Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චොකලට් ඉතිහාසය ගැන රස වෑහෙන කතාවක්

චොකලට් ඉතිහාසය සොයා යන කථාන්තරය අවසන් වන්නේ පුරාණ මායා ශිෂ්ටාචාරයෙන් සහ දකුණු දිග මෙක්සිකෝව ආශ්‍රිත ව වාසය කළ ඔල්මෙක්ස්වරුන්ගෙන් බව පැවසීමේ වරදක් නැහැ. ‘චොකලට්’යැ යි කියූ සැණෙන් වයස් භේදයකින් තොර ව කාටත් සිහි වන්නේ පාරිභෝගික රුචිය ඔප්නංවන අයුරින් නොයෙක් ඇට වර්ග යොදාගෙන විවිධ රසයන්ගෙන් ජනප්‍රිය වෙළඳ නාමයන් ඔස්සේ වෙළඳපොළට ඉදිරිපත් කර ඇති චොකලට් කුට්ටි වුවත් අතීතයේ දී පැවති චොකලට්, වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන පැණි රස වෑහෙන චොකලට් හා සමාන වන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඉතිහාසය පුරාවට චොකලට් ගෞරවයට පාත්‍ර වී ඇත්තේ තිත්ත රසයක් සහිත පානයක් සේ මිස ආහාරයට ගත හැකි පැණි රස කැවිල්ලක් ලෙස නම් නොවෙයි.

(© Wallpaper Cave) විවිධ රසයෙන් යුතු නූතන චොකලට්

චාරිත්‍රානුකූල පානයක් බවට පත් වූ වියළි කොකෝවා ඇට

චොකලට් නිපදවීම සඳහා අවැසි මූලික අමුද්‍රව්‍ය වන්නේ කොකෝවා ඇට යි. මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව නිජබිම කර ගත් කොකෝවා ගසේ හට ගන්නා කොකෝවා ගෙඩියක් තුළ සාමාන්‍යයෙන් කොකෝවා ඇට 40ක් පමණ අන්තර්ගත වෙනවා. චොකලට් සෑදීම සඳහා යොදා ගන්නේ හොඳින් වියළා පුළුස්සා ගන්නා ලද කොකෝවා ඇට යි. පුරාණ මිනිසුන් විසින් කොකෝවා ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ කුමන කාල වකවානුවේ දැ යි නිශ්චිත ව ප්‍රකාශ කළ නොහැකි වුවත්, ක්‍රි. පූ. 1500ට පමණ අයත් ඔල්මෙක් භාජන තුළින් තියබ්‍රෝමයින් (කොකෝවා ඇට තුළ අන්තර්ගත වන තිත්ත රසැති සංයෝගයක්) කොටස් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.  

(© World Atlas) කොකෝවා ගෙඩි සහ ඇට

ඉතිහාසඥයින්ගේ මතය වන්නේ ඔල්මෙක්වරුන් විසින් චාරිත්‍රානුකූල පානයන් නිපදවීම සඳහා කොකෝවා යොදා ගන්නට ඇති බව යි. එසේ වුවත්, ඔල්මෙක්වරුන් සතු ව ලිඛිත ඉතිහාසයක් නොපවතින බැවින් ඔවුන් පානයන් නිපදවීමේ දී කොකෝවා එයට මිශ්‍ර කළා ද, නැතහොත් කොකෝවා ඇට යොදාගෙන සකසන ලද කල්කයන් ආහාරයට ගත්තා ද යන්න පිළිබඳ ව අවසන් නිගමනයකට පැමිණීමට හැකි වී නැහැ.

මායාවරුන්ගේ ගෞරවය ලද චොකලට්

චොකලට් පිළිබඳ ව ඔල්මෙක්වරුන්ගෙන් ලත් දැනුම උපයෝගී කර ගනිමින් කොකෝවා ඇට ආහාරයට ගැනීම ඇරඹූ මායාවරුන් විසින් චොකලට් සලකා ඇත්තේ ඉමහත් ගෞරවයට සහ ඇගයුමට පත් විය යුතු ආහාරයක් ලෙස යි. ඔවුන් විසින් උත්සව අවස්ථාවන් හි දී සහ වැදගත් ගනුදෙනු අවසන් කිරීමේ දී චොකලට් පානයන් භාවිතා කර ඇති බවට සාක්ෂ්‍ය මායාවරුන්ගේ ලිඛිත ඉතිහාසය තුළ හමුවෙනවා.

