Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවදුරටත් සැඟවිය නොහැකි හොලිවුඩයේ කටුක සත්‍යය

2018 ජනවාරි 8 වෙනි දින පැවැත්වූ 75 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී සුවිශේෂී දර්ශනයක් දැකගත හැකි විය. සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණි බහුතරයක් කලාකරුවන් සැරසී සිටියේ කළු ඇඳුමිනි. එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් සමස්ථ සිනමා කර්මාන්තය තුළ මුල්බැසගෙන අතුපතර විහිදී පවතින ලිංගික අඩත්තේට්ටම්වලට එරෙහිව නිහඬ විරෝධතාවක් විය. හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ලිංගික අඩත්තේට්ටම්යේ ඉතිහාසය එහි ආරම්භයට ම දිවයයි. එය ක්‍රමයෙන් වර්ධනය වෙමින් කර්මාන්තය තුළ ස්ථාපිත වූවක් බවට දැන් පත් ව තිබේ. මෙය හොලිවුඩ් පමණක් නොව බොහෝ රටවල දක්නට ලැබෙන ඛේදවාචකයකි. බොලිවුඩ් තුළ මෙන්ම ලංකාවේ සිනමාව තුළ ද මෙය සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.

vogue

හොලිවුඩ් තුළ මෙම ලිංගික අඩත්තේට්ටම්වලට එරෙහිව මේ වන විට විශාල හඬක් නැගෙමින් පවතියි. මෙම ලිංගික අඩත්තේට්ටම් හොලිවුඩයේ පදනම තුළින් ම ඇතිවන්නක් ලෙස හඳුනාගත හැක. මන්ද බලවත් නිෂ්පාදක අධ්‍යක්ෂක චරිතවල අධිකාරීත්වය විසින්, විශේෂයෙන් ම නවක තරුණ ශිල්පිනියන් ව ලිංගික අපයෝජනයට ලක් කිරීම මෙහි දී සිදුවීම යි. සිනමාව යනු ද තවත් පුළුල් කර්මාන්තයක් වන නිසා ඒ තුළ ද ප්‍රාග්ධනය තම බලය පතුරුවා සිටියි. අපරාධ සිදුකිරීම, අපරාධ යටගැසීම මේ තුළ ද සිදු වේ.

මේ සම්බන්ධ ඉතිහාසය පිරික්සීමේ දී පළමුව හමුවන මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුවත වන්නේ 1921 වර්ජිනියා රැපේ ශිල්පිනියගේ මරණය යි. එම මරණය අද ද අභිරහසක් බවට පත්ව ඇත. මුලින් චෝදනාව එල්ල වූයේ ප්‍රකට රංගන ශිල්පියෙකු වූ රොස්කෝ ආබකල් වෙතට ය. 1921 සැප්තැම්බර් මස 5 වන දින ඔහු විසින් පවත්වන ලද සාදයක දී ඇති වූ සිදුවීමක් නිසා දින හතරකට පසු ව ඇය මිය ගියා ය. ඒ වන විට ඇගේ මුත්‍රාශ්‍රය පුපුරා ගොස් තිබුණි. ඇය ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ආබකල් වෙතට චෝදනා එල්ල වූ නමුත් ඇය ලිංගික අපයෝජනයට ලක් වී ඇති බවට සාක්ෂ්‍ය නොමැති බව පසු ව හෙළි විය. ආබකල් වෙතට මේ චෝදනාව එල්ල වීමට හේතු වූයේ ඔහු ඒ වන විට ඇය සිහිසුන් ව ඇද වැටී සිටි ස්ථානයට ගොස් සිටි නිසා ය. ඔහු චෝදනාවෙන් නිදහස් වුවත් ඔහුගේ සිනමා ගමන ඉන් විනාශයට පත් විය.

