Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල් මේසය මත නොවරදින යූල් ලොග්

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතා උද්‍යෝගයෙන් සමරන නත්තල් උත්සවය අද යි. නත්තල හා බැඳුණු නත්තල් ගස, සුබ පැතුම්පත් වැනි දෑ රැසක් අතර නත්තල වෙනුවෙන් ම සකස් කරන විශේෂිත ආහාරපාන ද තිබේ.

නත්තල වෙනුවෙන් සකස් කරන බොහෝ ආහාරපානවල ආරම්භය සිදු වූයේ යුරෝපා රටවල ය. ඒ අතරින් ප්‍රංශ ජාතිකයන් මුලින් ම පිළියෙළ කළ, නත්තල වෙනුවෙන් ම සකස් කරන කේක් විශේෂයකි, ‘යූල් ලොග්’.

පිළිස්සීම සඳහා දැව කඳක් රැගෙන එන ළමයින් පිරිසක් දැක්වෙන සිතුවමක් – www.snopes.com

“යූල් ලොග්”

නත්තල් සමයේ අධික සීතලෙන් ආරක්ෂා වීම සඳහා පුරාණ යුරෝපා ජාතිකයන් භාවිත කළ එක් ක්‍රමයකි, විශාල දැව කොටයක් පිළිස්සීම. ඔවුන් දෙසැම්බර් මස ආරම්භයේ පටන් ජනවාරි 6 දක්වා විශාල කොටයක් කොටස් වශයෙන් දිනපතා පිළිස්සූ බව කියැවේ. මෙය චාරිත්‍රයක් ලෙස පැවැති බවත්, කොටය පිළිස්සෙන අවස්ථාවේ මතු වන ගිනි පුපුරු සහ ගිනිදැල් අනුව එළැඹෙන නව වසර කෙතරම් සුබවාදී වනවාද යන්න ඔවුන් විශ්වාස කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ.

ජනවාරි 6 වැනි දිනට පසු දැව කොටය පිළිස්සීම සිදු නොවන බැවින් එහි ඉතිරි වූ කොටස් ඉදිරි නත්තල දක්වා සිය නිවෙස්වල ඇඳන් යට තැබීමට ඔවුහු කටයුතු කළහ. ඒ හරහා නිවාස ගිනිගැනීම් සහ අකුණුසැර වැදීම් වැනි ව්‍යසන වලක්වා ගත හැකි බවට විශ්වාසයක් විය.

මෙම චාරිත්‍රය සමහර රටවල් ක්‍රිස්තියානිකරණය වීමට පෙර පටන් පැවැති බව සමහර මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ පිළිබඳ ව පළමු පැහැදිලි සාක්ෂිය 17 වැනි සියවසට අයත් ලේඛනයකින් හමු වී ඇත. මෙම චාරිත්‍රය ආරම්භ වූයේ කුමන කාලයේ ද යන්න නිශ්චිත අදහසක් නැත.

කොටය පිළිස්සීමෙන් පසු ඉතිරි වූ කොටස් ඉදිරි නත්තල දක්වා සිය නිවෙස්වල ඇඳන් යට තැබීමට පුරාණ යුරෝපා ජාතිකයෝ කටයුතු කළහ – www.wrn.edu

චාරිත්‍රය ව්‍යාප්ත වූ රටවල්

මධ්‍යතන යුගයේ පටන් මෙම චාරිත්‍රය බොහෝ රටවලට ව්‍යාප්ත විය. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, පෘතුගාලය, ග්‍රීසිය සහ එක්සත් ජනපදය වැනි රටවල් ගණනාවක ජනයා දෙසැම්බර් සිට ජනවාරි 6 වැනි දා දක්වා ඉහත කී ආකාරයෙන් දැව කොටයක් පුළුස්සා දැමූහ.

ඒ ඒ රටවල පුළුස්සා දැමූ කොටය හැඳින්වීම සඳහා “යූල් ලොග්” යන යෙදුම වෙනුවට වෙනත් යෙදුම් භාවිත කර ඇත. මෙම චාරිත්‍රය සඳහා භාවිත කළ දැව වර්ගය, එය ඉටු කරන ආකාරය සහ එය ඉටු කිරීමෙන් ලැබෙන වාසි පිළිබඳ ව ජනතාව තුළ පැවති විශ්වාස ද ඒ ඒ රටවලට ආවේණික විය.

1648 දී එක්සත් රාජධානියේ ජීවත් වූ රොබට් හෙරික් නම් පූජකවරයා රචනා කළ කාව්‍ය නිර්මාණයක මෙම චාරිත්‍රය පිළිබඳ ව බොහෝ තොරතුරු ඇතුළත් වේ. එහි “නත්තල් කොටය” යනුවෙන් හඳුන්වා ඇති එය 1686 දී ජෝන් ඔබ්‍රේ නම් බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයාගේ ලිපියක “යූල් ලොග්” යනුවෙන් හඳුන්වා ඇත. බ්‍රිතාන්‍ය හා සම්බන්ධ බොහෝ පුරාවෘත්වතල මෙම චාරිත්‍රය පිළිබඳ ව බොහෝ තොරතුරු සඳහන් වේ.

