ශ්‍රී ලංකා-රුසියා තානාපති සබඳතා ඇරඹුණු හැටි

පසුගිය දිනක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ විශ්වවිද්‍යාල තුනක් අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත්කරන බව නිවේදනය කළා. එම තීරණයත් සමගම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වසර 63ක් තිස්සේ පැවැත්වූ විදෙස් සබඳතා පළුදු වන ලකුණු පෙනෙන්නට තිබුණා. නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුව නිවේදනය කළේ එය අත්වැරැදීමකින් සිදුවුණු ක්‍රියාවක් බව යි. 

වර්තමානය වන විට මෙරට තේ වෙළඳපොලේ ප්‍රධානතම විදෙස් ගැණුම්කරුවෙකු වන රුසියාව 1957 වසරේ සිට අප රට සමග තානාපති සබඳතා පවත්වනු ලබනවා. එදා සිට අද දක්වා රුසියානුවන් අප රටට බොහෝ උදව් උපකාර කර තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. විශේෂයෙන්ම මෙරට පැවති සිවිල් යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ ඇමරිකාව, යුරෝපා සංගමය, කැනඩාව වැනි රටවල් එක්ව ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව නිශ්ප්‍රභ කිරීම සඳහා රුසියාව සහාය දක්වනු ලැබුවා. ශ්‍රී ලංකාව සහ රුසියාව දශක 6කට වැඩි කාලයක් තිස්සේ තානාපති සබඳතා පවත්වන නිසා මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ 1957 වසරේ දී ලංකා-සෝවියට් රුසියා තානාපති සබඳතා ආරම්භ වුණු ආකාරය පිළිබඳව යි. 

බණ්ඩාරනායක රජය බලයට පත්වීම 

1956 වසරේ අප්‍රේල් මාසයේ දී ලංකාවේ තෙවන මහා මැතිවරණය පැවැත්වුණා. එම මහා මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විප්ලවකාරී සමසමාජ පක්ෂය, සහ සිංහල භාෂා පෙරමුණ එක්ව මහජන එක්සත් පෙරමුණ නම් දේශපාලන සන්ධානය ගොඩනැගුවා. එවර මහා මැතිවරණයේ දී ආණ්ඩු බලය ලබාගැනීම සඳහා තුන්කොන් සටනක් පැවතුණේ මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සහ ලංකා සමසමාජ පක්ෂය අතර යි. එවැනි වටපිටාවක පැවති මහා මැතිවරණයේ දී ප්‍රබල මහජන ආකර්ෂණයක් දිනාගත් මහජන එක්සත් පෙරමුණ ඔවුන් ඉදිරිපත් වුණු ආසන 60න් 51ක් ජයග්‍රහණය කරමින් ආණ්ඩු බලය ලබාගැනීමට සමත් වුණා. එසේම ඉදිරිපත් කළ අපේක්ෂකයන් 21න් 14ක් ජයග්‍රහණය කළ ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන විපක්ෂය බවට පත්වන විට අපේක්ෂකයන් 76ක් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 8ක් පමණ යි. 

සොලමන් බණ්ඩාරනායක (Daily News)

ලංකා-සෝවියට් රුසියා සබඳතා ආරම්භ කිරීමට තීරණය කරයි 

1947 වසරේ දී ඉන්දු-සෝවියට් රුසියානු සබඳතා ආරම්භ වුණා. ඉන් වසර 2ක් ගතවන විට පාකිස්ථානය ද සෝවියට් රුසියාව සමග සබඳතා ආරම්භ කළා. නමුත් 1956 වසර වන තුරු ශ්‍රී ලංකාව සහ සෝවියට් රුසියාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා තිබුණේ නැහැ. එම නිසා බණ්ඩාරනායක රජය සෝවියට් රුසියාව සමග තානාපති සබඳතා ආරම්භ කිරීමට සූදානම් වුණා. එහි දී සෝවියට් රුසියාවේ පළමු ලංකා තානාපති ලෙසින් මහාචාර්ය ගුණපාල මලලසේකරව පත්කර යැවීමට බණ්ඩාරනායක අගමැති තුමා තීරණය කළා. 

ගුණපාල මලලසේකර තානාපතිධූරය ප්‍රතික්ෂේප කරයි 

නමුත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ තීරණයට මහාචාර්ය ගුණපාල මලලසේකර එකඟ වුණේ නැහැ. ඔහු එම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ පහත දක්වා තිබෙන හේතු කිහිපය නිසා යි. 

