Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට භාවිතා කළ 500 නෝට්ටුවල ඉතිහාසය

1981 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව නව මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කරනු ලැබුවා. ඓතිහාසික සහ පුරාවිද්‍යා යන තේමාව යටතේ නිකුත් කළ එම මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා රුපියල් 2 නෝට්ටුවක් ඇතුළත් වුණේ නැහැ. ඒ වෙනුවට රුපියල් 500 සහ 1000 යන වටිනාකමින් යුත් නව මුදල් නෝට්ටු දෙකක් මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබුවා.

500 සහ 1000 නෝට්ටු නිකුත් කිරීමට පෙර අප රට තුළ භාවිතා කළ වටිනාකමින් වැඩිම නෝට්ටු දෙක වුණේ රුපියල් 50 සහ 100 යන නෝට්ටු දෙක යි. නමුත් 1981 වසරින් පසුව මෙරට භාවිතා කළ වටිනාම නෝට්ටු දෙක බවට පත්වුණේ රුපියල් 500 සහ 1000 යන නෝට්ටු යුගලය යි. මෙරට භාවිතා කළ 1000 නෝට්ටු පිළිබඳව අපි මීට පෙර ලිපියකින් කතා කළා. මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අප රට තුළ භාවිතා කළ 500 නෝට්ටු පිළිබඳව යි. 

1981 වසරේ දී මුල්ම වරට නිකුත් කළ රුපියල් 500 නෝට්ටුව 

1981 වසරේ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්ම වරට රුපියල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල්, සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම නෝට්ටුව ඉන් පසුව 1985 වසරේ ජනවාරි 1 වැනිදා යළි නිකුත් කරනු ලැබුවා. එසේ නිකුත් කරනු ලැබුවේ ද රොනී ද මැල් සහ වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි.  එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දුඹුරු වර්ණය වැඩි වශයෙන් අඩංගු වනවා. ඊට අමතරව රෝස, නිල්, කහ, සහ තැඹිලි යන වර්ණයන් ද දක්නට ලැබෙනවා. එසේම එහි ඉදිරිපස කොටසේ දළදා මාලිගාවේ පිවිසුම් දොරටුවේ ඇතෙකුගේ ගල් කැටයමක්  මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ කොළ දුඹුරු, සහ රතු යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි මැද අනුරාධපුර අභයගිරි ස්තූපය මුද්‍රණය කර තිබෙනවා. ඊට අමතරව ඉහළ කොටසේ රතු මල් සහිත ශාක පත්‍ර ද පහළ කොටසේ කුරුල්ලෙකු සහ සමනලයෙකු සමග ශාක පත්‍ර ද මුද්‍රණය කර තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1987 වසරේ නිකුත් කෙරුනු රුපියල් 500 නෝට්ටුව 

1987 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ රොනී ද මැල් සහ වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන සහිතව යි. පසුව 1988 වසරේ නොවැම්බර් 21 වැනිදා නයිනමරික්කාර් මුදල් ඇමතිවරයාගේත් එච්.එන්.එස් කරුණාතිලක මහ බැංකු අධිපතිවරයාගේත් අත්සන් සහිත දෙවන වරටත් එය නිකුත් කෙරුනා.  

මෙම නෝට්ටුව නැවතත් 1989 වසරේ පෙබරවාරි මස 21 වැනිදා සහ 1990 අප්‍රේල් 5 වැනිදා මුදල් අමාත්‍ය ඩී.බී විජේතුංග සහ මහ බැංකුවේ අධිපති එච්.එන්.එස් කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව නිකුත් කළා. පහත දක්වා තිබෙන්නේ මෙම රුපියල් 500 මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස කොටස්වල අඩංගු දේ පිළිබඳව යි. 

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටස 1981 වසරේ දී නිකුත් කළ රුපියල් 500 නෝට්ටුවට සමාන වනවා. නමුත් මෙම නෝට්ටුවේ එහි ඉදිරිපස තිබෙන රූපය පිළිබඳව යටින් සඳහන් කර තිබුණත් 1981 වසරේ නිකුත් කළ නෝට්ටුවේ එවැන්නක් සඳහන් කර තිබුණේ නැහැ. ඒ අනුව මෙම නෝට්ටුවේ යටින් ගල් රූකමක්, ශ්‍රී දළදා මාලිගාව, මහනුවර යනුවෙන් මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මෙම මුදල් නෝට්ටුවේ පිටුපස කොටසත් 1981 වසරේ දී නිකුත් කළ රුපියල් 500 නෝට්ටුවට සමාන වුණත් මෙහි රතු වර්ණය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම මෙම නෝට්ටුවේ පිටුපස අභයගිරි ස්තූපයේ නම මුද්‍රණය කර තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1991 වසරේ දී නිකුත් වූ රුපියල් 500 නෝට්ටුව 

