හොලිවුඩ් සිනමාව සහ චිත්‍රාගාර ආධිපත්‍යය

ලෝක සිනමාව ගැන කතා කරද්දි ‘හොලිවුඩ්’ කියන්නෙ මඟහරින්න පුළුවන් කලාපයක් නෙවෙයි. ආරම්භක යුගයේ ඉඳලා මේ දක්වාම ලෝක සිනමාවේ ගමන්මඟ තීරණය කරන්න ඍජු බලපෑමක් එල්ල කළේ ඇමරිකානු සිනමාව. ඒ මෙහෙයුම ක්‍රියාත්මක වුණු ප්‍රධානම බල කඳවුරු විදියට තමයි මුල්කාලීන හොලිවුඩ් චිත්‍රාගාර අපට හඳුනගන්න වෙන්නෙ. ලොස් ඇන්ජලීස් ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක 1911 දී ආරම්භ වෙන මේ සිනමා නගරය 1914 වෙනකොට ලෝක සිනමාවේ ගමන්මඟ තීරණය කරන කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. ඇමරිකානු සිනමාවේ සුක්කානම දශක කිහිපයක් තිස්සේ පාලනය කළ සුප්‍රකට ‘චිත්‍රාගාර ක්‍රමය’ (Studio System) ආරම්භ වෙන්නෙත් හොලිවුඩ් වලින්.

සිනමාව හරහා ලෝක දේශපාලනයට, ආර්ථිකයට වගේම තවත් සමාජ, සංස්කෘතික කාරණා ගණනාවකට බලපෑම් එල්ල කරමින්, අධිපති මතවාද සමාගත කිරීමේ ප්‍රධාන මෙවලමක් විදියට ක්‍රියාත්මක වුණු හොලිවුඩ් චිත්‍රාගාර සම්ප්‍රදාය ගැනයි මේ කෙටි විමසුම.

චිත්‍රාගාරය සහ සිනමාව නම් වෙළඳ භාණ්ඩය

එඩිසන් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් අතේ රැඳිලා තිබුණු සිනමා ඒකාධිකාරය බිඳහෙළමින් ලෝක සිනමාවේ ගමන් මඟ තීරණය කරන දැවැන්තම චිත්‍රාගාර කිහිපයක් 1920 – 1930 අතර කාලයේ බිහිවෙනවා. ඒ ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සහ බෙදාහරින්නන්ගේ මූලිකත්වයෙන්. එහෙම ආරම්භ වුණු සමාගම් අතරින් ඉහළට එසවෙන පැරමවුන්ට්, යුනිවර්සල්, මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර් (MGM), ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්, ෆස්ට් නැෂනල්, වෝනර් බ්‍රදර්ස්, කොලොම්බියා පික්චර්ස් වගේ ආයතන තමයි එතන ඉඳලා හොලිවුඩ් සිනමාවේ ගමන්මඟ තීරණය කරන ප්‍රධාන බලවේගය වෙන්නෙ.

චිත්‍රාගාර කියද්දිම හිතට නැගෙන්නෙ දැවැන්ත ගොඩනැගිල්ලක චිත්‍රයක් වුණත් ඒ වෙනුවට එතන තියෙන්නෙ වෙනමම සංස්කෘතියක්. හරියටම කිව්වොත් ඒවා සිනමා ගම්මාන. ඒ හොලිවුඩ් චිත්‍රාගාර ඇතුළෙ, ලෝකය අළුතෙන් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.

mgm.com

සිනමාවට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සියල්ල එක තැනකට කේන්ද්‍රගත වුණු සෞන්දර්ය කර්මාන්තශාලා විශේෂයක් විදියටත් මේ චිත්‍රාගාර හැඳින්වීමේ වරදක් නැහැ. නිරතුරුවම අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළු නිළියෝ, සංස්කරණ ශිල්පීන් ඇතුළු දැවැන්ත පිරිසක් වැඩකරමින් ඉන්න කර්මාන්තශාලාවක් ඒක. අනිත් කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර තියෙනවා වගේම චිත්‍රාගාර ඇතුළෙත් තියෙනවා විවිධ ආයතන. ඒ හැම ආයතනයකම දායකත්වය එකට එකතු වෙලා හැදෙන නිෂ්පාදන භාණ්ඩ තමයි ‘චිත්‍රපට’ සහ ‘සිනමා තරු’.

චිත්‍රාගාර හරහා සිද්ධවුණු  සිනමා ක්‍රියාන්විතයේ වැදගත්ම කොටස තමයි, සිනමාව හරහා අපිව හොලිවුඩ් කියන අධිපති මතවාදය ඇතුළෙ හිතන්න පෙළඹවීම. ඒක තනිකරම සංවිධානාත්මක වැඩක්. දැවැන්ත වෙළඳ සමාගම් එක්ක බැඳුණු ගිවිසුම්, නානාප්‍රකාර දේශපාලන ගනුදෙනු වගේ ගොඩක් දේවල් මේ කාරණා පිටිපස්සෙ තියෙනවා. එයාලා තමයි තීරණය කරන්නේ, ඒ ඒ කාලය තුළ ලෝකයේ බිහිවිය යුතු රැලි සහ ඒ රැලිවල දිශානතිය.

