සංචාරක ආකර්ෂණය දිනා ගත් උණුසුම් වායු බැලූන

ඈත අතීතයේ සිටම මානවයා විවිධ යාන්ත්‍රික මෙවලම් උපයෝගී කරගනිමින් ගුවන තරණය කිරීමට උත්සාහ දරනවා. ඒ සඳහා මිනිසා සරුංගල්, බැලූන හා ග්ලයිඩර් වැනි මෙවලම් නිර්මාණය කරමින් ගුවනින් පියාසර කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරනවා. මිනිසා ගුවනේ සැරිසැරීමට ගත් සාර්ථක උත්සාහයක්‌ පිළිබිඹු කරන උණුසුම් වායු බැලූන භාවිතය, ගුවන් යාන තාක්ෂණය ඉතා හොඳින් දියුණුව ඇති වත්මන් යුගයේදී පවා මිනිසා විසින් අතහැර නොමැති බව අපට පෙනී යනවා. පරිසර සිරි නැරඹීම, වන සතුන් නිරීක්‍ෂණය, පාරිසරික පර්යේෂණ, සංචාරක කටයුතු සඳහා මෙන්ම සංග්‍රාමික ගවේෂණ සඳහාද එදා මෙන් අදත් උණුසුම් වායු බැලූන යොදා ගනු ලබන අවස්ථා බොහෝමයි.

බැලූන ඉතිහාසය

මුල්ම මානව ප්‍රවාහන බැලූනය සිතුවමකින් (Columbus Aeronauts)

මුලාශ්‍ර වලට අනුව ක්‍රි:පූ 220-280 කාලයේදී චීන ජාතිකයන් විසින් තමයි මුලින්ම මිනිසුන් රහිත බැලූන නිපදවන්නේ. මේවා යුද්ධ කටයුතු සඳහා දල්වන ලද ලන්තෑරුම් ලෙස භාවිත කර ඇති අතර චීන ජාතිකයන් මෙම බැලූන හඳුන්වා ඇත්තේ කොන්ග්වින්ග් ලන්තෑරුම් (kongming lanterns) යනුවෙන්.

ලොව ප්‍රථම ප්‍රදර්ශානාත්මක බැලූන පියාසැරිය 1709 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වෙන්නේ යුරෝපයේ ලිස්බන් නගරයේයි. පස් වන ජෝන් රජු ඉදිරියේදී  මීටර් 4.5ක් උසට බැලූනය ගුවන් ගත කරන්නේ බර්ටෝලමියු ඩි ගස්‌මෝ (Bartolomeu de Gusmao.) නම් නව සොයාගැනීම් වලට උනන්දු වූ පුද්ගලයෙක් විසින්.

මුල්ම ජයග්‍රාහි ගුවන් මානව ප්‍රවාහනය සිදු වූ අවස්ථාව වශයෙන් ඉතිහාසයේ ලියැවී තිබෙන්නේද උණුසුම් වායු බැලූනයක් උපයෝගී කරගනිමින් 1783 වසරේ නොවැම්බර් 21 වනදා ප්‍රංශයේ Jean-Francois හා Francois Laurent විසින් බැලූනයක් ගුවන් ගත කළ අවස්ථාවයි. මේ ආකාරයට ආරම්භ වූ උණුසුම් වායු බැලූන කර්මාන්තය අද වන විට සුවිශේෂී මාවතකට ගමන් කරමින් ඉතා දියුණු තත්වයකට පත් වී තිබෙනවා.

බැලූනය තුළම තාප උත්පාදන කොටසද අඩංගු කරමින් වර්තමානයේ භාවිතා කරන උණුසුම් වායු බැලූන මාදිලිය 1950 දශකයේදී එඩ් යෝස්ට් (Ed Yost) විසින් නිර්මාණය කළ අතර එහි ප්‍රථම ගුවන් ගත වීම සිදු වන්නේ 1960 වසරේ ඔක්තෝම්බර් 22 වනදායි. ඔහු එදින උණුසුම් වායු බැලූනයකින් කළ සාර්ථක ගුවන් ගමනකින් පසු නූතන උණුසුම් වායු බැලුන් ගමන් ආරම්භ වෙනවා. ඉන්පසු 1967 වසරේදී මහා බ්‍රිතාන්‍යය මිනිසුන් සහිත උණුසුම් වායු බැලූන ගුවන්ගත කිරීම ආරම්භ කරනවා.

