Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩා දමන්නට සැරසෙන ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස

ඇඩොල්ෆ් හිට්ලර් උපන් ගොඩනැගිල්ල පවරා ගැනීම සඳහා ඔස්ට්‍රියාවේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමි වුණා. මේ සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියද හිමි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙම නීතිය ගෙන එනු ලැබුවේ එම ගොඩනැගිල්ල මිලට ගැනීමට හෝ එහි වෙනස්කම් කිරීමට හෝ වසර ගණනාවක් මුලුල්ලේ රජය විසින් ගත් අසාර්ථක උත්සාහයන්ගෙන් පසුවයි.

නමුත් අදාල ගොඩනැගිල්ල පවරාගැනීමෙන් පසුව සිදු කළ යුතු දේ පිළිබඳ විවාදය තවමත් අවසන් වී නැහැ. මේ විවාදයේදී මතුව ඇති එක් ප්‍රබල යෝජනාවක් වන්නේ මෙම ගොඩනැගිල්ල බිඳ හෙළිය යුතු බවයි. ඔස්ට්‍රියානු අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා එම මතයේ තදින්ම සිටිනවා.

හිට්ලර් උපන් ගොඩනැගිල්ල. මෙහි ඉදිරිපස ගල් පුවරුව රජය විසින් පිහිටවූ ස්මාරකයකි. ඡායාරූපය: The Independent

හිට්ලර් උපන් ගොඩනැගිල්ල. මෙහි ඉදිරිපස ගල් පුවරුව රජය විසින් පිහිටවූ ස්මාරකයකි. ඡායාරූපය: The Independent

ඇඩොල්ෆ් හිට්ලර් උපන් නගරය

ඇඩොල්ෆ් හිට්ලර් උපත ලබන්නේ 1889 අප්‍රේල් 20 වනදා ඔස්ට්‍රියාවේ, ඉහළ ඔස්ට්‍රියා ප්‍රදේශයේ, බ්‍රවුනාවු ඇම් ඉන් (Braunau am Inn) නම් නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක. බ්‍රවුනාවු ඇම් ඉන් යන්නෙහි තේරුම තමයි ‘ඉන් නදීබඩ බ්‍රවුනාවු’ කියන එක.

මේ නගරය අසළින් ඉන් නදිය ගලා බහිනවා. ගඟෙන් එහා පැත්තෙ තියෙන්නේ ජර්මනියේ බැවේරියා ප්‍රාන්තය. හිට්ලර් උපදින කාලෙත් මේ දේශසීමාව මේ විදියටම පැවතුනා. ඒ කාළෙ බ්‍රවුනාවු නගරය අයිති වුනේ ඔස්ට්‍රා-හන්ගේරියානු අධිරාජ්‍යයට. ගඟෙන් එහා පැත්තෙ තිබ්බෙ ජර්මන් අධිරාජ්‍යය.

බ්‍රවුනාවු ඇම් ඉන් රේගු මුරපොළ 1910 දී. (Public Domain)

බ්‍රවුනාවු ඇම් ඉන් රේගු මුරපොළ 1910 දී. (Public Domain)

හිට්ලර්ගෙ පවුල බවුනාවු නගරයේ පදිංචියට එන්නෙත් එය දේශසීමා නගරයක් වූ නිසාවෙන්. හේතුව ඇඩොල්ෆ් හිට්ලර්ගෙ පියා ඇලොයිස් රේගු නිලධාරියකු වීම. ඔහු බ්‍රවුනාවුවල රාජකාරි කරද්දි ඔහුගේ පවුල එක්ක නැවතී සිටියේ තෙමහල් ගොඩනැගිල්ලක.. මේ නිවසෙ තමා ඇඩොල්ෆ් උපන්නෙ.

ඒ ඇලොයිස් හිට්ලර්ගෙ සහ ඔහුගේ බිරිඳ ක්ලාරාගෙ සිව් වැනි දරුවා විදියට.

