Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙනිම් කලිසමේ උපත සිදුවුණු හැටි

අද සුලබවම භාවිතා කරන විලාසිතා අතරින් ඩෙනිම් කලිසමට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයක්. කුඩා දරුවන්, තරුණ තරුණියන් පමණක් නොව වයසින් වැඩි වැඩිහිටියන් පවා ඩෙනිම් කලිසම ඇඳීමට පුරුදුව සිටිනවා. මෙම විලාසිතාව නූතන පරපුරේ උදවිය අතර ජනප්‍රිය වී තිබුණත් මෙහි උපත සිදුවන්නේ 19 වැනි සියවසේ අග භාගයේ දී යි. එදා ඇමරිකාවේ රන් ආකරවල සේවය කළ කම්කරුවන් භාවිතා කළ මෙම කලිසම් වර්ගය පසු කලෙක ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණා.

“ඩෙනිම්” යන නම හැදුණේ මෙහෙම යි 

ඩෙනිම් රෙදි වර්ගය සොයාගනු ලැබුවේ දකුණු ප්‍රංශයේ නිම්ස් නගරයේ විසූ රෙදි නිෂ්පාදකයෙකුයි. ඔහු  සර්ජ් නම් රළු රෙදි වර්ගයක් භාවිතා කරමින් නිර්මාණය කළ නව විලාසිතාව සර්ජ් ඩි නිම්ස් (serge de Nimes) නමින් හැඳින්වුණා. පසු කලෙක එම විලාසිතාවේ නම “ඩෙනිම්” ලෙසින් වෙනස් වුණා. එම නම තැබුවේ ප්‍රංශ නාවිකයන් බවට මතයක් ද පවතිනවා. 

කපු නූල්වලින් හරස් රේඛා වියමනක් විදියට නිර්මාණය කරන ඩෙනිම් රෙදි සාපේක්ෂව රළු බවින් වැඩියි. හිරි වියමන ලෙස හඳුන්වනු ලබන එම වියමන සඳහා වර්ණ දෙකකින් යුත් නූල් යොදා ගන්නවා. එහි දී  එකිනෙකට වෙනස් වර්ණ සහිත නූල් ‍යොදා ගන්න නිසා එක් වර්ණයක් ප්‍රබලව ඉස්මතු වී පෙනෙනවා. ඩෙනිම් කලිසම රළු සහ ශක්තිමත් වීම කෙරෙහි බලපාන්නේ එම වියමන යි.

හිරි වියමන (pinterest)

ඩෙනිම් රෙදි නාවිකයන් භාවිතා කළ හැටි 

19 වන සියවසේ දී ප්‍රංශ නාවිකයන් ඩෙනිම් රෙදි රුවල් නැව්වල රුවල සඳහා භාවිතා කරනු ලැබුවා. රුවල සඳහා භාවිතා කිරීමෙන් පසුව ඉතිරි වුණු රෙදිවලින් ඔවුන් කලිසම් මසාගත්තා. එකල ඔවුන් රුවල් සඳහා සුදු පැහැති ඩෙනිම් රෙදි භාවිතා කළ නිසා බර වැඩවල නිරත වුණු නාවිකයන්ගේ ඇඳුම් නිතර කිළිටි වුණා. එම නිසා ඔවුන් ඩයි වර්ගයක් යොදාගෙන කලිසම්වල වර්ණය වෙනස් කරගත්තා. 

ප්‍රංශ නාවිකයන් ඩෙනිම් රෙද්දෙන් කලිසම් මසාගෙන භාවිතා කළත් නියම ඩෙනිම් කලිසම කරළියට ගෙන ඒමට මුල් වුණේ ලෙවී ස්ට්‍රවුස් නම් පුද්ගලයා යි.

