මෑත කාලීනව වඩාත් කතා බහට ලක් වූ ‘ලෙබනනය’

ලෙබනනය නැතිනම් ලෙබනන ජනරජය මැද පෙරදිග කලාපය තුළ පිහිටා තිබෙන කුඩා රටකි. මෙරට ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 10,452 ක භූමි ප්‍රමාණයක් සහිත රටක්. ලෙබනනයේ පැවති සිවිල් යුද්ධ හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ රටක් බවට පත් වුණා. එමෙන්ම ආගමික, දේශපාලනික හා ජාතික වශයෙන් විවිධ වර්ග කිරීම් ලෙබනනය තුළ දක්නට පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා රටක් වුවත්, දිගු ඉතිහාසයක් තිබෙන රටක් වන ලෙබනනය​ අතීතයේ පටන්ම විවිධ කර්මාන්ත, ස්වභාවික සුන්දරත්වය, දියුණු සංස්කෘතිය ආදී ආදිය හේතුවෙන් ප්‍රකට රටක් වනවා.

ජනගහනය හා අග නගරය

මිලියන 3.7ක් පමණ ජනගහනයක් ලෙබනනයේ ජීවත් වනවා. මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර වෙරළ තීරයේ ඊශ්‍රායලය​ හා සිරියාව අතර ලෙබනනය භූ ගෝලීය වශයෙන් පිහිටා තිබෙනවා. බෙයිරූට් ලෙබනනයේ අග නගරය වන අතරම ජනගහනයේ විශාලත්වය අතින්ද බෙයිරූට් (1,916,100) විශාලම නගරය වනවා. Ra’s Bayrut, Tripoli, Sidon, Tyre, Nabatiye et Tahta, Habbouch, Djounie, Zahle වැනි නගරද ජනගහනමය වශයෙන් විශාලත්වයෙන් යුත් නගරයි.

ලෙබනනයේ ඉතිහාසය

alaraby.co.uk(ලෙබනනයේ සිවිල් යුධ සමය)

1516-1918 දක්වාම ලෙබනනය ඔටෝමාන් අධිරාජ්‍යට යටත්ව පැවතුණා. ලෙබනනය ප්‍රංශයේ පාලනයෙන් නිදහස ලබා ගනු ලැබූවේ 1943 වර්ෂයේ නොවැම්බර් මස 23 වන දිනයි.  1975 වර්ෂයේ සිට 1990 වර්ෂය දක්වාම ලෙබනනය තුළ සිවිල් යුද්ධ කිහිපයක්ම හට ගනු ලැබූවා. නොයෙක් ආකාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක්ම මෙරට ක්‍රියාත්මක වුණා. 1982 දී ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීම​, සිරියානු හමුදා ලෙබනනයේ රැඳී සිටීම​, ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධය ආදිය ලෙබනනයේ අවුල් වියවුල්වලට හේතු වුණා. පසුව සාමකාමී තත්ත්වයක් ඇති වුවද 2011 වසරේ දී සිරියාවේ පැවති ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ලෙබනනයේ සාමකාමී බවට විටින් විට තර්ජන එල්ල වුණා. එරට තිබෙන ජනපති, අගමැති, කතානායක බෙදීමද 1975-1990 වකවානු වල තිබූ සිවිල් යුද්ධයෙන් පසු ඇති වූ එකඟතාවයන්ය.  මේ අනුව ලෙබනනයේ ජනාධිපති මැරොනයිට් ක්‍රිස්තියානි ලබ්ධිකයකු විය යුතුය​. අගමැති සුන්නි ඉස්ලාමිකයකු ද කතානායක ෂියා ලබ්ධිකයකුද විය යුතුය​.

භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද ඉතිහාසය පුරාවටම කලාපයේ දේශපාලන, ආරක්ෂාව හා වාණිජ කටයුතු සම්බන්ධයෙන් ලෙබනනය ඉතාමත් වටිනා කාර්ය භාර්යක් ඉටු කර තිබෙනවා. එමෙන්ම අතීතයේ සිටම අසල්වැසි සිරියාව ලෙබනනයේ විදේශ ප්‍රතිපත්ති හා අභ්‍යන්තර ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමක් ද සිදු කර තිබෙනවා. වර්තමානය වන විට ත්‍රස්ත්‍රවාදී තර්ජන බොහෝමයක් සඳහා ලෙබනනය මුහුණ දී තිබෙනවා. ඉන් මෑතකාලීනව  සිදු වූ කිහිපයක් නම් 2016 ජූනි මස Qaa නමැති ගම්මානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හය දෙනෙක් මිය යාම, 2015 නොවැම්බර් මස අගනගරයට එල්ල වූ ප්‍රහාරයෙන් 43 ක් මිය ගොස් 239 දෙනක් තුවාල වීම ආදියයි.

