එල්ලුම් ගසේ ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

අතීතයේ සිංහල රජ දවස අප රට තුළ ඉතාමත්ම දරුණු දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමවලට අනුව මරණයට පත්වුණු පුද්ගලයන් පිළිබඳ කතා අපගේ ඉතිහාස පොත්වල සඳහන් වනවා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වුණු කෲරතර දඬුවම් ක්‍රම අහෝසි වී ගියේ 18 වැනි සියවසේ අග භාගයේ දීයි. ඒ මරණ දඬුවම නියම වුණු කෙනෙකුට දඬුවම් කිරීම සඳහා එල්ලුම් ගහ නැමැති නව දඬුවම් ක්‍රමය හඳුන්වාදීම නිසා යි. 

පුරාණ ලංකාවේ දඬුවම් ක්‍රම 

අතීත රජ දවස මෙරට ක්‍රියාත්මක වුණු දෙතිස් වධ ගැන ඔබ අසා ඇති. සිරුරේ අවයව කැපීම, පැසෙන තෙල් කටාරම්වල දැමීම, යටි පතුල් පලා ලුණු සහ වැලි දමා බොරළු මත ඇවිද්දවීම වැනි එම දඬුවම් ක්‍රම නිසා බොහෝ දෙනෙකු අපරාධ කිරීමට බිය වුණා. එදා සම්මත දඬුවම් ක්‍රම තිබුණත් ඒවා ලබාදීමේ බලතල රටේ රජතුමාට හිමිව තිබුණා. එහි දී රජතුමා උදහස් වන තරම අනුව ලබාදෙන දඬුවමේ බරපතලකම ද වෙනස් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ අධිකාරමගේ පවුලට ලබාදුන් දඬුවම් ඊට නිදසුනක් ලෙසින් දැක්විය හැකියි. එදා මරණ දඬුවම ලබාදීමේ දී සමාජ තරාතිරම ගැන සැලකිල්ලක් දක්වනු ලැබුවා. සමාජයේ ඉහළ තලයේ වැජඹුණු රදළයන්ට හිස ගසා මරා දමමින් මරණ දඬුවම ලබාදුන්නා. එසේම මධ්‍යම පන්තියේ සහ පහත් කුලවල නිලධාරීන් සහ මිනිසුන්ගේ හිසෙහි වද මල් පළඳවා ඇඟෙහි සුදු හුණු තවරා, වද බෙර ගසමින්, කස පහර දෙමින් වීථි දිගේ ඇදගෙන ගොස්‌ හෙල්ලයෙන් ඇන උල තබා ඝාතනය කරනු ලැබුවා. එකල කාන්තාවන්ට වැඩි වශයෙන් දඬුවම් කළේ දුරාචාරයේ යෙදීමේ වරදට යි. කාන්තාවන්ට එකල ලබාදුන් නින්දා සහගතම දඬුවමක් වුණේ හිසකෙස් කපා දමමින් දුන් දඬුවම යි. ස්ත්‍රීන්ට මරණ දඬුවම වැඩි වශයෙන් පැනවූයේ නැහැ. නමුත් මරණ දඬුවම පැනවූ අවස්ථාවල ලබාදුන් ප්‍රසිද්ධම දඬුවම වුණේ දියේ ගිල්වා මරා දැමීම යි.

හිස ගසා දැමීම දැක්වෙන අවස්ථාවක් (Janasansadaya.org)

එල්ලුම් ගහ හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම 

යම් වරදකට හසුව මරණීය දඬුවමට ලක් වුණු පුද්ගලයකු ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මැරීමේ නියෝගය මුලින්ම යෝජනා කර ඇත්තේ 1779 වසරේ සැප්තැම්බර් 23 වැනිදා යි. නමුත් රජ කාලේ දඬුවම් තහනම් කරමින්, එල්ලා මැරීම පනතක් ලෙස සම්මත කොට නීති සංග්‍රහයට ඇතුළත් කළේ 1802 වසරේ දී යි. එලෙස නීතිගත කළ එල්ලුම් ගහ නම් දඬුවම් ක්‍රමය මඟින් මුල්ම වරට ක්‍රියාත්මක කරන්නේ 1812 වසරේ පෙබරවාරි 10 වැනිදා ඉංගිරියේ කළු අප්පු නම් පුද්ගලයාට එරෙහිව යි. කළු අප්පු නම් පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ එළිමහන් ස්ථානයක දී ඉදිකරන ලද පෝරකයක දී මරණ දඬුවමට මුහුණදුන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකු මරා දැමීමේ වරදට යි. 

