Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමලිංගිකත්වය සහ ශ්‍රී ලංකාව තුළ එහි නෛතික භාවය

“සමලිංගික” කියන වචනය ඇහුනත් ඇඟ කිළිපොලා යන මිනිස්සු තාමත් අපේ සමාජයේ ඉන්නවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, සමලිංගික හෙවත් “Homosexual” කියන සංකල්පය අපේ සමාජයට තවමත් ආධුනික දෙයක් නිසා. ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් උනත් මේ වනවිට ලෝකයේ ගොඩක් රටවල් මේ සංකල්පය සහ සමලිංගික සමාජභාවය කියන දේ වැළඳගෙන හමාරයි. සමලිංගික විවාහ නීතිගත කිරීම, ඔවුන්ට දරුවන් හදාවඩා ගැනීමට නෛතික අවසරය ලබාදීම දක්වාම ඔවුන් දුර ගිහින් තියෙන බව අලුත් මාතෘකාවක් නෙවෙයි. මේ දිනවල තිරගත වන “සය පෙති මල” හෙවත් “frangipani” චිත්‍රපටයෙහි තිබෙන ආන්දෝලනාත්මක බවත් එක්කම මේ මාතෘකාව ගැන කතිකාවතක් ඇති කරන්න මගක් අපට විවර වෙලා තියෙන බවයි මගේ හැගීම.

සමරිසි පුද්ගලයින් අපේ රට තුළත් නැතුවා නොවෙයි. නමුත් එවැනි පුද්ගලයින්ට “ගේ කුරුල්ලො”, “සමනල්ලු” වගේ නම් පටබැඳිලා තියෙන්නෙ අපේ රටේ බහුතරයක් පිරිස මේ පිළිබදව නොදැනීම වගේම ඔවුන් දිහා මානුශීයව බලන්න අපේ මිනිස්සුන්ට තවමත් නුහුරු නිසා මිස ඔවුන්ගෙ වරදකින් නොවෙයි.

තාමත් අපේ රට මේ වත්මන් සමාජභාවයට හුරු නැති උනත් ඒ ගැන හැදුනු නීතිමය රාමුවක් ශතකයකටත් අධික කාලයක් තිස්සෙ අපේ රටේ නීතිය තුළ තිබුණු බව ඔබ දැන සිටියාද? අද අපි කථා කරන්නෙ අන්න ඒ පිළිබඳවයි.

(huffingtonpost.com)

(huffingtonpost.com)

නීතිමය රාමුව

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතුව එහි කොලනියක් බවට පැවතුනු කාලයේ  බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඔවුන්ගේ නීති පද්ධතිය අපේ රටට හදුන්වා දුන්නා. නමුත් හැම අංශයකටම ඔවුන්ගේ නීති පැනවීමක් කළේ නැහැ. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්නා විට ලංකාවේ පැවතුනු දෙතිස් මහා වදබන්ධන ඇතුළත් අපරාධ නීතිය ඉවත් කර ඔවුන්ගේ අපරාධ නීතිය අපේ රට තුළ බලපවත්වන්න ඔවුන් කටයුතු කළා. එහි ප්‍රතිඵලය විදිහට අදටත් අපි ඉංග්‍රීසි නීතිය හෙවත් English Common Law පදනම් කරගත් අපරාධ නීති රාමුවක් තමයි යුක්තිය පසිඳලීම උදෙසා භාවිතා කරන්නේ.

1883 වර්ෂයේ මෙරටට හදුන්වා දුන්නු දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්චේදයේ  සදහන් වෙන්නේ මනුෂ්‍ය ශරීරයට බලපාන සහ මනුෂ්‍ය ජීවිතයට බලපාන වැරදි සහගත ක්‍රියාවන් පිළිබඳව. එහි එන 356 වගන්තිය අස්වාභාවික වැරදි සහ බරපතල ලිංගික අපයෝජන (Unnatural offences and Grave sexual abuse) පිළිබදව නීතිමය තත්වය දක්වනවා.

“පුද්ගලයින් අතර තදබල අශෝභන ක්‍රියා” හෙවත් “Acts of Gross indecency between persons” නමින් සදහන් වන 356A වගන්තියට අනුව, ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයකු සමග තදබල අශෝභන ක්‍රියාවක් කරන හෝ එබදු ක්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ එබදු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවීමට හෝ තැත් කරන පුරුෂයකු වරදකට වරදකාරයකු විය යුතු යැයි සදහන් වෙනවා. වසර දෙකක සිරදඩුවමක්, දඩයක්, මින් දෙකම සහ කස පහර දීම ඊට අදාල දඩුවම ලෙස සදහන් වුනා.

නමුත් 1995 වසරේදී සිදු කරන ලද අංක 22 දරන සංශෝධනය මගින් මේ වගන්තියේ එම කොටස ඉවත්කෙරුනා. ඒ අනුව, ඊට අදාල සිර දඩුවම වසර දෙකක් දක්වා දීර්ඝ විය හැකි දඩුවමක් ලෙස සංශෝධනය කෙරුණු අතර දඩයක්ද ගෙවීමට නියම කෙරුණා.

