Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

COVID-19යෙන් ගැලවිමට ගව මුත්‍රා පානය කරන ඉන්දියානුවෝ

මේ වන විට නව කොරෝනා වෛරසය හෙවත් covid-19 මුළුමහත් ලෝකය පුරාම වේගයෙන් පැතිරී යනවා. චීනයේ වූහාන් මුල් කරගනිමින් පැතිරී ගිය covid-19 හි වත්මන් පැතිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවසන්නේ යුරෝපය යි. ඒ, මේ වන විට චීනයේ රෝගීන් වාර්තා වීම හා ඒ හේතුවෙන් සිදුවෙන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් පහළ යාම හා ඉතාලිය ප්‍රමුඛ කරගත් යුරෝපයේ රෝගීන් වාර්තා වීම හා මරණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙනුයි. 

යුරෝපයට අමතරව මේ වන විට උතුරු ඇමෙරිකානු රටවල ද, අප්‍රිකාවේ මෙන්ම ආසියානු රටවල ද covid-19 වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන පරිදි අද වන විටත්, නව කොරෝනා (covid-19) වෛරසය වැළැක්වීමට, ප්‍රතිකාර කිරීමට හෝ කිසිදු ඖෂධයක් සොයාගෙන නෑ. කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වූවන්ට රෝග ලක්ෂණ සමනය කිරීමට සුදුසු ප්‍රතිකාර ලබාදෙන අතර රෝගාබාධ ආදියෙන් පෙළෙන අයට සුදුසු ප්‍රතිකාර ලබාදීම ද සිදුවෙනවා.

නව කොරෝනා වෛරසය හෙවත් covid-19යෙන් ගැලවීම සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති හාස්‍යජනක මෙන්ම, අප්‍රසන්න ක්‍රියාකාරකමක නිරත වූ ඉන්දීය පුද්ගල කොට්ඨාසයක් පිළිබඳව යි මේ ලිපිය ලියැවෙන්නේ.

එනම්, covid-19 බෝ වීම වැළැක්වීම පිණිස ඉන්දියානුවන් පිරිසක් ගව මුත්‍රා පානය කිරීමේ උත්සවයක් පැවැත්වූ බව පසුගිය දිනෙක ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ගව මුත්‍රා පානෝත්සවය

ගව මුත්‍රා පානෝත්සවය (dw)

සමස්ත ඉන්දීය හින්දු සංගමයේ (All India Hindu Union) හි ප්‍රධානියා වන Akhil Bharat Hindu Mahasabha මේ බව නිවේදනය කරමින් සිය සංගමයේ සාමාජිකයන් වෙත ගව මුත්‍රා පානෝත්සවය සඳහා එකතු වන ලෙස අරාධනා කර තිබෙනවා. එම සංගමයේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පසුගිය සෙනසුරාදා (මාර්තු 14) නවදිල්ලියේ දී පවත්වා තිබෙනවා.

ගව මුත්‍රා පානය ශරීරයට ඉතා හිතකර බවත්, ඒ හේතුවෙන් ලෙඩ රෝග හටගැනීමේ හැකියාව අඩු වී නිරෝගී සම්මපන්නභාවය හිමි වෙන බවත් ඉන්දියාවේ හින්දුන්ගෙන් බහුතරයක් දෙනා අතීතයේ සිට ම විශ්වාස කරනවා. වර්තමානයේ කොතරම් වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවත්, එම විශ්වාසය ඒ ලෙසම අදටත් පවතිනවා.

මීට අමතරව නව කොරෝනා වෛරසය හෙවත් covid-19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ගව මුත්‍රා පානය වඩා සුදුසු බව තීරණය කිරීමට තවත් හේතුවක් ඉවහල් වී තිබෙනවා. ඒ, ඉන්දියානු අගමැතිවරයාගේ පක්ෂය එනම්, ඉන්දියානු ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ඉහළ තනතුරු දරන්නන් ගව මුත්‍රා පානය පිළිබඳව දරන්නා වූ යහපත් ආකල්පය යි. ඔවුන් කිහිපදෙනෙක් ගව මුත්‍රා පානයෙන් නව කොරෝනා වෛරසය හෙවත් covid-19යෙන් ගැලවිය හැකි බව ප්‍රසිද්ධ වේදිකාවේ පවසනවා.