1) එම අවධියේ දී මහාචාර්ය ගුණපාල මලලසේකරගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වැඩ කටයුතු කරන අතර ලෝක බෞද්ධ මහා සම්මේලනයේ වැඩ කටයුතුවල ද නිරත වීමට සිදුවීම.

2) රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව පළපුරුද්දක් සහ අවබෝධයක් නොතිබීම. 

3) තානාපති කාර්යාලවල සාදයන්හි දී මත්පැනින් සංග්‍රහ කරන චාරිත්‍රය අනුගමනය කිරීමට අකමැති වීම.

මහාචාර්ය ගුණපාල මලලසේකර (Daily FT)

අගමැතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් 

මහාචාර්ය ගුණපාල මලලසේකර තානාපති තනතුර ප්‍රතික්ෂේප කිරීම නිසා අගමැතිවරයා බලවත් ලෙස කණගාටුවට පත්වුණා. එම නිසා අගමැතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේ වසරක පමණ කාලයකට වත් එම තනතුර භාරගන්නා ලෙස යි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පවසා සිටියේ එම වසරක කාල සමය තුළ දී මහාචාර්යවරයාට කැමති අයුරින් තනතුරේ රාජකාරී කළ හැකි බ වයි. එදා අගමැතිවරයා විසින් දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා තනතුර භාරගැනීම පිළිබඳව තවදුරටත් සිතා බැලීමට ගුණපාල මලලසේකර තීරණය කළා.

මහාචාර්යවරයා තානාපති තනතුර භාර ගනියි

අගමැතිවරයා කළ ඉල්ලීම තවදුරටත් සලකා බැලූ මහාචාර්යවරයා අවසානයේ දී තනතුර භාරගැනීමට එකඟ වුණේ එක් කොන්දේසියක් ඉදිරිපත් කරමින්. එහිදී මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කළ කොන්දේසිය වුණේ ඔහුගේ බෞද්ධ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් එහි වැඩ කටයුතු කිරීමට නොහැකි බව පෙනුණොත් තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර ලබාදිය යුතු බව යි. එම කොන්දේසියට අගමැතිවරයා එකඟ වුණු නිසා මහාචාර්යවරයා ඔහුගේ මැතිනිය සහ ලේකම්වරයා වුණු ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු සමග රුසියාව බලා පිටත් වුණා. එදා මොස්කව් නුවරට යාමට පෙර නවදිල්ලියේ මඳක් නතර වුණු ගුණපාල මලලසේකර ඔහුගේ මිතුරෙකු වුණු මහාචාර්ය සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් හමු වුණා. එතුමා ඊට පෙර වසර 3ක් රුසියාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙසින් කටයුතු කර තිබුණා. එදා  මහාචාර්ය මලලසේකර ඔහුගෙන් විමසා සිටියේ රුසියාවේ දී අමද්‍යප ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව යි. එහිදී ගුණපාල මලලසේකරට පිළිතුරු දුන් රාධාක්‍රිෂ්ණන් පවසා සිටියේ ඔහුටත් එම ගැටළුවට මුහුණුදීමට සිදුවුණු බව යි. එවිට වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාධාක්‍රිෂ්නන් පවසා සිටියේ ඔහු තානාපති සාදවල දී වයින්වලින් සංග්‍රහ කළ බව යි. රාධාක්‍රිෂ්ණන් විසින් සිදුකළ අදහස් දැක්වීමට පිළිතුරු දුන් මහාචාර්ය මලලසේකර පහත දැක්වෙන අයුරින් සිය මතය ප්‍රකාශ කළා.

“මම නම් අපේ තේවලින් තානාපති සාදවල දී සංග්‍රහ කරන්න හිතාගෙන ඉන්නවා. එය අසාර්ථකයැ යි හිතුණොත් ආපහු මම ලංකාවට එනවා.” 

ඉන් පසුව මහාචාර්ය රාධක්‍රිෂ්නන්ගෙන් සමුගත් ගුණපාල මලලසේකර අගමැති ජවහර්ලාල් නේරුව හමු වී මඳ වේලාවක් සාකච්ඡා කිරීමෙන් පසුව රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් වුණා.