ආගම්, ජාතීන්, භාෂා හා සාමාජීය තත්ත්වය

ලෙබනනය විවිධ ආගමික කණ්ඩායම් වලින් ගහණ රටකි. ග්‍රීක , සිරියානු, ආර්මේනියානු කතෝලික , Maronites, Chaldeans යන ආගමි අදහන පුද්ගලයන් සිටිනවා. ක්‍රිස්තියානි නිකායන් වනුයේ Greek, Armenian Orthodox, Jacobites, Nestorians, හා Protestants . ක්‍රිස්තියානි නොවන කණ්ඩායම් අතර යුදෙවු, සුන්නි, Druze, ෂියා මුස්ලිම් මූලික වනවා. මෙරට අදහන ආගම් අතර 54% පමණ මුස්ලිම් ආගම අදහනු ලබනවා. එමෙන්ම ක්‍රිස්තියානි 40.5% වශයෙන්ද, Druze 5.6% ක් අදහනු ලබන අතරම, හින්දු, මොර්මොන්වරුන් ආදීන් සුළු ප්‍රමාණයක්ද සිටිනවා. එමෙන්ම මීට අමතරව තවත් ආගමික නිකායන් 18ක් ද පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙලෙස පිළිගෙන තිබෙන නිකායන් 18 හට අයත් වන්නේ මුස්ලිම් නිකායන් 4 කුත්, ක්‍රිස්තියානි නිකා 12 කුත්, Druze  නිකාය හා යුදෙව්වන් ය. ඉස්ලාම් අදහන මූලික කොටස් දෙක වන්නේ ෂියා හා සුන්නි වේ.

මෙරට ජාතීන්ගෙන් 95% පමණ ආරාබි වන අතර 4% ආර්මේනියානු ජාතීන්ද 1% වෙනත් ජාතීන්ද මෙහි වාසය කරනවා. ලෙබනනයේ නිල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. නමුත් මීට අමතරව ප්‍රංශ, ඉංග්‍රීසි හා ආර්මේනී යන භාෂාද භාවිතා කරනවා.

ලෙබනනය ඉතාමත් විවෘත මෙන්ම උගත් ජනතාවක් වාසය කරන රටකි. විශේෂයෙන්ම අගනුවර වන බෙයිරූට්, මවුන්ට් ලෙබනන් මෙන්ම අනෙකුත් විශාල නගරවල මෙම ජන කොටස් ජීවත් වනවා. මෙරට වයස අවුරුදු 15 හා ඊට වැඩි පුද්ගලයන් හට ලිවීමට මෙන්ම කියවීමට හැකියාවක් තිබෙනවා. මුළු ජනගහනයෙන් සාක්ෂරතාවය 93.9% ක් තරම් වූ ඉහළ අගයක් ගනු ලබනවා.

ජාතික සංකේත

en.wikipedia.org(ලෙබනනයේ ජාතික ධජය)

ලෙබනනයේ ජාතික සත්ව සංකේතය වන්නේ Striped Hyena (තිත් හයිනා) නමැති සත්වයායි. ජාතික පක්ෂියා වනුයේ ෆීනික්ස් (Phoenix) කුරුල්ලායි. ලෙබනනයේ ජාතික පුෂ්පය ගැන සඳහන් වීමක් නැත. සෙඩාර් හෙවත් දේවදාර​ (Lebanon Cedar) නමැති ගස එරට ජාතික වෘක්ෂය වන අතරම මෙය එරට ධජයේද නිරූපනය වනවා. ලෙබනනයේ ජාතික ධජය 1943 දෙසැම්බර් මස 07 වන දින සම්මත වී තිබෙනවා. ධජයේ දැක්වෙන ඉහළ හා පහළ කොටස්හි රතු පැහැයෙන් එරට නිදහස සඳහා කරන ලද සටනේ දී හෙලූ පිරිසිදු රුධිරය සංකේතවත් කරනවා. සුදු පැහැයෙන් සාමයත් කඳුකර හිමත් නිරූපනය වෙනවා.  කොළ පැහැති සෙඩාර් ගසින් ස්ථාවර භාවය හා සදාකාලික බව සංකේතවත් කරනවා.

ආර්ථික කටයුතු, නිෂ්පාදන හා ස්වභාවික සම්පත්

nbcnews.com(වයින් නිෂ්පාදනය සඳහා සිදු කරන ලද භෝග වගාවක්)

ලෙබනනයේ ආර්ථිකය මූලික වශයෙන් සේවා අංශය මත පදනම් වී තිබෙනවා. එමෙන්ම මෙම සේවා අංශය දළ දේශීය නිෂ්පාදිතයට 60% ක පමණ දායකත්වයක් සපයනු ලබනවා. අනෙකුත් ප්‍රධාන උප අංශ වනුයේ වාණිජ, සංචාරක, හා මුල්‍ය යන අංශයි. ලෙබනනයේ වාණිජ කටයුතු සම්බන්ධයෙන් බෙයිරූට් වරාය වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබනවා. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බෙයිරූට් අරාබි ලෝකය පුරා සේවය කළ මධ්‍යධරණී  ප්‍රදේශයේ අරාබි වරාය බවට පත් වුණා.

