Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබ්මැරීනයේ ඉතිහාසය

ප්‍රාථමික තාක්ෂණික යුගයේ සිට අදවන විට න්‍යෂ්ටික ශක්තියෙන් ක්‍රියාත්මක වන තරමට දියුණුව පවතින සබ්මැරීන පිළිබඳවත් එහි ඉතිහාසය හා ක්‍රමානුකූල විකාශනය පිළිබඳව කෙටි සොයා බැලීමක් කරන්න අපි සිතුවා.

ප්‍රධාන වශයෙන් දිය යට මෙහෙයුම් සඳහා යොදා ගනු ලබන සබ්මැරීනයන්ගේ ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක් මෙහි අන්තර්ගත වෙනවා. ඔබ මේ පිළිබඳව දන්නා තවත් දේවල් තියනවනම් comment එකකින් ඒ බව සටහන් කර යන්න.

සාර්ථක වූ දිය යටින් ගමන් කරන පළමු යාත්‍රාව

“බුෂ්නෙල්ගේ කැස්බෑවා”- චිත්‍ර සටහනක් (Navy Live)

පළමු සාර්ථක දිය යටින් ගමන් කරන යාත්‍රාව වූයේ 1620 වසරේදී කොනලිස් වැන් විසින් එංගලන්තයේදී නිපදවනු ලැබූ දැව වලින් තනා පදම් කර රෙදි වලින් ආවරණය කරන ලද හබල් කරුවන් 12 දෙනෙකු යොදාගනු ලැබූ යාත්‍රාවයි. තේම්ස් නදියේ ගැඹුරේ පැය කිහිපයක් රැදී සිටින්නට මේ පිරිසට හැකිවෙලා තියනවා. යාත්‍රාව දිය යට තිබෙන විට පුද්ගලයන්ට අවශ්‍ය ඔක්සිජන් ලබාගෙන තිබෙන්නේ ජල පෘෂ්ඨය මතට වායු නල සම්බන්ධ කිරීම මගින්.

යුධ අවියක් ලෙස පළමුවරට සබ්මැරීනයක් දියත් වන්නේ 1770 වසරේදීයි. ඒ තනි පුද්ගලයෙකුට පමණක් ගමන් කළ හැකි බිත්තරයක් හැඩති යාත්‍රාවක්. ඩේවිඩ් බුෂ්නෙල් නම් ඇමරිකන් ජාතිකයෙක් නිර්මාණය කල එය හැදින්වූයේ “බුෂ්නෙල්ගේ කැස්බෑවා” යන නමින්.

පිටත පිරවුම් ටැංකියට කපාටයක් විවෘත කිරීම මඟින් මුහුදු වතුර පිරීමට සලස්වා සබ්මැරීනය දිය යටට ගමන් කරන අතර දිය මතුපිටට පැමිණීමට අවශ්‍ය වූ විට නැවතත් අතින් වතුර පිටතට ඇදිය යුතු වෙනවා. මෙහිදී යාත්‍රාව සෘජුව තබා ගැනීමට පිරවුම් ද්‍රව්‍ය ලෙස භාවිතා කර තිබෙන්නේ ඊයම් ලෝහයයි.

දිය යටදී ඔක්සිජන් සැපයීම ප්‍රමාණවත් නොවූ හේතුවෙන් බුෂ්නෙල්ගේ කැස්බෑවාට දිය යට සිටීමට හැකියාව ලැබෙනුයේ මිනිත්තු 30ක් පමණයි. ඇමරිකානු විප්ලවය සිදු වූ අවධියේදී මෙම යාත්‍රාව මගින් නිව්යෝර්ක් නගරයේ නවත්වා තිබූ බ්‍රිතාන්‍ය නෞකාවකට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කරනවා.

