Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

13 වැනිදා සිකුරාදාවක් වීම අැත්තටම අසුභ ද?

ගෙවී ගිය ඔක්තෝබර් 13 වැනි දිනය සමාජ ජාලා වෙබ් අඩවිවල පමණක් නෙමෙයි ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පවා කතාබහට ලක් වූ දිනයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එයට හේතුව එය සිකුරාදාවක් වීම යි. 2017 වසරේ දෙවැනි වතාවටත් සිකුරාදාවක 13 වැනිදා යෙදී තිබීම ඔක්තෝබර් මාසයේදී සිදු වුණා. සිකුරාදාවකට 13 වැනිදා යෙදීම මේ වසරේ අලුත් අවුරුදු උදාව සමග ජනවාරි මාසයේ දීම මුල් වරට සිදු වූවා.

© Time

යුරෝපීය ජනශ්‍රැතීන් හි දැක්වෙන ආකාරයට සිකුරාදාට 13 වැනිදා යෙදීම සැලකෙන්නේ අශුභ දිනයක් ලෙස යි. මේ නිසා ම ඇතැම් පුද්ගලයින් සිකුරාදාට යෙදෙන 13 වැනිදාට අධික බියක් දක්වන බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා. මේ ලිපියේ අරමුණ එවැනි මතයක් යුරෝපයෙන් ඇරඹී ලෝකය පුරා පැතිරී යාමට හේතු සොයා බැලීම යි.

සිකුරාදාට යෙදෙන 13 වැනි දා අශුභ වුණේ කවදා සිට ද?

යුරෝපීයයන් සිකුරාදාට යෙදෙන 13 වැනිදා අශුභ දිනයක් ලෙස සැලකීම ආරම්භ කළේ කුමන කාල වකවානුවේ දැයි තීරණය කිරීමට අපහසු බව යි ඉතිහාසඥයින් පවසන්නේ. සංස්කෘතික විශ්වාසයක් ලෙස ජනතාව අතර එය ස්ථාපිත වුණේ 1980 වසරේ දී ෂෝන් එස්. කනිංහැම් විසින් අධ්‍යක්ෂණය කළ ‘Friday the 13th’ නම් චිත්‍රපටය තිර ගත වීමත් සමග යි. නමුත් ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට වර්ෂ 1800 පමණ කාලයේ සිට 13 වැනි සිකුරාදා අශුභ දිනයක් ලෙස සලකා තිබෙනවා.

Friday the 13th චිත්‍රපටයේ පෝස්ටරයක් (© IMDb)

ඉලක්කමක් ලෙස 13 අවාසනාවත්ත ලෙස සැලකීම ආරම්භ වී ඇත්තේ නෝර්වීජියානු මිථ්‍යා කතාවන් හි ප්‍රතිඵලයක් ලෙස යි. එහි සඳහන් වන ආකාරයට දෙවිවරුන් දොළොස් දෙනෙකු සඳහා පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට අනාරාධිත අමුත්තෙකු පැමිණ තිබෙනවා. ඒ ප්‍රයෝගකාරී දෙවි කෙනෙකු ලෙස සැලකුණු ලෝකි යි. ඔහු එදින විනෝදයට සහ සතුටට අධිපති වූ බෝල්ඩර් ව මරණයට පත් කළ බව කියැවෙනවා. එසේ ම ක්‍රිස්තියානු සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට අවසන් භෝජන සංග්‍රහයට සහභාගී වූ 13 වැනි අමුත්තා වන්නේ ජේසුතුමන් ව පවා දුන් ජුදාස්.

