කොළඹ නගර ආරක්ෂක බලකායේ මුල්ම සිංහල නියෝජිතයා

කොළඹ නගරාරක්ෂක බලකායේ කැප්ටන් දුයේනුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් නැතිනම් හෙන්රි පේද්‍රිස් නමින් ප්‍රසිද්ධ දේශප්‍රේමී ජාතික නායකයා පිළිබඳව ලංකා ඉතිහාසය තබන වාර්තාව ඒ තරම් අවධානයට ලක් වූවක් නොවේ. නමුත් ලංකා දේශපාලන ඉතිහාසය තුළ අභීතව මරණයට මුහුණ දුන් මොණරවිල කැප්පෙටිපොළ සහ මද්දුම බණ්ඩාර වැනිම ජාතික වීරයෙකු ලෙස මිස අන්‍ය ආකාරයකින් හෙන්රි පේද්‍රිස් මහතාව හඳුන්වා දීම යෝග්‍ය නොවේ. 1887 අගෝස්තු 16 වන දින දුයේනුගේ දිසාන් පේද්‍රිස් මහතාට සහ කරන්දෙණියේ සාම නිලධාරී වශයෙන් කටයුතු කළ මාග්‍රිස් ප්‍රනාන්දුගේ දියණිය වූ මලීනෝ පේද්‍රිස් මැතිණියට දාව උපන් හෙන්රි පේද්‍රිස්, දරුවන් පස් දෙනෙකුගෙන් යුතු ධනවත් සිංහල පවුලක එකම පිරිමි දරුවා විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, ක්‍රිකට් ක්‍රීඩාවේ සමර්ථයෙක් ද විය. වර්තමාන තුරඟ තරග පිටිය භූමිය, හැව්ලොක් ටවුන් ප්‍රදේශය, අනුරාධපුරයේ කුට්ටම්පොකුණු කැලේ, බසවක්කුලම ප්‍රදේශවල පිහිටි ඉඩම් සහ බොරැල්ල සුසාන භූමියේ සැලකිය යුතු බිම් කොටස් ප්‍රමාණයක් ද පේද්‍රිස් පවුලේ දේපළවලට අයත් විය.