මරණීය දණ්ඩනය හිමිවන අවස්ථා 

වර්තමානය වන විට එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවන නිසා මරණ දඬුවම හිමිවන අපරාධකරුවන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වෙයි. මරණීය දණ්ඩනය ලැබුණු කෙනෙකුට ජනාධිපති සමාව ලැබුණොත් දඬුවමෙන් නිදහස් විය හැකියි. ලංකාවේ දැනට එල්ලුම් ගස දක්නට ලැබෙන්නේ වැලිකඩ සහ බෝගම්බර යන බන්ධනාගාරවල පමණ යි. එම නිසා ලංකා සිතියම දෙකට බෙදුවහොත් මාතර සිට බස්නාහිර පළාත කෙළවර වන ගම්පහ දිස්ත්‍රික්කයේ මහාධිකරණයෙන් වරදකරුවකු වන අයකුට හිමි වන්නේ වැලිකඩ බන්ධනාගාරය යි. කෑගල්ලේ සිට යාපනය දක්වා ඇති සීමාව තුළ මහාධිකරණයකින් වරදකරුවකු වන අයකුට උරුම වන්නේ බෝගම්බර බන්ධනාගාරය යි. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියට අනුව යම් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය හිමිවීමට නම් පහත සඳහන් වැරදිවලින් එකක් කළ යුතුයි.

1) මිනීමැරීම 

2) බොරු සාක්ෂ්‍ය මත පුද්ගලයකුට මරණ දණ්‌ඩනය දෙන ලද්දේ නම් එකී බොරු සාක්ෂ්‍ය දුන් තැනැත්තාට ද මරණ දඬුවම හිමියි. කිසියම් කෙනෙකුගේ පෙළඹවීම මත සියදිවි නසාගැනීමක්‌ සිදු වුණේ නම් එම පෙළඹවීම කළ අයට ද මරණ දණ්‌ඩනය හිමියි.

3) 1984 අංක 13 දරන පනතින් සංශෝධිත විස, අබිං හා අන්තරායකර ඖෂධ පනතට අනුව හෙරොයින් ග්රෑම් 2ක් හෝ ඊට වැඩියෙන්, කොකේන් ග්රෑම් 2ක් හෝ ඊට වැඩියෙන්, මෝෆීන් ග්රෑම් 3ක් හෝ ඊට වැඩියෙන්, අබිං ග්රෑම් 500ක් හෝ ඊට වැඩියෙන් ළඟ තබාගැනීම, ආනයනය හා අපනයනය මෙන්ම ඊට ආධාර අනුබල දීම මහාධිකරණයක් විසින් මරණීය දඬුවම ලබා දීමට වරදක් වනවා.

4) රාජ්‍යද්‍රෝහීත්වයට මරණ දඬුවම හිමියි. 

5) ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අර්ථකථනය කරන පරිදි ත්‍රස්‌තවාදය මරණ දඬුවම හිමි වරදක් ලෙස දැක්විය හැකියි.

ඉහත සඳහන් වැරදිවලින් එකක් කළ කෙනෙකු මරණ දඬුවමට යටත් වනවා. නමුත් වරදක දී මරණ දඬුවම හිමි කෙනෙකුට පහත තත්ත්වයන් යටතේ නිදහස ලබාගත හැකියි.

