Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශුභාශිංසන රැගෙන එන නත්තල් සුබ පැතුම් පතේ කථාන්තරය

වික්ටෝරියානු එංගලන්තයේ ඉහළ පැලැන්තියට අයත් සාමාජිකයන් නිරන්තරයෙන් ම ඇසුරු කරමින් ඔවුන් සමග මිතුදම් ගොඩනඟා ගත් බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයෙකු වූ  ශ්‍රීමත් හෙන්රි කෝල්ට ආචාරශීලී සහෘදයින්ගේ අඩුවක් පැවතුණේ නැහැ. 1843 වර්ෂය අවසානයේ දී එළැඹුණු උත්සව සමය, ඔහුගේ ජීවිතයේ අතිශය කාර්යබහුල පරිච්ඡේදයක් බවට පත් වීමට හේතු වී ඇත්තේ මිතුරන් (සහ ඥාතීන්) බහුල වීම යි. එංගලන්තයේ එවකට පැවති සාම්ප්‍රදාය වී ඇත්තේ නත්තල සහ අලුත් අවුරුද්ද සඳහා ශුභාශිංසන ලිපි හුවමාරු කර ගැනීම වන අතර, බ්‍රිතාන්‍ය තැපැල් සේවය මඟින් ‘පැන්ස තැපෑල’ හෙවත් පැන්සයක මුද්දරයක් ඇලවීම මඟින් රට පුරා ලිපි සහ තැපැල්පත් යැවීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් පසුව උත්සව සමයේ දී තැපෑල සඳහා යොමු කරන ශුභාශිංසන ලිපි ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

(© Wikimedia Commons) ශ්‍රීමත් හෙන්රි කෝල්

පසුකාලීන ව ලන්ඩන් නුවර වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ ප්‍රාරම්භකයා ලෙස නමක් දිනා ගත් ශ්‍රීමත් හෙන්රි කෝල්, නව තැපැල් සේවය ගැන උද්‍යෝගයෙන් කටයුතු කළ අනුග්‍රාහකයෙකු වුව ද, අවිවේකී පුද්ගලයෙකු වූ ඔහුට ලැබෙන සියලුම ලිපි සඳහා පිළිතුරු ලිවීමට කාලවේලාවක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින ම ඔහුගේ කාර්යාල මේසය මත පිළිතුරු නොයවන ලද ලිපි ගොඩ ගැසෙන්නට පටන් ගත් බවට සැකයක් නැහැ. වික්ටෝරියානු එංගලන්තය තුළ ලද ලිපි සඳහා පිළිතුරු නොයැවීම සලකන ලද්දේ අශිෂ්ට ක්‍රියාවක් ලෙස යි. ඒ හේතුවෙන් නොරිස්සුම් සහගත හැඟීමකින් යුතු වූ ශ්‍රීමත් හෙන්රි කෝල්ට සෑම දෙනාට ම පහසුවෙන් පිළිතුරු යැවිය හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමේ අවශ්‍යතාව මතු වුණා.

එයට පෙර කවුරුත් ක්‍රියාත්මක නොකරන ලද කදිම අදහසක් ඔහුගේ සිතට නැඟී ඇත්තේ ඒ කාල සීමාවේ දී යි. ඒ අනුව චිත්‍ර ශිල්පයේ දක්ෂයෙකු වූ ජේ. සී. හෝස්ලි නම් මිතුරා ම හමු වූ ශ්‍රීමත් හෙන්රි කෝල්, ඔහුගේ සිතේ පැවති අදහස සිතුවමක් බවට පෙරළන මෙන් ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේසයක් වටා අසුන්ගෙන නත්තල් භෝජනය රස විඳින ප්‍රීතිමත් පවුලක් සහ දුප්පතුන්ට උදව් කරන මිනිසුන්ගේ රූ දැක්වෙන සිතුවම් ත්‍රිත්වයකින් සහ “ඔබට ප්‍රීතිමත් නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන වදන් පෙළ රැගත් අලංකාර රූප සටහනක් ජේ. සී. හෝස්ලිගේ පින්සලෙන් සිතුවම් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. ජේ. සී. හෝස්ලිගේ සිතුවම ලන්ඩන් නුවර මුද්‍රණාලයක් වෙත රැගෙන යන ශ්‍රීමත් හෙන්රි කෝල්, අඟල් 5⅛ x 3¼ ප්‍රමාණයේ ඝන කඩදාසි මත එය මුද්‍රණය කරනවා. ඒ ලොව ප්‍රථම නත්තල් සුබ පැතුම් පත්‍රය යි.

