Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවුරුත් කැමැති පලතුරු බීමවල ඉතිහාසයෙන් බිඳක්

වර්තමාන ලෝකයේ අනිකුත් සියලු දෑ මෙන් ආහාරපාන ද වෙනස්කම් රැසකට භාජනය වී ඇති බව අපි දනිමු. එවැනි වෙනස්කම්වල ප්‍රතිපලයක් ලෙස ඈත අතීතයේ යම් යම් ආහාරපාන සකසා ගත් ක්‍රමවලට සුළු හෝ විශාල වශයෙන් වෙනස් ක්‍රම භාවිත කරමින් එම ආහාර පරිභෝජනයට වර්තමාන ජනතාව හුරු වී තිබේ.

අතීතයේ ජනතාව බොහෝ විට පුරුදු වී සිටියේ පලතුරු, ආහාරයට ගැනීමට යි. මිදී වැනි පලතුරුවලින් වයින් වැනි බීම වර්ග සකසා ගැනීම අතීතයේ දක්නට ලැබුණත් පලතුරු බොහෝ විට පරිභෝජනය කළේ ආහාරයක් වශයෙනි. වර්තමානය වන විට පලතුරු ආහාරයට ගැනීමට වඩා බීමක් වශයෙන් සකස් කර පරිභෝජනයට ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.

පලතුරු බීම –  www.unsplash.com

මේ හේතුව නිසා ම පලතුරු බීම වර්ග ගණනාවක් බෝතල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට විවිධ සමාගම් කටයුතු කර තිබේ. ඊට අමතර ව එවෙලේ ම පලතුරු බීම සකස් කර දෙන අලෙවිසල් විශාල ප්‍රමාණයක් මේ වන විට සියලු ම ප්‍රදේශවල දැකිය හැකි ය. මෙම ලිපිය බාල, තරුණ, මහලු සියලු දෙනා අතර ජනප්‍රිය පලතුරු බීමවල ඉතිහාසය සහ ඒවා සකස් කරගැනීම කාලයෙන් කාලයට වෙනස් වූ අයුරු පිළිබඳව යි.

ඉතිහාසය

සිදු කර ඇති විවිධ අධ්‍යයන අනුව මීට සියවස් ගණනාවකට පෙර ඉතාලියේ මිදි භාවිත කර වයින් නිෂ්පාදනය කළ බව අනාවරණය වී තිබේ. කෙසේ නමුත් මද්‍යසාරයක් බවට පත් නොකර සාමාන්‍ය පලතුරු බිමක් වශයෙන් මුලින් ම සකස් කර ඇත්තේ ලෙමනේඩ් ය. එය මුලින් ම ඉතාලියේ ආරම්භ වී ඇත්තේ ආනයනය කිරීමේ අරමුණින් ය. පසුකාලීන ව, එනම්, 16 වැනි සියවසේ අගභාගයේ දී මැදපෙරදිග රටවල ද ලෙමනේඩ් නිෂ්පාදනය ආරම්භ වී තිබේ. ඊට අමතරව 17 වැනි සියවසේ දී දොඩම් යුෂ පිළියෙළ කරගැනීම ආරම්භ වී තිබේ.

ලෙමනේඩ් – www.heraldweekly.com

18 වැනි සියවසේ දී ජේම්ස් ලින්ඩ් නම් පුද්ගලයෙක් පැඟිරි සහිත පලතුරු යොදාගෙන පිළියෙළ කර ගත් බීම පානය කිරීමෙන් විටමින් සී ඌණතාවට ප්‍රතිකාර කළ හැකි බව සොයා ගත්තේ ය.

එම සොයාගැනීමත් සමඟ බ්‍රිතාන්‍යයට අයත් සියලු ම නෞකාවල පැඟිරි සහිත පලතුරුවලින් සකසා ගත් බීම තබා ගැනීම අනිවාර්ය කර තිබේ.