මලලසේකර ඇතුළු පිරිස ලංකාවෙන් පිටත්වුණු අවස්ථාව (මලලසේකර සිරිත)

ක්‍රෙම්ලින් මන්දිරයේ දී අක්තපත්‍රය ප්‍රදානය කරයි 

සෝවියට් රුසියාවේ ලංකා තානාපති ගුණපාල මලලසේකර විසින් සෝවියට් රුසියානු ජනාධිපතිවරයාට ස්වකීය අක්තපත්‍රය පිළිගැන්වීම නිමිත්තෙන් ගාම්භීර උත්සවයක් ක්‍රෙම්ලින් මන්දිරයේ දී පැවැත්වුණා. එම උත්සවය සඳහා සිංහල ජාතික ඇඳුමින් සැරසී සහභාගි වුණු මහාචාර්යවරයා ව්‍යක්ත සිංහල භාෂාවෙන් සිදුකළ කතාවකින් පසුව සිංහලෙන්ම සකස් කළ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඉන් පසුව එම අක්තපත්‍රය පරිවර්තකයෙකු විසින් රුසියානු භාෂාවට පෙරළනු ලැබුවා.

රුසියානු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ සිංහල අක්තපත්‍රය (මලලසේකර සිරිත)

අගමැතිවරයා හමුවීම 

එම උත්සවය අවසන් වී ටික දිනක් ගතවුණු පසුව ලංකා තානාපතිතුමා සිය ලේකම්වරයා ද කැටුව රුසියානු අගමැති නිකිටා කෘෂෙප් හමුවීමට ගියා. එදා රුසියානු අගමැතිවරයා හමුවට ගොස් සුහදව කතා කළ ලංකා තානාපතිවරයා පහත සඳහන් කරුණු කිහිපය පවසා සිටියා.

“ලෝකයේ ඉතාමත් බලසම්පන්න පුද්ගලයකු අභියසට මෙලෙස පැමිණීමට ලැබීම මම භාග්‍යයක් ලෙස සලකනවා. අගමැතිතුමනි මම මගේ ජීවිතයේ වැඩි කොටසක් ගත කළේ ගුරුවරයෙකු ලෙස යි. එම නිසා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව මට ලොකු අවබෝධයක් නැහැ. ඒ හේතුව නිසා වෙනත් තානාපතිවරුන් සමග සිදු නොකරන ආකාරයේ සාකච්ඡා මා සමග කිරීමට ඔබතුමාට සිදුවනු ඇති. එවැනි අවස්ථාවක් උදා වුණොත් මට සමාව ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.” 

ලංකා තානාපතිවරයාගේ අව්‍යාජ කතා විලාශයත් නිහතමානී බවත් පිළිබඳව රුසියානු අගමැතිවරයා අතිශයින් පැහැදුණා. එම නිසා ඔහු ගුණපාල මලලසේකර හමුවේ පහත සඳහන් වචන කිහිපය පවසා සිටියා.

“බොහොම ස්තූතියි තානාපතිතුමනි. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මා හමුවීමට එන්න. ඔබට කැමති ඕනෑම කරුණක් පිළිබඳව මා සමග කතා බස් කරන්න. එයට කිසිම බාධාවක් නැහැ. ඔබගේ විශාරදබවත්, කාර්යක්ෂමබවත් පිළිබඳව මම හොඳින්ම දන්නවා. දවසේ ඕනෑම වෙලාවක ඔබ පිළිගැනීමට මා සූදානම්.”  

ලංකා තානාපතිවරයා සහ රුසියානු අගමැතිවරයා හමුවුණු අවස්ථාව (මලලසේකර සිරිත)

ලංකා තානාපති මන්දිරයේ සාද ජනප්‍රිය වෙයි 

ලංකා තානාපති මන්දිරයේ පළමු සාදය සංවිධානය කිරීමට පෙර රුසියානු අගමැතිවරයා හමුවට ගිය ලංකා තානාපතිවරයා ඔහුගේ අමද්‍යප ප්‍රතිපත්තිය ගැන කරුණු දක්වා සිටියා. ඒ පිළිබඳව පැහැදීමට පත්වුණු එරට අගමැතිවරයා සාදවල දී මත්පැන්වලින් සංග්‍රහ කිරීමට කරදර නොවිය යුතු බව අවධාරණය කර සිටියා. ඉන් සෑහීමකට පත්වුණු ලංකා තානාපතිවරයා සාදයේ දී ලංකාවේ ආහාර වර්ග සහ තේ පැන් පිළිගන්වනු ලැබුවා. එදා ලංකා තානාපති මන්දිරයේ දී පැවැත්වුණු අමුතුම ආකාරයේ සාදය පිළිබඳව රුසියාවේ අගමැතිවරයා සහ වෙනත් රටවල තානාපතිවරුන් සිය ප්‍රසාදය පළ කළා. එම නිසා එදා සිට ලංකා තානාපති මන්දිරයේ පැවති සාදයන් අතිශයින්ම ජනප්‍රිය වුණා. මත්පැන්වලින් තොරව පැවැත්වුණු එම උත්සව ගැන තානාපතිවරුන්ගේ භාර්යාවන් වඩාත් පැහැදීමට පත්වුණා. එසේම එම උත්සවවල දී ලබාදුන් ලංකාවේ ආහාර පානවලට කවුරුත් ප්‍රියතාවයක් දක්වනු ලැබුවා. 