වර්ජිනියා (pinterest)
ආබකල් (thehairpin)

කෙසේ නමුත් හොලිවුඩය තුළ නවක ශිල්පිනියන් මුහුණ දෙනු ලබන අර්බුදය දිනෙන් දින කතා බහට ලක් වුණු සමාජ ගැටලුවක් වූ නිසා, ඊට විසඳුමක් දීම අත්‍යවශ්‍ය විය. 1922 දී ඇමෙරිකාවේ චලන චිත්‍රපට නිෂ්පාදක සහ බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ලෙස පත් වූ විල් හේස් මේ සඳහා විසඳුමක් යෝජනා කළේ ය. ඔහු විසින් චිත්‍රපට නිෂ්පාදන කේතයන් සංග්‍රහයක් (Motion Picture Production Code) ඉදිරිපත් කළ අතර එය ‘හේස් කේතය’ ලෙස ප්‍රකට විය. ඔහු එමඟින් යෝජනා කරන ලද්දේ තිරයේ පෙනෙන දර්ශන සඳහා සීමාවන් කිහිපයක් පැනවීම ය. ලිංගික දර්ශන හා ප්‍රචණ්ඩකාරී දර්ශන නොපෙන්වීම ඔහුගේ යෝජනාවේ අඩංගු විය. එමඟින් කර්මාන්තය තුළ සිදුවන හිංසනය අවම කිරීමට ඔහු උත්සාහ කළ නමුත්, එය කිසිසේත් ම ගැටලුවේ මූලය හඳුනාගනිමින් ඉදිරිපත් කළ විසඳුමක් නොවීය. 1930 දශකයේ සිට 60 දශකය දක්වා මෙම නිෂ්පාදන කේතය ක්‍රියාත්මක වුවත්, 60 දශකයේ දී එය සම්පූර්ණයෙන් ම අත්හැර දමන ලදී.

විල් හේස් (icollector)
හේස් නීති මාලාව (Wikipedia)

චිත්‍රපට කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් අධික ලාභ උපයන ධන උල්පතක් විය. නමුත් චිත්‍රපටවල ජනප්‍රිය බව තීරණය කරන ලද්දේ නිෂ්පාදකයන් නොව එහි රංගන ශිල්පීන් ය. එයින් ද රංගන ශිල්පිනියන් ප්‍රධාන වේ. මේ නිසා නිෂ්පාදකයන් විසින් ‘රංගන ශිල්පීන්’ට එරෙහිව තමන් සතු ආයතනික බලය අපයෝජනය කිරීම සිදු විය. තම ආධිපත්‍යයට අභියෝග කරන්නන් ඉවත් කිරීම සිදු විය. එපමණක් නොව රචනය සහ නිෂ්පාදන කටයුතුවල යෙදුණු කාන්තාවන්ට එරෙහිව ද කර්මාන්තයේ ප්‍රධානීන් කටයුතු කරන ලද්දේ තම ආධිපත්‍යයට බලපෑම් එල්ල වේයැ යි සැකය මත යි. චිත්‍රපට රචක සහ නිෂ්පාදන කටයුතුවල යෙදුණු ෆ්‍රැන්සස් මැරියන් සහ ජූන් මැතිස් යන ශිල්පිනියන්ට එසේ අර්බුදවලට මුහුණ පෑමට සිදු විය.

ෆ්‍රැන්සස් මැරියන් (දකුණු පස) (time)

හොලිවුඩයේ ස්ත්‍රී පීඩකත්වයේ තවත් එක් ඉමක් වන්නේ නවක ශිල්පිනියන්ගේ ප්‍රතිරූපය චිත්‍රාගාර හිමියන්ගේ අවශ්‍යතාව මත සිදුකිරීම යි. 1930 දශකයෙන් පසු ව හොලිවුඩ් නිර්මාණවල දක්නට ලැබුණු ප්‍රධානම ලක්ෂණයක් වූයේ කාන්තාව අලංකරණ භාණ්ඩයක් බවට පත් කර තිබීම යි. විනෝදකාමී පුරුෂයා සතුටු කළ හැකි සරාගික පෙනුම ඇති චරිත ඔවුන්ට අවශ්‍ය විය. පෙනුම පමණක් නොව ඔවුන්ගේ පෙනුමට ගැළපෙන නමක් ද අලුතින් ම ලබාදුනි. එලෙස නිර්මාණය කරන ලද ප්‍රකට චරිත කිහිපයක් හඳුනාගත හැකි ය. මාගරිටා කැන්සිනෝ නම් තරුණිය සුප්‍රකට රීටා හේවර්ත් බවට පත් විය. 40 දශකය තුළ හොලිවුඩයේ සරාගී සංකේතය වූයේ රීටා හේවර්ත් ය. ඒ සඳහා හිසකෙස් පවා ඔවුන්ට අවැසි ලෙස වෙනස් කරන ලදී. එසේ ම ලුසිල් ලේෂුඅර් තරුණිය ජෝන් ක්‍රෝෆඩ් බවට පත් කරන ලදී. තව ද MGM ආයතන ප්‍රධානියෙකු වූ ලොයිස් බී මේයර් විසින් ප්‍රකට හෙඩි ලමාර් චරිතය නම් කළේ ඊට පෙර එම නම ලබා සිටි බාබරා ලා මාර්ගේ අකල් මරණයෙන් පසු ව ය.