ලෙවී ස්ට්‍රවුස් 

1829 වසරේ පෙබරවාරි 26 වැනිදා ජර්මනියේ දී උපත ලැබූ ස්ට්‍රවුස්, මුල් කාලයේ දී ලෝබි ස්ට්‍රවුස් යන නම භාවිතා කළා. නමුත් පසු කලෙක ඔහු ලෙවී ස්ට්‍රවුස් නමින් සිය මුල් නම වෙනස් කරගත්තා. 1847 වසරේ දී ස්ට්‍රවුස් පවුල ඇමරිකාවේ නිව්යෝක් නගරයට සංක්‍රමණය වුණා. එහි දී ඔවුන් රැකියාව ලෙසින් කළේ වෙළෙඳාම යි. 1853 වසරේ දී සැන් ෆ්රැන්සිස්කෝ නගරයට ගිය ලෙවී තරුණයා නව වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවා. එදා ලෙවී ස්ට්‍රවුස් සහ සමාගම නමින් පිහිටුවාගත් එම තරුණය රෙදිපිළි වෙළදාම සිදුකළා.

ලෙවී ස්ට්‍රවුස් (The Fact Site)

පතල් කම්කරුවන් වෙනුවෙන් සකස් වුණු නව විලාසිතාව 

ලෙවී ස්ට්‍රවුස් තරුණය රෙදිපිළි වෙළදාම් කටයුතු සිදුකළේ විශාල රත්තරන් පතල් ආශ්‍රිතව යි. එකල රන් පතල්වල සේවයේ නිරත වුණු කම්කරුවන් දුෂ්කර වැඩවල නිරත වුණු නිසා ඔවුන්ගේ කලිසම් ඉක්මනින්ම ඉරී ගියා. එම නිසා ඔවුන්ට නිතරම අළුත් කලිසම් ගැනීමට සිදුවුණා. විශාල වැටුපක් නොලැබූ පතල් කම්කරුවන්ට එය දැරිය නොහැකි ආර්ථිකමය පාඩුවක්. 

ලෙවී වෙළදාම් කටයුතු සිදුකල ප්‍රදේශය තුළ යාකොබ් ඩේවිස් නම් යුදෙව් ජාතික ඇඳුම් මසන්නෙකු වාසය කළා. ලැට්වියාවේ සිට ඇමරිකාවට පැමිණි ඔහු දක්ෂ ඇඳුම් මසන්නෙකු ලෙසින් නමක් දිනාගෙන සිටියා. පතල් කම්කරුවන්ගේ කලිසම් ඉක්මනින්ම ඉරීයාමට ප්‍රතිකර්මයක් සොයාගත් යාකොබ්, කලිසමේ සමහර ස්ථානවලට බොත්තම් අල්ලා නවතම වර්ගයේ විලාසිතාවක් නිර්මාණය කළා.

ඝනකම් කලිසම් ඇඳි කම්කරුවන් (Heddels)

නව කලිසමට පේටන්ට් බලපත්‍රය ලැබෙයි  

යාකොබ් නිර්මාණය කළ නවතම කලිසම පතල් කම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එම නිසා ඔහු එම කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට තීරණය කළා. නමුත් ඔහුගේ ආර්ථික තත්ත්වය ඒ වන විට යහපත් මට්ටමක තිබුණේ නැහැ. 

යාකොබ් මසන ලද කලිසම් සඳහා රෙදි ලබාදුන්නේ ලෙවීගේ වෙළඳ සමාගම යි. එම නිසා ලෙවී ව හමුවුණු යාකොබ් නව කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳව කතා කළා. එහි දී යාකොබ්ගේ යෝජනාවට කැමැත්ත පළ කළ ලෙවී පේටන්ට් බලපත්‍රය ලබාගැනීම සඳහා සහාය වුණා. ඒ අනුව 1873 වසරේ මැයි 20 වැනිදා ඇමරිකානු පේටන්ට් බලපත්‍ර අංක 121, සහ 139 යටතේ දෙදෙනාටම එහි අයිතිය හිමි වුණා. 

ඩෙනිම් කලිසම කරළියට පැමිණෙයි

එදා යාකොබ් විසින් නිර්මාණය කරන ලද කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව “ලීවයිස්” යන වෙළඳ නාමය යටතේ කලිසමක් නිර්මාණය කළේ පතල් කම්කරුවන් සඳහා යි. අළුත් කලිසම ඉතාමත් ඝන රෙද්දෙකින් සාදා තිබුණු නිසා ඉරීයාමක් සිදුවුණේ නැහැ. එම නිසා එය පතල් කම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය වුණා. 