ක්ලාරා හිට්ලර් (වමේ) සහ ඇලොයිස් හිට්ලර්. (Public Domain)

ක්ලාරා හිට්ලර් (වමේ) සහ ඇලොයිස් හිට්ලර්. (Public Domain)

ඇඩොල්ෆ් හිට්ලර් තම ජීවිතේ පළමු අවුරුදු තුන පමණයි බ්‍රවුනාවුවල ගත කරන්නෙ. ඒ වෙද්දි ඔහුගේ පියාට මාරුවක් ලැබීම නිසා කුඩා හිට්ලර් බ්‍රවුනාවු හි ගතකළ ජීවිතය නිමා වුණා. නමුත් පසු කාලෙක ඔහු ලෝකයේ බිහිවූ දරුණුම ආඥාදායකයකු විදියට ප්‍රසිද්ධ වෙච්ච නිසා බ්‍රවුනාවු නගරයට ලැබුණෙ නරක ප්‍රසිද්ධියක්.

කුඩා හිට්ලර් (Public Domain)

කුඩා හිට්ලර් (Public Domain)

ගොඩනැගිල්ලේ අයිතිය

හිට්ලර් උපන් ගොඩනැගිල්ල බොහෝ කාළයක් තිස්සේ අයිතිව තිබුනේ ගර්ලින්ඩ් පොමර් නම් කාන්තාවකට. 20 වන සියවසෙත් බොහෝ කළක් එම ගොඩනැගිල්ල ඇගේ පවුලේ අයිතිය යටතේ පැවතුණා. 1938 දී ඔස්ට්‍රියාව හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් ඈඳාගත් පසු නාසි පක්ෂයේ ලේකම් වූ මාර්ටින් බෝර්මන් විසින් එම ගොඩනැගිල්ල මිලට ගනු ලැබුණා.

නමුත් 1945 දී ජර්මනියේ පරාජයෙන් පසු පොමර් පවුලට එම ගොඩනැගිල්ල ආපසු පවරා දෙනු ලැබුණා.

මාර්ටින් බෝර්මන් (biography.com)

මාර්ටින් බෝර්මන් (biography.com)

1970 ගණන්වල සිට මෙම ගොඩනැගිල්ල විශේෂ අවශ්‍යතා සහිත අයට නිවහනක් විදියට රජය විසින් භාවිතා කෙරුණා. ඊට පොමර් වෙත කුලියක් ගෙවනු ලැබුණා. නමුත් 2011 දී එම ආයතනය එතැනින් ඉවත් කරන්න රජය කටයුතු කළා. ඒ වෙද්දි ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන්නට අවශ්‍යවීම ඊට හේතුවයි.

1983 දී මෙහි සමරු ඵලකයක් ඉදි කරන්න රජය ගත් වෑයමට එරෙහිව අයිතිකාරිය නඩු මගට බැස්සා. ඒ නිසා එම ක්‍රියාව නැවතුණා. නමුත් 1989 දී එවක බ්‍රවුනාවු හි නගරාධිපති වූ ගර්හාර්ඩ් ස්කිබා ගොඩනැගිල්ල ඉදිරියේ පදික වේදිකාවේ සමරු ඵලකයක් ඉදි කරන්න කටයුතු කළා. පදික වේදිකාව රජයට අයත් භූමිය නිසා ඒ පිළිබඳ කිසිවක් කරන්නට ගොඩනැගිල්ල අයිති අයට හැකියාවක් තිබුණේ නැහැ. නාසිවාදීන් විසින් පිහිටවූ මවුතවුසන් සිර කඳවුරේ ගල් වලක වූ ගලක් මෙම ස්මාරකය තැනීමට යොදා ගනු ලැබුවා. එහි “සාමය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා, ෆැසිස්ට්වාදය නැවත අවශ්‍ය නැහැ. මිය ගිය මිලියන ගණනක් අපට මතක් කරන්නේ එයයි” යන අදහස ජර්මන් බසින් කොටා තිබෙනවා.