ලියනාඩෝ ඩා වින්චි සිතුවම් කළ ‘අවසන් භෝජන සංග්‍රහය’ (© Wikimedia Commons)

බටහිර සාම්ප්‍රදායන් තුළ සිකුරාදා දිනය අශුභ ලෙස සලකන්නේ ජේසුතුමන් ව කුරුසයට තබා ඇණ ගසා මරණයට පත් කරන ලද්දේ සිකුරාදාවක දී වීම හේතුවෙන්. එසේ ම ඇතැම් ක්‍රිස්තියානි ජනශ්‍රැතීන් හි සඳහන් වන අන්දම ආදම් සහ ඒවා, ඒඩන් උද්‍යානයේ දී තහනම් ගසේ ඵලය අනුභව කර ඇත්තේ ද සිකුරාදා දිනක යි. මේ නිසා 13 වැනි සිකුරාදා අශුභ දිනයක් ලෙස සැලකීම ආරම්භ වන්නට ඇති බව විශ්වාස කරනවා.

13 වැනි සිකුරාදා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් 13 ක්

ලෝක ඉතිහාසය පීරා බැලීමේ දී 13 වැනිදා සිකුරාදාවට යෙදී තිබුණු අවස්ථාවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම් බොහෝමයක් හඳුනාගත හැකි යි. එවැනි සිදුවීම් හේතුවෙන් 13 වැනිදා සිකුරාදාවක් වීමෙන් එය අශුභ දිනයක් බවට පත් වෙනවා කියන මතය මිනිසුන්ගේ සිතට කා වැදී ඇති බවට සැකයක් නැහැ. මේ එවැනි සිදුවීමක් කිහිපයක්.

(1) කුරුස යුද්ධයේ සිරකුරුවෝ

දහස් ගණනක් වූ කුරුස යුද විරුවන් මිසදිටු වීම, දෙවියන්ට අපහාස කිරීම සහ සමලිංගික සේවනයේ යෙදුණු බවට චෝදනා කර සිරගත කර ඇත්තේ 1307 ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දින යි. මෙසේ සිරගත කරන ලද බොහෝ දෙනෙක් පසු ව ප්‍රංශයේ සිව් වැනි ෆිලිප් රජුගේ නිලධාරීන් විසින් වද හිංසා පමුණුවා මරණයට පත් කරන ලද බව කියැවෙනවා.

(2) සෑම් පැච්ගේ මරණීය පිම්ම

© Wikimedia Commons

1829 ඔක්තෝබර් 17 වැනි දින මෝලක සේවය කරන තරුණයෙකු වූ සෑම් පිච්, ලොව පුරා ජනප්‍රිය වුණේ නයගරා දිය ඇල්ල අසල කඳු ගැටයකින් අලංකාර පිම්මක් සහිත ව නිරුපද්‍රිත ව පහළට පැනීම හේතුවෙන්. එයින් ලද ජනප්‍රියතාව මත නොවැම්බර් 13 වැනි සිකුරාදා දින ඔහු නිව්යෝක් හි ජෙනසි ඇල්ල අසලට පැමිණියේ 10,000 දෙනා ඉදිරියේ තවත් පිම්මක් ඉදිරිපත් කිරීමට යි. නමුත් කලින් වර මෙන් සාර්ථක නොවූ ඔහුගේ පිම්ම, 30 හැවිරිදි සෑම් පැච්ට මරණය ගෙන ආ අතර ඔහුගේ ගල් ගැසුණු මළ සිරුර සොයාගෙන තිබුණේ මාස කිහිපයක් ම ගත වීමෙන් අනතුරුව යි.

(3) කළු සිකුරාදා ලැව්ගින්න

1939 ජනවාරි 13 වැනි සිකුරාදා දින ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ඔස්සේ ලැව්ගින්නක් පැතිර ගියේ එක් දිනක් තුළ දී පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්. සිදු වූ විනාශය හේතුවෙන් එදින ‘කළු සිකුරාදා’ ලෙස හැඳින්වෙනවා. ලැව්ගින්න මැඩ පවත්වන විට පුද්ගලයින් 71 දෙනෙකු මිය ගොස් තිබුණු අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් 75% ප්‍රමාණයක් විනාශ වී තිබුණා.

(4) බකිංහැම් මාලිගයට බෝම්බ ප්‍රහාරයක්

© BBC News

දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී නාසිවාදීන් විසින් එක්සත් රාජධානිය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන ලද අතර බකිංහැම් මාලිගය එවැනි බෝම්බ ප්‍රහාර 16 කට මුහුණ දී ඇති බව කියැවෙනවා. මේ අතරින් බකිංහැම් මාලිගාවට වඩාත් ම අලාභහානි සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ 1940 සැප්තැම්බර් 13 වැනි සිකුරාදා දින යි.

