Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදිසි අවස්ථා තත්ත්වය ගැන ඔබ කෙතරම් දැනුම්වත් ද?

දිවයින පුරා හදිසි නීතිය තත්ත්වයක් බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරු ව අප්‍රේල් 02 දා සවස 6 සිට සඳුදා (අප්‍රේල් 04) උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් කිවේදනය කළේ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාර ව මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා සිට රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක බවයි.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වීමත් සමඟ මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ක්‍රියාත්මක වීම සිදුවුව ද පොදු මහජනයා තුළ හදිසි නීතිය පිළිබඳ දැනුම්වත්භාවයේ වන හිදැස් පිරවීම පිණීස මෙම ලිපිය ඉදිරිපත් කෙරෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ මෙම සටහන හදිසි අවස්ථා රෙගුලාසීන්හි අන්තර්ගත වන ප්‍රධාන ප්‍රතිපාදන පිළිබඳව වූ මූලික තොරතුරු අවබෝධ කර ගැනීමට ජනතාවට උපකාරීවනු ඇත.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ – unsplash.com – Luis Sánchez

 

හදිසි අවස්ථා තත්ත්වය

1. ”හදිසි අවස්ථා තත්ත්වය” යනු කුමක් ද?

හදිසි අවස්ථාව යන්න මහජන ආරක්‍ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සාමාන්‍ය තත්ත්වයන්හිදී ලබා නොදෙන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙස ය. මෙවැනි තත්ත්වයකදී ජාතික ආරක්‍ෂාව, මහජන සාමය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.

2. හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කොතැනින් ද? එම තත්ත්වය ප්‍රකාශයට පත් කළ හැක්කේ කවුරුන්ට ද?

නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතී (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව). එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතු වේ. හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයක දී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්‍ෂක පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රීය කළ හැකි වන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.

සෑම දින 30 කට ම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි – ISHARA S. KODIKARA -AFP via Getty Images

 

3. හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකි ද?

මාසයක් ගතවීමට පෙර පැන වූ හදිසි අවස්ථා තත්ත්වය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකිවන නමුත් හදිසි අවස්ථා තත්ත්වයක් සම්බන්ධයෙන් මාසයක කාලයක් වලංගු වන නිවේදනයන් නිකුත් කිරීමට ඔහුට හැකි ය. දින 14 ක් ඇතුළ එම නිවේදනය පාර්ලිමේන්තුව මඟින් අනුමත කළ යුතු වේ. එසේ සිදු නොවුණහොත් අදාළ නිවේදනය අවලංගු වේ. සෑම දින 30 කට ම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකි ය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි. 2019 අප්‍රේල් 24 වන දා ඡන්දයකින් තොර ව මසක කාලයක් සඳහා පාර්ලිමේන්තුව හදිසි අවස්ථා තත්ත්වයක් අනුමත කර තිබිණි. ඒ 2019 අප්‍රේල් මස 21 වන දින පාස්කුවේ සිදු වූ ත‍්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු අප්‍රේල් 23 වන දින රටේ පෙළ ගැසෙමින් පැවති තත්ත්වය පිළිබඳ කටයුතු කරනු පිණිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය යි.

4. පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසිවලින් ඇතිවන බලපෑම කුමක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කළ ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීවලින් පැන නඟින අයිතීන් ගණනාවකට හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැන වේ. එම සීමා, හදිසි අවස්ථා රෙගුලාසිවලින් වැළැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික වියයුතු බවට වන කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියාකිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳහිත මත පවතින්නකි.

ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීවලින් පැන නඟින අයිතීන් ගණනාවකට හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැන වේ –  ISHARA S. KODIKARA -AFP via Getty Images

 

සීමා කළ හැකි මූලික අයිතිවාසිකම් වනුයේ :

x නිර්දෝෂී බවට වන පූර්ව නිගමනය
x ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය
x නීතිය ඉදිරියෙහි සමානත්වය සහ වෙනස්කම් නොකිරීම
x අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
x අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ, රැකියාවේ ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්

හදිසි අවස්ථා රෙගුලාසි මගින් සීමා කළ නොහැක්කේ :

x සිතීමේ සහ හෘදය සාක්‍ෂියේ නිදහස
x වද හිංසා පැමිණිවීමේ නිදහස
x නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පැමිණවිය හැකි නඩු විභාගයකට පෙර රඳවා තබාගැනීම් හැරුණුවිට) හදිසි අවස්ථා බලතලවලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී. මෙම ත්‍රස්ත විරෝධි බලතල විස්තෘත වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවක් ද එම බලතල භාවිතයේ දී නොපවතී.

2019 අප්‍රේල් 21 ප්‍රහාරයන් ගෙන් පසු ගැසට් කළ හදිසි අවස්ථා රෙගුලාසි කුමන ඒවා ද? – LAKRUWAN WANNIARACHCHI – AFP via Getty Images 

 

ii කොටස – හදිසි අවස්ථා රෙගුලාසි

5. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයන් ගෙන් පසු ගැසට් කළ හදිසි අවස්ථා රෙගුලාසි කුමන ඒවා ද?

 ගැසට් අංක 2120/3 -මහජන ආරක්‍ෂක පනතේ දෙවෙනි වගන්තිය කැඳවමින් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය

 ගැසට් අංක 2120/4 – විශේෂ කොට දක්වන ලද පළාත්වල මහජන සාමය පවත්වා ගැනීම සඳහා සන්නද්ධ හමුදාවන් කැඳවීම (මහජන ආරක්‍ෂක පනතේ 12 වන වගන්තිය යටතේ)

  ගැසට් අංක 2120/5 – මහජන ආරක්‍ෂක පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා සකස් කළ රෙගුලාසි

6. හදිසි අවස්ථා රෙගුලාසි සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවූවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසි බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාර ගණනාවක් පවතී.

පුරවැසියන් බලතල දරන අධිකාරීන් සමඟ සහයෝගීව කටයුතු කළ යුතු ආකාරය මීට ඇතුළත්වේ.

