Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැරී පොටර් හි තිබෙන මන්තර වර්ග 7ක්

ෆැන්ටසි ලොවට පිවිසෙන්නට කැමති ඕනෑම වයසක කෙනෙක්ට රසවිඳිය හැකි අපූරු කතා මාලාවක් වූ හැරී පොටර්, තවත් කොටසක් එනවාට අකමැති කෙනෙක් සිටීමත් උගහට ය. එවන් කෙනෙක් ගැන දැනගත්තොත් අනෙක් අය එවෙලේම ඇවාඩා කෙඩව්රා! කියනු ඇත.

හැරී පොටර් කතා මා‍ලාවේ හොඳම සාරය වන්නේ එය සතු මන්තර යි. එහි ඇති සිය ගණන් මන්තර අඩංගු වන ප්‍රධාන කොටස් සමග ඒ වෙත නැවත ‘හැරී’ බලන්න යි මේ සුදානම. මෙරටත් දේවාලවල තිබෙන යන්ත්‍ර මන්ත්‍ර සිහි කරමින් මේවාට අපි සිංහල නම් යෙදුවා. වාසනාවට හැරී පොටර් Spells නම් “ඕං රීං” කියලා 108 වාරයක් ජප කරන්නට ඕන නැහැ.

අවවාදය යි! ඔබ පොත් සහ චිත්‍රපට සියල්ල අවසන් කර නැත්නම් මෙහි Spoilers තිබිය හැක.

රූපාන්තරය (Transfiguration)

මීයෙක් වුණු අසරණ ස්ක්‍රැබර්ස් (pinimg.com)

රූපාන්තරයක් හෙවත් Transfiguration spell එකක් යනු වස්තුවක අණුක ව්‍යුහය වෙනස් කිරීම හරහා වස්තුවක ස්වරූපය හෝ පෙනුම වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන මැජික් වර්ගයකි. බොහෝ වස්තූන් මෙලෙස වෙනස් කළ හැකි අතර, එම හැකියාව මෙම මායා වර්ගයට ම සීමා වෙන්නේ නැහැ.

පළමු වසරේ මායා සිසුන්ට ඉගැන්වෙන මෙම මන්තර ක්‍රියාත්මක කිරීමේ දී ශරීර බර, දුෂ්ට බව, මායා බලය, මානසික ඒකාග්‍රතාව යනාදිය සැලකිල්ලට ගත යුතු යි. “රූපාන්තරය යනු ඔබ හොග්වාර්ට්ස් හි ඉගෙන ගන්නා වඩාත් සංකීර්ණ හා භයානක මැජික් වර්ගයක්. මගේ පන්තියේ විකාර කරන ඕනෑම අයෙකු එළියට දමනවා. මෙය පූර්ව අනතුරු ඇඟවීමකි”යි Philosopher’s Stone කෘතියේ දී මහාචාර්ය මැක්ගොනගල් කියයි.

ඩර්ස්ලි පවුල සඟවාගෙන සිටින හැරී සොයාගෙන එන හැග්‍රීඩ්, කුඩයකින් උඳුනේ ගිනි දල්වන්නේ මෙන්ම හැරී පොටර්ට Parseltongue හෙවත් සර්පයින්ගේ බස බව හෙළි වූ අවස්ථාවේ ස්නේප් විසින් එම සර්පයාව නැති කරන ලද්දේ මෙවන් මායාවකින්. එනම්, දෙයක් ඇති කිරීම සහ නැති කිරීමේ හැකියාව ද මෙය සතු යි. මෙය වැරදියට කිරීමෙන් රොන් පන්ති කාමරයේ දී මීයෙක්ව, වලිගයක් ඇති කෝප්පයක් බවට පත් කළා.