වෙළඳපොලට අදාලව, මිනිස්සුන්ගෙ හිතීමේ කලාපය ඇතුළෙ සිනමාව ස්ථානගත කිරීම සහ ජනප්‍රිය සංස්කෘතිය හරහා ප්‍රේක්ෂක සිතිවිලි ප්‍රාග්ධනය ඇතුළේ සංවිධානය කිරීම තමයි එයාලගෙ අරමුණ. සිනමාව සහ ආර්ථිකය අතර කාරණයක් විදියටත් සිනමාව සහ දේශපාලනය අතර කාරණයක් විදියටත් අපට මේ දේ තේරුම් ගන්න පුළුවනි.

ඇමරිකානු සිනමාවේ චිත්‍රාගාර ආධිපත්‍යය

30 දශකය ආරම්භ වෙනකොට, අවුරුද්දකට බිහිවෙන ඇමරිකානු චිත්‍රපටවලින් 95%ක ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ මුල්පෙළේ චිත්‍රාගාර අටක් ඇතුළෙ. ඇමරිකාව ඇතුළෙ වගේම ලෝකය පුරා ඒ චිත්‍රපට බෙදාහැරීමේ ඒකාධිකාරය තිබුණෙත් ඒ සමාගම් අතේම යි. එයාලට අයිතිය හිමිවුණු මුල්වටයේ සිනමා ශාලා ප්‍රමාණය 2600ක්. ඒ කියන්නේ සමස්ත ඇමරිකානු සිනමා ශාලා ප්‍රමාණයෙන් 16%ක්. හැබැයි ආදායමෙන් හතරෙන් තුනක් උපයන්න ඒ ශාලා ප්‍රමාණය සමත් වෙනවා. එයාලගෙ සාමූහික ආයෝජනයෙන් වැඩි කොටසක් ඒ සමාගම් විසින් වෙන් කරන්නෙත් ප්‍රදර්ශන අංශයට.

imdb.com

හැම චිත්‍රාගාරයක්ම මහන්සි වුණේ තමන්ට සුවිශේෂී වූ සිනමා ශානරයක් වෙනුවෙන්. ඒක අඛණ්ඩව පවත්වාගෙන යන්න අදාල ශානරය ගැන විශේෂඥ දැනුමක් සහිත ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඒ ඒ චිත්‍රාගාරවලට සම්බන්ධ වෙලා වැටුප් ලබමින් වැඩකළා; චිත්‍රාගාරයටම අයිති වත්කමක් විදියට.

මුල්කාලීනව වඩා බලවත් වුණු MGM (Metro Goldwyn Mayer) නිෂ්පාදන සමාගම දිගින් දිගටම නිර්මාණය කළේ මධ්‍යම පාන්තික වටිනාකම් මූලික කරගත්ත චිත්‍රපට. ඇමරිකානු අධිපති මතවාදයේ ප්‍රබලම ප්‍රකාශකයා විදියට වැඩකළෙත් MGM. පැරමවුන්ට් චිත්‍රාගාරය ඇතුළෙ නිර්මාණය වුණු බහුතරයක් නිර්මාණවල තිබුණෙ යුරෝපීය ආභාෂයක්. ඒ වගේම ඒ ආයතනවල වැඩකරපු ශිල්පීන්ගෙනුත් වැඩි ප්‍රමාණයක් ජර්මනියේ UFA වගේ ආයතනවල පුහුණුව ලබපු අය. නිෂ්පාදන වියදම වගේ කාරණා ගැන ටිකක් වැඩි සැලකිල්ලක් දක්වපු වෝනර් බ්‍රදර්ස් ආයතනය නිතර ඉදිරිපත් කළේ වැඩකරන ජනතාව වෙනුවෙන්, තරමක් අඩු වියදම් චිත්‍රපට. නිෂ්පාදන වියදම ගැන වගේම කලාත්මක වටිනාකම ගැනත් ඉහළ සැලකිල්ලක් දක්වපු නිෂ්පාදන සමාගමක් විදියටයි ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හඳුන්වන්න වෙන්නෙ. සාපේක්ෂව තරමක් පුංචි සමාගමක් වුණු RKO වැඩි අවධානයක් යොමුකළේ චිත්‍රපට බෙදාහැරීම පැත්තට. (ලෝකයේ විශිෂ්ඨම චිත්‍රපට අතරට ගැනෙන ‘සිටිසන් කේන්’ චිත්‍රපටයත් RKO නිෂ්පාදනයක්.) කොළොම්බියා නිෂ්පාදන සමාගම වැඩි අවධානයක් දුන්නේ යුද සිනමාව පැත්තට. ත්‍රාසයෙන්, භීතියෙන් පිරුණු චිත්‍රපට වැඩි වශයෙන් නිෂ්පාදනය වුණේ යුනිවර්සල් සමාගමෙන්. මීට අමතරව සඳහන් කළ යුතු තවත් ආයතනයක් තමයි චාලි චැප්ලින් ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ‘යුනයිටඩ් ආටිස්ට්’ සිනමා සමාගම. ගොඩක් වෙලාවට චිත්‍රාගාර බලපෑමන් මිදුණු ස්වාධීන චිත්‍රපටවල බෙදාහැරීම් කටයුතු සිද්ධ කළේ ‘යුනයිටඩ් ආටිස්ට්’.