 යම් පුද්ගලයෙකු වාසය කරන ගොඩනැගිල්ලක් හෝ පරිශ්‍රයක් මෙම රෙගුලාසි යටතට වැටෙන යම් වරදක් කිරීමට හෝ කිරීමට සම්බන්ධ යම් කටයුත්තකට භාවිත කරනු ලැබ තිබේ යැයි චෝදනා එල්ල වී ඇති විටෙක දී එම ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාට ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කළ හැකි ය. මෙය සිදුවෙයි නම් එම ගොඩනැඟිල්ල නිදහස් කර ගැනීම සඳහා ඔබට මහාධිකරණය වෙතින් නියෝගයක් ඉල්ලා සිටීමේ හිමිකම පවතී.
කුමන තත්ත්වයක් යටතේ දී හෝ මාස 06 යක් ඇතුළත එම පරිශ්‍රය අයිතිකරු වෙත නැවත ලබාදිය යුතු වේ (රෙගුලාසි 8).

හදිසි අවස්ථා රෙගුලාසි සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද? – ISHARA S. KODIKARA -AFP via Getty Images

 

ජාතික ආරක්‍ෂාවේ යහපත පිණිස, මහජන සාමය ආරක්‍ෂා කිරීම පිණිස හෝ ප්‍රජාවේ ජන ජීවිතය සඳහා වන අත්‍යාවශ්‍ය සේවා සහ සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීම පිණිස අවශ්‍ය හෝ යෝග්‍යයයි නිසි බලධරයකු (මේ අවස්ථාවේදී සන්නද්ධ හමුදාවක හමුදාපතිවරයකු, පොලිස්පතිවරයා හෝ දිස්ත‍්‍රික් ලේකම්වරයකු යන්න අදහස් වේ) එවැනි බලධරයකුට ශ්‍රී ලංකාවේ ඕනෑම වාහනයක් එවැනි සේවා සඳහා ලබාදෙන ලෙස නියෝග කළ හැකි ය. (රෙගුලාසි 9).

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හෝ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම පිණිස හෝ යම් පුද්ගලයකුට යම් කාර්යයක් ඉටුකරන ලෙස හෝ යම් පුද්ගලික සේවාවක් ලබාදෙන ලෙස හෝ ඉල්ලීම් කිරීමට ජනාධිපතිවරයාට හෝ ඔහු බලය පැවරූ බලධරයකුට හැකි ය. එසේ කිරීමට අසමත්වීම වරදක් වනු ඇත (රෙගුලාසි 10).

යම්කිසි සීමා කළ ප්‍රදේශයන්ට, ස්ථානයන්ට හෝ පරිශ්‍රයන්ට ඇතුළු වීමට බලයක් නොමැති පුද්ගලයන් ඇතුළු වීම වැලැක්වීම වැනි විශේෂ ආරක්‍ෂක පියවර ගැනීම අවශ්‍ය යයි යන්න නිසි බලධරයකුගේ අදහස වන විට දී එවැනි පුද්ගලයන් එසේ ඇතුළු වීම වැළැක්වීමට ක්‍රියා කළ හැකි ය. එවැනි යම් පුද්ගලයන් එවැනි ස්ථානයන්ට ඇතුළු වී නම් ඔවුන් ඉවත් කිරීමට බලයලත් පුද්ගලයකුට හැකිය (රෙගුලාසි 12).

හදිසි අවස්ථා රෙගුලාසි සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද? – ISHARA S. KODIKARA -AFP via Getty Images

 

ප්‍රසිද්ධ පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට ජනාධිපතිවරයාට හැකි ය. නමුත් එම නියෝගයෙන්ම හෝ පසුව නිකුත් කරන නියෝගයක් මඟින් ඊට ව්‍යතිරේක එකතු කිරීමට ද ඔහුට හැකියාව ඇත. මහජන සාමය අවුල් කිරීමට හෝ අසහනකාරි තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ ඇතැයි තමාට හැඟී යන විටක දී යම් පෙළපාලි හෝ රැස්වීම් තහනම් කිරිමට නියෝග කිරීමට ද ජනාධිපතිවරයාට හැකිය (රෙගුලාසි 13).

යම් ප්‍රසිද්ධ මාර්ගයක, දුම්රිය මාර්ගයක, විනෝද උයනක හෝ යම් වෙනත් පිට්ටනියක හෝ නිශ්චිත කොට දක්වන වෙනත් ගොඩනැගිල්ලක හෝ පරිශ්‍රයක මිනිසුන් ගැවසිය යුතු නැතැයි නියෝග කරමින් ඇඳිරි නීති නියෝග නිකුත් කිරීමට ද ජනාධිපතිවරයාට හැකි ය. එවැනි නියෝගයකට ව්‍යතිරේක, පසුකාලීන නියෝගයක් මගින් හෝ මුල් නියෝගයේ ම, එවැන්නකට අවසර දිය හැකියැයි නිශ්චිත කොට දක්වන පුද්ගලයන් මඟින් ඇති කිරීමට ජනාධිපතිවරයාට හැකිය (රෙගුලාසි 14).

මුළු රටේ ම හෝ රටේ යම් ප්‍රදේශවල යම් කරුණු පළකිරීම හෝ ශ්‍රී ලංකාවේ සිට යම් බාහිර රටවලට සම්ප්‍රේෂණය කිරීම සීමා කිරීමට නිසි බලධරයකුට බලය පැවරිය හැකි ය. ඇතැම් විට එවැනි නියෝගයක ලියවිලි, චිත්‍ර, ඡායාරූප සහ සේයාපට ලබා ගැනීමට හෝ ආරක්‍ෂක හමුදාවල ක්‍රියාන්විත පිළිබඳ කරුණු සම්ප්‍රේෂණය කිරීමට සම්බන්ධ පුවත් වාර්තා, කතුවැකි, ලිපි, කතෘට ලියුම්, කාටුන්, විවේචන පළකිරීමට පෙර එම නිසි බලධාරියා වෙත ඉදිරිපත් කිරීමට හෝ ඔහුට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය යයි නියම කරන එම නිසි බලධරයා අවශ්‍යයයි හෝ යෝග්‍යයයි සලකන අතුරු ප්‍රතිපාදන ද අන්තර්ගත විය හැකිය (රෙගුලාසි 15 (1)}.

