Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ රැකියාවට මූල්‍ය ක්ෂේත්‍රයෙන් තල්ලුවක්

මූල්‍ය ක්ෂේත්‍රය යනු විවිධාංගීකෘත, සහ නිතර වෙනස් වන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන එය, පුද්ගල වර්ධනය සඳහා නිමක් නැති අවස්ථා සපයන නිසා ඔබේ වර්තමාන වෘත්තීය මට්ටමෙන් ඔබ්බට යාමට ඔබට නවමු මාවතක් විවෘත කර දෙනවා. බොහෝ දෙනෙක් මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තියකට කැමති යි. නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේද යන්න ගැන නොදන්නා නිසා ඊට අත්වැලක් අපි මෙසේ සපයනවා.

වෘත්තීය ජීවිතයට මූල්‍ය ක්ෂේත්‍රයෙන් වටිනාකමක් එක් කර ගත හැක්කේ කෙසේ ද කියා අපි මූල්‍ය අංශයේ ප්‍රමුඛතමයන් දෙදෙනකුකු වන Almas සංවිධානයේ සහ Carlines Holdings හි ප්‍රධාන විධායක නිලධාරී ඉමිතියාස් බුහාර්දීන්, සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ සහ CIMA කවුන්සිලයේ සාමාජික මනෝහාරි අබේසේකරගෙන් විමසුවා.

ඔබේ මූල්‍ය වෘත්තිය වර්ධනය කරගන්නට උපදෙස් කිහිපයක් මෙන්න.

බොහෝ දෙනෙක් මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තියකට කැමතියි

දැනුම ලබා ගන්න කාලය වෙන් කරන්න

රැකියා දිවියට වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා, ඔබ ඔබේ දැනුම වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. ඔබ වඩාත් කැමති වෘත්තීය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීම, කියවීම සහ කර්මාන්ත ප්‍රවීණයන් සමඟ කතා කිරීම, වීඩියෝ නැරඹීම හෝ සවන් දීම මෙය කිරීමට හොඳ ක්‍රමයක්.

“කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ අදහස මට ආවේ පාසල් කාලයේ. මට ඉස්සර හොඳ යාළුවෙක් හිටියා එයාගේ තාත්තා කොටස් වෙළෙඳපොළේ ලොකු ආයෝජකයෙක්. ඉතින් අපි ඔහුගෙන් ආභාසය ලැබුවා, අපි ඒ ගැන කතා කළා.” තම වෘත්තීය දිවිය ඇරඹුණු ආකාරය සිහිපත් කරමින් ඉමිතියාස් පවසයි.

ඔබ උනන්දු වන දේ ගැන ඉගෙනීමේ වැදගත්කම ඔහු පැහැදිලි කළා: “මං ගොඩක් පොතපත කියවනවා. ආර්ථික විද්‍යාව, සමාගම් ආයෝජන වගේ ඕනෑම දෙයක් ගැන මං කියවනවා. මම හැමතිස්සෙම CSE වෙබ් අඩවියේ පළවන නිවේදන, වාර්ෂික වාර්තා, සියලුම සභාපතිවරුන්ගේ හෝ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වාර්තා, ඔවුන්ගේ ගිණුම් විශ්ලේෂණය කිරීම් සහ සියලුම පුවත්පත් කියවනවා.”

මෙය විශාල කාලයක් වැයවන කාර්යයක් ලෙස පෙනුණත්, ඉන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මිල කළ නොහැකි යි.

Almas සංවිධානයේ සහ Carlines Holdings හි ප්‍රධාන විධායක නිලධාරී ඉමිතියාස් බුහාර්දීන්

නිවැරදි සුදුසුකම් හදාගන්න

ස්වයං කියවීම සහ ඉගෙනීම තුළින් ඔබේ දැනුම සහ හැකියා ගැන වැඩි විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වන අතර, නිවැරදි සුදුසුකම් මඟින් විෂය තුළ ඔබේ දැනුම සහ කුසලතා ද පිළිබිඹු වෙනවා. සුදුසුකම් යනු ඔබට ඇති හැකියාව සහ අවබෝධය පිළිබඳ ස්ථිර සාක්ෂියක්.