(5) කැන්සාස් හි ගංවතුර

1951 ජූලි 13 වැනි සිකුරාදා දින ඇමෙරිකාවේ ඊසාන දිග කැන්සාස් ප්‍රාන්තයට අවාසනාවන්ත දිනයක් වුණේ දිගින් දිගට ම පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් කැන්සාස් ගංගාවේ ජල මට්ටම මීටර් 12.4 ක් දක්වා ඉහළ ගොස් නගර ගණනාවක් ම යට කරගෙන ගංවතුර ගැලීම හේතුවෙන්. මීටර් 2.4 ක් දක්වා ගංවතුර මට්ටම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත්තේ දේපළ සහ ජීවි හානි බොහෝමයකට වග කියමින්.

(6) උණුසුම් වූ ශීතල යුද්ධය

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධයක් පැවති බව රහසක් නෙමෙයි. නමුත් 1952 ජූනි 13 වැනි සිකුරාදා දින සෝවියට් රුසියාව, එතෙක් කලක් රටවල් අතර පැවති සීතල යුද්ධය උණුසුම් කරමින් ස්වීඩන් හමුදා ගුවන් යානයකට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

(7) නිව් යෝක් හි සාහසික මිනීමැරුම

නිව් යෝක් හි ආපනශාලා කළමනාකාරිණියක් වූ කිටී ජිනෝවීස් නාඳුනන්නෙකු විසින් දූෂණය කර, කෘර ලෙස පිහියෙන් ඇන මරණයට පත් කර තිබුණේ 1964 මාර්තු 13 වැනි සිකුරාදා දින යි. සමස්ත අපරාධය සඳහා පැය භාගයක පමණ කාලයක් ගත වී තිබුණ ද එය ඇසින් දුටු සාක්ෂිකරුවන් 38 දෙනාගෙන් එක් අයෙකු හෝ පොලිසියට දුරකථන ඇමතුමක් දීමට සමත් වී නොමැති බව වාර්තා වෙනවා. පසුකාලීන ව එම සාක්ෂිකරුවන් 38 දෙනාගේ හැසිරීම මනෝ විද්‍යාත්මක ව විග්‍රහ කර ‘කිටී ජිනෝවීස් සින්ඩ්‍රෝමය’ හඳුන්වා දෙන අතර එහි දී සිදු වන්නේ තමන් ඉදිරියේ කිසියම් අපරාධයක් සිදු වන විට වෙනත් අයෙක් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි යන විශ්වාසයෙන් කිසිවෙකු කිසිවක් නොකර සිටීම යි.

(8) භෝලා සුළි කුණාටුව

© The Weather Channel

1970 නොවැම්බර් 13 වැනි සිකුරාදා දින පුද්ගලයින් 300,000 කට අධික ප්‍රමාණයකට මරණය ගෙන දෙමින් බංගලාදේශය (එවකට නැගෙනහිර පකිස්ථානය) හරහා හමා ගිය භෝලා සුළි කුණාටුව අදටත් සැලකෙන්නේ ලෝකය මුහුණ දුන් දරුණුත ම සුළි කුණාටුවක් ලෙස යි. පැයට කිලෝ මීටර් 185 ක වේගයෙන් හමා ගොස් ඇති එය බෙංගාල බොක්කේ ජල මට්ටම තාවකාලික ව මීටර් 5 කින් පමණ ඉහළ දමා තිබෙන බව පැවසෙනවා.