කොළඹ නගරයේ ආරක්ෂක බලකායට ඇතුළත් වූ මුල්ම සිංහල නියෝජිතයා වූ තරුණ පේද්‍රිස්ගේ අසුන් හැසිරවීමේ හැකියාව ද, දක්ෂ නායකත්වය ද නිසා වසරක් ඇතුළත ඔහු නගරාරක්ෂක බලකායේ කැප්ටන් තනතුරට පත් කෙරුණි. තරුණ පේද්‍රිස්ගේ නොවක් නායකත්ව පෞරුෂය හා ධනවත් පවුල් පසුබිම හේතුවෙන් ඔහු විදේශිකයන්ගේ මෙන්ම ස්වදේශිකයන්ගේ ද ඊර්ෂ්‍යාවට ලක් විය. 1915 දී මහනුවර නගරයේ පැවැත්වුණු බෞද්ධාගමික පෙරහැරකට පහර දීම නිසා ඇරඹුණු මුස්ලිම් කෝලාහලය සමථයකට පත් කිරීම සදහා එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් චැල්මර්ස්, බ්‍රිගේඩියර් ජෙනරාල් මැල්කම් යටතේ මෙරට ආරක්ෂක තත්ත්වය තර කර මාර්ෂල් නීතිය පනවනු ලැබිණි. මෙහි දී රාජකාරියේ යෙදුණු විසි හත් හැවිරිදි තරුණ හෙන්රි පේද්‍රිස් මුස්ලිම් ජනතාව සමග මිත්‍රශීලීව කටයුතු කරමින් බොහෝමයක් ගැටුම් සමථයකට පත් කිරීම නිසා ඔහු කෙරේ පැවති ඊර්ෂ්‍යාවෙන් ඔහුට විරුද්ධව අසත්‍ය චෝදනා ගොනු කරන ලදී. මාර්ෂල් නීතිය පනවා තිබූ කාලය ඇතුළත අරගලය සංසිඳවීමේ මුවාවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව බොර දියේ මාළු බාන්නට සමත් විය. ඒ අනුව හෙන්රි පේද්‍රිස් ඇතුළු බොහොමයක් සිංහල නායකයන් (ඩී. එස්. සේනානායක, ඩී.ආර්. විජයවර්ධන, ඒ.එච්.මොලමුරේ) අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව සිංහල නායකයන් අධෛර්යමත් කිරීමට කදිම අවස්ථාවක් සලසා ගත් යටත් විජිත පාලනාධිකාරිය මුස්ලිම්වරුන්ට හිරිහැර කළේ ය යන අසත්‍ය චෝදනා යටතේ හෙන්රි පේද්‍රිස්හට වෙඩි තබා මරණයට පත් කිරීමට නියම කරන ලදී. අභියාචනයක් සඳහා හෝ කල් නොතබා දින දෙකක් ඇතුළත දඬුවම ක්‍රියාත්මක කිරීමට නියම කිරීමෙන් පෙනී යන්නේ ම මෙය හුදෙක් පෞද්ගලික තරහ පිරිමසා ගැනිමට කළ ඓතිහාසික අසාධාරණයක් බව යි. තරුණ පේද්‍රිස්ගේ පියා වූ දිසාන් පේද්‍රිස් මහතා සිය පුතුගේ බරට සරිලන තරමින් ධනය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ගෙවීමට කැමැත්ත පළ කර සිටියත් එම ඉල්ලීම පවා අකාරුණිකව නොසලකා හරින ලදී. මරණ දඬුවම නියම කිරීමෙන් පසුව තරුණ පේද්‍රිස් නිර්භයව පවසා සිටියේ සිය දඬුවම සුදුහම ඇත්තවුන් අතින් සිදුනොවිය යුතු බව යි. එම ඉල්ලීමට ඉඩ දුන් බ්‍රිතාන්‍ය රජය ඒ සදහා ඉන්දීය පංජාබ් හමුදාකරුවන් යොදවන ලදී. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පුටුවේ වාඩි වීමට පෙර දෑස් බැඳ ගැනීම සඳහා කිසිවෙකු විසින් ලේන්සුවක් පේද්‍රිස්හට ලබා දුන් අවස්ථාවේ දී “මට මගේ ලේන්සුව තියෙනවා” කියමින් සිය සාක්කුවෙන් ලේන්සුවක් පිටතට ගත් ඔහු ඉන් දෑස් බැඳ ගත්තේ ය. අභීතව මරණයට මුහුණ දුන් ඔහු තරුණ වියේ දී ම ශ්‍රී ලංකා ජාතික සටන සඳහා දිවි පිදූ කලාතුරකින් බිහිවන අන්දමේ උතුම් මිනිසෙකි. ඔහු මරණයට පත් කිරීමෙන් පසු ඔහු වාඩි වී සිටි ලේ වැකුණු පුටුව බ්‍රිතාන්‍යයන් විසින් සිරභාරයේ සිටි සිංහල නායකයන්ට පෙන්වා ඔබටත් අත් වන්නේ මීට වෙනස් අවසානයක් නොවන බව ඒත්තු ගැන්වීමට උත්සාහ කළහ.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහු කෙරේ කෙතරම් වෛරයෙන් පසු වූයේත් කියතොත් අවසන් කටයුතු කිරීම සඳහා ඔහුගේ මෘත ශරීරය ඔහුගේ පවුලේ අයට ලබා නොදී, ඔහු දැරූ හමුදා නිලතලවලින් ද පහකොට කිසිත් ගෞරවයක් නොදක්වා රහසේ වළ දමන ලද නමුත්, ඔහු භූමදානය කර තිබුණේ ද හෙන්රි පේද්‍රිස් පවුලට අයත් සුසාන භූමියක වූ නිසා පේද්‍රිස්ගේ පියා වූ දිසාන් පේද්‍රිස් මහතා ඔත්තුකරුවන් ලවා සිය පුතුගේ ශරීරය වළ දැමූ තැන සොයා ගනු ලැබීය. මෙම අසාධාරණ මරණ දඬුවම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විරුද්ධත්වය පළ කළ අතර අභියාචනා ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අභියාචනයේ දී පේද්‍රිස් සහ ඔහුගේ පවුලේ අය නිදොස්භාවයට පත් වූ අතර 1987 වසරේ දී ඔහුගේ මිනීවල යළිත් වරක් විවෘත කොට, නිසි ගෞරවයට ලක් කොට භූමදාන කරන ලදී. 1987 ජූලි 7 වන දින හැව්ලොක් සිටී හි පේද්‍රිස් ප්‍රතිමාව නිරාවරණය කරමින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කියා සිටියේ යාබද ක්‍රීඩා පිටිය ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් නම් කළ යුතු බව යි. ඒ අනුව එය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය නමින් නම් කෙරුණි. දිසාන් පේද්‍රිස් මහතා පුතු සිහි වීම පිණිස බැතිමතුන් සඳහා පොළොන්නරුවේ හෙන්රි පේද්‍රිස් විශ්‍රාම ශාලාව තැනවීමත්, ඔහුගේ මෑණියන් විසින් පුතු සිහිකර දෙමටගොඩ මල්ලිකාරාමය සඳහා ඉඩමක් පූජා කිරීමත් සිදුවිය.

කවරය: Roar Media

Related Articles