ජේම්ස් ලින්ඩ් පැඟිරි සහිත පලතුරුවලින් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු – www.bbc.co.uk

කල් තබාගැනීමේ ක්‍රමයක් සොයා ගැනීම

1869 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික දන්ත වෛද්‍යවරයකු වූ තෝමස් වෙල්ෂ්, පල් කිරීමෙන් සහ වෙනයම් ආකාරයකින් මද්‍යසාර බවට පත් කිරීමෙන් තොර ව පලතුරු බීම කල් තබාගැනීමේ ක්‍රමයක් සොයා ගත්තේ ය. ඔහු මිදිවලින් සකසා ගත් බීම වීදුරු බෝතල්වලට පුරවා, ඒවා උණුවතුර භාජනයක බහා යම්කිසි වෙලාවක් තැබීමෙන් ඒවා කල් තබාගත හැකි බව සොයා ගත්තේය.

එමගින් යම් කිසි දියරයක් පල් වීම ට හේතු වන යීස්ට් විනාශ විය. පසුකාලීනව ඔහු ‘වෛද්‍ය වෙල්ෂ් ගේ පල් නොකරන ලද වයින්’ යන නමින් එම නිෂ්පාදන අලෙවි කර තිබේ.

තෝමස් වෙල්ෂ් – www.wikipedia.org

පලතුරු බීම සකසා ගන්නා ආකාරය

ස්වභාවිකව ම යුෂ අන්තර්ගත වන දොඩම් සහ තක්කාලි වැනි පලතුරු අතින් මිරිකා ඒවායේ ඇති යුෂවලට ජලය යම් ප්‍රමාණයක් එකතු කර පලතුරු බීම පිළියෙළ කර ගත හැකි ය. සමහරු ඒවාට සීනි සහ ලුණු වැනි දේ ද අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගනිති. නිවසේ දී හෝ වෙනත් ස්ථානයක දී පලතුරු බීම කුඩා ප්‍රමාණයක් අතින් සකසා ගැනීමට හැකි වුවත් වර්තමානය වන විට සිදු කෙරෙන ව්‍යාපාරික වශයෙන් පලතුරු බීම නිෂ්පාදනය කිරීමේ දී එසේ කළ නොහැක.

ඊට පිළියමක් ලෙස විවිධ ප්‍රමාණයන්ගෙන් සහ තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් යුතු පලතුරු බීම සැකසීමේ යන්ත්‍රෝපකරණ මේ වන විට වෙළෙඳපොලේ තිබේ. කුඩා පරිමාණයෙන් පලතුරු බීම නිෂ්පාදනය කරන ස්ථානයකට ඊට සරිලන ප්‍රමාණයෙන් සහ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රත්, විශාල පරිමාණයෙන් පලතුරු බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වැනි ස්ථාන සඳහා ඊට ගැළපෙන ප්‍රමාණයන්ගෙන් සහ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රත් මිලදී ගැනීමට හැකියාව තිබේ.

පලතුරු බීම කම්හලක් – www.dailyexpress.com

සෞඛ්‍යමය කරුණු

බොහෝ දෙනකු පලතුරු බීම පරිභෝජනය කරන්නේ එමගින් ලැබෙන සෞඛ්‍ය වාසි පිළිබඳව සිතා ය. දොඩම්වලින් සකසා ගත් බීම පානය කිරීමෙන් විටමින් සී ශරීරයට ලැබේ. ඊට අමතර ව වෙනත් පෝෂණ සංඝටක ගණනාවක් ද පලතුරු බීම පානය කිරීමෙන් ශරීරයට ලැබෙන බව සොයාගෙන තිබේ. කෙසේ නමුත් සීනි එකතු කළ පලතුරු බීම විශාල වශයෙන් පරිභෝජනය කිරීම නිසා තරබාරු බව සහ දියවැඩියාව ඇති විය හැකි බව සමහර පර්යේෂණවලින් සොයාගෙන තිබේ.

 100%ක් පලතුරු යුෂ පමණක් යොදාගෙන පිළියෙළ කරන පලතුරු බීම පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව ඇති වීමට තිබෙන සම්භාවිතාව අඩු බව පර්යේෂණවලින් සොයාගෙන තිබේ. බොහෝ දෙනකු ගේ මතය වන්නේ 100%ක් පලතුරු යුෂ යොදා ගෙන සකස් කළ පලතුරු බීම පානය කිරීමෙන් හානිකර ප්‍රතිපල ලැබීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවක් බව යි.