ගව මුත්‍රා පානෝත්සවය සඳහා සහභාගී වූවන්ගේ අදහස 

ගව මුත්‍රා පානය කරන ඉන්දියානුවෙක් (dw)

අපි අවුරුදු 21ක් තිස්සේ ගව මුත්‍රා පානය කර තිබෙනවා. ඒ වගේම ගොම මිශ්‍ර කළ ජලයෙන් ස්නානය කරලත් තියෙනවා. ඒ හින්දා කිසිම රෝගයක් සඳහා බටහිර ක්‍රමයේ ඖෂධ ලබාගැනීමේ අවශ්‍යතාවය අපට කිසි විටෙකත් දැනී නෑ.”යැ යි ප්‍රකාශ කරන්නේ, පසුගිය දා දිල්ලියේ පැවති එම උත්සවයට සහභාගී වූ අයෙක් වන ඕම් ප්‍රකාශ් නම් තරුණයා යි. 

ඊසානදිග ඇසෑමයේ ව්‍යවස්ථාදායක සාමාජිකයෙකු වන සුමන් හර්ප්‍රියා, මාර්තු දෙවන දා පැවති මහජන හමුවක දී ගව මුත්‍රා පානය හා ගව ගොම ස්නානය නව කොරෝනා වෛරසය හෙවත් covid-19යෙන් ගැලවිය හැකි ක්‍රමයක් ලෙස ප්‍රකාශ කරනවා. ඉන්දියාවේ පාරම්පරික ඖෂධයක් ලෙස එය භාවිතා වන බවත්, පිළිකා වැනි රෝගී තත්ත්වයන්ට ද ඔරොත්තු දෙන මෙවැනි ඖෂධ නව කොරෝනා වෛරසය හෙවත් covid-19 සඳහා ද එක ලෙස ම භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා.

උත්සවය (straitstimes)

ගව මුත්‍රා හෝ ගොම යනු නව කොරෝනා වෛරසය හෙවත් covid-19 සඳහා ඖෂධ නොවන බවත්, මේවා පිළිකා හෝ වෙනත් කිසිදු රෝගයක් සඳහා යොදාගැනීමෙන් ප්‍රතිඵල අත් වන බව කිසිදිනක විද්‍යාත්මක පර්යේෂණ මඟින් ඔප්පු කර නොමැති බවත් Debprasad Chattopadhyay නම් ඉන්දියානු වෛද්‍ය විද්‍යා පර්යේෂකයා DW ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබෙනවා. ලෙඩ රෝග සුව කිරීම විනා, එය අඩුම තරමේ පවතින ශරීර සෞඛ්‍යට හිතකර හෝ නොවේ ද යන්නවත් විද්‍යාත්මකව ඔප්පු කර නොමැති බව යි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ.

නමුත්, ඉන්දියාවේ බිලියන 1.3ක් වන බහුතර හින්දු බොහෝ දෙනෙක් ගවයා  පූජනීයයැ යි සලකනවා. තව ද, ඉන් බොහෝ දෙනෙක් ගව මුත්‍රා දිගටම පානය අමරණීය බවට පත් වීමට හේතුවක් වන බවත් විශ්වාස කරන බව සඳහන් වෙනවා.

ගව මුත්‍ර පානය කරන කාන්තාවක් (static.standard.)

ගව මුත්‍රා පානය හා ගොම ස්නානයට අමතරව ඉන්දියාව පුරා කොරෝනා මර්දනය සඳහා තවත් බොහෝ ව්‍යාජ හා හාස්‍යජනක ක්‍රියාකාරකම් දකින්න ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සෑම දිනකම තල තෙල් බින්දු දෙකක් උදෑසනම නාස්පුඩුවලට ආලේප කිරීමෙන් නව කොරෝනා වෛරසය වළක්වා ගත හැකි ය යන්න, එවැනි ක්‍රියාමාර්ගවලින් එකක් ලෙස සඳහන් කළ හැකි යි. තව ද, යෝගා පුහුණු වීම් කරන්නේ නම්, ඔබේ ප්‍රතිශක්තිය වැඩි වන අතර එමඟින් වෛරසය ආසාදනය වීමෙන් වැළකිය හැකි බවත් ඉන්දියානු ප්‍රසිද්ධ යෝගා උපදේශකයකු පවසා තිබෙනවා.

ගව මුත්‍රා, ගොම හෝ යෝග මඟින් නව කොරෝනා වෛරසය හෙවත් covid 19 ප්‍රතිකාර කිරීම හෝ වැළැක්වීම පිළිබඳව ප්‍රකාශ කිරීම වගකීම් විරහිත බවත්, එය රජයෙන් හෝ වෙනත් අයෙකුගෙන් හෝ නොවිය යුත්තක් බවත් ඉන්දියානු මධ්‍යම රජයේ දේශීය වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරනවා.

මූලාශ්‍රයයන්: 

Dw.com

independent.co.uk

කවරයේ පින්තූරය- .standard.co.uk

Related Articles