කෙසේ නමුත් කම්කරුවන් කලිසම පිළිබඳව එක් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහි දී ඔවුන් පවසා සිටියේ කලිසම් රෙද්දේ ගොරෝසු බව වැඩි නිසා කලිසම තදින් කකුල්වල ඇතිල්ලෙන විට කකුල් තුවාල වන බව යි. එයට පිළියමක් ලෙස ඊට වඩා අඩු ඝනකමින් යුත් ඩෙනිම් රෙද්දෙන් කලිසම් මසනු ලැබුවා. පතල් කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ඩෙනිම් කලිසම ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට වුණා. එකල ඩෙනිම් කලිසම වර්ණ ගැන්වීම සඳහා “ඉන්ඩිගෝ” නම් වර්ණකය භාවිතා කළා. ඉන් ඩෙනිම් කලිසමට හොඳ පෙනුමක් ලැබුණා. 

ඩෙනිම් කලිසමට නව අංගයන් එකතු වෙයි 

ලිවයිස් වෙළඳ නාමය යටතේ වෙළඳපලට නිකුත් කරන ලද ඩෙනිම් කලිසම් 19 වැනි සියවසේ අග භාගය වන විට වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණා. 1890 වසරේ දී ඔහු විසින් වෙළඳපලට හඳුන්වා දුන් ලිවයිස් 501 නම් ඩෙනිම් කලිසම විශාල ලෙසින් ජනප්‍රිය වුණා. එලෙස නිෂ්පාදනය කළ ලිවයිස් ඩෙනිම් කලිසම්වල ලේබලයේ අශ්වයන් දෙදෙනෙකු දක්නට ලැබුණා. 

1901 වසර වන විට පිටුපස සාක්කු දෙකකින් හැඩ වුණු ඩෙනිම් කලිසම තවත් දියුණු තත්ත්වයට පත්වුණේ 1922 වසරේ දී යි. ඒ, බඳ පටිය දැමීම සඳහා ලූප් එකතු වීමත් සමග යි. 

ඩෙනිම් කලිසමට ජනප්‍රියත්වයක් ලබාදුන් ලෙවී ස්ට්‍රවුස් 1902 වසරේ සැප්තැම්බර් 26 වැනිදා මෙලොවින් සමුගත්තා. නමුත් ලිවයිස් වෙළඳනාමය යටතේ ඩෙනිම් කලිසම් නිපදවීම නතර වුණේ නැහැ.  

ලෙවිස් 501 ඩෙනිම් කලිසමක් (ebay) 

පසු කලෙක ලොව පුරාම ජනප්‍රිය වුණා   

මුල් යුගයේ දී ඩෙනිම් කලිසම නිර්මාණය කළේ පතල් කම්කරුවන් සඳහා බව දැන් ඔබ දන්නවා. එම නිසා ඩෙනිම් විලාසිතාව සාමාන්‍ය ජනතාව අතර ගොස් තිබුණේ නැහැ. නමුත් 1930 දශකය තුළ තිරගත වුණු ඇමරිකානු චිත්‍රපටවල සිටි වීර කව්බෝයිලා (ගොපල්ලන්) ඩෙනිම් කලිසම් ඇඳගෙන සිටියා. එම නිසා 1950 දශකය එළඹෙන විට ඇමරිකානු තරුණ පිරිස් අතර ඩෙනිම් කලිසම් උන්මාදයක් ඇතිව තිබුණා. 

ඇමරිකානුවන් අතර ජනප්‍රිය වුණු ඩෙනිම් කලිසම 1970 දශකය පමණ වන විට ලොව පුරාම ජනප්‍රිය වුණා. එම නිසා ඩෙනිම් කලිසම් නිෂ්පාදකයන් වර්ණවත්, සහ එම්බ්‍රොයිඩර් කරන ලද වෙනස් ආරයේ විලාසිතා වෙළඳපොලට ඉදිරිපත් කළා. ඒ අනුව වර්තමානය වන විට ඩෙනිම් කලිසම ලොව පුරා සිටින බොහෝ පිරිස් බහුලවම භාවිතා කරන විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- ලෙවිස් ඩෙනිම් කලිසමේ ලේබලය (123RF.com)

මූලාශ්‍රයයින්- The Remarkable History of Denim

Related Articles