කෘෂිකර්ම කටයුතු අතර එළවළු, කෙසෙල් ආදිය වගා කර අතරම කඳු බෑවුම් වල ඔලිව්, මිදි, දුම්කොළ ආදිය වගා කරනු ලබනවා. ඉහළ උන්නතාංශවල පීච්, ඇප්‍රිකට්ස්, ප්ලුම්ස් හා චෙරි වර්ග වගා කරනු ලබනවා. කෘෂිකාර්මික ආදායම සැපයීමේ ප්‍රධාන මුලාශ්‍රය බවට පත් වී තිබෙන්නේ කුකුළන්ය. මීට අමතරව එළු, බැටළු හා ගව ආදී ක්ෂේත්‍ර වල වර්ධනය වීමක් සිදුව තිබෙනවා. ලොම් හා මස් පිණිස සතුන් ඇති කිරීම සිදු කරනවා. ලෙබනනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 15% පමණ දායකත්වය කෘෂිකාර්මික කටයුතු මඟින් ලබා දෙනවා.

මීට අමතරව ලෙබනනයේ බැංකු අංශය මඟින්ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% වැඩි දායකත්වයක් සපයන වඩාත්ම සාර්ථක කර්මාන්තයකි.

නිෂ්පාදන අතර ආහාර, සිමෙන්ති, ගඩොල්, සෙරමික්ස් නිෂ්පාදන, දැව හා ලී නිෂ්පාදන මෙන්ම උසස් ප්‍රමිතියෙන් යුත් නිමි ඇඳුම් නිෂ්පාදනය, උසස් ප්‍රමිතියෙන් යුත් වයින් නිෂ්පාදනය ලෙබනනයේ තිබෙනවා. එරට තිබෙන ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ විද්‍යුත් තාක්ෂණික උපාංග නිපැයුම වේ.

ලෙබනනයේ හිම කඳුවැටි, නිම්න ආදීන්ගෙන් සමන්විත වන මෘදු දේශගුණය හා ස්වභාවික සෞන්දර්යය හේතුවෙන් සංචාරක ආකර්ෂණය ද දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ලෙබනනයේ රජය විදෙස් ආයෝජකයින්ට ආයෝජනය කිරීමට අවස්ථාවන් විවෘතව තිබෙනවා. නමුත් මෙරට පවතින අවිධිමත් සැලසුම්කරණය හා ව්‍යවස්ථානුකූල කටයුතු හේතුවෙන් පතල් කර්මාන්තයට ආයෝජනය කිරීමට අකමැත්ත දක්වනවා.

ලෙබනනය සතු ස්වභාවික සම්පත් අතර හුණුගල්, යපස් හා ලුණු ප්‍රධානයි. මිට අමතරව කුඩා පරිමාණයෙන් පතල් කර්මාන්තය සිදු වන අතරම දේශීය අවශ්‍යතාවයන් සඳහා එය වැඩි වශයෙන්ම අනුග්‍රහය දක්වනවා.

ලෙබනනයේ දේශපාලනය

Aljazeera.com(Michel Aoun ජනපති තුමා)

ලෙබනනයේ දේශපාලනය විවිධ ආගමික නිකායන් හා ආගම් පදනම් වූ සමාජ සංවිධාන මඟින් බලපෑමට ලක්ව තිබෙනවා.  මූලික වශයෙන් ක්‍රිස්තියානි කණ්ඩායම් විශේෂයෙන්ම Maronites ලෙබනන් සඳහා ස්වාධීන මාවතක් අනුමත කරනවා. මුස්ලිම් කණ්ඩායම් අරාබි රාජ්‍ය සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබනවා. ලෙබනනයේ පිළිගෙන තිබෙන ආගමික නිකායන් 18 ම පාර්ලිමේතුවේද පිළිගෙන තිබෙනවා. මෙරට පාර්ලිමේන්තුව ආසන 128 කින් පමණ සමන්විත වන අතර මුස්ලිම් හා ක්‍රිස්තියානි අතර සමානව බෙදා තිබෙනවා. ලෙබනනය සතුව දේශපාලන පක්ෂ රාශියක්ම තිබෙන නමුත් ඉන් පක්ෂ 7ක් මූලිකවම කටයුතු කරනවා. එනම් Free Patriotic Movement, Hezbollah, Future Movement, Lebanese Kataeb Party, Lebanese Forces , Progressive Socialist Party හා  Syrian Social Nationalist Party ආදියයි. කලින් සඳහන් කළ පරිදි ලෙබනනයේ ජනපති Maronite Christian භක්තියෙකුක්, අගමැති සුන්නි නිකායටත්, කථානායක වරයා ෂියා භක්තිකයෙකුද විය යුතු වේ. එමෙන්ම ලෙබනනයේ වර්තමාන ජනපති වන්නේ Michel Aoun  මහතාය.

කවරයේ පින්තූරය: lonelyplanet.com

Related Articles