Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශාල මරණ ගණනකට වග කියන Hot Car Death

මේ පවසන්නට යන්නේ අතීතයේ ඉතා විරලව අසන්නට ලැබුණත් පසුගිය වකවානුවේ නිතර අසන්නට ලැබුණු ඛේදවාදකයක් ගැනයි. මොකක්ද මේ Hot Car Death  කියල කියන්නෙ? වාහනයක් ඇතුලත වාකවුළු කිසිවක් විවෘත නොකර දමා යාම නිසා හිරු එළිය උරා ගෙන වාහනය ඇතුලත තාපය ඉහළ යාමෙන් මේ මරණ සිදුවෙනවා.

ඇමරිකාවේ ජෝජියා ප්‍රාන්තයේ වාසය කළ වයස අවුරුදු 34ක් වුණු ජස්ටින් රෝස් හැරිස් සිය කුඩා පුතු වූ අවුරුද්දයි මාස 10 ක් වුණු කූපර් හැරිස් සිය වාහනයේ පසුපස ආසනයේ තබා, බඳ පටියද පළඳවා 2014 ජුනි මස 18 වන දින නිවසින් පිටත් වුණේ කුඩා පුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාර දී රාජකාරි සදහා යාමටයි. උදෑසන ආහාරය අවන්හලකින් ගත් රෝස් හැරිස් රාජකාරි ස්ථානයට ළඟා වන්නේ උදෑසන 9.25 ටයි.

රාජකාරි අවසන් වී හවස 4.16 ට නැවත වාහනයට නැග ගමන් ආරම්භ කර සුළු වෙලාවකින් රෝස් හැරිස් පිටුපස ආසනය දෙස බලන විට සිය කුඩා පුතුගේ නිසල දේහය දක්නට ලැබුණා. ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා එල්ල වුණා. රෝස් හැරිස් දිගින් දිගටම කියා සිටියේ ඔහුට අමතක වීමකින් දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාර දීමට නොහැකි වූ බවයි.

රෝස් හැරිස් නඩු විභාගයේදී. (afp)

කොහොම වුණත් 2016 නොවැම්බර් මස 14 වන දින ඔහු වරදකරු බවට පත් කර ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබුවා. ඔහුට එල්ල වුණු චෝදනාව වුණේ බිරිඳගෙන් වෙන් වී කාන්තාවන් රැසක් සමග සම්බන්ධතා පවත්වමින් සිටි ඔහුට දරුවාගෙන් නිදහස් වීමට අවශ්‍ය නිසා උවමනාවෙන්ම කුඩා කූපර් මිය යන්නට හැරිය බවයි. කෙසේ වුවත් වසරකට සාමාන්‍යයෙන් ළමුන් 37 ක් පමණ මෙලෙස දෙමාපියන්ගේ අපරික්ෂාකාරිත්වය නිසා මිය යන බව දැන් සොයා ගෙන තිබෙනවා. 1994 වර්ෂයේ සිට මේ වන විට දරුවන් 800කට අධික ප්‍රමාණයක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

සිදුවන්නේ කුමක්ද?

nhs.gov

සමකාසන්න රටවල වගේ නෙවෙයි ශීත දේශගුණයක් පවතින රටවල වාහනයක ගමන් කරන විට වා කවුළු සම්පූර්ණයෙන්ම වසාගෙන වාහනයේ ඇති තාපකය එහෙමත් නැත්නම් (Heater) ක්‍රියාත්මක කරගෙන තමයි ගමන් කරන්නේ. ග්‍රීෂ්ම කාලයට නම් වාහනයේ වායු ශීතකය (Air Cooler) ක්‍රියාත්මක කරනවා. මේ ආකාරයට ගමන් කරල වාහනයක යම් ස්ථානයක නතර කළාට පසුව තාපකය හෝ වායු ශීතකය ක්‍රියා විරහිත කරලා රියදුරාට වාහනයෙන් ඉවතට යන්න පුළුවන්.

ග්‍රීෂ්ම කාලයටත් රියදුරන් පුරුදු පරිදිම වා කවුළු හොඳින් වසා තබා වාහනයෙන් ඉවතට යන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. නමුත් එන්න එන්නම ගෝලීය උණුසුම වැඩි වෙන නිසා පෙර ග්‍රීෂ්ම ඍතුවලට වඩා දැන් ග්‍රීෂ්ම ඍතුව ගොඩක් උණුසුම්. ඒ නිසා වාහනය තුල කවුරුන් හෝ දමා යන්නේ නම් වඩාත් සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම වාහනය තුල තාපය එක්රැස් වෙන්න පටන් ගන්නවා වාහනය ගමන් නොකර එකම ස්ථානයේ තිබෙන නිසා එම තාපය වාහනය තුල යම් පුද්ගලයෙක් සිටී නම් ඒ පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වයට වඩා වැඩි වෙද්දී අභ්‍යන්තර අවයව වලට බලපෑමක් ඇති වෙනවා.මේ තත්ත්වය හයිපතේමියා(Hypothermia) කියල හදුන්වනවා. ඒ නිසා තමයි මරණය සිදු වෙන්නේ. වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ කුඩා දරුවන් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමයි. ඊට හේතුව කුඩා දරුවකුව මේ විදියට දමා ගියහොත් ආසන පටි ඉවත් කර උදව් ඉල්ලීම, වා කවුළුවක් බිඳ දැමීම හෝ ජංගම දුරකථනයකින් අනතුරු ඇගවීම වැනි කිසිම දෙයක් කර ගත නොහැකි වීමයි. විනාඩි 10ක් වගේ කෙටි කාලයක් තුල සිරුරට දරා ගත නොහැකි තාපයක් වාහනය තුල නිර්මාණය වෙනවා.