(9) නොනැසී ජීවත් වීමේ කතාවක්

රග්බි තරඟාවලියක් සඳහා චිලී දේශය බලා පියාසර කරමින් තිබුණු උරුගුවේ පැරණි ක්‍රිස්තියානි සමාජ රග්බි කණ්ඩායම් රැගත් ගුවන් යානය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ඇන්ඩියන් කඳු මුදුනට කඩා වැටී ඇත්තේ 1972 ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දින යි. ගුවන් යානයේ ගමන් ගත් මගීන් 45 දෙනා අතරින් 27 ක් දිවි ගලවා ගෙන ඇති අතර හිමෙන් පිරි කඳු මුදුනක ආහාර සහ උණුසුම් ඇඳුම් නොමැති ව දිවි ගැට ගසා ගැනීමට ඔවුන් සිදු වී තිබෙනවා. දින 72 ක පසු ව ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් කණ්ඩායමේ ඉතිරි වී සිටි 16 දෙනෙක් බේරාගෙන ඇති අතර ඔවුන් එතෙක් කල් ආහාරයට ගෙන ඇත්තේ තම සගයන්ගේ මළ සිරුරු බව පැවසෙනවා.

ඇන්ඩීස් කඳු පන්තිය (© Maps of the World)

(10) තවත් ගුවන් අනතුරක්

උරුගුවේ පැරණි ක්‍රිස්තියානි සමාජ රග්බි කණ්ඩායම රැගත් ගුවන් යානය කඩා වැටුණු දින ම මොස්කව් හි ෂෙරීමීත්රොව් ගුවන් තොටුපොළෙන් මගීන් 164 ක් සහ කැබින් සේවකයින් 10 දෙනෙක් රැගෙන පැරීසිය බලා පිටත් වූ පිටත් වූ ගුවන් යානයක් ගොඩ බෑමේ දී පැයට කිලෝ මීටර් 620 ක වේගයෙන් පොළවට පතිත වී ඇත්තේ ගුවන් යානයේ ගමන් ගත් 174 දෙනාට ම මරු කැඳවමින්.

(11) කළු සිකුරාදා කඩා වැටුණු කොටස් වෙළඳපොළ

1989 ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දින වෙළඳ ඉතිහාසයේ විශාලතම කඩා වැටීමක් ලකුණු කරමින් කොටස් වෙළඳපොළ කඩා වැටුණු අතර එය දෙවැනි වන්නේ 1987 ඔක්තෝබර් 19 වැනි දින සිදු වූ කඩා වැටීමට පමණක් බවත් එම කඩා වැටීම් ද්විත්වය බොහෝ අංශයන්ගෙන් එකිනෙකට සමාන බවත් පැවසෙනවා.

(12) නොපිට පෙරළුණු මගී නෞකාව

ටස්කන් වෙරළ තීරයෙන් මගීන් පිරිවරාගෙන පිටත් වූ සුවිසල් නෞකාවක් කොරල් පරයක ගැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් ම නොපිට පෙරළී ඇත්තේ 2012 ජනවාරි 13 වැනි සිකුරාදා දින යි. ජීවිතාරක්ෂක බෝට්ටු මත රැඳී සිටි මගීන් වැඩි පිරිසක් හෙලිකොප්ටර් ආධාරයෙන් බේරා ගැනීමට හැකි වුණ ද පුද්ගලයින් 32 ක් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ප්‍රමාණවත් තරම් ජීවිතාරක්ෂක බෝට්ටු නොමැති වීම හේතුවෙන්.

© Business Insider

(13) එක් දිනකදී මිලියන 900 ක පාඩුවක්

13 වැනි දිනට යෙදෙන සෑම සිකුරාදාවක දී ම අවාසනාවන්ත සිදුවීමක මුහුණු දීමට ඇති සම්භාවිතාව අඩු කර ගැනීම සඳහා බොහෝ පිරිසක් රැකියාවට නොගොස් නිවසේ නතර වීම හේතුවෙන් එවැනි දිනක දී ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක පාඩුවක් සිදු වන බව මූල්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

ඉතින් ඔබට හිතෙන්නේ 13 වැනිදා සිකුරාදා දිනයේ යෙදීමෙන් විශේෂ අශුභ බවක් තිබෙනවා කියලද? ඔබේ අදහස් කමෙන්ටුවකින් අපිත් එක්ක කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය : (© Metro)

Related Articles