(© Wikimedia Commons) ලොව ප්‍රථම නත්තල් සුබ පැතුම් පත්‍රය

විවේචන මැදින් ඉදිරියට

ශ්‍රීමත් හෙන්රි කෝල් සහ ජේ. සී. හෝස්ලි එක් ව නිර්මාණය කරන ලද ප්‍රථම නත්තල් සුබ පැතුම් පතේ කුඩා දරුවන් පවා වයින් රස විඳින ආකාරය දැක් වුණා. එවකට එංගලන්තය තුළ අමද්‍යප ව්‍යාපාරය දැඩි ලෙස ක්‍රියාත්මක වූ අතර, ඇතැම් පාර්ශවයන් ශ්‍රීමත් හෙන්රි කෝල්ගේ නව නිර්මාණය දුටුවේ බාලවයස්කාර දරුවන් අතර මත්පැන් පානය ප්‍රචලිත කරන දැන්වීමක් ලෙස යි. ඒ හේතුවෙන් ඔවුන්ගේ ශ්‍රීමත් හෙන්රි කෝල්ගේ නත්තල් සුබ පැතුම් පත දැඩි ලෙස විවේචනය කළ ද, තවත් පිරිසක් කාලය ඉතුරු කර ගත හැකි අගනා නිර්මාණයක් ලෙස එය හඳුනාගෙන තිබෙනවා. අවුරුදු කිහිපයක් ඇතුළත නත්තල් සුබ පැතුම් පත් අතිශය ජනප්‍රිය වූ අතර, බොහෝ දෙනෙක් ශ්‍රීමත් හෙන්රි කෝල්ගේ සුබ පැතුම් පත පිටපත් කර භාවිතා කර ඇති බව යි වාර්තා වන්නේ.

(© Royal Academy of Arts) ජේ. සී. හෝස්ලි

ශ්‍රීමත් හෙන්රි කෝල් සහ ජේ. සී. හෝස්ලි එක් ව වාණිජ වශයෙන් නත්තල් සුබ පැතුම් පත් මුද්‍රණය කිරීම අරඹන ලද්දේ 1843 දී වුව ද, එය මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය වීම සඳහා තවත් දශක කිහිපයක් ගත වී තිබෙනවා. 1975 දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රථම වරට නත්තල් සුබ පැතුම් පතක් නිර්මාණය කිරීම ගෞරවය හිමි වන්නේ බොස්ටන් නුවර මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය ලුවී ප්‍රෑන්ග් නම් ප්‍රශියානු සංක්‍රමණිකයාට යි. ශ්‍රීමත් හෙන්රි කෝල්ගේ නත්තල් සුබ පැතුම් පතට වඩා හාත්පසින් ම වෙනස් වූ එහි නත්තල් සිතුවමක් අන්තර්ගත වුණේ නැහැ. ඒ වෙනුවට අලංකාර රෝස මල් කිනිත්තක සිතුවමක් ඇතුළත් වූ එහි “ප්‍රීතිමත් නත්තලක්!” යන වදන් පෙළ මුද්‍රණය කර තිබුණා.