හූනියම (Charm)

හූනියමක් හෙවත් Charm එකක් යනු වස්තුවකට හා පුද්ගලයෙකුගේ දෙයක් වෙනස් කරන මන්තර වර්ගයකි. රූපාන්තරයේ දී සිදුවන්නේ; සම්පූර්ණ වස්තුවම වෙනත් දෙයක් බවට පත් වීම වුවත්, මෙහි දී සිදුවන්නේ කිසියම් කොටසක්/ ගුණාංගයක් පමණක් වෙනස් වීම යි.

හර්මයිනි, සිරියස් බ්ලැක් බේරාගනිද්දී බොම්බාඩා (Bombarda) යොදාගත් අතර, එහි දැඩි හානියක් කළ හැකි බොම්බාඩා මැක්සිමා (Bombarda Maxima) මන්ත්‍රය ඩම්බල්ඩෝගේ හමුදාව සිටි රහසිගත කාමරය විවෘත කිරීමට ඩොලෝරස් අම්බ්‍රිජ් භාවිතා කළා. Homonculous Charm එක සිතියමකට යෙදූ විට විවිධ පුද්ගලයන් සිටින ස්ථාන, ගමන් කරන ආකාරය එහි දැකිය හැකියි.

වින්ගාඩියම් (හර්මයිනි කියන ආකාරයට) “ලෙවි-ඕ-සා” යනු වස්තුවකට පියෑඹීමේ ගුණාංග එක් කළ හැකි මන්ත්‍රයකි. ඔබ්ලිවියේට් (Obliviate) මඟින් මතකය නැති කළ හැකි අතර, ගිල්ඩරෝයි ලොක්හාර්ට් කැඩුණු යෂ්ටියකින් හැරීගේ මතකය නැති කරන්නට ගොස් තමාගේම මතකය නැති කර ගත්තා.

කෙ‍ාඩිවින (Jinx)

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (the-leaky-cauldron.org)

කොඩිවින හෙවත් Jinx යනු අඳුරු මායා වර්ගයකි. J. K. රෝලිං මෙය විස්තර කරන්නේ “කරදරකාරී නමුත් හාස්‍යජනක” මන්ත්‍ර වර්ගයක් ලෙස යි. අඳුරු මායාවන් අතුරින් අඩුම බලයක් ඇත්තේ මෙයට යි. මේවා ආත්ම ආරක්ෂාව සඳහා භාවිතා කරන ඒවා යි.

Jinx කරද්දි ක්‍රියාත්මක විය යුතු දේ දෙස අඛණ්ඩව බලා සිටිය යුතු වෙනවා. ක්විඩිච් තරගාවලියේ දී ස්නේප් මුමුණමින් ඇස් පිය නොහෙලා හැරී දෙස බලා සිටිනු හර්මයිනි දකී. විවිධ උපකරණ සහ පුද්ගලයින් ලවා ගීත ගායනා කරවීම (Cantis), නර්තනයේ යෙදවීම (Tarantallegra), තාරාවුන් බවට පත් කරවීම (Ducklifors), Half-Blood Prince හි දී ලූනා ලව්ගුඩ්, “ලෙවිකෝපුස්” (Levicorpus) මඟින් පුද්ගලයන් ඉහළට ඔසවා විසි කිරීම යනාදිය මීට උදාහරණ වේ.

ගුරුකම (Hex)

තමාටම ගැළපෙන යෂ්ටිය මන්ත්‍රවලට උපරිම සහාය ලබාදෙයි (bustle.com)

හෙක්ස් එකක් යනු තරමක් ප්‍රබල අඳුරු මායාවකි. ජින්ක්ස්වලට සාපේක්ෂව වැඩි බලපෑමක් කරන්නට මේවාට හැකියාව තිබෙනවා. නමුත්, ශාපයක් (curse) තරම් ප්‍රබල නැහැ. මේවා ද ආත්මාරක්ෂාව සඳහා යොදා ගත හැකි වෙනවා.