උදාහරණයක් ලෙස මනෝහාරි විශ්ව විද්‍යාලයට ඇතුළත් වන විටත් අර්ධ සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරියක් වූවා. එවකට රටේ පැවති කලබල හේතුවෙන් වසර දෙකක කාලයක් විශ්වවිද්‍යාලය වසා දැමීම හේතුවෙන් ඇයට ජීව විද්‍යාව වෙනුවට ගණකාධිකරණය තෝරා ගැනීමට සිදු වුණා. විශ්ව විද්‍යාල උපාධිය සහ CIMA පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව ඇය දැන් දශක දෙකක අත්දැකීම් සහිත ආයතනික ප්‍රවීණයෙක් බවට පත්ව සිටිනවා.

ඇයගේ මෑත කාලීන ජයග්‍රහණ සහ වෘත්තීය ජීවිතයේ නම්‍යශීලී බව ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ, “මං අවුරුදු තුනකට CIMA UK කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස 2021 ජුනි මාසයේදී තේරී පත් වුණා. ඊට කලින් මං CIMA හි ශත සංවත්සරය වුණු 2019 CIMA ශ්‍රී ලංකා ජාලයේ සභාපතිවරිය ලෙසත් කටයුතු කළා. ඒ වගේම, මං ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) කවුන්සිල සාමාජිකයෙකු විදියටත්, කාන්තා ආයතනික අධ්‍යක්ෂවරුන්ගේ ශ්‍රී ලංකා අධිකාරියේ නිර්මාතෘ/සාමාජිකයෙක් විදියටත් කටයුතු කරනවා. ඉස්සර මං හේලීස් සමාගමේ අවුරුදු 18ක් වැඩ කරලා ඇ.ඩො. මිලියන 200 ඉක්මවපු බිස්නස් ගෙනාවා. අද, මං සංස්ථා සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙස තෝරාගෙන තිබෙනවා. ස්වාධීන කාන්තා අධ්‍යක්ෂවරියක් විදියට මගේ දැනුම බෙදා ගනිමින් සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වෙනස් මානයක් ගෙන දෙන්න මට හැකියාව තිබෙනවා. දැනට මං NSB සහ එහි අනුබද්ධිත NSB අරමුදල් කළමනාකරණ අංශයේ විගණන කමිටුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ/සභාපති විදියට කටයුතු කරනවා. කප්රුක ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කළාට පස්සේ එහි අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ධ වන ලෙසත් මට ආරාධනා ලැබුණා.”

NSB අධ්‍යක්ෂ සහ CIMA කවුන්සිල සභික මනෝහාරි අබේසේකර

අවදානම් ගන්න බිය නොවන්න

ඔබේ වෘත්තිය ජීවිතය ශක්තිමත් කිරීම සඳහා තවත් වැදගත් පියවරක් වන්නේ ඔබට ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම යි. අවදානම් අනිවාර්යයෙන් ම පැමිණෙන නමුත්, අලුත් දේවල් වැලඳ ගැනීමෙන් ඔබේ සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා විශාල ලෙස වැඩිදියුණු කරගත හැකි යි. 