(© Wikimedia Commons) සාමාන්‍ය වැසියෙකුට චොකලට් බඳුනක් ස්පර්ශ කිරීම තහනම් කරන මායා රදලයෙක්

මායාවරුන්ගේ සංස්කෘතිය තුළ චොකලට් සඳහා ඉහළ ගෞරවයක් සහ ඇගයුමක් හිමි වුව ද, එය ධනවත් සහ බලවත් පන්තියට පමණක් සීමා වූ ආහාරයක් නොවූ අතර, සෑම මායා නිවෙසක ම පාහේ ආහාර සැකසීම සඳහා චොකලට් භාවිතා කර තිබෙනවා. මායාවරුන් විසින් නිපදවන ලද චොකලට්, උකු, සහ පෙණ සහිත වූ අතර බොහෝ විට ආහාරයට ගෙන ඇත්තේ මී පැණි, ජලය, හෝ කොච්චි මිරිස් මුසු කිරීමෙන් අනතුරු ව යි.

මුදල් වෙනුවට කොකෝවා ඇට

කොකෝවා යනු දෙවිවරුන්ගෙන් ලද තිළිණයක් බව යි ඇස්ටෙක්වරුන්ගේ විශ්වාසය වුණේ. මායාවරුන් මෙන් ම ඔවුන් ද නිසි පදමට කුළුබඩු යොදා සකස් කර උණුසුම් ව හෝ සීතල ව පිළිගන්වන ලද චොකලට් පානයන් රස විඳ ඇති අතර, ආහාර සහ අනෙක් භාණ්ඩ මිල දී ගැනීමේ දී කොකෝවා ඇට මුදල් ඒකකයක් ලෙස ද භාවිතා කර තිබෙනවා. ඇස්ටෙක් ශිෂ්ටාචාරය තුළ කොකෝවා ඇට සලකා ඇත්තේ රන් ලෝහයට වඩා වටිනාකමින් වැඩි වස්තුවක් ලෙස යි. එසේ ම ඇස්ටෙක් සංස්කෘතිය තුළ නිරන්තරයෙන් ම චොකලට් රස විඳීමේ හැකියාව පැවතුණේ උසස් පැලැන්තියට පමණක් වන අතර, පහළ පන්තියට අයත් ඇස්ටෙක් වැසියන්ට චොකලට් රස විඳීමට අවස්ථාව ලැබී ඇත්තේ විවාහ මංගල්‍යයන් වැනි උත්සව අවස්ථාවල දී පමණ යි.

(© Brooklyn Museum) කොකෝවා ගෙඩියක් ඔසවාගෙන සිටින ඇස්ටෙක් රුවක්

ශ්‍රේෂ්ඨ ඇස්ටෙක් පාලකයෙකු වූ දෙවැනි මෙන්ටෙසූමා, ශක්තිය ලබා ගැනීම සඳහා සහ කාමෝද්දීපකයක් ලෙස දිනපතා ම චොකලට් ගැලුම් කිහිපයක් පානය කිරීමට පුරුදු වී සිටි බව යි වාර්තා වන්නේ. එසේ ම ඔහු විසින් ඔහුගේ හමුදාවන් සඳහා ද කොකෝවා ඇට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

කොළම්බස් විසින් ස්පාඤ්ඤයට රැගෙන ගිය චොකලට්

මුල් වරට යුරෝපා මහද්වීපයට චොකලට් හඳුන්වා දුන් වර්ෂය පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැති වුව ද, චොකලට් හඳුන්වා දෙන ලද පළමු යුරෝපීය රට ස්පාඤ්ඤය බව අවිවාදාත්මක යි. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව ඇමෙරිකාව සොයා යන ගමනේ දී ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් බලය අල්ලා ගන්නා ලද වෙළඳ නැවක කොකෝවා ඇට පැවති බව සඳහා වෙනවා. 1502 දී ඔහු නැවත ස්පාඤ්ඤයට ගොස් ඇත්තේ එසේ අත්පත් කර ගන්නා ලද කොකෝවා ඇට ද රැගෙන යි.