මොස්කව් නුවර දී පැවැත්වුණු සිංහල විවාහ මංගල උත්සවය 

ලංකා තානාපතිවරයාගේ දියණිය වුණු අනෝමා මලලසේකරගේ විවාහ මංගල උත්සවය සිංහල බෞද්ධ චාරිත්‍රවලට අනුව මොස්කව් නුවර දී පැවැත්වීමට තීරණය කළා. එම නිසා රුසියානු වැසියන්ට සිංහල බෞද්ධ චාරිත්‍රවලට අනුව සිදුවුණු විවාහ මංගල උත්සවයක් දැකබලා ගැනීමට අවස්ථාව උදා වුණා. එම කාල සමය වන විට මොස්කව් නුවර ආශ්‍රිතව බෞද්ධ විහාර කිසිවක් තිබුණේ නැහැ. එම නිසා උත්සවය සඳහා අවශ්‍ය වුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනම වැඩම කරවනු ලැබුවේ සයිබීරියාවේ බුරියාටා නම් ප්‍රදේශයේ සිට යි. එදා පැවති මංගල උත්සවය සඳහා සිංහල චිත්‍ර මෝස්තර සහ කැටයම්වලින් අලංකාර කරන ලද අලංකාර පෝරුවක් නිර්මාණය කළේ ලංකා-සෝවියට් මිත්‍ර සංගමයේ මෙහෙයවීම යටතේ යි. එම කාල සමයේ දී මොස්කව් නුවර ආශ්‍රිතව මල් හිඟයක් දක්නට ලැබුණු නිසා මංගල උත්සවය සඳහා අවශ්‍ය වුණු සියලුම මල් වර්ග ලංකාවෙන් ගෙන්වාගැනීමට සිදුවුණා. සියලුදෙනාගේම සහයෝගයෙන් පැවති උත්සවය සඳහා රුසියානු අගමැති කෘෂෙප්, ඉන්දීය තානාපති මෙනන් ඇතුළු අමුත්තන් පිරිසක් සහභාගි වුණා. එදින උත්සවය සඳහා පැමිණි සියළුම දෙනාට ලාංකීය ආහාරවලින් සංග්‍රහ කළා. ඒ සඳහා ලංකාවේ තානාපති මන්දිරය අසලම පොල් අතු සෙවිලි කළ ආප්ප කඩයක අනුරුවක් සාදා තිබුණා. එහි සෑදූ ආහාර වර්ග එවෙලේම අමුත්තන්ට පිළිගන්වනු ලැබුවා. ඊට පෙර කිසිදු දිනක මොස්කව් නුවර තුළ එවැනි උත්සවයක් පවත්වා තිබුණේ නැහැ. එම නිසා එහි පැමිණි පිරිස වඩාත් හොඳින් විනෝද වුණා. 

වසර 4ක් රුසියානු තානාපති ලෙස කටයුතු කරයි 

බණ්ඩාරනායක අගමැතිවරයාගේ දැඩි ඉල්ලීම මත රුසියාවේ ලංකා තානාපති තනතුර භාරගත් ගුණපාල මලලසේකර වසරක කාලයක් එහි සේවය කිරීමට පොරොන්දුව සිටියා. නමුත් ඔහු එහි රැඳී සිටි වසරක කාලය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. එම නිසා ගුණපාල මලලසේකර රුසියානු තානාපති තනතුර අතහැර ලංකාවට පැමිණීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුණේ මහාචාර්ය මලලසේකර වසර 4ක් සෝවියට් රුසියාවේ ලංකා තානාපතිවරයා ලෙසින් කටයුතු කිරීම යි. එදා ගුණපාල මලලසේකර සෝවියට් රුසියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත්වෙමින් ආරම්භ වුණු ලංකා-සෝවියට් රුසියා තානාපති සබඳතා පසුගිය වසර 63 පුරාවටම අඛණ්ඩව පැවතුණා. එම කාල සමය තුළ රුසියාවෙන් අපට උදව් උපකාර රැසක් ලැබුණු බවත් මෙහිදී සඳහන් කළ යුතුම යි. 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා සහ රුසියා ජාතික ධජයන් (Foreign Brief)

මූලාශ්‍රයයන්- මලලසේකර සිරිත 

Related Articles