රිටා හේවර්ත් (theguardian)
හෙඩි ලමාර් (hedylamarr)

හොලිවුඩයේ මෙම නවක රංගන ශිල්පිනියන් මත ඇති කරනු ලබන බලපෑම පිළිබඳ ව සමකාලීන චිත්‍රපටයක විස්තර කරයි. විලියම් ඒ. වෙල්මාන් සහ ජැක් කෝන්වේ විසින් අධ්‍යක්ෂණය කළ ජැනට් ගේනර් ප්‍රධාන චරිතය රඟ පෑ A Star Is Born චිත්‍රපටයේ පෙන්වන්නේ රංගනයට ප්‍රිය කරන හෝටල් සේවිකාවක් ලෙස සේවය කරන තරුණියක් තරුවක් කරවීම සඳහා ඇය ව ප්‍රතිනිර්මාණය කරන ආකාරය සහ ඉන්පසු ජීවිතය යි. එස්තර් බ්ලොගෙට් වූ ඇය සිනමාකරු විසින් චික් විකී ලෙස්තර් ලෙස නම් කරයි. චිත්‍රපටයේ නමෙහි ම අන්තර්ගත ලෙස නව තාරකාවක් උපත ලැබීම තුළ තාරකාව සහ චිත්‍රපට කර්මාන්තකරුවා අතර බල සම්බන්ධය පෙන්වයි. මෙම චිත්‍රපටය 1954 සහ 1976 දී ද, නැවත වරක් 2018 දී ද ප්‍රතිනිර්මාණය කරන ලදී.

A Star Is Born (imdb)

1937 දී ම තවත් සිදුවීමක් සිදු විය. 1937 මැයි මස 5 වැනි දා යි. කැලිෆෝනියාවේ කල්වර් නගරයේ දැවැන්ත හොලිවුඩ් සාදයකි. සංවිධානය කරන ලද්දේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ හැල් රෝච් විසිනි. එය MGM (Metro Goldwyn Mayer) මාධ්‍ය ආයතනයේ වාර්ෂික අලෙවි සම්මේලනය යි. මෙහි සිදුවන දේ පිළිබඳ ව දැනීමක් නොමැති ව නර්තනයෙන් චිත්‍රපටයකට දායක වන අදහසින් පැමිණ සිටි පැට්‍රීෂියා ඩග්ලස් නම් 20 හැවිරිදි තරුණිය මුහුණ දුන් ඛේදනීය ඉරණම හොලිවුඩ් කර්මාන්තය සිදුවන ලිංගික සූරාකෑම පිළිබඳ ව පණිවිඩය හෙළිදරව් කරන ලදී. නමුත් ඒ බොහෝ ප්‍රමාදයකින් පසු ව ය. මෙසේ අමතර චරිත සඳහා සහභාගී වන්නේ බොහෝ විට ආර්ථික දුෂ්කරතා ඇති තරුණියන් ය. මේ නිසා ඔවුන්ව පහසුවෙන් තම බලපෑමට යටත් කරගැනීම සාමාන්‍ය සංස්කෘතියක් ලෙස ආයතන ප්‍රධානීන් අතර පැවැතුණි.

