Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝස මලේ ඉතිහාසය සහ එයින් කියැවෙන පණිවිඩ

ඔබගේ ප්‍රියතම මල කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ රෝස මල යනුවෙනුයි. එයට බොහෝ විට හේතුව එහි ඇති සුන්දරත්වයත්, සුවදවත් බව හා වර්ණවත් බවයි. එසේම අප සැම කෙනෙකුම පාහේ අපගේ ගෙවත්තට රෝස පැලයක් එක් කර ගැනීමට අමතක කරන්නේද නැහැ. රෝසමල හා බැඳුණු අපූරු ඉතිහාසයක් මෙන්ම රෝසමලෙන් සංකේතවත් වන විවිධ කරුණු ද තිබෙනවා. ඉතින් මෙතරම් අපගේ දිවිය හා සම්බන්ධතාවයක් ඇති රෝස මල පිලිබදව ඔබ සතු දැනුමට අලුතින් යමක් එක් කිරීම මෙම ලිපියේ අරමුනයි.

මල් ලොවේ රැජිණ ලෙස පිදුම් ලබන්නේ රෝස මලයි. එලෙස රාජකීයත්වයක් මෙයට ආරෝපණය කර ඇත්තේ එයින් බලය, සුන්දරත්වය හා එයට අවේනික ලක්ෂණ පිළිබිඹු වන නිසයි. එය ලොව පුරා මිනිසුන්ගේ සිත දිනා ගැනීමට සමත්ව ඇතිවා මෙන්ම එහි සුන්දරත්වයටත් හා වර්ණයට අභියෝග කරන්නට කිසිවක් නැතැයිද සැලකෙනවා. එසේම රෝස පදුරකින් තොර මල් උද්‍යානයක් සම්පුර්ණ උද්‍යානයක් ලෙස සැලකෙන්නේද නැහැ. ලොව පුරා 2800 කට ආසන්න විසිතුරු රෝස විශේෂ දක්නට ලැබෙන අතර එයින් විශේෂ 100කට වඩා වනාන්තර ආශ්‍රිතව දකින්නට ලැබෙනවා. එසේම එංගලන්තයට පමණක් අවේනික වූ රෝස විශේෂ 35ක් පමණද දකින්නට පුළුවන්.

royalparks.org.uk (රෝස උද්‍යානයක පින්තුරයක්)

රෝස මල හා බැදුණු ඓතිහාසික තොරතුරු.

මෙම රෝස මල හා බැදුණු දිගුකාලින මෙන්ම වර්ණවත් ඉතිහාසයක් තිබෙනවා. එය අතීතයේ සිටම ආදරයේ, සුන්දරත්වයේ, දේශපාලනයේ මෙන්ම ඇතැම් විට ගැටුම් සදහාද සංකේතයක් වශයෙන් යොදාගෙන ඇති බව දකින්නට පුළුවන්. පොසිල යුගයෙන් හමු වී ඇති සාක්ෂි වලට අනුව මෙම රෝසමල හා සම්බන්ද ඉතිහාසය වසර මිලියන 35ක් පමණ ඈත​ අතීතයකට දිවෙනවා. එහිදී රෝස විශේෂ 150ක් පමණ ලෝකයේ උතුරු අර්ධගෝලය ආශ්‍රිතව පැතිර තිබී ඇති අතර එය ඇලස්කාවේ සිට මෙක්සිකෝව දක්වා උතුරු අප්‍රිකාව ඇතුළුව පැතිර පැවතී තිබී ඇත. එසේම රෝස ගෙවතු ආශ්‍රිතව වගා කිරීම ආරම්භ වී තිබෙන්නේ මෙයට වසර 5000කට පමණ පෙර වන අතර ඒ චීනයේ බව කියවෙනවා. රෝම යුගයේදී වැඩි වශයෙන්ම රෝස ව්‍යාප්තව පැවතී ඇත්තේ මධ්‍යම ආසියාව ආශ්‍රිතවයි. එහිදී මංගල අවස්ථා සැමරීම සදහාත්, ලෙඩ සුව කිරීම සදහාත්, මෙන්ම සුවඳ​ විලවුන් සදහාත් භාවිත කර තිබෙනවා. එකල විශාල රෝස උද්‍යානයක් දකුණු රෝමය ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා. එසේම රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසුව රෝස හා සම්බන්ධ ජනප්‍රියත්වය කාලයෙන් කාලයට​ ඉහල පහල යාමක් සිදුව තිබෙනවා.