දත් විරූපීව දිගු කිරීම (Densaugeo), හිස කුඩා කරවීම (Redactum Skullus), කිවිසුම් යැවීම (Steleus), සපත්තු පොළොවට ඇලවීම (Colloshoo), Goblet of Fire හි දිව අඟක් බවට පත් කිරීම ආදිය මෙයට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

Order of the Phoenix හි නාසයේ ඇති සොටු, වවුලන් බවට පත් කරන එකක් (Bat-Bogey Hex) ද දක්වන නමුත් එය චිත්‍රපටයේ හුදෙක් වාචිකව සඳහන් කිරීමකට සීමා වෙනවා. එය මිනිසුන්ට හැර වෙනත් කුකුළන් වැනි සතුන්ට කිරීමෙන් පාසලින් දැඩි දඬුවම් පවා ලබන්නට හේතු වන බව JK රෝලිංගේ පැරණි වෙබ් අඩවියේ තිබූ ප්‍රශ්නාවලියක් පෙන්වා දිනි.

ශාපය (Curse)

වෝල්ඩර්මෝට් “අ’වාඩා කෙඩව්රා” ක්‍රියාත්මක කරමින් (medium.com)

අඳුරු මායාවන් අතරින් ශාප කිරීම ප්‍රබලම මායාවකි. මේවායෙන් පහර දීමෙන් වින්දිතයාට දරා ගත නොහැකි වේදනාවක්, මනස පාලනය හෝ මරණය පවා උරුම කර දිය හැකි තරම් ප්‍රබල ප්‍රතිඵල ගෙන දෙනවා. මෙම මන්ත්‍ර කීමේ දී යෂ්ටිය වේගවත්ව ඉලක්ක කර, අත ස්ථිරව තබා ගැනීම සිදුකරයි. එසේම සිතේ අධික ක්‍රෝධයක්, ශාප කිරීමේ චේතනාවක් නොමැතිව දැඩි පහරදීමක් කළ න‍ොහැකියි.

අඳුරු මායාවන්ට එරෙහිව සටන් වැදීමේ දී තමාට ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොග්වර්ට්සි හි මෙය ඉගැන්වීම අරඹන ලද අතර, අඩු මට්ටමේ ශාපයන් උගන්වනු ලබනවා. ශාපයන් වැළැක්වීමට ඇතැම් අවස්ථාවල දී ආරක්ෂක (Shield) Charms භාවිතා කළ හැකි යි. එසේ කළ නොහැකි සුවිශේෂී අවස්ථාවන් වන්නේ මරණීය සහ අධි වේදනාකාරී ශාපයන් ය. නමුත්, වෝල්ඩර්මෝට්ගෙන් හැරී බේරාගැනීමට ලිලී පොටර් (මව) මෙය ජීවිතය පුදමින් සාර්ථකව වළක්වා ගන්නවා.

කකුල් සිර කළ හැකි ලොකොමෝටර් මෝටිස් (Locomotor Mortis) ශාපය මැල්ෆෝයි විසින් නෙවිල් ලෝංබොටම් වෙත සාර්ථකව යොමු කරයි. Goblet of Fire හි වෝල්ඩර්මෝට් නැවත පැමිණි අවස්ථාවේ දී හැරීට කෲසිඕ (Crucio) ශාපයෙන් පහර දෙයි. ‍පොතේ එය විස්තර කරන්නේ ගිනියම් පිහිතුඩුවලින් අනින්නාක් මෙන් වේදනාවක් හැරී පොටර්ට දැනුණු බව යි. අ’වාඩා කෙඩව්රා (Avada Kedavra) යනු චිත්‍රපටවල ද නිතර දක්නට ලැබුණු කොළ පැහැති ‍එළියක් විහිදුවන මරණීය ශාපයක්. 