සහකාර පොලිස් අධිකාරිවරයකුට පහු නොවන නිලයක් දරන පොලිස් නිලධරයකු යම් නිවසක පදිංචි නිවැසියන්ගේ (පවුලේ සාමාජිකයන්, සේවකයන් සහ අනෙකුත් නිවැසියන්ගේන් වෙන්කොට දක්වමින්) ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස ගෘහ මූලිකයකු හට නියම කළ හැකි ය. එවැනි ලැයිස්තුවකට එකතු වන හෝ ඉන් ඉවත් වන පුද්ගලයන් පිළිබඳ වාර්තා කරන ලෙස හෝ තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දීමකින් තොරව ආගන්තුකයන් තම නිවසේ පදිංචිකර නොගන්නා ලෙස ද ගෘහ මූලිකයකුට නියෝග කිරීමට ද හැකිය (රෙගුලාසි 23).

ප්‍රකාශන පිළිබඳ වන පාලන රෙගුලාසි 15 මඟින් මාධ්‍ය වෙත බලපෑමක් ඇතිවිය හැකි ය.  EDUARDO SOTERAS – AFP via Getty Images

 

7. මාධ්‍ය වෙත මෙම රෙගුලාසි මගින් ඇතිකෙරෙන බලපෑම කුමක් ද?

පුරවැසියන් ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳ ව වන සීමා කිරීම් වලට අමතරව රෙගුලාසි 15 (ප්‍රකාශන පිළිබඳ වන පාලනය) මඟින් මාධ්‍ය වෙත බලපෑමක් ඇතිවිය හැකි ය.

ඉහත සඳහන් කළ 15(1) රෙගුලාසිය යම් පුවත්පතක් උල්ලංඝණය කළහොත් නිසි බලධාරියා එක් වරක් හෝ ඊට වැඩි වර ගණනක් අවවාද කිරීමෙන් අනතුරු ව නියමයක් මඟින් ඒ නියමයෙහි නිශ්චිත ව සඳහන් කාලය තුළ ඒ පුවත්පත මුද්‍රණය කිරීම, පළ කිරීම හෝ බෙදාහැරීම කිසිම තැනැත්තකු නොකළ යුතු බව හෝ මුද්‍රණයට කිරීමට හෝ බෙදාහැරීමට නිසිම අයුරකින් සම්බන්ධ නොවිය යුතු බවට සහ ඒ පුවත්පත් මුද්‍රණාලය නියමයෙහි නිශ්චිතව සඳහන් කාලය තුළ කවර හෝ කාර්යයන් සඳහා හෝ නියමයෙහි නිශ්චිතව සඳහන් යම් කාර්යයක් සඳහා හෝ පාවිච්චි නොකළ යුතු බවට ද විධාන කළ හැකි ය (රෙගුලාසි 15(3)}

රාජ්‍ය ආරක්‍ෂාවට හෝ මහජන සාමය රැකීමට හෝ ජනතාවගේ ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාමට හෝ හානිකර යැයි තම මතය පරිදි අදහස් කරන කරුණු හෝ හමුදා කැරලි ගැසීමට හෝ කැරලි කෝළහාල ඇති කිරීමට තැනැත්තන් පොලඔවන හෝ දිරිගන්වන කරුණු ඇතුළත් යම් ලේඛනයක් සකස් කිරීම සඳහා යම් මුද්‍රණාලයක් හෝ යම් තැනැත්තකුගේ පාලනය යටතේ වූ මුද්‍රණාලයක්, පාවිච්චි කළ බව හෝ පාවිච්චි කළ හැකි බව නිසි බලධරයකුගේ මතය වුවහොත් අවස්ථානෝචිත පරිදි ඒ මුද්‍රණාලය ඒ තැනැත්තාගේ පාලනය යටතේ පවත්නා මුද්‍රණාල සියල්ල හෝ ඉන් යම් මුද්‍රණාලයක් නියමය බලපවත්නා තෙක් කවර හෝ කාර්යයක් සඳහා හෝ නියමෙහි නිශ්චිත ව සඳහන් කරන කාර්යයක් සඳහා පාවිච්චි නොකළ යුතු යයි බලධරයාට නියමයකින් විධානය කළ හැකිය (රෙගුලාසි 15(7)}

ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටු ඒකක හෝ වැඩි ගණනක් තිබිය යුතු වන අතර යම් නියෝගයක් පිළිබඳ අතෘප්තිමත් වන පුද්ගලයන්ට ඒවාට තම විරෝධතාව යොමු කළ (රෙගුලාසි 15 (8) හැකි විය යුතුය.බලපෑමට පත් පුවත්පත් අයිතිකරුවකු හෝ මුද්‍රණාල හිමියකුට සෘජු ලෙසට තම කරුණු ඉදිරිපත් කිරිම් ජනාධිපතිවරයාට යොමුකිරීමට හැකිවන බවට නිසි බලධරයා සහතික කළ යුතු ය (රෙගුලාසි 18 (9).

8. මෙම රෙගුලාසි යටතේ තීරණ ගැනීමේ බලතල පවතින්නේ කුමන අධිකාරීන් වෙත ද? 

නිසි බලධරයා                                                                                                        
නිසි බලධරයා යනු කවරෙක් දැයි විවිධ විධිවිධානවලට අනුව වෙනස් වෙයි. රෙගුලාසි 2(1) අනුව නිසි බලධරයා යනු යම් හදිසි අවස්ථා නියෝගයක් සම්බන්ධයෙන් යෙදී ඇති විට ඒ නියෝගයේ අන්‍යාකාරයෙන් විධිවිධාන සලස්වා ඇත්තේ නම් මිස, ඒ නියෝගයේ කාර්යය සඳහා නිසි බලධරයකු වශයෙන් ජනාධිපතිවරයා විසින් නමින් හෝ නිලයෙන් පත් කළ යම් තැනැත්තකු අදහස් වේ. රෙගුලාසි 9(5) අනුව නම් නිසි බලධරයා යනු යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති හෝ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම දිස්ත්‍රික් ලේකම්වරයා වේ. නිසි බලධරයා පත් කරන අවස්ථාවකදී රෙගුලාසි 5(1) අනුව එම තැනැත්තා මුළු ශ්‍රී ලංකාවට ම හෝ ඒ තැනැත්තා පත් කළ ලියවිල්ලේ සඳහන් නිශ්චිත ප්‍රදේශයක් හෝ ස්ථානයක් සඳහා පත් කළ හැකි ය. ඒ පත්කිරීම ඒ ලියවිල්ලේ සඳහන් නිශ්චිත කාර්යය සඳහා සීමා කළ හැකි ය.