තවත් මූලාශ්‍රයකට අනුව ස්පාඤ්ඤ ජාතික සටන්කාමියෙකු වූ හර්නෑන් කෝටේස්ට චොකලට් හඳුන්වා දී ඇත්තේ මෙන්ටෙසූමාගේ රාජ සභාවේ දී යි. එහෙත් නැවත ස්පාඤ්ඤයට පැමිණීමෙන් පසු ව ඔහු දිගු කාලයක් ගත වන තුරු කොකෝවා සහ චොකලට් පිළිබඳ දැනුම රහසක් ලෙස තබා ගත් බව සඳහන් වෙනවා. තෙවැනි මූලාශ්‍රයකට අනුව 1544 දී ස්පාඤ්ඤයේ දෙවැනි ෆිලිප් රජු හමු වීමට පැමිණි කතෝලික පූජකවරුන්, ත්‍යාග ලෙස රජුට පිරි නමා ඇත්තේ ග්වාටමාලා ජාතික මායාවරුන් සහ කොකෝවා ඇට යි.

(© The Yorck Project) උදෑසන චොකලට් පානය කරන යුරෝපීයයන් (පියෙට්‍රෝ ලෝගිගේ සිතුවමක්)

කෙසේ හෝ ස්පාඤ්ඤයට පැමිණි චොකලට්, 16 වැනි සියවසේ අග භාගය වන විට ස්පාඤ්ඤ රාජ සභාවේ ජනප්‍රිය ආහාරයක් වූ අතර, 1585 වන විට ස්පාඤ්ඤය, චොකලට් අපනයනය කිරීම අරඹා තිබෙනවා. කෙටි කලකින් ම යුරෝපා මහද්වීපයේ ජනප්‍රිය වූ චොකලට්, උක් යුෂ, කුරුඳු, සහ අනෙක් රසකාරක යොදා ගනිමින් පානය කිරීමට යුරෝපීයයන් පුරුදු වුණා.

1641 දී ස්පාඤ්ඤ නෞකාවක් මඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට චොකලට් රැගෙන යන ලද අතර, 1682 දී ඇමෙරිකාවේ පළමු චොකලට් ව්‍යාපාරය අරඹා ඇත්තේ බොස්ටන් නුවර දී යි. එසේ ම ඇමෙරිකානු විප්ලව සමයේ දී හමුදා භටයින්ගේ ආහාර ලෙස මෙන් ම ඇතැම් අවස්ථාවල දී වැටුප් ලෙස ද චොකලට් ලබා දී තිබෙනවා.

භාවිතයට පහසු කොකෝවා කුඩු

යුරෝපා මහද්වීපයට චොකලට් හඳුන්වා දුන් මුල් කාල සීමාවේ එය ධනවත් පැලැන්තියට පමණක් සීමා වුණේ කොකෝවා ඇට මිල අධික වීම හේතුවෙන්. නමුත් 1828 දී ලන්දේසි ජාතික රසායනඥයෙකු වූ කොන්රාඩ් යොහැන්නස් වෑන් හවුටන්, ක්ෂාරීය ලුණු සමග මුසු කරන ලද කොකෝවා ඇට කුඩු කිරීම මඟින් ජලයේ පහසුවෙන් දිය වන චොකලට් කුඩු නිෂ්පාදනය කර තිබෙනවා. එසේ ම ඔහු පුළුස්සන ලද කොකෝවා ඇට තුළ ඇති කොකෝවා බටර් වෙන් කර ගත හැකි චොකලට් මිරිකන යන්ත්‍රයක් ද නිපදවා ඇති අතර, සෑම අයෙකුට ම පහසු මිලකට චොකලට් මිල දී ගැනීමට මංපෙත් විවර කර ඇත්තේ එය යි.

(© 2018 Nestlé) නෙස්ලේ සමාගමේ චොකලට් දැන්වීමක්

19 වැනි සියවස දක්වා ම චොකලට් භාවිතා වී ඇත්තේ ජලය හෝ කිරි සමග මුසු කර රස විඳිය හැකි පානයක් ලෙස යි. 1847 දී බ්‍රිතාන්‍ය ජාතික ජේ. එස්. ෆ්‍රයි සහ පුත්‍රයින්, කොකෝවා බටර් සහ දියර, සීනි සමග මිශ්‍ර කිරීම මඟින් ලොව ප්‍රථම චොකලට් කුට්ටිය නිපදවා තිබෙනවා. වඩාත් රසවත් වීම සඳහා එයට කිරි පිටි එකතු කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික ඩැනියෙල් පීටර්ට වන නමුත්, එයින් වසර කිහිපයකට පසු ව මහා පරිමාණයෙන් චොකලට් නිපදවීම ආරම්භ කර ඇත්තේ නෙස්ලේ සමාගමේ නිර්මාතෘ හෙන්රි නෙස්ලේ යි.

 

කවරයේ පින්තූරය : © Braamersf / Wall2Born

Related Articles