ප්‍රති මන්තර

හැරීගේ ඉරණම සංකේතයකට ‍සීමා වුණේ මවගේ ප්‍රතිමන්ත්‍රය නිසා යි (nocookie.net)

ප්‍රතිමන්තර හෙවත් Counter-Spells යනු වෙනත් මන්ත්‍රයකින් ඇති වූ බලපෑම බිඳ දැමීම සඳහා භාවිතා කරන ඒවා යි. මේවා අදාළ මන්ත්‍රයේම විරුද්ධ වර්ගය ලෙස සැලකිය හැකි නිසා තවත් 5ක සංයුක්තයක් වැනි වෙයි. එහෙත් මෙය තවත් වර්ගයකි.

Chamber of Secrets හි දී හැරී අ’වාඩා කෙඩව්රා (Avada Kedavra) ශාපයෙන් මිදුණේ කෙසේදැ යි, ටොම් රිඩ්ල් ප්‍රශ්න කරයි. එවිට හැරී පැහැදිලි කරන්නේ එය තම මව විසින් කළ ප්‍රතිහූනියමකින් (Counter-charm) බිඳුණු බව යි. කලෝපෝටස් නමැති දොරගුළු ලෑ හැකි Charm එකෙහි ප්‍රති-මන්තරය ලෙස අලෝහොමෝරා (Alohomora) ක්‍රියා කරයි.

හැරී ක්විඩිච් සෙල්ලම් කරමින් සිටිය දී ස්නේප් ඔහුට එරෙහිව Jinx එකක් කරමින් සිටින බව අපට පෙනුණත්, පසුව පෙන්වා දෙන්නේ ක්විරල් විසින් Jinx කළ බවත්, ස්නේප් ඊට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රය මතුරමින් සිටි බවත් ය. ඒ අනුව, ප්‍රති-මන්තරවල දීත් ඇස් නොපියා බලා සිටීම වැනි ඊට අදාළ මන්ත්‍ර වර්ගයට සමාන ක්‍රම අනුගමනය කළ යුතු බව පෙනෙනවා.

සුව කිරීමේ මන්තර

හැරී පොටර්ට තිබුණු අස්ථි ටිකත් නැතිව ගියා (ytimg.com)

සුව කිරීමේ මායාවන්හි කොටසක් වන Healing spells ප්‍රාණීන්ගේ සෞඛ්‍යය තත්ත්වය නඟා සිටුවීම සඳහා මේවා යොදා ගැනෙනවා. නමුත්, වැරදියට උච්චාරණය කිරීමෙන් නොසිතූ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මේ නිසාම හැරී පොටර්, මැඩම් පොම්ෆ්‍රේ මත වැඩි විශ්වාසයක් තබනවා.

මෙහි වඩාත් සුප්‍රසිද්ධ භාවිතය වන්නේ ක්විඩිච් තරගයක් අවසානයේ දී හැරී තම අතේ අස්ථි බිඳුමකට ලක් වූ අවස්ථාවේ දී යි. එවෙලේම ගිල්ඩරෝයි ලොක්හාර්ට් හැරීගේ අත පිළිසකර කිරීමට බ්‍රාකීයම් එමෙන්ඩෝ (Brackium Emendo) මන්ත්‍රය තෙපලූ අතර, ක්ෂණයකින් තිබූ අස්ථි ටිකත් නැතිව ගොස් ඔහුගේ අත රබර් මෙන් එල්ලා වැටෙන්නට වුණා!

හැරී පොටර් කතා මාලාව කාගේත් සිත් ගත්තකි. හැම අවස්ථාවක දී ම වාගේ පොත් කියවූ කෙනෙක්ට චිත්‍රපට මාලාව මදි වගේ දැනුණත්, හොග්වර්ට්ස් පාසල් සිසුවෙක් වෙන්නට කවුද අකමැති! 

ඇත්ත කියන්න, ඔබ මේ මන්ත්‍රයක් ජප කර බලලා නැද්ද?

කවරය: hypable.com

මූලාශ්‍රයයන්:

  • jkrowling.com
  • hp-lexicon.org
  • harrypotter.fandom.com

Related Articles