 1) අපරාධය කරන අවස්‌ථාවේ දී වයස අවුරුදු 18ට අඩු වීම

 2) අපරාධකාරිය ගර්භණී කාන්තාවක් වීම 

 3) අපරාධකරුවා හෝ අපරාධකාරිය මානසික ආබාධයකින් පෙළීම 

මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය

අලුගෝසුවා විසින් මරණ දඬුවමට නියම වුණු වරදකරුවෙකු එල්ලා මරනු ලබනවා. එල්ලා මැරීමට භාවිතා කරන මීටර් 30ක පමණ දිගකින් යුක්ත යි. හණ ගසේ කෙඳිවලින් නිර්මාණය කර ඇති කඹයේ ඉටි ආලේප කරනවා. එම කඹයේ තොණ්ඩුව විශේෂ ක්‍රමයකට හිරවීම සඳහා සකස් කර තිබෙනවා. මරණ දණ්‌ඩනය සඳහා නියම වුණු කෙනකුට එල්ලා මැරීමට පෙර විශේෂිත ජැකට්‌ එකක්‌ අන්දවනු ලබනවා.  එහි වම් පැත්තේ මරණීය දණ්ඩනයට නියම වුණු  වශයෙන් සඳහන් කර තිබෙනවා. එම පුද්ගලයාගේ බලය හීන කිරීම සඳහා අඟල් 5ක පළල බඳ පටියක්‌ ඉණට දමන අතර එහි දෙපැත්තේ අත් මාංචු 2ක්‌ සවිකර තිබෙනවා. එසේම ඇවිදිය නොහැකි ලෙස කකුලේ වළලු කරට පටියක්‌ දැමීම ද  සිදුකරනවා. එසේම මුහුණු ආවරණයක්‌ දමන අතර එල්ලා මැරීමට නියම වුණු අයට එය සියෑසින් දැක ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ කැමැත්ත මත මුහුණු ආවරණය ඉවත් කළ හැකියි. 

එල්ලුම් ගස (The Colombo Express)

එල්ලුම් ගහ ආසන්නයේ තිබෙන කාමර 3ක එල්ලා මැරීමට නියමිත අය රඳවා තිබෙන අතර එල්ලා මැරීමට නියමිත දවසට කලින් තමන්ට කැමති දෙයක්‌ ඉල්ලාගත හැකියි. එසේම එල්ලා මැරීමට පෙර ඔහුව හෝ ඇයව බැලීමට දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට හා ඥතීන්ට අවසර දෙන අතර වෙනත් අයකුට බැලීමට අවශ්‍ය නම් බන්ධානාගාර අධිකාරීවරයාගේ අවසරයක්‌ ලබාගත යුතු යි. පෙරවරු 8.05, කෙනෙකු එල්ලා මැරීමට නියමිත සම්මත වේලාව ලෙස භාවිතා කරනවා. එම අවස්‌ථාවේ දී ප්‍රධාන සහ සහායක අලුගෝසුවන්ට අමතරව බන්ධනාගාර ඡේලර්වරුන් දෙදෙනෙක්‌, බන්ධනාගාර අධිකාරීවරයා සහ වෛද්‍යවරයෙක්‌ එහි රැඳී සිටිය යුතු යි. බන්ධනාගාර අධිකාරීවරයා විසින් එල්ලා මැරීමට නියමිත වේලාවට සංඥව නිකුත් කරනවා. එම අවස්‌ථාවේ රැඳවියන් සිරමැදිරිවලට දමා ඉබියතුරු දමන අතර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව විවෘතව තැබිය යුතු යි. එයට හේතුව වන්නේ එල්ලා මැරීමට පෙර අධිකරණ නියෝගයකින් හෝ වෙනත් ආකාරයට පණිවිඩයක්‌ රැගෙන එන්නේ නම් අපහසුවකින් තොරව බන්ධනාගාරය තුළට පැමිණීම සඳහා යි. 70 දශකයේ බෝගම්බර බන්ධනාගාරය තුළ දී ‘හිතුමතේ ජීවිතේ’ නම් පුද්ගලයාව එල්ලා මැරීමට සූදානම් වුණු අවස්ථාවේ ජනාධිපති විලියම් ගොපල්ලවගේ නියෝගයකින් ඔහුට නිදහස ලැබුණු බව මෙහි දී සඳහන් කළ යුතු යි. එල්ලා මැරීමට නියම වුණු පුද්ගලයාගේ බරට සමාන බරකින් යුත් වැලි කොට්‌ටයක්‌ එල්ලා මැරීමට පෙර එල්ලා, එල්ලුම් ගස නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කරනු ලබනවා.

