ලංකාවෙන්, පිටරටට කඩාගෙන යන සරුංගල්

අගෝස්තු නිවාඩුවේ බොහෝ දරුවන් සරුංගල් යවමින් සතුටක් ලබනවා. අන්තර්ජාල දැලට අසු වී සිටින ක්‍රීඩාංගනවලින් ඈත් වෙමින් සිටින දරුවන් සරුංගල් හා සැබැඳි වීම දැකීමත් සතුටක්. එමෙන්ම, නිවාඩුකාලයේ දී වත් ඇස්වැසිල්ලක් නැති ටියුෂන් කරච්චලයෙන් ද හෙම්බත් වී සිටින මේ දරුවන් සරුංගල්වලින් හෝ යම් සහනයක් ලැබීම ද සතුටට කරුණක්. ඒ වගේම සියල්ල වාණිජකරණය වූ යුගයක සරුංගලයත් ඒ වාණිජ රැල්ලට හසුවෙමින් ඇතැම් මාධ්‍යය මඟින් සරුංගල් අත්පත් කර ගෙන තිබූ අයුරු ද අපට දැකගත හැකි වුණා.

කෙසේවෙතත්, මේ ලිපිය අරමුණ සරුංගල් ගැන කතා කිරීමට නොව, නන්දා මාලිනීගේ ‘සරුංගලේ’ ගීතය ගැන කතා කිරීමයි.

සිංහල ගීත සාහිත්‍යයේ සරුංගල් හා සම්බන්ධ ජනප්‍රිය ගීත දෙකක් තියෙනවා. නන්දා මාලිනීගේ ගීතයට අමතරව සී.ටී. ප්‍රනාන්දු විසින් සරුංගල් ගැන ගීතයක් ගායනා කර තිබෙනවා. නන්දා මාලිනීගේ මෙම ගීතය සුවිශේෂී වන්නේ; එය හුදෙක් සරුංගලය ගැන කතා කරන ගීතයක් නොවී මීට කලකට පෙර අවධියක සමාජ කතිකාවකට බඳුන් වූ ‘බුද්ධි ගලනය’ ගැන කතා කරන ගීතයක් වීම යි.

සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ

අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ

උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ”

මේ පද පේළිවලින් සරුංගලේ නිසංසලේ, වරල් සලමින් සිටින බව කියයි. කලින් කී පරිදි මෙහි සරුංගලය යනු මෙරටින් පිටරටට ඇදුණු අය. මේ පැදිපෙළට අනුව; ඔවුන් වරල් මෙන් වෛවර්ණව ද, නිසංසලේ ඉතා සැහැලුවෙන් ද සිටින බව පවසයි. එහෙත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. පිටරටවල සිටින බොහෝ අය සැහැල්ලුවෙන් නොවෙයි සිටින්නේ. නිරන්තරයෙන් තමන්ගේ වැඩි මහලු දෙමාපියන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ සංවේගයක්. ඔවුන් සැපයැ යි සම්මත රටක හිටියත්, ඔවුන් ද අනවරත තරගයක යෙදී සිටිනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය අපට වඩා බෙහෙවින් උසස් තමයි. එහෙත්, එසේ වූ පමණින් ඔවුන් සැහැල්ලුවෙන් ජීවත්වෙනවා’යි සිතීම සුදුසු නැහැ නේද?

ඔවුන් ජීවත් වන්නේ තමා කුඩා කල සිටම හැදී වැඩුණු තම සංස්කෘතික පසුබිමෙන් වියුක්තව යි. එය මාළුවෙක් වතුරෙන් ඉවත් කිරීමක් වැනි යි. උපන් බිමට වැඩිය තැනක් නැතැ යි මේ ගීතය කීවත්, එය යථාර්ථයක් නොවෙයි. මේ බොහෝ අය මේ රටේ විසීමට අකමැති අය නොවෙයි. ඔවුන් බහුතරයකට දේශපාලන හා ආර්ථික හේතු නොවේ නම් මේ රට හැරයාමේ අවශ්‍යතාවයක් නැහැ.