නූතන සබ්මැරීන් ව්‍යුහයේ උපත

USS හොලන්ඩ් (PigBoats.COM)

වර්ෂ 1906 වන විට ජර්මානු ජාතිකයන් සබ්මැරීන් සඳහා ඩීසල් එන්ජින් යොදා ගැනීමට කටයුතු කල අතර ටෝපිඩෝ සවි කිරීම හා දිය යට සිට මතුපිට බැලීමේ තාක්ෂනය ක්‍රමයෙන් දියුණු වෙනවා. ඒ සමගම යුධ කටයුතු වලදී භාවිතා වන භයානක යාත්‍රාවක් බවට සබ්මැරීනය පත්වෙනවා. සබ්මැරීන වල මරාන්තික බව මුල් වරට හෙළි වූයේ පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු වෙළද නැවු හා යුධ යාත්‍රා වලට ජර්මන් සබ්මැරීන විසින් එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාර හේතුවෙන්.

ප්‍රථම හා දෙවන ලෝක යුද්ධ වලදී සබ්මැරීන වල තාක්ෂණය, මෙහෙයුම් හා ව්‍යුහය දියුණු කිරීමට විවිධ රටවල් වලින් විවිධ උත්සාහ රැගෙන තිබෙන අතර දිය යටදී සන්නිවේදනය සඳහා සන්නිවේදන උපකරණ මෙන්ම සතුරු යාත්‍රාවන්හි ශබ්දය හදුනා ගැනීමට යොදාගතහැකි ශබ්ද උපකරණද නිර්මාණය වෙනවා. හදීසි අවස්ථාවක කාර්ය මණ්ඩලය ගලවා ගැනීමට සැහැල්ලු ආශ්වාස මෙවලම් නිපදවෙන්නෙත් මේ සමයේයි.

කෙසේ නමුත් නූතන සබ්මැරීන් ව්‍යුහයට සමාන ව්‍යුහයක් ඇති සබ්මැරීනයක් ප්‍රථම වරට නිපදවනු ලබන්නේ 1800 වසරේදීයි. ඇමරිකානු ජාතික රොබට් ෆල්ටන් විසින් නිපදවූ මීටර් 64 දිග මෙම සබ්මැරීනයේ හදුන්වා දුන් වැදගත් අංග දෙකක් ලෙස තිරස් මෙන්ම සිරස් අතටද සබ්මැරීනය ගෙන යා හැකි ලෙස සුක්කානම් හා ඇතුළතට ඔක්සිජන් ලබා ගැනීම සඳහා සම්පීඩනය කල වාතය යොදා ගැනීම වැනි කරුණු පෙන්වා දෙන්නට පුළුවන්. මෙය දිය යටට ගැනීම සඳහා බලය යෙදෙන්නේ අතින් කරකැවිය හැකි දැති හතරකින් යුක්ත අවර පෙත්තකින්. ඇමරිකානු සිවිල් යුද්ධය සමයේ නාවික බල ඇණිය සදහා මෙවැනි යාත්‍රා හතරක් නිපදවනු ලබනවා.

19 වන සියවසේ අග භාගයේදී සබ්මැරීන් ව්‍යුහය දියුණු කිරීමට බොහෝ උත්සාහයන් දියත් වූ අතර ඔවුන්ගේ ශක්ති ප්‍රභව ලෙස සම්පීඩිත වායුව, හුමාලය හා විද්‍යුත් ශක්තිය යොදා ගනු ලබනවා. පළමු කාර්යක්ෂම ශක්ති ප්‍රභවයක් සහිත ප්‍රයෝගික සබ්මැරීනය නිපදවීමට ඇමරිකානු ජාතික ජෝන් පිලිප් සමත් වෙන අතර  මතුපිට ජල පෘෂ්ටයේ සැරිසැරීමට අවශ්‍ය ශක්තිය ගැසොලින් එන්ජිමකින්ද, දිය යටදී බලය ලබා ගැනීමට විදුලි මෝටරයකින්ද සබ්මැරීනය සමන්විත වෙනවා. පසුව එය ඇමරිකානු රජය විසින් මිලදී ගත් අතර “USS හොලන්ඩ්” ලෙස එය නම් කරනවා.