සමරු ඵලකය (Johannes Simon/Getty Images)

සමරු ඵලකය (Johannes Simon/Getty Images)

පසු කළෙක නව නාසිවාදීන් මෙහි පැමිණ ගොඩනැගිල්ල ඉදිරිපස සිටගෙන නට්සි ආචාරය දක්වමින් ඡායාරූපවලට පෙනී සිටින්න පටන් ගත්තා. නව නට්සිවාදීන් එම ස්ථානය සලකන්නේ සිය ව්‍යාපාරයේ වැදගත් ‘පූජනීය’ ස්ථානයක් විදියටයි.

මේ තත්ත්වය නිසා තමයි ඔස්ට්‍රියානු රජය ආපහු තීරණය කළේ මේ ගැන යමක් කළ යුතු බව. ඔවුන් විවිධ අවස්ථාවල එම ගොඩනැගිල්ල මිලට ගන්න ඉදිරිපත් වුණත් අයිතිකාරිය ඊට කැමති වුණේ නැහැ. ඒ අනුව තමයි එම ගොඩනැගිල්ල පවරාගන්නට අවශ්‍ය නීති සම්පාදනය කරනු ලබන්නේ. මෙම නව පනතට අනුව ගොඩනැගිල්ල වෙනුවෙන් වන්දි මුදලක් අයිති කාන්තාවට ගෙවනු ලබනවා.

ගොඩනැගිල්ලේ ඉරණම

ඔස්ට්‍රියානු අභ්‍යන්තර කටයුතු ඇමති වුල්ෆ්ගෑන්ග් සොබොට්කා ප්‍රකාශ කළේ එම ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලක් ඉදි කරන බවයි. ඔහු ඔස්ට්‍රියානු පුවත්පතකට දුන් ප්‍රකාශයක් උපුටා දක්වන ජර්මනියේ ඩොයිෂ වෙල්ලෙ ආයතනය සඳහන් කළේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ල පුණ්‍ය කටයුතු සඳහා හෝ නගර සභාවේ කටයුතු සඳහා යොදාගැනීමට අදහස් කරන බව සොබොට්කා විසින් ප්‍රකාශ කල බවයි. ඇඩොල්ෆ් හිට්ලර් සමඟ වූ සියලු සබඳකම් අමතක වන ආකාරයේ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම ඔහුගේ අදහසයි.

ඔස්ට්‍රියානු රජය මීට මාස කිහිපයකට පෙර මෙම ගොඩනැගිල්ල පිළිබඳ තීරණයක් ගැනීම සඳහා 12 පුද්ගල කමිටුවක් පත් කළා. ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට රජයේ අංශ තීරණය කර ඇත්තේ ඒ කමිටුවේ අදහස් ද සැළකිල්ලට ගනිමින්.

නමුත් මෙම මතයට සියල්ලන් එකඟ වන්නේත් නැහැ. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ගොඩනැගිල්ල වෙනස් කළ පමණින් එම මතකය වෙනස් කිරීම පහසු නොවන බවයි. එමෙන්ම එම ගොඩනැගිල්ල බ්‍රවුනාවු නගරයේ ඓතිහාසික කොටසට අයත් බැවින් ඇතැම් බ්‍රවුනාවු වැසියන් ගොඩනැගිල්ල විනාශ කිරීමට තරයේම විරුද්ධත්වය පළ කර තිබෙනවා.

බොහෝ කළක පටන් පවතින තවත් යෝජනාවක් වන්නේ මෙම ගොඩනැගිල්ල නාසීන් විසින් කරන ලද කුරිරුකම් පිළිබඳ දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවයි. නමුත් මේ පිළිබඳවත් අවසන් තීරණයකටනම් එළඹී නැහැ.

දැනට පවතින තත්ත්වය යටතේ ගොඩනැගිල්ල කඩා දමා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ ඉඩකඩ වැඩියි. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ඉදිරි සති හෝ මාස කිහිපය තුළ දැකගත හැකිවනු ඇති.

කවරයේ පින්තූරය: හිට්ලර් (වමේ) සහ ඔහු උපන් නිවස (mirror.co.uk)

Related Articles