කාන්තාවන්ට අවදානම් ගැනීමෙන් දිගුකාලීන ප්‍රතිලාභ ලද හැකි බව KPMG අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. එයි දක්වා ඇත්තේ, “වර්තමාන ව්‍යාපාරික ලෝකයේ නායකත්ව තනතුරුවලට යාමට අපේක්ෂා කරන කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ වැඩි අවදානමක් ගැනීමෙන් ප්‍රතිලාභ ලැබිය හැකියි යනුවෙන්. සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 43% කට වඩා අඩු පිරිසක් නව රැකියාවක් සඳහා ස්ථාන මාරු කිරීම, වෘත්තීන් මාරු කිරීම, ඉහළ පෙළේ ව්‍යාපෘතියක් සොයා යාම, වේදිකාවක ඉදිරිපත් කිරීමක් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම වැනි විශාල අවදානම් ගැනීමට කැමැත්තෙන් සිටියහ”. එවැනි අවදානම් ගැනීමට අකමැති වීමෙන් කෙනකුගේ වෘත්තීය වර්ධනය අඩාල විය හැකි බවයි අධ්‍යයනය පවසන්නේ.

මීට අමතරව, ඔබ තෝරාගත් වෘත්තීය මාර්ගය සඳහා දල ගමන් පථයක් සිතියම්ගත කිරීම මඟින් නිසි වේලාවේදී ප්‍රයෝජනයට ගත යුතු අවස්ථා සහ/හෝ අවදානම් නිශ්චය කර ගැනීමට ඔබට උපකාර වේවි.

සමාජ සබඳතා වත්කමක් වැනියි

මූල්‍ය ලෝකය තුළ සමාජ සබඳතා කියන්නේ අත්‍යාවශ්‍ය අංගයක්. රෝමය ගොඩනැඟුණේ දවසකින් නොවන්නා වගේම, එය තනිව ම ගොඩනඟන ලද්දක් ද නොවෙයි. එනිසා වෘත්තීය දිවියේ සාර්ථකත්වය ලබා ගන්නටත් ශක්තිමත් සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීම වැදගත් වෙනවා.

“සබඳතා වර්ධනය ඉතාම වැදගත්. අනෙක් අය එක්ක කතා කරමින් ඉගෙන ගනිද්දි එයාලා එයාලාගේ දැනුම ඔබ එක්ක බෙදා ගන්නවා. ඉතින් ඒක ගොඩක් වැදගත්. WhatsApp ගෲප් සහ සමාජ ජාල ගිණුම් [Twitter ගිණුම්] එක්ක ඔබට ඒ සඳහා එකතු වෙන්න පුළුවන්. එයාලා කියන හැමදේම විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඒත්, පොඩි හරි ඉගෙන ගන්න දෙයක් තියේවි. අවශ්‍ය දේවල් වෙන් කරලා ජීවිතේට එකතු කර ගන්න. කොටස් වෙළඳපොළ හෝ ආයෝජකයන් ඉන්න ගෲප්ස්වලින් එයාලාගේ අත්දැකීම් සහ දැනුම අපිට අරගන්න පුළුවන්,” ඉමිතියාස් කියයි.

ඔබේ රැකියා පරිසරයේ සිටින මිතුරන්ගෙන් ඔබ්බට ගොස් නව සබඳතා වර්ධනය කරගැනීම ගැන අදහස් දක්වමින් මනෝහාරි මෙසේ පැවසුවා: “රැකියාවකදි විභාගයක් පාස් වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ නොසැලෙන බව එක්ක හොඳ සාරධර්ම පුරුදු පුහුණු කරගන්න. අනෙක් අය අතරේ කැපී පෙනෙන දෙයක් කරන්න. ස්වේච්ඡා සේවයෙන්, අවස්ථා සහ සබඳතාවලින් ප්‍රයෝජන ගන්න. ඔෆිස් එකෙන් ඔබ්බට ගිහින් තමන් ස්වාධීන බ්‍රෑන්ඩ් එකක් කරගන්න”.

සබඳතා වර්ධනය කරගැනීම මූල්‍ය ක්ෂේත්‍රය සඳහා වැදගත් අංගයකි

බාධක වලින් නොසැලෙන්න

ඔබ කුමන රැකියාවක නියුතු වුවත් බාධක වලින් අඩුවක් වන්නේ නැහැ. වැදගත් වන්නේ නොසැලී සිටීමයි. අනපේක්ෂිත බාධා හමුවේ පහතට ඇද වැටීම පහසු නමුත්, නොපසුබට උත්සාහය ඇති විට ඕනෑම දෙයක් ජයගත හැකි යි.