උපදේශක කමිටු

උපදේශක කමිටුවල බලතල සහ ක්‍රියාකාරීත්වය විවිධ රෙගුලාසි අනුව වෙනස් වේ. රෙගුලාසි 15(2)(ඉ), 15(3) සහ 15(7) යටතේ නිකුත් කරන ලද නියෝගයක් පිළිබඳ අතෘප්තියට පත් යම් පුද්ගලයකුට ජනාධිපතිවරයා පත් කළ උපදේශක කමිටු එකකට හෝ වැඩි ගණනකට තම විරෝධතා ඉදිරිපත් කිරීමට රෙගුලාසි 15(8) මගින් ඉඩකඩ සැලසේ. ”උපදේශක කමිටු” මැයින් වූ රෙගුලාසි 16 මඟින් රාජ්‍ය සේවකයන්, වෘත්තීය සමිතිවල නිලතල දරන්නන් සහ යම් ප්‍රජාවක පිළිගැනීමක් සහිත වෙනත් පුද්ගලයන්ගෙන් සමන්විත වු කමිටුවක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා ම පත්කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයකුට ඉඩකඩ සැලසේ.

එම කොට්ඨාසයතුළ මහජන සාමය සුරක්‍ෂිත කිරීමත් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමත් පිළිබඳ අදාළ අධීකාරීන්ට උපදෙස් දීම එබඳු සියලූ කමිටුවල කාර්යය වන බව කියැවේ. ඊට සමාන ලෙස ජනාධිපතිවරයා පත්කළ පුද්ගලයන්ගෙන් සමන්විත වන උපදේශක කමිටුවක් ද රෙගුලාසි 19(4) යටතේ පත් කරනු ඇත. රෙගුලාසි 19(1) යටතේ නිකුත් කරන රැඳවුම් නියෝගයකින් අගතියට පත් ඕනෑම පුද්ගලයකුට එබඳු කමිටුවකට තම විරෝධතා ඉදිරිපත් කළ හැකි ය.

හදිසි අවස්ථා රෙගුලාසි v වන කොටස මඟින් පුළුල් අලුත් වැරදි සහ දඬුවම් ගණනාවක් හඳුන්වා දී තිබේ- GettyImages.com

 

9. මෙම රෙගුලාසි මඟින් ගෙනැවිත් ඇති අලුත් වැරදි මොනවාද?

හදිසි අවස්ථා රෙගුලාසි v වන කොටස මඟින් පුළුල් අලුත් වැරදි සහ දඬුවම් ගණනාවක් හඳුන්වා දී තිබේ. හදිසි අවස්ථා රෙගුලාසි 25 සහ 45 යටතේ වන වැරදි සඳහා මරණ දඬුවම හඳුන්වා දී තිබීම ද කනස්සල්ල දනවනසුලු තත්ත්වයකි. ජනතාවගේ අයිතිවාසිකම් මත අතිශය පුළුල් බලපෑමක් ඇති කළ හැකි පුළුල් වැරදි සමහරක් පහත දැක්වේ.

රෙගුලාසි 25

දේපළ විනාශ කිරීමේ හෝ ඒවාට හානි පැමිණවීමේ වරද.
ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍යයකින්/ මිසයිලයකින් ආයුධයකින් හෝ උපකරණයකින් යම් පුද්ගලයකුහට මරණය හෝ තුවාල සිදුකිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම.
අනාරක්‍ෂිතව හෝ හිස්ව පවතින යම් පරිශ්‍රයක ඇති යම් දෙයක් සොරකම් කිරීම.
දණ්ඩනීති සංග්‍රහයේ 427-446 වගන්ති යටතේ වනයම් වරදක් සිදු කිරීම.
දණ්ඩනීති සංග්‍රහයේ 138 වගන්තිය ප්‍රකාර නිතීවිරෝධී රැස්වීමක සාමාජිකයකු වීම.
යම් ද්‍රව්‍ය හෝ භාණ්ඩ සම්බන්ධ ව වරදක් කර ඇති බව දැනුම්වත් ව හෝ විශ්වාස කිරීමට හේතු සහිත ව එවැනි ද්‍රව්‍ය හෝ භාණ්ඩ වංචා සහගත ලෙස ලබා ගැනීම හෝ ළඟ තබා ගැනීම.

ඉහත වැරදි සිදුකිරීම කරණ කොට ගෙන යම් පුද්ගලයකු මහාධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වුවහොත් ඔහු මරණ දඬුවමට යටත්වීමට හෝ ජිවිතාන්තය දක්වා දෙයාකාරයකින් එක් ආකාරයකට සිරදඬුවම් ලැබීමට හැකි ය.

දේපළ විනාශ කිරීමේ හෝ ඒවාට හානි පැමිණවීමේ වරද – Lakruwan Wanniarachchi -AFP via Getty Images

 

රෙගුලාසි 29

යම් පුද්ගලයකුට, කණ්ඩායමකට, පුද්ගලයන් කණ්ඩායමකට හෝ සංවිධානයකට ජාතික ආරක්‍ෂාවට අනර්ථදායී හෝ අගතිදායක යම් තොරතුරක් සැපයීම කිසිවකු නොකළ යුත්තේ ය. මෙම වරදට වරදකරුවන්නා වූ පුද්ගලයකු හට වසර පහක සිට වසර 10ක් දක්වා වූ කාලයක් පුරා සිරදඬුවමකට ලක් කළ හැකිවනු ඇත.

රෙගුලාසි 30

කථා කරන/ලියන/ගයන හෝ දෘශ්‍ය ලෙස ප්‍රදර්ශනය කරන වචන භාවිතයෙන් හෝ හැසිරීමකින් හෝ වෙනත් යම් ආකාරයක ක්‍රි යාවකින් ශ්‍රී ලංකාවේ රජය පෙරළා දැමීමේ හෝ යටපත් කිරීමේ අවශ්‍යතාව/ යෝග්‍යභාවය වෙනුවෙන් පෙනී සිටීම.