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි

සරුංගලේ ලාටු උලා දැඩි කෙරුවේ අපේ ළමයි

සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි

සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි

සරුංගලේ නූල් යොදා උඩ අරියේ අපේ ළමයි

සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි

සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි 

මේ දෙපැදිපෙළෙන් කියැවෙන්නේ; රට යන අය වෙනුවෙන් මේ රටේ පිරිසක් දුක් විඳින බව යි. ඒ නම් සත්‍යයක්. මේ විදේශ රටවලට යන බොහෝ දෙනා නිදහස් අධ්‍යාපනයෙන් තම ජිවිත ගොඩ දා ගත් අය. නිදහස් අධ්‍යාපනය යනු මේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ දහදිය. වරක් මහාචාර්ය ගංගනාත් දිසානායක කියූ පරිදි; බස් එකේ “කොටුව, පිටකොටුව” කියා කෑගසන කොලුවාත්, ඉරිදා පොළේ අව් කාෂ්ඨකයේ පළා විකුණන හම රැලි වැටුණු ඒ අම්මාත් අපට උගන්වන්නට කැප කිරීම් කරපු අය. අපේ අධ්‍යාපනය උදෙසා අප, අපගේ දෙමාපියන් හා ගුරුවරුන් මෙන්ම මේ දුක් විඳින මිනිසුන් ද අපගේ අධ්‍යාපනයේ වැදගත් ස්ථම්භයන් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. ඒ දුප්පතුන් ගන්නා පාන් බාගෙන්, පරිප්පු කාලෙන් ආණ්ඩුව අයකරන බදුවලින් තමයි මේ බහුතරයකට ඉගැන්වීමට අවකාශය ලැබී තිබෙන්නෙ. මේ ගීතය නොකියා කියන්නේ ඒ ලබාගත් දෙය තම රටට නැවත දිය යුතු වුවත්, කාටවත් අයිති නැති සරුංගලයක් සේ ඇතැම් අය තම වාසියට පිටරටට ඇදෙන බව යි.

ඇත්තටම ඒකපාක්ෂික නොවී මේ සමාජ ගැටළුව දිහා විවෘතව නිදහස් ව විමසිය යුතුව තිබෙනවා. ඇත්තටම මේ අය රට යන්නේ ඇයි? මැද පෙරදිග වහල් සේවයේ යෙදන ගමේ සිටිනා අම්මාගේ සිට දොස්තරලා ඉන්ජිනේරුවන් දක්වා අයවලුන් මේ රට හැර යන්නේ ඇයි? ඒ, මේ රටට ඔවුන්ව දරා ගැනීමේ හැකියාව නැති නිසා නොවෙයි ද? තම දරුවන් අනාරක්ෂිතව තබා මැද පෙරදිග බැල මෙහෙවරට ඈ යන්නේ, මේ රටේ ආර්ථිකය ඇයව උකහා ගැනීමට හැකියාව නැති නිසා නොවේ ද? එසේ වූයේ නම්, තම දරු පැටවුන් අහසින් යන ගුවන් යානා දිහා බලමින් සුසුම් හෙලද්දී ඔවුන් රට හැර යන්නේ නැහැ නේද? මැද පෙරදිගට යන අම්මලාට වඩා දොස්තරවරුන්ට හා ඉන්ජිනේරුවරුන්ට ඊට වඩා යහපත් සමාජ වටපිටාවක් තිබෙනමුත්, ඔවුන් ද මැදපරදිග අම්මලාගේ මාර්ගයේම යන්නේ ඇයි? ඔවුන් හැමදෙනාගේම තත්ත්වය ද එක හා සමාන යි. ඔවුන් සිය ජීවිත, අධ්‍යාපනය වෙනුවෙන් වසර ගණනාවක් වැය කළ අය යි. එහෙත් සාමාන්‍ය පෙළවත් නැති 94 දෙනෙක් පමණ වන වංචනිකයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවකින් ඔවුන්ව පාලනය කිරීම ගැන අප තවමත් නිහඬ යි. එමෙන්ම, ඔවුන්ට තම නිර්මාණාත්මක වැඩ කටයුතු කිරීමට ද ඇති ඉඩකඩ ඉතාමත් අඩු යි.

තවත් කරුණක් නම්; මේ රටේ මෙතෙක් බිහි වූ දොස්තරවරුන් හා ඉන්ජිනේරුවන් මේ රටේ සිටියේ නම්, මේ වන විට අප රටේ අනිවාර්යෙන්ම එම අංශවල රැකියා අර්බුදයක් ඇති වීම වළක්වාගත නොහැකි වීමට වැඩි ඉඩකඩක් තිබුණා. අපේ ආර්ථිකය එතරම් ප්‍රසාරණය නොවීමේ වගකීම බාරගත යුත්තේ වසර 70ක් පුරාවට තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කළ/ කරන දේශපාලයකයන් මිස, මේ රට හැර යන අය නොවේ. මෑතක දී, ඉන්දියාවේ රට හැර ගිය බුද්ධිමතුන් නැවතත් ඉන්දියාවට ආගමනය වීමේ ප්‍රවණතාවයක් හටගෙන තිබෙනවා. ඒ, ඉන්දියාව මේ වන විට ආර්ථික වශයෙන් විශාල වර්ධනයක් ඇති වීම හේතුවෙනුයි.

ඒ අනුව, මේ රැලිවලින් දිලෙනා සරුංගල් නැවත මේ රටට කැඳවා ගැනීමටත්, බිමෙන් ඇදී යන්නට ඉන්නා සරුංගල් ද රට තුළ තබා ගැනීමට ඇති වගකීමත් විවිධ මාත්‍රාවන්ගෙන් අප සතු වනවා. එදිනට සරුංගල් නිදහස් අහසේ, නිදහසේ පියා සලනු ඇති. නමුත් එය; මේ ලියන අපේත්, කියවන ඔබේත් ජිවිත කාලයේ දී සාක්ෂාත් වේදැ යි සැක සහිත යි.

Related Articles