ක්‍රමික විකාශනය

USS අල්බකෝ (Submarine Photo Index)

සයිමන් ලේක් නම් ඇමරිකානු ඉංජිනේරුවා නවීන සබ්මැරීනය දියුණු කිරීමට විශාල දායකත්වයක් දැක්වූ අතර ඔහු 1953 වසරේදී USS අල්බකෝ නම් අධි වේගයෙන් ගමන් කළ හැකි සබ්මැරීනය නිපදවනවා. සබ්මැරීනයට කදුළු බිංදුවක හැඩය වැනි හැඩයක් ලබා දෙන්නේ මොහු විසින්. ඉන්පසු නිර්මාණය වූ සියළු සබ්මැරීන මෙම හැඩයෙන් යුක්ත විය.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වායුව ඉන්ධන ලෙස යොදා ගනිමින් ටර්බයින කරකවා ශක්තිය ලබා ගනිමින් හා දිය යට ගමන් කල හැකි කාලය වැඩි කරමින් නිපදවන ලද HMS නම් සබ්මැරීනය 1954 වසරේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් නිපදවනු ලබනවා.

HMS නම් සබ්මැරීනය (Wikipedia)

1960 වසරේදී බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය වලින් සමන්විත වූ මිසයිල සවිකරන ලද සබ්මැරීන ඇමරිකාව විසින් මුලින්ම භාවිතා කරනවා. 1960 වසරේදී එම මිසයිල වෙනුවට පොසිඩොන් නම් න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය අඩංගු මිසයිල 10ක් සහිත සබ්මැරීන නිපදවනු ලබනවා.

න්‍යෂ්ටික සබ්මැරීන

USS ස්කෙට් (Getty Images)

ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ සබ්මැරීන් තාක්ෂනය අද වන විට උපරිම තලයකට ගමන් කර තිබෙනවා. අද වන විට ලෝකයේ යුධ ශක්තියෙන් දියුණු බොහෝ රටවල් විසින් න්‍යෂ්ටික බලයෙන් ගමන් කරන සබ්මැරීන නිපදවනු ලබනවා.

පළමු න්‍යෂ්ටික සබ්මැරීනය ලෙසින් සඳහන් වන්නේ 1954 වසරේ නිපදවූ USS නොට්ලස් නම් ඇමරිකානු නාවික ප්‍රහාරක සබ්මැරීනයයි. මංගල ගමනේ දුර ප්‍රමාණය 2170Km වූ අතර දිය යටින් යන වේගය පැයට නාවුක සැතපුම් 20 ඉක්මවනවා. තවත් වසර කිහිපයකට පසුව USS ස්කෙට් නම් දෙවන න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවනු ලබන අතර 1958 වසරේ අගෝස්තු මස 7 වනදා සිට ඔක්තෝබර් 6 වනදා දක්වා දින 60ක දිය යට මෙහෙයුමකින් USS සිවුල්ෆ් නම් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනය වාර්තාවක් තබනවා.

USS සිවුල්ෆ් (fas.org)

1988 වන විට ඇමරිකා එක්සත් ජනපදය සතුව සබ්මැරීන 132ක් තිබු අතර ඒවායින් විශාල ගණනක් න්‍යෂ්ටික බලය සහිත ඒවා විය. 640 000Km දුරක් නැවත ඉන්ධන පිරවීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ඒවා සතු විය. ඒ වන විට සෝවියට් දේශය සතුව සබ්මැරීන 120ක් තිබු අතර ඒ අතරින් ප්‍රබල කෘස් මිසයිල සහිත යාත්‍රා 48ක් තිබු බවට වාරතා වෙනවා.

ඔන්න ඔය ආකාරයටයි ප්‍රාථමික තාක්ෂණික යුගයේ සිට මේ දක්වා සබ්මැරීන නිපදවීමේ තාක්ෂණය විකාශනය වුනේ. මේ සම්බන්ධයෙන් තවත් කරුණු දැනගන්න ඔබත් කැමතිද? ඒ ගැනත් comment වලින් කියන්න අමතක කරන්න එපා.

කවරයේ ජායාරූපය – YouTube

මුලාශ්‍ර – Wikipedia, www.submarine-history.com, www.popsci.com, www.thoughtco.com

Related Articles