නත්තලට පෙර රාත්‍රියේ අනිකුත් සියලු පහන් නිවා දමා නිවසේ ජීවත් වන ළාබාලත ම පුද්ගලයා “යූල් ලොග්” හි ගින්නෙන් ඉටිපන්දම් දෙකක් දැල්වූ බව කියැවේ – www.britannica.com

අද්භූත කතන්දර

සමහර රටවල ජනතාව “යූල් ලොග්” පිළිස්සෙන විට ඒ වටා අසුන්ගෙන අද්භූත කතන්දර වැනි දෑ එකිනෙකා සමඟ හුවමාරු කරගෙන ඇත. නත්තලට පෙර රාත්‍රියේ අනිකුත් සියලු පහන් නිවා දමා නිවසේ ජීවත් වන ළාබාලත ම පුද්ගලයා “යූල් ලොග්” හි ගින්නෙන් ඉටිපන්දම් දෙකක් දැල්වූ බවත්, ඒවා දල්වන අවස්ථාවේ සියලු දෙනා නිශ්ශබ්ද ව සිට යම්කිසි ප්‍රාර්ථනාවක් කළ බවත් පුරාවෘත්වතල සඳහන් වේ.

එම ඉටිපන්දම් ආහාර මේසය මත තබන අවස්ථාවේ ඔවුහු නිහඬ බව බිඳ එකිනෙකා සමඟ කතාබස් කළහ.

නිවෙස්වල ඉටු කළ මෙම චාරිත්‍රය සමහර රටවල උත්සවයක් ලෙස විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉටු කළ අවස්ථා පිළිබඳව ද තොරතුරු ඇත. 1947 දී එක්සත් ජනපදයේ ජීවත් වූ ලේඛකයෙක් රචනා කළ පොතක 1934 සිට කොලරාඩෝ ප්‍රාන්තයේ එක්තරා වැවක් අසල මෙම චාරිත්‍රය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉටු කළ බව සඳහන් වේ. දැව කොටය පුළුස්සා ඉතිරි වන අළු යෙදීමෙන් ශාක සහ පැළෑටි ඉතා හොඳින් වැඩෙන බව බොහෝ පිරිසක් විශ්වාස කළහ.

නත්තල් කාලයට සකස් කරන රසවත් අතුරුපසක් වන යූල් ලොග් හි ඉතිහාසය 19 වැනි සියවස දක්වා දිව යයි – www.wikipedia.org

යූල් ලොග් කේක්

ඉහත විස්තර කළ යූල් කොටය සිහි කරමින් පසුකාලීන ව සකස් කළ කේක් විශේෂය ද “යූල් ලොග්” නමින් හැඳින්වේ. ප්‍රංශයේ බිහි වූ, නත්තල් කාලයට සකස් කරන රසවත් අතුරුපසක් වන මෙහි ඉතිහාසය 19 වැනි සියවස දක්වා දිව යයි. “Pierre Lacan” නම් ප්‍රංශ ජාතික සූපවේදියෙක් 1898 දී පළමු වරට මෙම කේක් විශේෂයට අදාළ වට්ටෝරුවක් සඟරාවක පළ කර ඇති අතර, ඔහු මෙහි නිර්මාතෘ බව බොහෝ දෙනකුගේ අදහස වේ.

කෙසේ වෙතත් මෙහි ආරම්භය සහ නිර්මාතෘ පිළිබඳ ව එකිනෙකට පරස්පර මත ගණනාවක් තිබේ. 1834 දී පුහුණු සූපවේදියෙක් මුල්වරට මෙම කේක් විශේෂය සකස් කළ බව සමහර මූලාශ්‍රයන්හි සඳහන් වේ. තවත් සමහරුන් පවසන්නේ ෆීලික්ස් බොනට් නම් චොක්ලට් ආශ්‍රිත ආහාර සකස් කළ සූපවේදියෙක් 1860 දශකයේ දී මෙම කේක් විශේෂය මුල්වරට සකස් කළ බව යි.

මුල් කාලයේ දී ප්‍රංශයට පමණක් සීමා වූ යූල් ලොග් කේක් මේ වන විට බෙල්ජියම, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය, කැනඩාව, වියට්නාමය, ලෙබනනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ගණනාවක ප්‍රචලිත ය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව වැනි රටවල පවා නත්තල් උත්සවය සමරන බොහෝ දෙනෙක් සිය නත්තල් ආහාර මේසයට යූල් ලොග් කේක් එකක් එක්කර ගැනීමට අමතක නොකරති.

සමහරුන් ස්ට්‍රෝබෙරි, වියළි මිදි සහ බිම්මල් වර්ග වැනි දෑ යොදාගෙන යූල් ලොග් හි මතුපිට සරසන අයුරු ද දැකිය හැකි ය – www.history.com

පිළියෙළ කරන අයුරු

ස්පොන්ජ් කේක් එකක් සිලින්ඩරයක් ආකාරයට සකස් කර එය දැව කඳක පැහැයට සමාන පැහැයකින් අයිසින් කර මෙම කේක් විශේෂය පිළියෙළ කෙරේ. ශාකයක පිට පොත්තක ස්වරූපය ලබා දීම සඳහා එහි මතුපිට ගෑරුප්පුවක් යොදා ගෙන සූරා, හිම නිරූපණය කිරීමට අයිසින් සීනි ඉසියි. කහ පැහැති ස්පොන්ජ් කේක් එකක් වටා චොක්ලට් හෝ කෝපි අයිසින් ගලවා යූල් ලොග් කේක් පිළියෙළ කරයි. මෙහි රසය වැඩි කිරීමට සමහරු ඉඟුරු පාන් සහ එග්නොග් ඊට එකතු කරති. තවත් සමහරුන් ස්ට්‍රෝබෙරි, වියළි මිදි සහ බිම්මල් වර්ග වැනි දෑ යොදාගෙන එහි මතුපිට සරසන අයුරු ද දැකිය හැක.

කවරයේ ඡායාරූපය - යූල් කොටය සිහි කරමින් පසුකාලීනව සකස් කළ කේක් විශේෂය ද "යූල් ලොග්" නමින් හැඳින්වේ - www.bbc.co.uk
මූලාශ්‍ර:
www.bbc.co.uk
www.britannica.com
www.historyofyesterday.com

Related Articles