කාර්යබහුල නගරයන් මධ්‍යයේ ඇති උද්‍යානයන් මිනිසුන්ගේ සිත නිවන හරිත පැහැ ක්ෂේම භූමි ලෙස හැඳින්වීමේ වරදක් නැත. ලොව වටා ඇති මෙවන් උද්‍යාන අතුරින් එක්සත් ජනපදයේ මැන්හැටන් හි චෙල්සී පෙදෙසේ පිහිටා ඇති හයි ලයින් උද්‍යානයේ ඇති විශේෂත්වය වන්නේ, එය ඉදිකර ඇත්තේ අත්හැර දැමූ පැරණි දුම්රිය මාර්ගයක් මත වීම යි. කළු යකඩ ආධාරක භාවිතයෙන් පොළව මට්ටමෙන් ඉහළට ඔසවා නිමවූ, අතීතයේ කර්මාන්තශාලා සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් මෙම දුම්රිය මාර්ගය නගර මධ්‍යයක පවතින පුරාවස්තුවක් සිහි කැඳවයි.
කඩා බිඳ දැමීමේ යෝජනා
මෑත කාලයක් වන තුරුම හයි ලයින් දුම්රිය මාර්ගය නගර මධ්‍යයේ ඇති අනවශ්‍ය පෞරාණික ස්ථානයක් ලෙස පැවති අතර, වරක් නිව්යෝක්හි නගරාධිපතිවරයා මෙම මාර්ගය කඩා ඉවත් කිරීමට ද යෝජනා කළේ ය. ඒ, එය පිහිටි චෙල්සී ප්‍රදේශය චිත්රාගාර, නෘත්‍යාගාර, අවන්හල් වැනි සෞන්දර්යාත්මක ස්ථානවලින් සපිරි ප්‍රදේශයක් බවට පත්කිරීමට ඇති අවශ්‍යතාවය නිසා යි. සැලසුම් කර තිබූ ඒ සෞන්දර්යයට මෙම පැරණි දුම්රිය මාර්ගය අවලස්සනක් ගෙන දෙනු ඇතැ යි සලකා එම යෝජනාව සිදුකෙරී ඇත.
කැමරා ඇසට හසුවුණු සුන්දරත්වය
ඡායාරූප ශිල්පී ජොයෙල් ස්ට්රෙන්ෆෙල්ඩ් විසින් ලබාගත් හයිලයින්හි ඡායාරූප ආශ්රයෙන් ඔහු නිර්මාණය කරනු ලැබූ හයිලයින් දුම්රිය මඟෙහි කල්පිත ඡායාරූපවල එය හරිත පැහැ පටියක් ලෙස කර්මාන්ත ශාලා අතරින් දිවෙන අයුරු දැක්වුණු අතර, මෙම ඡායාරූප හයි ලයින් දුම්රිය මාර්ගය උද්‍යානයක් ලෙස දියුණු කිරීමේ හැකියාව පිළිබඳ ඉඟියක් නගර වාසීන්ට ලබාදුනි.
උද්‍යානයක් ලෙස දියුණු කිරීම
නමුත් හයි ලයින් දුම්රිය මාර්ගය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැබෑ පුරෝගාමීන් වන්නේ නිදහස් රචකයෙකු වූ ජෝෂුවා ඩේවිඩ් සහ චිත්‍ර ශිල්පියෙකු වූ රොබට් හැමන්ඩ් ය. හැමන්ඩ්ට අනුව, ඔහු දුටු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක මෙම හයි ලයින් දුම්රිය මාර්ගය කඩා බිඳ දැමීමට නියමිත බව සඳහන් වූ අතර, යකඩින් සෑදුණු මෙම පෞරාණික වස්තුව පිළිබඳ මහත් ඇල්මකින් සිටි ඔහුට මෙම ආරංචිය මහත් ශෝකයක් ගෙන දුන්නක් විය. පසුව, එවර එම සමාජයේ රැස්වීම් සැසියේ දී කතිකා කිරීමට නියමිත මාතෘකා අතර හයි ලයින් දුම්රිය මාර්ගය කඩා බිඳ දැමීම ද ඇති බව දුටු ඔහු එම සැසියට සහභාගී වූ අතර, එහිදී ඔහුට ඔහු මෙන්ම හයි ලයින් දුම්රිය මාර්ගය සුරැකීමේ අභිප්‍රායෙන් පමිණ සිටි ජෝෂුවා ඩේවිඩ් මුණ ගැසුණි. පසුව ඔවුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් "හයි ලයින්හි මිතුරෝ" නම් සංවිධානය ගොඩනැගුණු අතර එහි අරමුණ වූයේ දුම්රිය මාර්ගය විනාශ කිරීම වැළැක්වීම සහ එය මත නව සංකල්පයකට අනුව පොදු ස්ථානයක් ගොඩ නැංවීම යි.