100%ක් පලතුරු යුෂවලින් සකස් කරගත් බීම – www.wellbees.com

අමෙරිකා එක්සත් ජනපදයේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන්ගේ ආයතනය සඳහන් කර ඇත්තේ 2017 වසර වන විට පැවැති දත්ත අනුව වයස අවුරුද්දකට අඩු ළමයින්ට පලතුරු බීම ලබා දීම සුදුසු නොවන බව යි. ඊට අමතර ව වයස අවුරුදු එකේ සිට හය දක්වා වන ළමයින්ට පලතුරු බීම ලබා දීම දිනකට කෝප්ප භාගයක් හෝ තුන් කාලක් වැනි ප්‍රමාණයකට සීමා කළ යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

පලතුරු බීම පරිභෝජනය

2017 සහ 2018 වසරට අදාළ ව ලොව පුරා කලාපීය වශයෙන් පලතුරු බීම පරිභෝජනය පිළිබඳ කළ සමීක්ෂණයට අනුව 2017 වසරේ දී ලොව පුරා පලතුරු බීම ලීටර් මිලියන 36,247ක් පමණ පරිභෝජනය කර තිබෙයි. 2018 වසරේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ ලීටර් මිලියන 35,934ක් වශයෙනි.

පලතුරු බීම අලෙවිසලක් –  www.unsplash.com

කලාපීය වශයෙන් සැලකීමේදී යුරෝපා සංගමයට අයත් රටවල් 2017 වසරේ දී ලීටර් මිලියන 9,187ක් සහ 2018 වසරේ දී ලීටර් මිලියන 9,067ක්, ආසියා පැසිපික් කලාපයේ රටවල් 2017 වසරේ දී ලීටර් මිලියන 8,159ක් සහ 2018 වසරේ දී ලීටර් මිලියන 8,367ක්, උතුරු ඇමෙරිකා කලාපයේ රටවල් 2017 වසරේ දී ලීටර් මිලියන 8,629ක් සහ 2018 වසරේ දී ලීටර් මිලියන 8,331ක්, ලතින් ඇමෙරිකා කලාපයේ රටවල් 2017 වසරේ දී ලීටර් මිලියන 3,436ක් සහ 2018 වසරේ දී ලීටර් මිලියන 3,492ක් සහ අප්‍රිකා සහ මැද පෙරදිග කලාපයේ රටවල් 2017 වසරේ දී ලීටර් මිලියන 3,633ක් සහ 2018 වසරේ දී ලීටර් මිලියන 3,429ක් ද වශයෙන් පලතුරු බීම පරිභෝජනය කර තිබේ.

පලතුරු බීම අලෙවිසල්

පලතුරු බීම සහ ඒ ආශ්‍රිත අනිකුත් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පවත්වාගෙන යන අලෙවිසල් මේ වන විට ලොව පුරා සියලු ම රටවල දැකගත හැකි ය. ඒවායේ බොහෝ විට අඹ, ගස්ලබු, දොඩම්, අන්නාසි, ඇපල්, දෙළුම්, මිදි, කාමරංගා, කෙසෙල්, අලිගැටපේර වැනි පලතුරුවලින් සකස් කරගන්නා බීම අලෙවි කිරීමට තිබේ. බීම වලට අමතර ව පලතුරු සලා ද සහ අයිස්ක්‍රීම් වැනි දේ මෙන් ම කෙටි කෑම වර්ග ද ඒවායේ අලෙවි කරයි. විශේෂයෙන්ම ජනාකීර්ණ නගර, මහජන උද්‍යාන, ක්‍රීඩාංගන, සිනමා ශාලා, සුපිරි වෙළෙඳසල් වැනි ස්ථාන ආශ්‍රිතව මෙවැනි අලෙවිසල් දැකිය හැකි ය. 

කවරයේ ඡායාරූපය- www.diabetes.co.uk 

මූලාශ්‍ර- www.food.ndtv.com 

www.bbc.co.uk 

www.healthline.com 

www.sciencedirect.com

Related Articles