යම් හෙයකින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයකු විසින් වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයකුට මෙවැනි අස්වාභාවික ක්‍රියාවක් කරනු ලැබුවහොත් එම පුද්ගලයා වසර 10කට නොඅඩු, වසර 20කට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඩුවමකට යටත් කළ යුතු බවටත්, දඩයක්ද ගෙවිය යුතු බවටත්, අදාල ක්‍රියාවට ලක්වුනු පුද්ගලයා වෙත වන්දියක් ලෙස උසාවිය මගින් තීරණය කරනු ලබන මුදලක් ගෙවිය යුතු බවටත් අපේ අපරාධ නීතිය සංශෝධනය වුනා. 2006 වසරේ ගෙනෙන ලද අංක 16 දරන සංශෝධනය මගින් 256A වගන්තියට තවත් පැහැදිලි කිරීමක් එකතු කරනු ලැබුවා. ඊට අනුව, මෙවැනි අස්වාභාවික ක්‍රියාවක් හේතුවෙන් ඇති වන තුවාල කිරීම් හා පීඩාවන් කායික හෝ මානසික පීඩාවන් විය හැකි බව සදහන් කෙරුනා (Injuries include physiological or mental trauma).

මෙවැනි නීති පැනවීමට හේතුව

මෙවැනි නීතීන් ඉංග්‍රීසි නීතියටත්, එතැනින් ලංකාවේ නීතියටත් ඇතුළත් වීමට මූලිකම හේතුව බ්‍රිතාන්‍යයන්ගේ නීතිය ක්‍රිස්තියානි ආගම හා ඉතා ළඟින් බැඳී ඇති නීතියක් වීමයි. ශුද්ධ වූ බයිබලයේ සදහන් වෙන හැටියට මෙලොව සෑම පිරිමියෙකු වෙනුවෙන්ම මවන ලද ගැහැණියක් සිටිනවා. දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව මවා ඇත්තේ ඒ ලෙසයි. ඒ අනුව ක්‍රිස්තියානි භක්තිකයින් විවාහය හදුන්වන්නෙත් කාන්තාවක් හා පිරිමියෙක් අතර ඇති වන ශුද්ධ වූ බන්ධනයක් ලෙසටයි. සමලිංගික චර්යාවන් ක්‍රිස්තියානි ආගම තුළ දැඩි විවේචනයට ලක් වන මාතෘකාවක් වන නිසාම තමයි ඔවුන්ගේ නීතිය මගින් පවා මෙවැනි චර්යාවන් දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස හදුන්වන්නට ඔවුන් යොමු වෙලා තියෙන්නෙ. “It’s Adam and Eve, not Adam and Steve” යන්න ඔවුන් සමලිංගිකයින්ට එල්ල කරන ලොකුම ඇනුම් පදයයි.

දණ්ඩ නීති සංග්‍රහයට පුරුෂයන් අතර ලිංගික ක්‍රියාවන් මිස කාන්තාවන් අතර ලිංගික ක්‍රියාවන් ගැන ඇතුළත් නොවන්නට ඇත්තේ එවැනි චර්යාවන්ට කාන්තාවන් යොමු විය නොහැකි යැයි හෝ එවැනි දෙයක් කාන්තාවන් අතර සිදුවීමට හැකියාවක් නැතැයි යන අදහස ඔවුන් අතර තිබූ නිසා වෙන්නට පුළුවන්. ආගමික මතවාදයන් කොහොම වුනත්, අපට මේ නීතිය ලබා දුන්නු එංගලන්තය තුළත් මේ වන විට සමලිංගික පුද්ගලයින්ට නෛතික පිළිගැනීමක් ලබාදී තිබෙනවා.

(theconversation.com)

(theconversation.com)

මේ වෙනස් වීමට කාලයයි

වයස අවුරුදු 16ට අඩු දරුවන් අපයෝජනයට ලක් කිරීමේ වරද හැරුනු කොට, පුරුෂයන් අතර අශෝභන ක්‍රියා පිළිබදව වරදක් අපේ රටේ නීතියට අවශ්‍ය කියන එක ගැටලුකාරී දෙයක්. වයස අවුරුදු 16ට අඩු දරුවන් අපයෝජනයට ලක් කිරීමේ වරද හැරුනු කොට, පුරුෂයන් අතර අශෝභන ක්‍රියා පිළිබදව වරදක් අපේ රටේ නීතියට අවශ්‍යද කියන එක ගැටලුකාරී දෙයක්.

කෙසේ වෙතත්, ශතක දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිහින් තිබුනත්, තවමත් 356A වගන්තිය යටතේ අස්වාභාවික ලිංගික චර්යාවන් වල නිරත වුනු බවට චෝදනා ලබා කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් හෝ වරදකරු කිරීමක් සිදුව නැහැ. මෙවැනි නීතියක් අපේ රට තුළ තිබෙන බව පවා බොහෝ දෙනා නොදන්නා කාරණාවක්. ඇතැම් විට නීති අංශයේ ඇතැම් නිළධාරීන් පවා මේ ගැන නොදන්නවා වන්නට පුළුවන්. මේ වගන්තිය මේ වනවිට භාවිතයෙන් තොර obsolete law එකක් බවට පත් වෙලා හමාරයි.

විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් විතරක් නෙවෙයි, ආකල්පමය වශයෙනුත් හිතාගන්න බැරි තරමේ අති විශාල පෙරලි සිදුවෙමින් තියෙන මේ 21වන සියවසේදි නම් මේ වගේ නීති පැවතීම පවා අනවශ්‍ය බවයි බොහෝ දෙනාගේ මතය වෙන්නේ.

ලෝකෙ ගතානුගතික අදහස් දරන රටවල් වගේම දේශපාලනඥයන් පවා මේ වන විට සමලිංගික සමාජභාවය පිළිගන්න පෙළඹිලයි තියෙන්නෙ. අපේ රටටත් අවශ්‍ය වන්නේ ඒවගේ ආකල්පමය පෙරලියක් මිස යල්පැනගිය නීතීන් නොවන බව අප තේරුම් ගත යුතු කාළය එළඹිලා තිබෙන බව නම් පුන පුනා මතක් කළ යුතුයි.

කවරයේ ඡායාරූපය – huffingtonpost.com

Related Articles