අන්තර්කාලීන ආණ්ඩු සහ ලොව එවැනි ආණ්ඩු පැවැති අවස්ථා

මේ දිනවල රට පුරා පැවැත්වෙන විරෝධතා සහ දේශපාලන සාකච්ඡා අතරතුර නිතර අසන්නට ලැබෙන මාතෘකා අතර ‘අන්තර්කාලීන ආණ්ඩු’ යන්න ප්‍රධාන තැනක් ගනී. රට තුළ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමට නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව බොහෝ දෙනකුගේ මතය යි.

අප රටට තරමක් නුහුරු මාතෘකාවක් වූ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රමවේදය සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බොහෝ දෙනකුට ප්‍රමාණවත් අවබෝධයක් නැත. මෙම ලිපිය අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීම පිළිබඳ මේ වන විට රට තුළ ඇති වී තිබෙන කතාබහ සහ එවැනි ආණ්ඩුවක ක්‍රියාදාමය පිළිබඳ කෙරෙන විමසුමකි.

ඉහළ යන ජීවන වියදමට එරෙහි විරෝධතාවක් – www.ceylontoday.lk

රටේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය

ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත ඉතා දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් මේ වන විට ඉන්ධන, කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙරටට ආනයනය කිරීම සීමා වී ඇත. මෙම තත්ත්වය හමුවේ එවැනි භාණ්ඩවල මිල ගණන් ඉතා කෙටි කාලයක් තුළ විශාල අගයන්ගෙන් ඉහළ ගොස් ඇතුවාක් පමණක් නොව රටේ අවශ්‍යතාවට සරිලන භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීමක් සිදු නොවන බැවින් ඒවා මිල දී ගැනීමට ජනතාවට ඉතා දිගු පෝලිම්වල රැඳී සිටීමට ද සිදුව ඇත.

මේ ආකාරයෙන් ජීවන වියදම විශාල ලෙස ඉහළ යාම සහ වියදමට සරිලන ආදායමක් නොලැබීමට විරෝධය පළ කරමින් රට පුරා ජනතාව විරෝධතාවල නිරත වේ. එවැනි විරෝධතා අතර ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර පිටිය ආසන්න ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින ගණනාවක් තිස්සේ පැවැත්වෙන ‘ගෝඨාගෝගම’ විරෝධතාවයත්, අග්‍රාමාත්‍යවරයාට සහ වර්තමාන රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන ‘මයිනාගෝගම’ විරෝධතාවත් ප්‍රධාන තැනක් ගනී.

ගෝඨාගෝගම විරෝධතා භූමිය – www.lankatruth.com

ආණ්ඩුවට බහුතරය අහිමි වන ලකුණු

දිගින් දිගට ම දේශපාලන අධිකාරියට එල්ල වන ජනතා විරෝධය හමුවේ රජයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරන බව නිවේදනය කර ඇත. මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුවට තිබෙන පාර්ලිමේන්තු බහුතරය කුමන මොහොතේ අහිමි වේදැයි කිව නොහැකි තරම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරිපත් වී ඇති යෝජනා

මේ වන විට ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති පසුබිමක, රටේ උද්ගත වී ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදයට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන්නැයි විවිධ බලපෑම් කණ්ඩායම් සමස්ත දේශපාලන අධිකාරියට ම බල කරමින් කියා සිටින අතර ඒ සඳහා වන විවිධ යෝජනා ද ඔවුන් ඉදිරිපත් කර තිබේ.

එවැනි යෝජනා අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු ය යන්න ප්‍රධාන තැනක් ගනී. සර්වාගමික නායකයන්, දේශපාලන ක්ෂේත්‍රයේ විද්වතුන්, ක්‍රියාකාරී දේශපාලඥයන් ඇතුළු පාර්ශව ගණනාවක් මේ වන විට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පවතින අර්බුදකාරී තත්ත්වයට ඉක්මන් විසඳුම් දෙන්නැයි ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා දේශපාලන අධිකාරියට කළ දැනුම්දීමක් – www.adaderana.lk

සුබවාදී ප්‍රතිචාර

ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා මෑතකදී සඳහන් කළේ යම් යම් කොන්දේසිවලට යටත් ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බව යි. මේ වන විට ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පසුගිය සතියේ සඳහන් කළේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවට තමන් සංකල්පමය වශයෙන් එකඟ වන බව යි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔවුහු සඳහන් කළහ.

 මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කොට ගත් ජාතික ජන බලවේගය දිගින් දිගට ම පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා නායකත්වය දරන කිසිදු අන්තර්කාලීන ආණ්ඩුවක කොටස්කරුවන් වීමට ඔවුන් සූදානම් නොමැති බව යි. එබැවින් අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවීම වෙනුවට ජනතාවට තමන් කැමති රජයක් පත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් එම දේශපාලන පක්ෂවල නියෝජිතයන් පෙන්වා දෙනවා.

අන්තර්කාලීන ආණ්ඩුවක් යනු කුමක්ද?

හදිසි/ සංක්‍රාන්ති ආණ්ඩුවක් ලෙස ද හැඳින්වෙන අන්තර්කාලීන ආණ්ඩු අතීතයේ බොහෝ විට බිහි වූයේ නව රාජ්‍යයන් ස්ථාපිත වූ අවස්ථාවලදී ය. පසුකාලීනව, පෙර පැවති රජය අසමත් වීම වැනි කරුණු නිසා අර්බුදකාරී තත්ත්වයක් හට ගත් අවස්ථාවලදී ද එය විසඳා ගන්නා තෙක් අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවීම ප්‍රචලිත විය. මේ වන තෙක් ලොව බිහි වී ඇති අන්තර්කාලීන ආණ්ඩු බිහි වූයේ බොහෝ විට සිවිල්/ විදෙස් යුද්ධවලින් පීඩා විඳි රටවල වේ.

ඉන්දියාවේ පිහිටවූ අන්තර්කාලීන ආණ්ඩුවක ඇමැති මණ්ඩලය – www.wikipedia.org

මේ ආකාරයෙන් පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩු, දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වේ. ඒ ඒ රටේ අදාළ ක්‍රමවේදයට අනුව, බොහෝ විට මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තෙක් අන්තර්කාලීන ආණ්ඩු බලය හොබව යි. මැතිවරණයක් පවත්වා සුදුසු පාලක පක්ෂයක් තෝරා ගන්නා තෙක් අන්තර්කාලීන රජය නියෝජනය කරන සියලු පාර්ශව අදාළ රට තුළ පවතින ගැටැලු විසඳා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළ සකස් කළ යුතුයි.

මැතිවරණයක් මගින් නව ආණ්ඩුවක් තෝරා පත් කර ගත් පසු ද මානව හිමිකම්, දේශපාලන නිදහස, ආර්ථික ව්‍යුහය, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර සබඳතා වැනි ක්ෂේත්‍රවලට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීමට අන්තර්කාලීන ආණ්ඩුවල තනතුරු දැරූවන් දායක වන බව ලෝක දේශපාලනය පිළිබඳ ව අධ්‍යයනය කරන විට හෙළි වේ.

අන්තර්කාලීන ආණ්ඩුවල ඉතිහාසය

අන්තර්කාලීන ආණ්ඩුවලට සමාන පාලන ක්‍රම අතීතයේ පටන් පැවති අතර ඒවා මුල් කාලයේ දී පිහිටුවූවේ යම්කිසි විප්ලවයක අවසානයේ සිට නැවතත් රාජාණ්ඩුව බලයට පත් වීම දක්වා වූ කාලය තුළ බව මූලාශ්‍රයන් හි සඳහන් වේ. 1641-49 දක්වා වූ කාලය තුළ සිදු වූ ඉංග්‍රීසි විප්ලවය සමයේ අයර්ලන්තයේ පරිපාලනයට අදාළ තීරණ ගැනීම සඳහා සිදු වූ අවිධිමත් රැස්වීම් අන්තර්කාලීන ආණ්ඩුවකට සමාන ක්‍රමවේදයකි. උතුරු අමෙරිකාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි බ්‍රිතාන්‍ය යටත් විජිත 13ක නියෝජිතයන්ගේ සමුළුවක් අමෙරිකානු විප්ලවය අතරතුර, 1776 දී එරට අන්තර්කාලීන ආණ්ඩුව බවට පත් විය. 1781 දී එහි ‘තාවකාලික’ බව ඉවත් කළ මෙම ආණ්ඩුව 1789 දක්වා ක්‍රියාත්මක විය.