බිඳවැටීම

1930 දශකයේ සිනමාවට එරෙහිව යම් යම් ආගමික සහ සිවිල් සංවිධාන හරහා දියත්වුණු උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට මේ දැවැන්ත චිත්‍රාගාරවලට සිද්ධවෙනවා තරමක් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න. ඒ තමයි, කිසියම් වාරණයකට යටත්ව තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කිරීම. කාමුකත්වය, හිංසනය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ තවත් ගොඩක් දේවල් වාරණය වුණු නීති මාලාවකට එකඟව තමයි එතන ඉඳලා සෑහෙන කාලයක් මේ අය තමන්ගෙ චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ.

imdb.com

දෙවෙනි ලෝක යුද්ධය අවසන් වෙන කාලසීමාව වෙනකොට ඇමරිකාවේ දේශීය චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය වගේම විදේශීය ප්‍රේක්ෂකාගාරයත් තිබුණෙ තරමක් හොඳ ආර්ථික පසුබිමක. නමුත් උද්ධමනය අධික වීම වගේ ප්‍රශ්න නිසා ඒ යහපත් ආර්ථික තත්ත්වය ටිකෙන් ටික දෙදරන්න පටන් ගන්නවා. එංගලන්තය වගේ රටවල් දේශීය සිනමා වෙළඳපොල රැකගන්න ආනයනික චිත්‍රපට මත අධික බදු බරක් පටවද්දි තව දුරටත් ඇමරිකානු ආධිපත්‍යය යුරෝපීය සිනමා වෙළඳපොල ඇතුළෙ පවත්වාගෙන යන්නත් චිත්‍රාගාරවලට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කොමියුනිස්ට් භීතිකාව නිසා ඇමරිකානු රජය විසින් සිනමා කර්මාන්තය නිරීක්ෂණය කරන්න කමිටුවක් පත් කරනවා 40 දශකය අග භාගයේ දී. ඒ කමිටුවට විරෝධය පළකරපු ශිල්පීන් පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි, රජය එක්ක සහයෝගයෙන් වැඩකරන්න චිත්‍රපට නිෂ්පාදන සමාගම් සාමූහික තීන්දුවක් ගැනීම නිසාත් විශාල ශිල්පීන් පිරිසක් මේ චිත්‍රාගාර අත්හැර යනවා.

චිත්‍රාගාර ආධිපත්‍යයට බරපතලම පහර වදින්නේ රූපවාහිනියේ පැමිණීමත් එක්ක. තව දුරටත් අර පැරණි චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය තමන්ට අයිති නැති බව තේරුම් ගන්න නිෂ්පාදන සමාගම්, තරගයට මුහුණ දෙන්න නොයෙක් උපක්‍රම පාවිච්චි කළත් ඒ කිසිම දෙයක් හරියාකාරව සාර්ථක වෙන්නෙ නැහැ. අන්තිමට ගොඩක් සමාගම් තීරණය කරනවා රූපවාහිනිය වෙනුවෙන් වැඩසටහන් කරන්න.

මේ අර්බුද ඉස්සරහ දිගින් දිගටම අණසක පවත්වාගෙන යන්න බැරුව කඩාවැටෙන, විකිණෙන දැවැන්ත චිත්‍රාගාරවල හෙවණැලි ඈත් මෑත් කරමින් කරළියට එන පුංචි පුංචි නිෂ්පාදන සමාගම් 70 දශකය වෙනකොට ඇමරිකානු සිනමාව තමන්ගේ අතට ගන්නවා. ඒත් ඇමරිකානු සිනමාව ඇතුළේ තවදුරටත් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්න නම් චිත්‍රාගාරවලට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.

මූලාශ්‍රයයන්:

History of the motion picture - www.britannica.com

චිත්‍රපටය (සිංහල විශ්වකෝෂ උද්ධෘති 11) - සිංහල විශ්වකෝෂ කාර්යාලය

සිනමාව හා ජන සමාජය - රොජර් මැන්වෙල් (පරිවර්තනය_එම්.ඩී. මහින්දපාල)

Cover: www.imdb.com

Related Articles