උණුසුම් වායු බැලූන වාර්තා

ඉන්දියානු ජාතික විජයපත් සිංහානියා (india.com)

එදා මෙදා තුර ඉතා ඉහළ උසකට උණුසුම් වායු බැලූනයකින් ගමන් කර ලෝක වාර්තාවක් පිහිටුවන්නේ ඉන්දියානු ජාතික විජයපත් සිංහානියා (Vijayapath singhaniya) විසිනුයි. ඒ 2005 වසරේ නොවැම්බර් 26 වන දින බැලූනයක නැග මීටර් 21,027ක උසක් ගමන් කිරීමෙන්. මෙදින මොහු ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයෙන් ගුවන්ගත වී කිලෝමීටර් 240ක්‌ හෙවත් සැතපුම් 150ක්‌ දුරින් පිහිටි පංචාලේ ප්‍රදේශයට ගොඩබසිනවා.

තවද බ්‍රිතාන්‍ය ජාතික රිචර්ඩ් බ්‍රන්සන් (Richard Branson) හා ස්‌වීඩින් ජාතික පර් ලින්ස්ට්‍රාඩ් (Per Linstrad) විසින් උණුසුම් වායු බැලූනයක් යොදා ගනිමින් සිදු කරන ලද දීර්ඝතම ගුවන් ගමන ලෙස කිලෝමීටර් 7671ක දුරක් ජපානයේ සිට උතුරු කැනඩාව දක්වා පියාසර කරමින් 1991 වසරේ ජනවාරි 15 වනදා වාර්තාවක් පිහිටවන්නේ ලොව වඩාත් දුරකට උණුසුම් වායු බැලූනයකින් ගමන් කළ පුද්ගලයන් ලෙස ඉතිහාසගත වෙමින්. මේ බැලූනයේ ධාරිතාව ඝන මීටර් 74,000ක්‌ වූ අතර මෙය එවකට ලොව විශාලම බැලූනයද විය.

බැලුනයේ ක්‍රියාකාරිත්වය

ඉහළ නැංවීම සඳහා සුදානම් කිරීම (Wikimedia Commons)

උණුසුම් වායු බලුනයේ ක්‍රියකාරිත්වය සඳහා උපකාරී වන ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එනම් Envelope ලෙස හදුන්වන සැහැල්ලු බරින් යුත් නයිලෝන් වැනි කෘත්‍රීම රෙදිවලින් ඉතා ශක්තිමත්ව නිෂ්පාදිත ගෝලාකාර කොටස හා Basket ලෙස හඳුන්වන ශක්තිමත්ව වේවැල් භාවිතා කර නිර්මාණය කර තිබෙන කොටස ලෙසයි.

Envelope මඟින් දාහකය (Burner) උපයෝගී කරගනිමින් උණුසුම් කරන ලද වාතය ඉහළ රෙදි වලින් තනා ඇති කොටස බැලූනයක් ආකාරයට සකස් කර රඳවා ගැනීම සිදු කරනු ලබනවා.

නියමු හා මගී කුටිය Basket කොටසේ ස්ථාපිත කර ඇති අතර වාතය උණුසුම් කිරීමට අවශ්‍ය දාහකය, ඉන්ධන, මගී ආරක්‍ෂිත උපාංග හා අනෙකුත් අත්‍යවශ්‍ය මෙවලම් රඳවා තිබෙන්නේද basket කොටසේයි.  මෙම කොටස් දෙක එකිනෙකට සම්බන්ධ කර තිබෙන්නේ ශක්තිමත් ලණු යොදාගනිමින්.

තුර්කියට ඉහළින් සංචාරක බැලූන් (International traveler Magazine)

දාහකය උපයෝගී කරගනිමින් උණුසුම් කරන ලද වාතය, සාමාන්‍ය පරිසරයේ වාතයේ ඝනත්වයට වඩා අඩු බැවින් බැලූනය වාතය තුළ ඉපිලීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා. නිතර නිතර Envelope කොටසේ ඇති වාතය දාහකය උපයෝගී කරගනිමින් උණුසුම් කිරීම මගින් වැඩි කාලයක් බැලූනය අහසේ රදවා ගැනීමට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් බැලූන් පියාසැරියක් සිදු කරන්නේ උදය කාලය තුළයි. දහවල් කාලය එළඹෙන විට අධික හිරු රැස් හේතුවෙන් අවට වාතය උණුසුම් වීම නිසා පරිසරයේ වාත ඝනත්වය අඩු වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකියි.

