෘද රෝග රාශියකි. මෙහි ප්‍රජාව රසදිය, නිකල්, කැඩ්මියම් සහ අධි ආසනික් මට්ටම්වලට නිරන්තර ව නිරාවරණය වෙමින් සිටිති. බොහෝ ළමයින් ඔවුන්ගේ පවුල් විසින් අඟුරු සෑදීම සඳහා පාසලෙන් බැහැර කරනු ලැබ ඇති හෙයින් උපද්‍රවකාරී තත්ව මධ්‍යයේ ළමයි වෙහෙස මහන්සි වී වැඩ කරති. කොලරාව, අතීසාරය, මැලේරියාව, සමේ ආබාධ, ක්ෂය රෝගය සහ ටයිපොයිඩ් ඇතුළු කසළ බැහැර කරන ප්‍රදේශවල පවතින රෝග 35 කට වැඩි ප්‍රමාණයක් පර්යේෂකයන් එහි හඳුනාගෙන ඇත.

2020දී කොරෝනා වෛරසය නිසා හුදෙකලාවට පත් කළ  අනාරක්ෂිත මුඩුක්කු නිවාසවල ජීවිත – www.reuters.com 

 

මැනිලා මුඩුක්කු නිවාසවල පදිංචිකරුවන්ට නිසි සනීපාරක්ෂාවක් සහ පිරිසිදු පරිසරයක් නොමැත. මුඩුක්කු පදිංචිකරුවන්ගෙන් සියයට 66කට මිනිස් අපද්‍රව්‍ය බැහැර කිරීමට ප්‍රමාණවත් ක්‍රමයක් නොමැති අතර ඔවුන් බොහෝ විට විවෘත වළවල් හෝ ගංගා වෙත යොමු වී ඇති බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආයතනය පවසයි. යුනිසෙෆ් අධ්‍යයනයකින් හෙළි වූයේ මුඩුක්කු නිවාසවල ළමයින්ගෙන් සියයට 16 කට පමණක් පිරිසුදු පානීය ජලය ලබා ගත හැකි බවයි.

මෙහි ප්‍රතිඵලයක් හැටියට නිවැසියන් බොහෝ දෙනකුට බොහෝ විට දූෂිත භූගත ජලය වෙත නැඹරුවීමට සිදු ව ඇත. පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මුඩුක්කු නිවාසවල ළමා මරණ අනුපාතය මුඩුක්කු නොවන ප්‍රදේශවලට වඩා තුන් ගුණයකින් වැඩි ය. විජලනය, උණ, නියුමෝනියාව සහ ආසාදන වැනි රෝග මෙන්ම විවිධ තුවාල මෙම පරිසරයේ ළමයින් නිරන්තරයෙන් ම ගිලගනිමින් තිබේ.

බඩවැල්වල විනාශකාරී පරපෝෂිතයන්

මේ පිළිබඳ කළ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ මාස අටේ සිට අවුරුදු 15 දක්වා ළමයින්ගෙන් සියයට 80 ක් කසළ පරිසරය සහ කසල ආහාර පරිභෝජනය නිසා අව ම වශයෙන් ඔවුන්ගේ බඩවැල්වල විනාශකාරී පරපෝෂිතයන් සිටින බව ය. ආසියානු සංවර්ධන බැංකු අධ්‍යයනයකින් හෙළි වූයේ ළමයින්ගෙන් සියයට 50 ක් රක්තහීනතාවයෙන් පෙළෙන බව ය. පිලිපීනයේ කාන්තාවන් 12 දෙනෙක් ගැබ්ගෙල පිළිකාවෙන් සෑම දිනක ම මිය යති. මෙම මුඩුක්කු පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් අනපේක්ෂිත ජීවිත ගත කරති.

මැනිලාහි විශාලත ම මුඩුක්කු පරිසරය තුළ ළමා දිවිය – gettyimages.com

 

මිනිසුන්ගේ ජීවන තත්වයන් සහ ආර්ථිකය අවස්ථා මත පදනම් ව අනපේක්ෂිත දිශාවන් වෙත ගමන් කිරීම එහි සාමාන්‍ය දෙයකි. ටොන්ඩෝ යනු මැනිලාහි විශාලත ම මුඩුක්කු පරිසරය වන අතර සමහර නිවැසියන් දිවි ගලවා ගන්නේ වසරකට අමරිකානු ඩොලර් 400 ක පමණ අවම ආදායමකිනි.

ආහාර වෙළෙන්දෝ අඩු වරප්‍රසාදලාභීන්ට පවා දැරිය හැකි ආහාර සෑදීම සඳහා ඉතා දක්ෂ ක්‍රම ඉදිරිපත් කරති. මෙම නවෝත්පාදක ආහාර, ඉතිරි ව ඇති හැපෙනසුලු හා කුළුබඩු සහිත කුකුළු මස්, ඉවතලන ඌරු බඩවැල් සමඟ රසකාරක භාවිත කොට සුප් වැනි දේ අඩු මුදලට විකිණීම සඳහා නිපදවයි.

 ආහාර ලබා දෙන ජනතා සංවිධාන – gettyimages.com

 

මැනිලා හි ටොන්ඩෝ ප්‍රදේශය, නගරයේ වඩාත් ම ජනාකීර්ණ ස්ථානය ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර සාපරාධීත්වය, ලෙඩරෝග සහ දුප්පත්කම පිළිබඳ කීර්තිය එය රැගෙන එයි. හාස්‍යයට කරුණක් වන්නේ මෙතරම් දුක්ඛිත බිහිසුණු මිහිපිට අපායක් බඳු මෙම මුඩුක්කු පරිසරය නම්කොට ඇත්තේ හැපි ලෑන්ඩ් හෙවත් ‘සන්තුෂ්ටි පුරවරය’ ලෙසට ය. එය මෙම මුඩුක්කුවට ඇතුළුවන තැන යෝධ නාමපුවරුවක සටහන් වී ඇත.

කවරයේ ඡායාරූපය: කුණු කඳු උඩ ජීවිත - gettyimages.com

මූලාශ්‍ර:

www.thesun.co.uk

borgenproject.org

makechange.aspiration.com

www.adventureinyou.com

www.nytimes.com 

www.newstatesman.com

www.reuters.com

makechange.aspiration.com 

Related Articles