දෙමාපිය නොසැලකිල්ල

Reuters

2017 ජුනි මස 15 වන දින ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වාසය කළ 25 හැවිරිදි ඩැනියෙල් ෆවුලර් සිය හිසකෙස් සැකසීමේ කාර්යය සඳහා වෙලාව වෙන් කරගෙන තිබුනා. ඇය ඒ සඳහා ගියේ ඇගේ අවුරුද්දක් වයසැති දියණියත් සමගයි. උදෑසන 10ට සැලුන් කාමරයට ඇතුළු වුණු ඇය සිය කාර්යය කරගෙන ආපසු පැමිණියේ සවස 4 ටයි. වාහනය තුළ ක්‍රමයෙන් වැඩි වුණු උෂ්ණත්වය එතුල දමා ගොස් සිටි අවුරුද්දක් වයසැති පුංචි ස්කයිලර්ගේ සිරුරට දරා ගත නොහැකි වුණා. සවස 4 ට නැවත වාහනයට පිවිසෙන ඇගේ මවට දකින්නට ලැබුනේ ඇගේ දියණියගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරයි. මේ වගේ ඛේදවාචක බොහොමයකට හේතු වන්නේ දෙමාපියන්ගේ නොසැලකිල්ලයි.

නොසැලකිල්ල නිසා මරණයක් සිදු වුණොත් නීතිය එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

මොන තරම් වැඩ රාජකාරි බහුල වුනත් තමන්ගේ දරුවා අමතක වීමෙන් වාහනය තුල දමා යනවා කියන්නේ විශ්වාස කරන්න අපහසු දෙයක්. ඇත්තටම මෙහි දී වෙලා තියෙන්නෙ නොදැනුවත්කම. තමන් වාහනයේ යතුර ක්‍රියා විරහිත කළාට පස්සෙ ඇතුලෙ උෂ්ණත්වය මොන ආකාරයෙන් වෙනස් වෙනවද කියල දෙමාපියන්ට දැනුමක් නැහැ. මේ නිසා මේ වන විට ඇමරිකාවේ බොහොමයක් ප්‍රාන්තවල බලධාරින් උණුසුම් වාහන තුළ සිදු වන මරණ වළක්වා ගැනීම සදහා ජනතාව දැනුවත්කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කෙසේ වුවත් මේ ආකාරයේ මරණයක් සිදු වූ විට සලකා බලන්නේ දරුවාගේ මවගේ හෝ පියාගේ චේතනාවයි. සමහර අවස්ථාවලදී සිතාමතාම දරුවා මරා දැමීමේ අදහසින් එසේ කළ බවට සාක්ෂිවලින් ඔප්පු වුවහොත් ඔවුන් මිනීමැරුමට වරදකරු වෙනවා.

වාහනයක් තුල දරුවකු තනිව සිටිනවා යම් අයකු දුටුවහොත් ගතයුතු ඉක්මන් පියවර පිළිබඳවත් සාමාන්‍ය පොදු ජනතාව දැනුවත් කිරීමට මේ වන විට ඇමරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

වළක්වා ගත හැකි උපකරණයක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ 11 වියැති බිෂොප් කුරී නම් කුඩා පිරිමි දරුවා වාහනයක් තුළ තාපය වැඩි වීම වැළැක්විය හැකි උපකරණයක් නිපදවා තිබෙනවා. අසල්වාසී පවුලක මාස 6ක් වයසැති දරුවකු වාහනයක් තුල දමා යාමෙන් මිය යාම පිළිබද ඇසීමෙන් පසු ඔහු ඒ ගැන සෙවීමට පටන් ගෙන තිබෙනවා. මෙම උපකරණයට වාහනය තුළ දරුවකු සිටී ද යන්නත් වාහනය උණුසුම් වන්නේද යන්නත් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

බිෂොප් කුරී (dailymail.co.uk)

එවන් අනතුරුදායක අවස්ථා හඳුනා ගත් පසු අභ්‍යන්තරයේ ඇති වාතය සිසිල් කිරීම ආරම්භ වෙනවා. ෆෑන් යන්ත්‍රය ක්‍රියාත්මක වනවාත් සමගම දෙමාපියන් වෙත පණිවිඩයක්ද යැවෙන අතර යම් නිශ්චිත කාලයක් තුල ප්‍රතිචාරයක් නොමැති නම් පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පණිවිඩයක් යැවීමටත් මේ යන්ත්‍රයට හැකියාව තිවබනවා. මේ සඳහා ඔහුට පේටන්ට් බලපත්‍රය පවා ලැබී තිබෙන අතර ළමුන් සඳහා ළදරු ආසන නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක්ම ඔහුගේ නිෂ්පාදනය මිලදී ගැනීමට මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රටේ මේ වගේ අනතුරු මේ වන තුරු සිදු වී නැතත් එය කවදාවත් නොවෙන දෙයක් කියන්න බැහැ. මේ නිසා මෙවැනි දේවල් සිදු වෙන්න පුළුවන් කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.

කවරයේ රූපය : Flickr

Related Articles