15 වන සියවසේදී එකල එංගලන්තයේ පැවති බලවත් පවුල් දෙකක් සිය සංකේත ලෙස රෝස මල් යොදාගත්තා. එනම් එක් පවුලක් (Lancaster) සිය ලාංඡනයට​ රතු රෝසද අනෙක් පවුල (York) සිය ලාංඡනයට​ සුදු රෝසද භාවිතා කළා. එම පවුල් අතර එංගලන්තයේ පාලන බලය ලබා ගැනීම සදහා ගැටුමක් පැවතුණ අතර එය රෝස යුද්ධය (War of the Roses) ලෙස හඳුන්වනු ලබනවා.

18 වන සියවසේදී නැපෝලියන්ගේ බිරිද වූ ජොසපින් විසින් රෝස විශේෂ රැසක එකතුවකින් යුතු රෝස උද්‍යානයක් මාලිගාවට ආසන්නයේ පිහිටුවා තිබෙනවා. මෙ ආකරයට රෝස මල හා බැදුණු ඉතිහාසය හදුනා ගන්නට පුළුවන් වන අතර වර්තමානයේදී ලොව පුරා ජනතාවට රෝස යනු ඔවුනගේ විශේෂ අවස්ථාවන් සදහා නැතුවම බැරි මලක් බවට පත්වී හමාරයි.

රෝස මල හා බැදුණු ප්‍රයෝජන.

රෝසමල හා බැදුණු ප්‍රයෝජන පිලිබදව කතා කරන විට මෙම රෝස මල් කපා විකිණීම, රෝස තෙල් නිෂ්පාදනයට, රෝස වතුර නිෂ්පාදනයට, උත්සව සැරසිලි කටයුතු වලට භාවිතා කරනු දකින්නට පුළුවන්. එසේම එය ගෙවතු හා උද්‍යාන අලංකරණ ශාකයක් ලෙසද භාවිත කරන අතර සුවද විලවුන්, සබන් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යක් ලෙසද භාවිතා කරනවා. මෙම රෝස මල් බොහෝ විට භාවිතා කරන්නේ රුපලවන්‍ය කටයුතු සදහායි.

organicfacts.net (රෝස තෙල් දැක්වෙන පින්තුරයක්)

එසේම රෝස මල් ඖෂධයක් ලෙස භාවිතා කරන අයුරුද දකින්නට පුළුවන් වෙනවා. එනම් රෝස පෙති හා රෝස ගෙඩි රෝස තේ සැදීම සදහා යොදා ගන්නවා. එම තේ විටමින් සී වලින් පොහොසත්. එසේම අනෙකුත් විටමින් වලින් මෙන්ම සංයෝගයන්ගෙන්ද යුතු වෙනවා. එනිසා මෙම තේ වලට උදරය ආශ්‍රිතව ඇති ගැටළු සමනය කිරීමේ හැකියාවක් පවතින බවද සැලකෙනවා. එහෙත් මෙම තේ භාවිතයට පෙර පුහුණුවලත් වෛද්‍ය වරයෙකු ලවා තමාට සුදුසුදැයි පරික්ෂා කර ගැනීම වැදගත් වෙනවා. රෝස පෙති තද කහට බවකින් සමන්විත වන අතර එය සිරුරෙන් ලේ ගැලීම පාලනය කිරීමට සමත් වෙනවා.

රෝස මලෙන් සංකේතවත් වන අදහස්

මෙම රෝසමල මගින් බොහෝ අර්ථ සංකේතවත් කරනවා. එහිදී රෝස මලේ වර්ණය අනුව එම සංකේතවත් බව එකිනෙකට වෙනස් වෙනවා. ඒ කෙසේ වෙතත් රෝස මල පොදුවේ ගත්විට ඕනෑම රෝස මලක් මගින් ආදරය, ගෞරවය, විශ්වාසය, සුන්දරත්වය, රහස්බව හා භක්තිය සංකේතවත් වෙනවා.