අපරාධකරුවෙකු එල්ලා මරණ අවස්ථාවක් (Silumina)

බන්ධනාගාර අධිකාරීවරයා සංඥාව නිකුත් කළ පසු අලුගෝසුවා විසින් එල්ලුම්ගහ ක්‍රියාත්මක කෙරෙනු ලබනවා. එවිට තත්පරයකින් 1/4ක කාලයක්‌ තුළ සිටගෙන සිටින ලෑලි දෙක දෙපැත්තට ගොස්‌ ඔහු පහළට වැටී අපරාධකරුවාගේ ගෙල සිරවීම සිදුවනවා. ඉන් පසුව වෛද්‍යවරයා පහළට බැස එම පුද්ගලයා මියගිය බවට සනාථ කළ යුතු යි. පසුව එම දේහය විශේෂිත කොටු සහිත රෙද්දකින් ආවරණය කරනු ලබනවා. කිසිම හේතුවක්‌ නිසා දේහයට වෙනත් ඇඳුමක්‌ ඇන්දවීමට අවසර නැහැ. එසේම  බන්ධනාගාරය විසින් ලබාදෙන මිනීපෙට්‌ටියේ දේහය තැබිය යුතු යි. දේහය භූමදානය සිදුකළ යුතු අතර පොළොව මට්‌ටමෙන් ඉහළට පස්‌ ගොඩ ගැසීම සිදු නොකළ යුතු යි.

1812-1976 කාලය තුළ ක්‍රියාත්මක වුණු අයුරු 

1812 වසරේ සිට ක්‍රියාත්මක වුණු එල්ලුම් ගහ තහනම් කිරීම පිළිබඳව මුල්ම වරට යෝජනා කළේ ඩී. ඇස්. සේනානායක යි. ඔහු එම යෝජනාව කළේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී යි. 1936 වසරේ එවකට පානදුර මන්ත්‍රීවරයා වුණු සුසන්තා ද ෆොන්සේකා එම යෝජනාව යළිත් වරක් ඉදිරිපත් කළා. නමුත් මරණ දඬුවමට නියම වුණු කෙනෙකුට ලබා දීම සඳහා වෙනත් දඬුවමක් තිබුණේ නැහැ. එම නිසා එල්ලුම් ගහ දිගටම ක්‍රියාත්මක වුණා. 1956 වසරේ දී බලයට පත්වුණු සොලමන් බණ්ඩාරනායකගේ රජය එල්ලුම් ගහ අහෝසි කරනු ලැබුවා. නමුත් 1959 වසරේ සිට මරණ දඬුවම යළි ක්‍රියාත්මක වුණා. අවසන් වරට ලංකාව තුළ එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණේ 1976 වසරේ ජූනි 23 වැනිදා යි. එදා මරණ දඬුවම හිමි වුණේ චන්ද්‍රදාස හෙවත් ‘හොඳ පපුවා’ නම් පුද්ගලයාට යි. 1885-1976 කාල සමය තුළ මෙරට දී පුද්ගලයන් 2173ක් එල්ලා මරා ඇති බව වාර්තා වනවා.

ඩී.ඇස් සේනානායක (News In Asia)

පසුගිය කාලයේ යළි කරළියට පැමිණි එල්ලුම් ගහ 

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මෙරට අපරාධ රැල්ල සීඝ්‍රයෙන් ඉහළ ගියා. විශේෂයෙන්ම අවසන් වසර කිහිපය තුළ මෙරට අපචාර සහ අනිකුත් අපරාධ බහුලවම සිදු වුණා. එම නිසා එල්ලුම් ගහ කෙටි කලකට හෝ ක්‍රියාත්මක කළ යුතුයැ යි බොහෝ දෙනෙකු පවසා සිටිනවා. එවිට රටේ අපරාධ රැල්ල තාවකාලිකව පාලනය වනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය යි. මෙම අපරාධ රැල්ල අනාගතයේ දී තවත් දරුණු අතට හැරුණොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙනවා. එසේ වුණොත් නව අලුගෝසුවෙකුට යළි ජීවය ලැබෙනු ඇති.

කවරයේ ඡායාරූපය- Sky News

Related Articles