Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෞද්ධ කොඩියේ සුළ-මුල

හැඳින්වීම

අතීතයේ බුදු දහම, භික්ෂුන් වහන්සේලා හා පන්සල යන ත්‍රිවිධ සංකල්පයන් ලාංකීය ජන සමාජය හා දැඩිව බැඳී තිබුණි. රාජ්‍ය පාලකයා බෞද්ධාගමිකයෙක් විය යුතු වීම එකල සිට පැවත එන සම්ප්‍රදායකි. මිනිසුන්නේ මරණ, දාන, ඇතුළු සියලුම දුක් කරදර වලදී තම ගමේ පන්සලේ හාමුදුරුවන් ඔවුන් සමග ඒ සඳහා මුලසුන ගෙන කටයුතු කරන ලදී. මෙවන් සමාජ වටපිටාවක් තුල බෞද්ධාගමේ අනන්‍යතාවය තහවුරු කිරීම අතවශ්‍ය කරුණක් විය. බෞද්ධ ශාසනයේ, බෞද්ධ සංස්කෘතියේ, බෞද්ධ චින්තනයේත් පැවැත්ම උදෙසා බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුණි. ෂඩ් වර්ණයෙන් යුතු බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය.

අතීතයේ බෞද්ධාගමට විරුද්ධව තිබූ බලවේග

theflagshop.co.uk

1880 පමණ කාලයේදී පටන් බෞද්ධාගමට විරුද්ධව බොහෝ බලවේග ගොඩනැගුණි. 1833 මාර්තු මස 25වන දින දීපදුත්තාරාම විහාරයේ බුදු පිළිමයකට නේත්‍රා තැබීමේ පින්කමක් සංවිධානය කර තිබුණි. මෙම පින්කමේ කොටසක් ලෙස බොරැල්ලේ සිට දීපදුත්තාරාමයට පෙරහැරක් පැමිණීමට නියමිතව තිබුණි. පෙරහැර පිළිබදව අසත්‍ය දූෂිත ආරංචි පැතිර ගොස් තිබු නිසා එය පැවැත්වීමට ඉඩ දෙන ලද්දේ ක්‍රිස්තියානි පොලිස් නිලධාරීන්ගේ පරික්ෂණයකින් අනතුරුවයි. මෙම පෙරහැර කොටහේනට ළඟා වනවාත් සමගම ආයුධ රැගත් විශාල පිරිසක් නිරායුධ බෞද්ධ ජනයාට පහරදෙන ලදී. මෙම සිදුවීමත් සමග බෞද්ධ පෙරහැරවල් පැවැත්වීම තහනම් කරන ලදී.

බ්‍රිතාන්‍ය පාලන සමයේ බෞද්ධ ජනතාව මුහුණ දුන් මෙවැනි සෝචනීය තත්වයන් අවම කිරීමට “බෞද්ධාරක්ෂක කමිටුවක්” පිහිටුවන ලදී. මෙම කමිටුව බෞද්ධාගමේ වර්ධනයට හා බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී.

වෙසක් පොහොය නිවාඩුව හා බැඳී පවතින බෞද්ධ කොඩිය නිර්මාණය  

බෞද්ධ කොඩිය ප්‍රථම වරට ඔසවන ලද්දේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වූ 1885 අප්‍රේල් මස 28 වන දිනය. මෙදින වන විට කෙලෙස හෝ බෞද්ධ කොඩිය නිර්මාණය කර එය එසවිය යුතු බවට බෞද්ධාරක්ෂක සභාවේ අදහස විය.

පෙර රජයේ නිවාඩු දිනයක්ව පැවති වෙසක් පොහොය දිනය 1770දි ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩුකාරයාගේ කාලයේදී අවලංගු කරන ලදී. ඒ වෙනුවට ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස නීති ගත කරන ලදී. මෙයට හේතුව වුයේ බොහෝ අපරදිග ජාතින් ක්‍රිස්තියානුවන් වීමයි. ඔවුන්ගේ පාස්කු දිනය වුයේ ඉරිදා දිනයයි. 1817 අංක 05 දරන ආඥා පනත යටතේ පොහොය නිවාඩු දිනය අහෝසි කර ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලදී.

tbcm.org.my

පසුව ඕල්කට් තුමා එංගලන්තයට ගෙන යන ලද සංදේශයෙහි වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කළ යුතුය යන ඉල්ලීම සලකා බලා ඊට අනුමැතිය ලබා දීමට තීන්දු විය. ඒ අනුව 1885 මාර්තු 27වන දින ගැසට් පත්‍රය මගින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කෙරුණි. 1885 වසරේ වෙසක් පොහොය යෙදී තිබුණේ අප්‍රේල් මස 28 වන දිනයේදීය. එදිනට බෞද්ධ කොඩියක් නිර්මාණය කර නිම කිරීමේ වගකීම කමිටුවක් වෙත පවරන ලදී. එම කමිටුව දස දෙනෙකුගෙන් යුතු වූ අතර එයට පහත පුද්ගලයින් ඇතුලත් විය.