රෝස මලේ වර්ණයට අනුව එයින් සංකේතවත් වන අදහස් සලකා බලන විට රතු රෝස මල් මගින් ආදරයද, සුන්දරත්වයද, නිර්භීතකම හා ගෞරවයද, සතුටද ප්‍රකාශ වෙනවා. එසේම රතු රෝසමලක් තෑගි කිරීමෙන් නිහඩව ප්‍රේමය ප්‍රකාශ කිරීමක්ද සිදුවන අතර එය අවංක ආදරයක් බවද පිළිගැනෙනවා. අදුරු රතු පැහැයෙන් සංකේතවත් වන්නේ සැබෑ සුන්දරත්වයයි.

pinterest.com (සුදුපැහැති රෝස මලක පින්තුරයක්)

සුදු පාට රෝස මල් මගින් පවිත්‍රත්වය, අහිංසක බව, නිහඬබව​, රහස් බව, ගෞරවය, නිහතමානිකම, හා දිව්‍යමය බව සංකේතවත් වන බව සැලකෙනවා.

එසේම රෝස පැහැති රෝස මල් තුලින් අගය කිරීම, ස්තුතිය පිරිනැමීම, අලංකාරය, කරුණාව, සම්පුර්ණ ප්‍රීතිය, මෘදු බව හා විශ්වාසය සංකේතවත් කරනවා.

flower.pharmarep.co (කහ පැහැති රෝස මලක් දැක්වෙන පින්තුරයක්)

කහ පාට රෝස මල් භාවිත කරන්නේ ප්‍රීතිය, සතුට, මිත්‍රත්වය, නව අරම්භයකදී වන පොරොන්දුව, පිළිගැනිම, මෙන්ම ඊර්ෂ්‍යාව සංකේතවත් කිරීම සදහායි.

රතු පාට කෙළවරක් සහිත කහ පාට රෝස මල් මගින් මිත්‍රත්වය හා ආදර සහිත බව සංකේතවත් වෙනවා.

එසේම තැඹිලි පැහැති රෝස මල් මගින් අපේක්ෂාව හා උද්යෝගයද සංකේතවත් වන අතර, රතු සහ සුදු රෝසමල් මිශ්‍රව දීම මගින් එකමුතු බව සංකේතවත් කෙරෙනවා.

pixabay.com (තැඹිලි පැහැති රෝස මලක් දැක්වෙන පින්තුරයක්)

එසේම රෝස මල් කලඹකට එක් කරන මල් ප්‍රමාණය අනුවද එයින් සංකේතවත් වන අර්ථය වෙනස් වෙනවා. එනම් එක් රෝසමලක් පිරිනැමීම මගින් පළමුවන දැකීමෙන්ම ඇති වූ ආදරයත් , උපරිම කැමැත්තත් සංකේතවත් වෙනවා. රෝස මල් දෙකක් මගින් විවාහය සදහා යෝජනා කිරීමත්, බලවත් වූ ප්‍රේමයත් සංකේතවත් කරනවා. රෝස මල් තුනක් ආදරය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් සදහා යොදා ගන්න අතර මල් හයක් මගින් එම පුද්ගලයා හා එකට ජිවත් වීමට කැමැත්ත ප්‍රකාශ වෙනවා. රෝස මල් හතක් මගින් දැඩි ස්නේහයෙන් බදුන බැදීමක් අර්ථවත් වන අතර මල් නවයක් මගින් සදාකාලික බැදීමක් අර්ථවත් කරනවා. රෝස මල් දහයකින් යුතු මල් කළඹක් පිරිනැමීම මගින් එම පුද්ගලයා සම්පුර්ණ වූ අයෙකු යන්න සංකේතවත් කරන අතර මල් දහතුනක් කලඹට එක් කිරීමෙන් සැගවුණු ගෞරවයක් සංකේතවත් වෙනවා.

seaerboat.com (රෝස මල් පොකුරක් දැක්වෙන පින්තුරයක්)

මේ ආකාරයට අපට රෝස මල හා බැදුණු සැගවුණු තොරතුරු හඳුනා ගන්නට පුළුවන් වෙනවා. රෝස පැලයක් ඔබගේ ගෙවත්තට එක් කර ගැනීම මගින් ඔබටද අලංකාර ගෙවත්තක් පවත්වා ගැනීමට හැකි වෙනවා මෙන්ම එයින් ලැබෙන මානසික සුවයද අපමණයි.

කවරයේ පින්තුරය: notcutls.co.uk

මුලාශ්‍ර :

Related Articles