නිදසුනක් වශයෙන්, ඔබ බාධකයකට ළඟා වී ඇති බවක් ඔබට හැඟ‍ෙනවා නම්, මඳක් නැවතී, තත්ත්වය තක්සේරු කරන්න. ඔබට එය ඇති වූ ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. වූ වැරදි තිබේ නම්, ඒවායින් ඉගෙන ගන්න. හැකි දේවල් සකසා ගෙන, ඔබේ නොහැකියාවන් ජය ගැනීමට සැලසුම් කරන්න.

තම අත්දැකීම් බෙදාගනිමින් ඉමිතියාස් පැවසුවේ, “මුල් කාලෙදි මාර්කට් එක කොච්චර හොඳ වුණත් ‘පියවරයක් ඉදිරියට, පියවර දෙකක් පසුපසට’ විදියට තමයි ගොඩක් වෙලාවට වුණේ. මගේ අදහස වුණේ portfolio එකක් හදාගන්න එක. එතකම් මං සල්ලි තියෙන හැම වෙලාවෙ ම [කොටස්] මිලදී ගත්තා මිසක් විකු‍ණුවේ නැහැ. මං ඒක බාධකයක් ලෙස දැක්කේ නැහැ. මට විශ්වාසයක් තිබුණා. මං ආයෝජනය කරපු සමාගම් ගැන මට තිබුණු ඒ විශ්වාසය නිසා මං දිගට ම කටයුතු කරගෙන ගියා.”

කොවිඩ් සමඟ ඇතිවූ කොටස් වෙළෙඳපොළ බිඳවැටීම් මෙන්ම අභියෝගවලින් පිරි 2020 වසරේ ඇතිවූ බාධක ගැනත් සිහිපත් කළ ඔහු ලොක්ඩවුන් මධ්‍යයේ පවා නොසැලී සිටියා. ඒ අනුව, අද වන විට වෙළඳපොළ විශාල ලෙස වෙනස්වී ඇති අතර විවිධාංගීකරණයෙන් ද පිරී ගොසින්.

“සුදුසුකම් තියෙනවා වගේම අමතර දැනුම සහ ආත්ම ශක්තිය තියෙන්න ඕන. ඒ වගේම ඒවා ප්‍රායෝගිකව යොදා ගන්නේ නැත්නම් වැඩකුත් නැහැ. මිනිස්සු ඒ අවදානම ගන්න ඕන. වෙළඳපොළට ඇවිත් ආයෝජනය කරන්න ඕන,” ඔහු වැඩිදුරටත් පවසයි.

මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් යනු ඔබට නව ලොවක් විවර කර දෙන දොරටුවක්. ඔබ එයට පිවිස කරන හැම දෙයක් ම ඇත්තේ ඔබේ අතේ යි. ඉගෙනීම, සූදානම් වීම, සහ පුහුණුවීම වැදගත් වනවා සේ ම, අවදානම්වලට මුහුණ දෙමින් විවිධාංගීකරණයට සූදානම් මනසක් තිබෙනවා නම්; ඔබ නිතැතින් ම ඉහළට ම ගමන් කරාවි.

CIMA වැනි ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීය ගිණුම්කරණ සුදුසුකමක් සාර්ථක ව සම්පූර්ණ කිරීම මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් වෘත්තියක් ගොඩනැඟීම සඳහා ඔබට ගත හැකි පළමු පියවර විය හැකි යි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල වැඩ කළ හැකි, සහ ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට දැනුම හැකි මූල්‍ය විශේෂඥයන් සඳහා වූ විවිධ රැකියා ඇබෑර්තු රාශියක් වෙත දොරටු විවෘත කරනු ඇති.

Related Articles