(© New York Historical Society) ලුවී ප්‍රෑන්ග් විසින් නිර්මාණය කරන ලද නත්තල් සුබ පැතුම් පත

වික්ටෝරියානු යුගයෙන් වර්තමානයට

නූතන නත්තල් සුබ පැතුම් පත් කර්මාන්තය ආරම්භ වුණේ 1915 වර්ෂයේ දී යි. කැන්සාස් නගරයේ තැපැල්පත් මුද්‍රණාලයක් අරඹන ලද ජොයිස් හෝල් සහ ඔහුගේ සහෝදරයන් වූ රොලී සහ විලියම්, ලියුම් කවරයක බහාලිය හැකි පළලින් අඟල් 4ක් සහ උසින් අඟල් 6ක් වන එක් වරක් නමන ලද සුබ පැතුම් පත් නිෂ්පාදනය කර තිබෙනවා. තැපැල්පතක් සතු ඉඩ ප්‍රමාණය සීමිත වූ බැවින් කෙටි ශුභාශිංසන ලිපියක් ඇතුළත් කළ හැකි සුබ පැතුම් පතක් හඳුන්වා දීම යි ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ. පසුකාලීන ව ‘Hallmark’ යන වෙළඳ නාමය ඔස්සේ ලොව පුරා ජනප්‍රිය වුණේ හෝල් සහෝදරයන්ගේ සුබ පැතුම් පත් කර්මාන්තය යි.

(© WorthPoint) ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වූ ජැකලින් කෙනඩි විසින් අඳින ලද නත්තල් සුබ පැතුම් පතක්

පොතක් ස්වරූපයෙන් යුතු වූ නව නත්තල් සුබ පැතුම් පත් ආකෘතිය අතිශය ජනප්‍රිය වූ අතර, 1930 – 1950 අතර කාල සීමාව සුබ පැතුම් පත් කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනවා. සුබ පැතුම් පත් මුද්‍රණකරුවන්, ඔවුන්ගේ තරගකරුවන් අභිබවා යමින් අසමසම නිර්මාණයන් වෙළඳපොළට නිකුත් කිරීමට උත්සුක වූ අතර, එහි අවසන් ප්‍රතිඵලය වුණේ සැල්වඩෝ ඩාලි, ‘ග්‍රෑන්ඩ්මා’ මෝසස්, සහ නෝමන් රොක්වෙල් වැනි ප්‍රකට චිත්‍ර ශිල්පීන්ට නත්තල් සුබ පැතුම් පත් සඳහා සිතුවම් නිර්මාණය කිරීමට ආරාධනා කිරීම යි. එසේ ම 1963 දී එවකට ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වූ ජැකලින් කෙනඩි විසින් ද ‘Hallmark’ ආයතනය වෙනුවෙන් නත්තල් සුබ පැතුම් පත් ද්විත්වයක් සිතුවම් කර ඇති අතර, එයින් ලද ආදායම කෙනඩි මධ්‍යස්ථානයේ අභිවෘද්ධිය උදෙසා යොදවා තිබෙනවා.

(© Igor Golovnov) ලොව ප්‍රථම නත්තල් මුද්දරය

අදින් දශක 5කට පමණ පෙර ලොව ප්‍රථම නත්තල් මුද්දරය හඳුන්වාදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ඇමෙරිකානු තැපැල් කාර්යාලය යි. නත්තල් මල් වඩමක් සහ ඉටි පහන් ද්විත්වයක් නිරූපණය කරන ලද එහි ‘නත්තල, 1962’ යන වදන් පෙළ ඇතුළත් වුණා. ඇමෙරිකානු තැපැල් කාර්යාලය විසින් ශත 4ක වටිනාකමින් යුතු වූ මුද්දර මිලියන 350ක් මුද්‍රණය කරන ලද අතර, ඉල්ලුම තෘප්ත කිරීම සඳහා එය ප්‍රමාණවත් නොවූ බැවින් ඒ හා සමාන මුද්දර ප්‍රමාණයක් නැවත මුද්‍රණය කිරීමට සිදු වූ බව යි වාර්තා වන්නේ.

කවරයේ පින්තූරය: ak.imgag.com

Related Articles