රෙගුලාසි 31 

ජාතික ආරක්‍ෂාවට/මහජන සාමයට/අත්‍යාවශ්‍ය වූ සැපයුම් සහ සේවා පවත්වාගෙන යාමට හානිකර වූ අන්තර්ගයක් සහිත පෝස්ටර්/ පත්‍රිකා/ අත් පත්‍රිකා යනාදිය මහජනතාවට පෙනෙන ස්ථානයක සවිකිරීම/ මහජනතාව අතර බෙදාහැරීම.

 රෙගුලාසි 32

යම් පුද්ගලයෙක් කට වචනයෙන් හෝ වෙනත් ඕනෑම අකාරයකින් මහජන අසමගියට හේතු විය හැකි යම් දූෂමාන ආරංචියක් සන්නිවේදනය කිරීම/ ව්‍යාප්ත කිරීම/ පැතිරවීම.

රෙගුලාසි 33

රෙගුලාසිවලින් නිශ්චිත ලෙස දක්වා ඇති ඕනෑම කරුණු අන්තර්ගතයන් යම් ලියවිල්ලක් හෝ තැටි/ පටිගත කිරීමක් සේ මුද්‍රණය කිරීම ප්‍රකාශයට පත්කිරීම හෝ තොරතුරු ලබාදීම/ විවේචන ඉදිරිපත් කිරීම/ යම් විත්‍රානුසාරයෙන් ඉදිරිපත් කිරීමක්/ ඡායාරූපයක්/ සිනමා රූපයක් ලෙස ඉදිරිපත් කිරීම.

රෙගුලාසි 35 

යමකු වැරදි බව දන්නා/ වැරදි බව සිතීමට සාධාරණ හේතු පවත්තා යම් තොරතුරක් ඉදිරිපත් කිරීම හෝ එවැන්නක් ඇතුළත් ප්‍රකාශයක් කිරීම.

රෙගුලාසි 36

රාජ්‍ය සංස්ථාවක් ඇතුළුව ආණ්ඩුවේ යම් කාර්යාලයකට, සංවිධානයකට, ආයතනයකට හෝ සංස්ථාවකට සම්බන්ධ නැතහොත් ඊට අදාළ හෝ පොලීසියේ හෝ සන්නද්ධ සේවාවවන් හි සාමාජිකයන්, සේවයේ යොදවා ඇති ආකාරයට හෝ ඔවුන්ගේ වාසස්ථානයට සම්බන්ධ නැතහොත් අදාළ හෝ පොලීසියට හෝ සන්නද්ධ සේවාවන්ට අයත් ප්‍රවාහන සේවාවල, යුදායුධ හෝ වෙඩි ද්‍රව්‍යවලට සම්බන්ධ නැතහොත් ඒවාට අදාළ යම් සිතියමක්, සැලැස්මක්, දළ සටහනක්, විත්‍රයක් හෝ කටු සටහනක් හෝ වෙනත් තොරතුරු, නීත්‍යනුකූල සමාවට කරුණක් නොමැතිව, ලබාගන්නා හෝ ස්වකීය භාරයේ නැතහොත් පාලනයේ තබාගන්නා හෝ සන්තකයේ තබාගන්නා හෝ පාලනයට ලබා ගැනීමට හෝ සන්තකයේ තබා ගැනීමට තැත් කරන කවරකු වුව ද වරදකට වරදකරු විය යුතු අතර නීත්‍යනුකූල සමාවට කරුණු ඔප්පු කිරීමේ භාරය එකී තැනැත්තා වෙත පැවරෙන්නේ ය.

රජ්‍ය ආරක්‍ෂාව හෝ මහජන සාමය රැකීමට  -www.e-spincorp.com 

 

රෙගුලාසි 37

රජ්‍ය ආරක්‍ෂාව හෝ මහජන සාමය රැකීමට හානිකර විය හැකි හෝ ආණ්ඩුව කෙරෙහි වෛරයෙන් යුත් හෝ අපහාසයෙන් යුත් හැඟීම් ඇවිස්සීමට, ඊට අනුබල දීමට හෝ ධෛර්යය දීමට ඉඩ ඇති හෝ ආණ්ඩුව බිඳ හෙළීම සඳහා යම් පියවරක් ගැනීමට කෙළින් ම හෝ අන්‍යාකාරයකින් යම් තැනැත්තකු පෙලඹවීමට ඉඩ ඇති යම් පොතක්, ලේඛනයක් හෝ යම් ලියවිල්ලත් හෝ කරුණු සැලකිරීමක් අඩංගු යම් ලිපියක්, නීත්‍යනුකූල බලයක් හෝ සමාවට සෑහෙන කරුණු නොමැතිව තම සන්තකයෙහි, භාරයේ හෝ පාලනයෙහි තබා ගන්නා කවරකු වුව ද වරදකට වරදකරු විය යුතු අතර නීත්‍යනුකූල බලය හෝ සමාවට කරුණු ඇති බවට ඔප්පු කිරීමේ භාරය එම තැනැත්තා වෙත පැවරෙන්නේ ය.