අන්තර්වාර ආණ්ඩු සහ ජාත්‍යන්තර අන්තර්වාර ආණ්ඩු වර්ග –  www.researchgate.net 

 

රට රටවල පැවති අන්තර්කාලීන ආණ්ඩු

2021 වසර වන විට ලිබියාව, සුඩානය සහ චැඩ් යන අප්‍රිකානු රටවල අන්තර්කාලීන රජයන් ක්‍රියාත්මක විය. ඊට අමතර ව 1958 සිට 1962 දක්වා ඇල්ජීරියාවේත්, 1985 සිට 1989 දක්වා නැම්බියාවේත් (දකුණු අප්‍රිකානු දේශසීමා යුද්ධය අතරතුර), 1991 සිට 1995 දක්වා ඉතියෝපියාවේත් (ඉතියෝපියානු සිවිල් යුද්ධයෙන් පසු), 1993 දී එරිත්‍රියාවේත් (ඉතියෝපියාවෙන් නිදහස ලබා ගැනීමෙන් පසු), 2003 සිට 2006 දක්වා කොංගෝ ජනරජයේත් (දෙවැනි කොංගෝ යුද්ධයෙන් පසු), 2003 සිට 2006 දක්වා ලයිබීරියාවේත් (සිවිල් යුද්ධයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිහිටුවීම දක්වා වූ කාලය තුළ), 2011 සිට 2012 දක්වා ලිබියාවේත් (2011 ගඩාෆිගේ නායකත්වයෙන් යුතු රජයට විරෝධය පළකරමින් පැවති සිවිල් යුද්ධය අතරතුර), 2013 සිට 2014 දක්වා ඊජිප්තුවේත් (රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් පසු) අන්තර්කාලීන හෝ ආණ්ඩු හෝ ඊට සමාන පාලන තන්ත්‍ර පිහිටුවා තිබිණි.

2021 වන විට අමෙරිකානු රටවල් අතරින් අන්තර්කාලීන ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙමින් පැවතුණේ වෙනිසුවේලාවේ පමණි. ඊට නායකත්වයේ ලබා දෙන්නේ එරට විපක්ෂයේ Juan Guaidó ය. අන්තර්කාලීන ආණ්ඩුවලට අමතරව එරට බලය හොබවන ආණ්ඩුවක් ද පවතින නමුත් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ තවත් බොහෝ බටහිර රටවල් වෙනිසුවේලාවේ ආණ්ඩු බලය හොබවන කණ්ඩායම ලෙස පිළිගන්නේ එරට අන්තර්කාලීන ආණ්ඩුව යි. 1986 සිට 1988 දක්වා හයිටි රාජ්‍යයේ ද ක්‍රියාත්මක වූයේ අන්තර්කාලීන ආණ්ඩුවකි.

 2022 වන විට ආසියානු කලාපයන්ට අයත් රටවල් අතරින් ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, සිරියාව සහ යේමනයේ ක්‍රියාත්මක වන්නේ අන්තර්කාලීන ආණ්ඩු වේ. ඊට අමතර ව 2021 වන විට යුරෝපා රටක් වන බෙලරූස් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූයේ ද අන්තර්කාලීන රජයකි.

ඇෆ්ගනිස්ථානයේ වර්තමාන අන්තර්කාලීන රජයේ සාමාජිකයෝ – aa.com.tr

ඉහත කී රටවල්වලට අමතර ව, ඉරාකය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, ග්‍රීසිය, රුසියාව, ලැට්වියාව යුක්‍රේනය, යුගොස්ලෝවියාව, තුර්කිය, ඉන්දියාව සහ හවායි රාජ්‍ය වැනි  තවත් රටවල් ගණනාවක අන්තර්කාලීන ආණ්ඩු බිහි වී තිබේ. ඒ අතර පළමු ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධය සහ නිරවි යුද්ධය, එනම්, සීතල යුද්ධයෙන් පසු විවිධ රටවල පාලනයේ පහසුව සඳහා පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් පිහිටු වූ ආණ්ඩු වේ.

කවරයේ පින්තූරය- අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ ව විශාල කාර්‍යභාරයක් සිදු කළ යුතු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව -www.adaderana.lk

මූලාශ්‍ර:

www.britannica.com

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය වාර්තා සහ විද්වත් අදහස්.

Related Articles