  • හික්කඩුවේ සුමංගල නාහිමි
  • මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
  • දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා
  • ඒ.පී. ධර්ම ගුණවර්ධන මහතා
  • විලියම් දි ආබෲ මහතා
  • සී.පී. ගුණවර්ධන මහතා
  • චාර්ල්ස් ඒ. ද සිල්වා මහතා
  • ඇන්. ඇස්. ප්‍රනාන්දු මහතා
  • පීටර් දි ආබෲ මහතා
  • එච්. විලියම් ප්‍රනාන්දු මහතා එම දස දෙනා විය.

වර්ණ සංකලනය

බෞද්ධ කොඩියේ නිල්, කහ, රතු, සුදු, මදටිය පාට, සියලු වර්ණයන්ගේ එකතුවක් ලෙස පාට හයක් දැකිය හැක. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදුන රශ්මි මාලාව පදනම් කර ගනිමින් ඉහත වර්ණ නිර්මාණය කර ඇත. එම වර්ණයන්ගෙන් පහත දේ නිරූපනය වේ.

  • නිල් වර්ණය – කරුණාව හා විශ්වය කෙරෙහි පැවති මෛත්‍රිය, සාමය
  • කහ වර්ණය – මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව
  • රතු වර්ණය – ආශීර්වාදාත්මක ප්‍රායෝගික කාර්ය සාඵල්‍ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය
  • සුදු පාට – ධර්මයේ පාරිශුද්ධ බව හා කාලයට හා අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහස.
  • තැබිලිපාට – ප්‍රඥාව හා බෞද්ධ දේශනය
  • සියලු වර්ණයන්ගේ එකතුව – එකම සත්‍යය අර්ථ ගැන්වෙන බව දැක්වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල් වර්ග කීපයකටද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. ඒවා පහත පරිදි වේ.

  • නිල වර්ණය – නිල්මානෙල්
  • කහ වර්ණය – කිණිහිරියා මල්
  • රතු වර්ණය – වදමල
  • සුදු වර්ණය – ඉද්ද හා සමන් මල්

කොඩියේ නිර්මාතෘ

adventuresinserendipity.wordpress.com

බෞද්ධ කොඩියේ නිර්මාතෘ පිළිබඳව මතබේද පවතී. කොඩිය පිළිබද මුල් වතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පුවත් පතේ හෝ වෙනත් වර්තාවක නිර්මාතෘ පිළිබද සඳහනක් නොමැත. එම නිසා දස දෙනෙකුගෙන් යුතුව පත්කළ කමිටුවේ සියල්ලන්ගේම අදහස් හා සැලසුම් වල සමෝධානයෙන් බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නට ඇතැයි උපකල්පනය කිරීම සාධාරණ  වේ. වෙසක් උත්සව කමිටුවේ ලේකම් පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ ලෙස පසු කාලීන ලේඛන වල සඳහන් වේ.

කොඩියේ තිබිය යුතු ප්‍රමිතිය

බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පතේ කොඩියේ සැලසුම පහත පරිදි දැක්වේ.

  • හැඩය සෘජුකෝණාශ්‍ර විය යුතුය
  • කොඩියේ පළල හා දිග අතර අනුපාතය 2:3 විය යුතුය.
  • කොඩිය සමාන සිරස් තීරු හයකින් විය යුතුය. එය ඔසවන කෙළවරේ සිට පිළිවෙල විය යුත්තේ නිල්, කහ, රතු, සුදු, මදටිය පැහැය සහ මිශ්‍ර පැහැයන් ලෙසයි.

මෙලෙස කොඩියේ ප්‍රමිතිය පිළිබඳව තවත් නිර්ණායක ගණනක් දක්වා ඇති අතර ඒවා අනුගමනය නොකර නිර්මාණය කරන බෞද්ධ කොඩිය නිවැරදි එකක් නොවේ.

කවරයේ පින්තුරය  – en.wikipedia.org

Related Articles