උණුසුම් වායු බැලූන මුදුනේ වා සිදුරක්‌ තිබෙන නිර්මාණය කර ඇති අතර මෙය පැරෂුට්‌ සිදුර (Paracashut vent) යනුවෙන් හැඳින්වෙනවා. දාහක (Burner) වලින් බැලූනය තුළට මුදාහරින උණුසුම් වායුව ආධාරයෙන් බැලූනය ඉහළ නැංවීමටත් ක්‍රමයෙන් පහළ බැස්‌වීමටත් මෙම සිදුර, නියමුවා විසින් උපයෝගී කරගන්නවා.

ඇමරිකාවේ බැලූන් සංදර්ශනයක් (USA Cars Rental)

ඉහළ ගිය බැලූනය ක්‍රමයෙන් පහළ බැසීමේ දී බැලූනය තුළ ඇති උණුසුම් වාතය සිසිල් කළ යුතු වෙනවා. එවිට මෙම සිදුර ක්‍රමයෙන් විවර කිරීම නියමුවා විසින් සිදු කරනු ලබන අතර එසේ කරනු ලබන්නේ මේ සිදුර වසා ඇති පියන කොටස සම්බන්ධ වූ රැහැන් ක්‍රමානුකූලව චලනය කිරීම මගින්. ගොඩබැසීමෙන් පසු බැලූනය හැකිළවීමට අවශ්‍ය වෙන බැවින් ඒ තුළ ඇති වාතය ඉවත් කළ යුතු  වෙනවා. එහිදී  වාතය ඉවත් කිරීම සඳහා සිදුර සම්පූර්ණයෙන්ම විවර කෙරෙනවා. තවද බැලූනය ඉහල නැංවීමේදී හා පහත් කිරීමේදී වායුගෝලයේ ආර්ද්‍රතාව, උෂ්ණත්වය මෙන්ම සුළඟේ දිශාව හා වේගය යන කරුණු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ උණුසුම් වායු බැලූන

ශ්‍රී ලංකාවේ උණුසුම් වායු බැලූන කර්මාන්තය (Lakpura)

ශ්‍රී ලංකාවේ උණුසුම් වායු බැලූනයක් මුලින්ම ගුවන්ගත වන්නේ 2003 වසරේදීයි. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ සිට තිරප්පනේ දක්වායි. වර්තමානය වන විට සංචාරක කර්මාන්තය හා බැඳුනු ආකර්ශනීය ගුවන් ගමන් ක්‍රමයක් ලෙස උණුසුම් වායු බැලූන ශ්‍රී ලංකාව තුල ඉතා සාර්ථක ලෙස ව්‍යාප්තව තිබෙනවා. මෙහෙයුම් ආයතන තුනක් හා එක්ව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධීක්ෂණය මත දැඩි සංචාරක ආකර්ෂණයක් පවතින දඹුල්ල, සීගිරිය හා දකුණු පළාතේ දර්ශනීය ස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් උණුසුම් වායු බැලූන කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ උණුසුම් වායු බැලූන නියමුවන් පුහුණු කිරීමේ විෂය මාලාවක් සකස් කර ශ්‍රී ලංකාව තුලම නියමුවන් පුහුණු කිරීමේ සුදානමක් පවතින අතර ඒ සියල්ල ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තරමක් ජනප්‍රිය ලෝකයේ  රටවල් රැසක උන්මාදයක් ලෙස පැතිරී ඇති උණුසුම් වායු බැලූන කර්මාන්තය, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මෙන්ම කාලගුණික තොරතුරු ලබා ගැනීමට, යුද්ධ කටයුතු වලට මෙන්ම අභියෝගාත්මක ක්‍රීඩා සඳහාද වර්තමානයේ ලොවපුරා භාවිතා කරනු ලබනවා.

කවරයේ ජායාරූපය – HDWallSource.com

Related Articles