රෙගුලාසි 45

නීත්‍යානුකූල බලයකින් තොරව වෙනත් තැනැත්තකුට මරණ තර්ජනයක් හෝ ශාරීරික හිංසනයක් ස්ථාපිත කරන හෝ යම් ප්‍රකාශයක් හෝ රූපමය ඉදිරිපත් කිරීමක් අඩංගු යම් ලියවිල්ලක් ඔහු සන්තකයේ තබා සිටින හෝ මුද්‍රණය කරන හෝ බෙදා හරින, මරණ බවට හෝ ශාරීරික හිංසාවලට භාජනය කරන බවට
ලිඛිත වචනවලින් හෝ වාචිකව සංඥා මඟින් හෝ හැසිරීමෙන් හෝ තර්ජනය කොට ඒ වෙනත් තැනැත්තා දරන යම් ධූරයකින් ඉල්ලා අස් වන ලෙසට හෝ යම් දේශපාලන පක්‍ෂයකට බැඳෙන ලෙස හෝ යම් රජයේ නිලධාරියකු හෝ අත්‍යාවශ්‍ය සේවයක යෙදී සිටින තැනැත්තකුගේ කාර්යය උල්ලංඝණය වන පරිදි යම් ක්‍රියාවක් කරන ලෙස හෝ නොකරන ලෙස එම තැනැත්තා හෝ නිලධාරියා මරණ බවට හෝ ශාරීරික හිංසාවලට භාජනය කරන බවට ලිඛිත වචනවලින් හෝ වාචිකව සංඥා මඟින් හෝ හැසිරීමෙන් හෝ තර්ජනය කොට එම තැනැත්තා හෝ නිලධාරියා පෙලඔවීමට තැත්කරන්නා වූ යම් තැනැත්තෙක් මෙම නියෝග යටතේ වරදක් කරන අතර මහාධිකරණ ඉදිරියේ පවත්නා නඩු විභාගයකින් අනතුරුව වරදකරුවකු කෙරණු පසුව මරණ දණ්ඩනයෙන් දඬුවම් කළ යුතු ය.

හදිසි නියෝග යටතේ පුද්ගලයකු රඳවා තබා ගත හැක්කේ කෙසේ ද? – Chip Somodevilla -Getty Images

 

10. හදිසි නියෝග යටතේ පුද්ගලයකු රඳවා තබා ගත හැක්කේ කෙසේ ද?

 රෙගුලාසි 19(1) 

රාජ්‍ය ආරක්‍ෂාවට හෝ මහජන සාමය පැවැත්වීමට හෝ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට හානි පමුණුවන යම් ආකාරයකින් ක්‍රියා කිරීමෙන් හෝ මෙම නියෝගවල 44 ඡේදයෙහි (අ) අනුඡේදයෙහි හෝ (ආ) අනුඡේදයෙහි හෝ 25 වන නියෝගයේ විධිවිධානවලින් යම් විධිවිධානයකට පටහැනිව ක්‍රියා කිරීමෙන් යම් තැනැත්තකු වැළැක්වීමේ අදහසින් ඒ තැනැත්තා සම්බන්ධයෙන් එලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය යැයි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මතය වන අවස්ථාවක, ඒ තැනැත්තා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නියම කරන නියමයක් ඔහුට කළ හැකි ය. රෙගුලාසි 19(10) ප්‍රකාරව 1 වන ඡේදය යටතේ කරන නියෝගයක් කිසිම හේතුවක් නිසා යම් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු ය.

19 (1) යටතේ රඳවා ගෙන ඇති ඕනෑම පුද්ගලයකුට එසේ රඳවා ගෙන ඇත්තේ පොලිස්පතිවරයා අවසර දෙන ස්ථානයක සහ ඔහු දෙන උපදෙස් ප්‍රකාරව හෝ බන්ධනාගාර ආඥා පනත යටතේ ස්ථාපිත කළ බන්ධනාගාරයකය (රෙගුලාසි 19(3).

11. මෙම රෙගුලාසි යටතේ පුද්ගලයකු රඳවා තබා ගත හැක්කේ කවුරුන්ට ද?

ඕනෑම පොලිස් නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයකු (රෙගුලාසි 19(2).

12. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ කොපමණ කාලයක් පුද්ගලයකු රඳවා තබා ගත හැකි ද?

මෙම රෙගුලාසි යටතේ යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් දින සිට දින 90ක් නොඉක්මවන කාල පරිච්ඡේදයක් රඳවාතබා ගත හැකි ය. එම කාල පරිච්ඡේදය අවසාන වීමට පෙර එම පුද්ගලයා අදාළ බලතල සහිත අධිකරණයක් හමුවට පමුණුවා බන්ධනාගාර ආඥා පනත අනුව ස්ථාපිත කළ බන්ධනාගාරයක රඳවනු නොලැබුවහොත් දින 90 අවසානයේ ඔහු රඳවන ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔහු නිදහස් කළ යුතු වේ. (රෙගුලාසි 21 (2).

යම් පුද්ගලයකු උපරිම වශයෙන් වසරක කාලයක් රඳවා තබාගත හැකි ය (රෙගුලාසි 19(1).

රඳවා තබා ගැනීමේ නියෝගයකට විරෝධය පළ කිරීම – ISHARA S. KODIKARA/AFP via Getty Images

 

13. රඳවා තබා ගැනීමේ නියෝගයකට විරෝධය පළ කිරීමේ ක්‍රියාපටිපාටිය කුමක් ද?

රෙගුලාසි 19(4) යටතේ රඳවාගත් පුද්ගලයකුට, ජනාධිපතිවරයා පත් කළ පුද්ගලයන්ගෙන් සමන්විත වන උපදේශක කමිටු එකක් හෝ වැඩිගණනක් වෙත තම විරෝධය ගොනු කළ හැකි ය. එවැනි විරෝධය පෑම් සම්බන්ධයෙන් වන වාර්තාව ඉන්පසු උපදේශක කමිටුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කරනු ඇති අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එම වාර්තාව සලකා බැලීමෙන් පසු එම නියෝගය අහෝසි කළ හැකි ය. මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණක් වන්නේ මෙම ප්‍රතිපාදන, උපදේශක කමිටුවට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න හෝ ඔවුන් තෝරාගත යුතු ආකාරය පිළිබඳව කිසිදු මඟ පෙන්වීම අත්වැලක් නොසපයන බව යි. එසේ රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පුද්ගලයකුට, ජනාධිපතිවරයාට ලිඛිත වකරුණු ඉදිරිපත් කිරීමේ ”අවස්ථාවක් ප්‍රායෝගික වශයෙන් හැකිතරම් ඉක්මනින් ලබාදීම ”ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කාර්යය වේ (රෙගුලාසි 19(5).

රෙගුලාසි 19(9)

මේ නියෝගයේ 1 වන ඡේදය යටතේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් නියමයක් කරනු ලැබුවේද ඒ තැනැත්තා මේ නියෝගවල 75 වන නියෝගය යටතේ තහනම් කළ සංවිධානයක සාමාජිකයකු බව හෝ සාමාජිකයකු වී සිටි බවට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිත ව සහතික කරන අවස්ථාවක, ඒ තැනැත්තා සම්බන්ධයෙන් මේ නියෝගයේ (4),(5),(6) හා (8) යන ඡේදවල විධිවිධාන අදාළ නොවිය යුතු ය.