1991 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ ඩී.බී විජේතුංග සහ එච්.එන්.එස් කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව යි. එදා මෙදා තුර ලංකාවේ ජනප්‍රියම රුපියල් 500 නෝට්ටුව බවට පත්වුණු මෙම නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1992/7/1

    මුදල් අමාත්‍යවරයා- ඩී.බී විජේතුංග

    මහ බැංකුවේ අධිපති- එච්.බී දිසානායක

2) දිනය- 1995/11/15

    මුදල් අමාත්‍යවරයා- චන්ද්‍රිකා කුමාරතුංග

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

3) දිනය- 2001/12/12

    මුදල් අමාත්‍යවරයා- කේ.එන් චොක්සි 

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

4) දිනය- 2004/4/10

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම  

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

5) දිනය- 2004/7/1

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම 

    මහ බැංකුවේ අධිපති- සුනිල් මෙන්ඩිස් 

6) දිනය- 2006/7/3

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- අජිත් නිවාඩ් කබ්රාල් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දුඹුරු, රෝස, නිල්, තැඹිලි, සහ කහ යන වර්ණ දක්නට ලැබෙනවා. එසේම එහි තම්මැට්ටමක් සහ බෙරයක් වාදනය කරන වාදකයන් දෙදෙනෙකු දක්නට ලැබෙනවා. ඊට අමතරව උඩරට නැට්ටුවෙකුගේ රූපයක් කුඩාවට මුද්‍රණය කර තිබෙන ආකාරය ද දැකිය හැකියි.

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ කොළ, දුඹුරු, රතු, සහ රෝස  යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි රුවන්වැලිසෑයේ රූපය, ඕකිඩ් මල් දෙකක රූපයක් සහ මාළුවෙකු අල්ලාගෙන සිටින පිළිහුඩුවෙකුගේ  රූපයක්  මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Elakiri.com)

2011 වසරේ දී නිකුත් කළ රුපියල් 500 නෝට්ටුව 

දැනට බහුලවම භාවිතා වන මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ්  කබ්රාල් යන අයගේ අත්සන් සහිතව යි. මෙය 2011 වසරේ පෙබරවාරි 4 නිකුත් වුණත් එහි දිනය සටහන් ව තිබුණේ 2010 ජනවාරි 1 ලෙස යි. ඉන් අනතුරුව මෙම නෝට්ටුව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 2015/2/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- අර්ජුන් මහේන්ද්‍රන් 

2) දිනය- 2016/7/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

3) දිනය- 2019/1/28

    මුදල් අමාත්‍යවරයා- මංගල සමරවීර  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

4) දිනය- 2019/12/24

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ ලංකා බැංකු මූලස්ථානය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් මෙහි දක්වා තිබෙනවා. එසේම පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දක්නට ලැබෙනවා. තව ද නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා නම් පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට හෙළ නීල පරමයා නමැති සමනලයා මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි පද්මනිධි මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දක්වා තිබෙනවා.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

ඉහත දක්වා තිබෙන රුපියල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු 4ට අමතරව සමරු රුපියල් 500ක  මුදල් නෝට්ටුවක් 2013 වසරේ දී නිකුත් කරනු ලැබුවා. එම සමරු මුදල් නෝට්ටුව පිළිබඳව තොරතුරු පහත දක්වා තිබෙනවා.

2013 පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් රුපියල් 500 සමරු නෝට්ටුව 

2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මස 15 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම සැමරීම වෙනුවෙන් මෙම රු.500ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව සංසරණය සඳහා හඳුන්වා දෙනු ලැබුවා.

ඉදිරිපස කොටස  

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 500 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වනවා. නමුත් එහි  අතර පහත සඳහන් වෙනස්කම දක්නට ලැබෙනවා.

1) දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 500 වටිනාකමින් යුත් මුදල් නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට 2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු නිල ලාංජනය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මෙම නෝට්ටුවේ පිටුපස කොටස දැනට සංසරණයේ පවතින රුපියල් 500ක වටිනාකමින් යුත් නෝට්ටුවේ පිටුපස කොටසට සමාන වනවා.

කවරයේ ඡායාරූපය- 1981 වසරේ දී නිකුත් කළ රුපියල් 500 නෝට්ටුවේ මුහුණත (lakdiva.org)

මූලාශ්‍රයයන්- cbsl.gov.lk

Related Articles