හයි ලයින් දුම්රිය මාර්ගය නව සංකල්පයකට අනුව නිර්මාණය කිරීම සඳහා "හයි ලයින්හි මිතුරෝ" සංවිධානය මගින් 2004 වසරේ පැවැත්වූ නිර්මාණ තරගාවලියක් හරහා යෝජනා ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ යෝජනා අතරින් ජයග්‍රහණය අත් පත් කර ගත්තේ භූමි නිර්මාණවේ දී ජේම්ස් කෝනර් ගේ ආයතනය, සහ ඩිලර් ස්කොෆිඩියෝ සහ රෙන්ෆ්‍රෝ වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය යි.
නව සැලසුමට අනුව 2004 වසරේ දී හයි ලයින් දුම්රිය මාර්ගය ආකර්ශණීය සුන්දර නාගරික උද්‍යානයක් බවට හැරවුණු අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ සක්මන් මළුවක්, නාගරික චතුරස්‍රයක්, උද්භිත උද්‍යානයක් වැනි අංග කිහිපයකින්ම සමන්විත වීම යි. තවමත් මෙම උද්‍යානයට නව කොටස් එකතු කරමින් ඉදිකිරීම් සිදුකරන අතර බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ පැරණි දුම්රිය මාර්ගයේ දැනට ඉතිරි වී ඇති සම්පූර්ණ කොටස මත මෙම උද්‍යානය පැතිරෙනු ඇති බවට යි.
උද්‍යානයේ ඇති විශේෂතා
භූමි නිර්මාණවේදී ජේම්ස් කෝනර්ට අනුව, ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම උද්‍යානය කොටස් කිහිපයකින් සමන්විත දිගු පීත්ත පටියක් ලෙස නිර්මාණය කිරීමට යි. ඒ අනුව මෙය විවිධ අත්දැකීම් රැසකින් සමන්විත එක් උද්‍යානයක් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මෙහි ඇති බංකු පොළොවට අතුරා ඇති ලෑල්ල එසවීමෙන් සෑදී ඇති බවක් පෙනෙන අයුරින් නිර්මාණය කර ඇති අතර පැරණි රේල් පීලි ඇතැම් ස්ථානවලදී පිහිටි අයුරින්ම පවතින පරිදි මෙය නිර්මාණය කර තිබේ. මෙහි රෝපණය කර ඇති ශාඛ දැඩි අධ්‍යයනයකින් පසුව රෝපණය කළ ඒවා වන අතර, පන් වර්ග සහ දිගු තෘණ වර්ග රෝපණය කර ඇත්තේ දුම්රිය මාර්ගය අත්හැර දමා තිබූ යුගයේ එහි පැළවී තිබූ කැළෑ මල් සහ තෘණ වර්ග සිහිවීමට යි.
හයි ලයින් උද්‍යානය පොළව මට්ටමට අඩි 25ක් පමණ ඉහළින් පිහිටා තිබීම හේතුවෙන් එහි සක්මන් කිරීම විශේෂ අත්දැකීමක් ලබා දෙන අතර මහාමාර්ගය අවට සිදුවන ක්‍රියාකාරකම් මාර්ගයෙන් දුර සිට නැරඹීමට මෙහිදී හැකියාව ලැබේ. සුන්දර තුරු ගොමුවක් අතර වාඩිවී හඩ්සන් නදියට ඉහළින් පෙනෙන හිරුගේ දර්ශනය නැරඹීමත් පැරැනි සහ අළුත් ගොඩනැගිලි අතරින් දිවෙන උද්‍යානයේ ඇවිදීමත් බොහෝ ආකර්ශණීය අත්දැකීමක් ලබ දෙන බව එම නගරවාසීන්ගේ අදහස යි.