14. හදිසි නීති යටතේ දේපළ තහනමට ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට බලය ඇත්තේ කාට ද?

රෙගුලාසි 20 (1) – යම් රජයේ නිලධරයකු හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයකු හෝ මේ නියෝගය යටතේ ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා බලය දුන් අන් කිසි තැනැත්තකු හෝ යම් හදිසි අවස්ථා නියෝගයක් යටතේ වරදක් කරන හෝ කළ නැතහොත් වරදක් හා සම්බන්ධ හෝ වරදක් කරන බවට හෝ කළ බවට සැක කරනු ලැබීමට යුක්ති සහගත හේතු ඇති තැනැත්තකු සෝදිසි කළ හැකි ය.

එසේ සෝදිසි කිරීමේ කාර්යය සඳහා එකී තැනැත්තකු රඳවා තබා ගත හැකි ය. නැතහොත් වරෙන්තුවක් නොමැති ව එකී තැනැත්තකු සිරභාරයට ගත හැකි ය. වරද සිදු කිරීමේදී හා ඒ සම්බන්ධයෙන් පාවිච්චි කළ කුමන අන්දමේ හෝ යම් වාහනයක්, යාත්‍රාවක්, භාණ්ඩයක් ද්‍රව්‍යයක් හෝ දෙයක් සෝදිසි කිරීම, තහනමට ගැනීම, ඉවත් කිරීම හා රඳවා තබා ගැනීම කළ හැකි ය.

අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය – GettyImages.com

 

15. අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය කුමක් ද?

 අත්අඩංගුවට ගැනීම සිදුකරන නිලධාරියා පොලිස් නිලධාරියකු වන විටදී එම අත්අඩංගුවට ගැනීම සිදු වූ කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත ද, නිලධාරියා සන්නද්ධ හමුදාවක සාමාජිකයකු වන විට දී අත්අඩංගුවට ගැනීම සිදුවූ ප්‍රදේශයේ එම හමුදාවේ අණදෙන නිලධාරියා වෙත ද අත්අඩංගුවට ගත් වේලාවේ සිට පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම වාර්තා කළ යුතු ය (රෙගුලාසි 20(9).

 අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ කාලත්‍රයා, පියා, මව හෝ කිට්ටු ඥාතියකු වෙත, ලේකම්වරයා නිශ්චිත කොට දක්වන පෝරමයක් මඟින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ වන ලේඛනයක් නිකුත් කිරීම අත්අඩංගුවට ගැනීම සිදුකරන නිලධාරියා සිදු කළ යුතු ය. කෙසේ නමුත් එසේ කළ නොහැකි විටකදී අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ කාර්යය විය යුත්තේ, ඔහු පොලිස් නිලධාරියකු නම් තොරතුරු පොතෙහි සටහනක් යෙදීම යි. ඔහු හමුදා නිලධාරියකු නම් එසේ ලියවිල්ලක් නිකුත්කළ නොහැක්කේ ඇයි ද යන්න පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරියා වෙත වාර්තා කිරීම කළ යුතු වන අතර එය තොරතුරු පොතෙහි වාර්තා කළ යුතුවේ. (රෙගුලාසි 20(9)

යම් පුද්ගලයකු සාධාරණ හේතුවකින් තොර ව ඉහත (9) පරිදි අත්අඩංගුවට ගැනීමක් පිළි ගනිමින් ලියැවිල්ලක් නිකුත් කිරීමට අසමත් වේ නම් හෝ හිතාමතා ම එසේ ප්‍රතිපාදනවල නියම කර ඇති පරිදි තොරතුරු පොතෙහි සටහනක් යෙදීමට ක්‍රියාකර නොමැත්තේ නම් ඔහු වරදකට වැරදිකරුවකු වනු ඇති අතර මහාධිකරණය ඉදිරියේ නඩුවිභාගයකින් පසු වැරදිකරු කළ විටක අවුරුදු දෙකක් දක්වා වන සිරදඬුවම් කාලයකට සහ දඩයකට යටත් කළ හැකි වනු ඇත. (රෙගුලාසි 20(10).
X 19 වන රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගත් පුද්ගලයකු, ඒ ඒ සිදුවීමෙහි තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන, එවැනි අත්අඩංගුවට ගැනීමෙන් දින 30 කට වැඩි නොවන කාලයක් තුළදී වන පරිදි සාධාරණ කාලයක් තුළ ඕනෑම මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු ය. එවැනි පුද්ගලයකු ඇපමත නිදහස් කිරීම නීතිපතිවරයාගේ ලිඛිත පූර්ව අනුමැතියකින් තොරව මහේස්ත්‍රාත්වරයා සිදු නොකළ යුතු ය.

16. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නීතිපතිවරයාට ලබා දී ඇති බලතල මොනවාද?

මෙම රෙගුලාසි මගින් නීතිපතිවරයාට පුළුල් බලතල පවරා තිබේ. පහත සඳහන් කොට ඇති මෙම ඇතැම් බලතල, විශේෂයෙන්ම මහේස්ත්‍රාත්වරයකුට සැකකරුවකු නිදහස් කළ හැක්කේ නීතිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ය යන්න වැනි තත්ත්ව අධිකරණයේ බලය බරපතල ලෙස ආක්‍රමණය කිරීමක් වේ.
මෙහිදි ”නීතිපතිවරයා” යන්නට සොලිසිටර් ජනරාල්වරයා, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා, රජයේ නීතිඥවරයා හෝ නීතිපතිවරයා විසින් බලය පවරනු ලැබූ ඕනෑම නීතිඥවරයකු ඇතුළත් වේ. (රෙගුලාසි 2(1)

නීතිපතිවරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව සැකකරුවකු ඇප මත නිදහස් කිරීම මහේස්ත‍්‍රාත්වරයකුට කළ නොහැකි ය (රෙගුලාසි 21(1)

රෙගුලාසි 59 හි 9 වන පරිච්ඡේදය යටතේ නීතිපතිවරයා, සාක්‍ෂි වාර්තා සහ අනෙක් ලියවිලි ලැබෙන විට ඔහු,
(අ) ඔහුට අවශ්‍ය වන වැඩිදුර ද්‍රව්‍ය හෝ තොරතුරු සඳහා ඉල්ලීමක් කරනු ඇත.
ආ). යම් වැරදි සිදු කිරීම අනාවරණය කොට ඇති බවට ඔහු සෑහීමට පත් වන්නේ නම්,

i) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ xiv හෝ වන හෝ xv පරිච්ඡේද යටතේ නඩු පැවරීමට විධින කිරීම හෝ
ii) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 393 වගන්තියේ (7) වන උප වගන්තියේ විධිවිධාන යටතේ කටයුතු කරගෙන යාම හෝ නීත්‍යනුකූල වන්නේ ය.