පැට්‍රිෂියා (vanityfair)

120ක් පමණ තරුණියන් සූදානමින් සිටි භෝජනාගාරයට 300ක් පමණ අලෙවි ප්‍රධානීන් කඩා වැදුණි. ඔවුන් ආහාර ගන්නා අතරතුර තරුණියන් නර්තන ඉදිරිපත් කළ අතර ක්‍රමයෙන් එම ස්ථාන සමූහ අපයෝජන ස්ථානයක් බවට පත් විය. ඩේවිඩ් රොස් නම් 36 හැවිරිදි අලෙවි ප්‍රධානියා තවත් අයෙකු සමග පැට්‍රීෂියා බලහත්කාරයෙන් රැගෙන ගොස් මෝටර් රථයක් තුළ අපයෝජනය කරන ලදී. පැට්‍රීෂියා නීතිය හමුවට ගිය අතර දිගින් දිගටම තර්ජන එල්ල විය. MGM ආයතනය විසින් චෝදනා පත්‍ර අතුරුදන් කළ අතර කිසිදු පුවත්පත් වාර්තාවකට තම ආයතනයේ නම ඇතුළු නොවන ලෙස ද වග බලා ගත්තේ ය. අවසානයේ මෙම පුවත ලොවට නැවත අනාවරණය කරන ලද්දේ වසර 70කට පසු ව එනම් 2007 දී ය. ඒ ඩේවිඩ් ස්ටෙන්ගේ Girl 27 නම් වාර්තා චිත්‍රපටය තුළිනි. නමුත් ඒ වන විට පැට්‍රිෂියා ලෝකය හැරගොස් වසර හතරක් ගත ව තිබුණි. MGM යනු අද ද ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකි.

සිදුවීම වාර්තා කිරීම (history)

මීට අමතර ව තවත් හිංසනයට ලක්වන ආකාරයක් වන්නේ රංගනය තුළ දී ය. අධ්‍යක්ෂවරුන්ට යම් යම් සිදුවීම්වල දී රංගන ශිල්පනියක් ලෙස නොව සැබෑ ලෙස ම තරුණියක් පත් වන ත්‍රාසය, භීතිය රූපගත කරගැනීමට අවශ්‍යතාව නිසා රංගන ශිල්පිනියක් ශාරීරික ව මෙන්ම මානසිකව ද හිංසනයට ලක් කරන අවස්ථා තිබේ. ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙකු වන බර්නාඩෝ බර්ටොලුගේ Last Tango In Paris 1972 දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතයට එක් වූ මාරියා ශ්නයිඩර් හෙළි කළ පරිදි එහි එන අපයෝජන දර්ශනයක දී තමන්ට හිංසනයක් සහ යම් ප්‍රමාණයකින් අපයෝජනයකට ලක් වූ බව පවසයි. ඒ ගැන අධ්‍යක්ෂක බර්නාඩෝ පැවසුයේ එය සනාථ කරවන පිළිතුරකි. ‘මට අවශ්‍ය වුණේ ගැහැණු ළමයෙකුගේ ප්‍රතිචාරයක් මිස රංගන ශිල්පිනියකගේ ප්‍රතිචාරයක් නොවේ’ මෙම චිත්‍රපටයෙන් පසු ව ඇය නැවත තමන්ව හමු නොවූ බවත්, ඇය තමන්ට වෛර කළ බවත් බර්නාඩෝ පවසයි.

Last Tango In Paris (imdb)

වර්තමානය වන විට මෙම ලිංගික අඩත්තේට්ටම් පිළිබඳ ව සංවාදය MeToo ව්‍යාපාරය සමග ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණ ඇත. මෑතක දී චෝදනාවට ලක් ව මේ වන විට අධිකරණ ක්‍රියාවලියක සිටින හාවි වයින්ස්ටින් එහි ප්‍රධාන චූදිතයෙකු වේ. 2018 ප්‍රංශයේ පැවැත්වූ කේන්ස් සිනමා උළෙලේ දී ආසියා ආගෙන්ටෝ හාවි වයින්ස්ටින් තමන් 21 හැවිරිදි වියේ දී අපයෝජනය කළ බවට චෝදනා එල්ල කරනු ලැබීය.

කවරයේ පින්තුරය: cover – geomarketing.com

මූලාශ්‍රයයන්:

history.com

theguardian.com

bbc.com

Related Articles