රෙගුලාසි 65

(1) – 25 වන නියෝගයේ (3) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව
(අ) යම්කිසි හදිසි අවස්ථා නියෝගයකට එරෙහි වරදක් සඳහා : හෝ
(ආ) ඒ නියෝගය යටතේ යම් බලයක් හෝ කාර්යයක් කෙළින්ම හෝ අන්‍යාකාරයකන් ක්‍රියාත්මක කිරීමේදී හෝ ඉටු කිරීමේදී හෝ කල්පිත ක්‍රියාත්මක කිරීමේදී හෝ ඉටු කිරීමේ දී, කිරීමෙන් හෝ නොකර හැරීමෙන් උද්ගත වූ තැතහොත් ඇති වූ වරදකින් සංයුක්ත වන ක්‍රියාව හෝ නොකර හැරිම වෙන යම් ලිඛිත නීතියක් යටතේ තැනැත්තන් කරන හෝ කළැයි කියන වරදක් සඳහා : හෝ මහේස්ත්‍රාත් අධිකරණයක කිසිම නඩු පැවරීමක්, නීතිපතිවරයා ලියවිල්ලකින් දෙන අනුමැතිය හෝ ඒ අනුමැතිව මඟින් ඇතිව හෝ මිස නොකළ යුතු ය.

17. සැකකරුවකු කළ ප්‍රකාශ සාක්‍ෂි නීතිය යටතේ වලංගු වන්නේ කෙසේ ද?

 රෙගුලාසි 77

යම් හදිසි අවස්ථා නියෝගයක හෝ ඒ යටතේ කළ යම් නියමයක හෝ විධානයක විධිවිධාන යටතේ සද්භාවයෙන් කළ හෝ කළැයි අදහස් කෙරෙන යම් කාරණයක් හෝ දෙයක් සම්බන්ධයෙන් කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් හෝ වෙනත් නඩු කටයුත්තක් නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය මඟින් හෝ එම අනුමැතිය ඇතිව හෝ මිස, කිසිම අධිකරණයක නොපැවරිය යුතු ය.

රෙගුලාසි 67(1)

හදිසි අවස්ථා නියෝග යටතේ වූ වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුගේ නඩු විභාගයකදී ඒ තැනැත්තා කරන ප්‍රකාශයක් පාපොච්චාරණයක් වුවත්, නැතත්, එය කළ අවස්ථාවේ දී එම තැනැත්තා සිටියේ පොලිස් නිලධාරියකුගේ රැකවරණයේ වුවත්, නැතත්, එම ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී ම කරන ලද්දක් වුවත්, නැතත්, එමප්‍රකාශය සාක්‍ෂි ආඥා පනතේ 24 වන වගන්තිය යටතේ අදාළ නොවන්නේ නම් පමණක් ම ඔහුට විරුද්ධ ව ඔප්පු කළ හැකි ය.

එසේ වුවච, ඒ ප්‍රකාශය, තනතුරින් සහකාර පොලිස් අධිකාරී කෙනකුට වඩා පහළ නිලධාරියකුට කරන ලද්දක් නම්, එවැනි කිසිම ප්‍රකාශයක් එම තැනැත්තාට විරුද්ධ ව ඔප්පු නොකළ යුතු ය.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ සංවිධානයක් තහනම් කළ හැක්කේ කෙසේ ද? – www.newsfirst.lk

 

18. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ සංවිධානයක් තහනම් කළ හැක්කේ කෙසේ ද?

රෙගුලාසි 75(1) මගින් ප්‍රකාශ වන පරිදි පහත අරමුණු උදෙසා සංවිධානය හෝ එහි සාමාජිකයන් ක්‍රියාකාරීවීමේ හෝ ඒ සඳහා ඔවුන් භාවිතවීමේ අනතුරක් ඇතැයි යන්න ජනාධිපතිවරයාගේ මතය වන විට:
අ). ජාතික ආරක්‍ෂාව, මහජන සාමය හෝ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හානිකර වන අරමුණු සඳහා හෝ
ආ). රෙගුලාසි 42 පරිච්ඡේද (2) උප පරිච්ඡේද (b) හෝ රෙගුලාසි 25 උප පරිච්ඡේද (a) සිට (g) දක්වා හි සඳහන් වන ඕනෑම අරමුණක් සඳහා, ජනාධිපතිවරයාට ගැසට් පත්‍රයෙහි පළ කරන නියෝගයක් මඟින් එම සංවිධානය තහනම් කළ සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකි ය.

19. යම් ස්වාධීන අධිකාරියක් මඟින් රෙගුලාසීන් නිරීක්‍ෂණය කිරීමට හෝ අධීක්‍ෂණය කිරීමට හදිසි අවස්ථා රෙගුලාසි මඟින් ඉඩකඩ සලසා තිබේද?

නැත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි යම් ස්වාධීන අධිකාරියක් මඟින් සිදුකරන අධීක්‍ෂණයක් රෙගුලාසියෙහි නොපවතී.

මෙම ලිපියට වුවමනා තොරතුරු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ හදිසි අවස්ථාව තේරුම්ගැනීම යන සටහනින් උපුටා ගැනිණි.

ලංකාවේ හදිසි නීතිය ගැන මේ ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය:  unsplash.com/ Dmitry Vechorko 

මූලාශ්‍ර:

www.cpalanka.org

https://www.bbc.com/sinhala 

Related Articles