Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊජිප්තු මමියක් සකස් කෙරුණු ආකාරය

මමියක් කියන්නෙ මොකද්ද කියලා කවුරුත් දන්නවනෙ? ඊජිප්තු මමියක පින්තූරයක් අපි කවුරුත් දැකලා තියෙනවා. ලොව පුරා ඇතැම් රටවල විවිධ ආකාරයන් වලින් මමී නිර්මාණය කිරීමේ පිළිවෙත් තිබුණත්, අප බොහොමයක් දෙනා දන්නේ ගෝස් පටි වගෙ රෙදි වලින් එතූ මිසර මමී ගැන විතරයි. ඒ නිසා ආදි ඊජිප්තුවේ මමියක් නිර්මාණය කළේ කුමන ආකාරයෙන් ද කියලා ලිපියකින් විස්තර කරන්න අපි කල්පනා කළා.

මමියක් කියන්නෙ මොකද්ද?

ඊජිප්තු මමී ගැන විස්තර කරන්න කලින්, මමියක් කියන්නෙ මොකද්ද කියලා විස්තර කළ යුතුයි. බොහොමයක් දෙනා විශ්වාසයක ඉන්නවා මමියක් කියන්නෙ බෙහෙත් ද්‍රව්‍ය මගින් වියළා රෙදි වලින් එතූ සිරුරක් කියලා. නමුත් මමියක් කියන්නෙ ඒ ආකාරයට සංරක්ෂණය කළ සිරුරක්ම නොවෙයි.

යම් මළ සිරුරක් මමියක් ලෙස හැඳින්වීමට නම් එහි සමත් අභ්‍යන්තර ඓන්ද්‍රීය කොටසුත් රසායනික ද්‍රව්‍ය, අධික ශීතල, සහ අඩු ආර්ද්‍රතාවක් සහිත, සුළං නොවදින පරිසරයක සංරක්ෂණය වී තිබිය යුතුයි. ඊජිප්තු මමී සංරක්ෂණය කෙරෙන්නේ මේ රසායනික ක්‍රමවේදයන්ට අනුකූලවයි.

ඊජිප්තුවේ මමිකරණය ඇරඹුනු ආකාරය

මෙතෙක් හමුව ඇති පැරණිම මමිය, වසර 5400ක් පැරණිය. ස්වභාවික හේතූන් නිසා මමිකරණය වී ඇත.    (LookLex)

ඊජිප්තු වාසීන් මමිකරණය ඇරඹූ බවට සාක්ෂි තිබෙන්නේ ක්‍රි. පූ. 3500 පමණ කාලයේ සිටයි. ඊට පෙර කාලයේ ඊජිප්තුවාසීන් මියගියවුන්ගේ සිරුරු කාන්තාර වැල්ලේ වැළලීමට හුරුව සිට තිබෙනවා. කාන්තාරේ ඇති උණුසුම් බවත් වියළි බවත් නිසා මළසිරුරු වියළී, ආරක්ෂාවීම සිදුව තිබෙනවා. නමුත් කාන්තාරවාසී සතුන් විසින් මෙම මළසිරුරු කා දැමීමට පටන්ගත් නිසා එයට පිළියමක් ලෙස මළසිරුරු පෙට්ටි වල බහාලීම ඇරඹුනා කියලයි ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ.

කෙසේ නමුත් මේ මළසිරුරු පෙට්ටිවල බහාලීම එතරම්ම සාර්ථක වුණේ නැහැ. පෙට්ටිවල බහාලූ මළ සිරුරු කාන්තාර වැල්ල මතදී මෙන් වියළී නොයන නිසා, තෙතමනයත් සමග කුණුවී, විනාශ වී ගියා.

මිසරවාසීන්ගේ ආගමේ සඳහන් ඔසිරිස් දෙවියන්ගේ කතාවට අනුව පරලොවදී මරණයෙන් නැගිටීමට නම් මුළු සිරුරම  ආරක්ෂා වී තිබීම අවශ්‍ය වුණා. එනිසා සිරුරු විනාශ නොවී ‍රැකගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වුණා. එයට පිළියමක් ලෙස මමිකරණය ඇරඹුනු බව විශ්වාස කළ හැකියි.

සංරක්ෂකයෝ

සිරුරු මමීකරණය කිරීමට විශේෂයෙන් පත්කළ “සංරක්ෂකයින්” පිරිසක් එකල ඊජිප්තුවේ සිටියා. ඔවුන් තම සේවාලාභීන්ට තුන් ආකාරයක “පැකේජ” ඉදිරිපත් කළ බව ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් සඳහන් කරනවා. මිළ අධිකම ක්‍රමයෙන් මළ දෙවි ඔසිරිස්ගේ සිරුර තරමටම උසස් ලෙසත්, දෙවන ක්‍රමයෙන් ඊට මඳක් මිළ අඩුවෙන් සහ තත්ත්වයෙන් ද අඩුවෙනුත්, තෙවන ක්‍රමයෙන් දුප්පතුන්ට ගැලපෙන ලෙසද මූලික සංරක්ෂණ ක්‍රම පමණකුත් ඉ‍ටුකෙරුණා.

‍තෝරාගන්නා ක්‍රමය අනුව, සිරුරේ ඉන්ද්‍රියය කොටස් කල්තබාගැනීම, සිරුර තුළට පුරවන ඖෂධ ද්‍රව්‍ය, සහ මමිකරණයෙන් පසු සිරුර හැඩකරන ආකාරය වෙනස් වනවා.

සංරක්ෂකයින් භාවිත කළ බඳුන්

මැටියෙන් තැනූ සංරක්ෂණ බඳුන්.    (blogs.yahoo.co.jp)

පුරාණ ඊජිප්තු විශ්වාසයන්ට අනුව මරණයෙන් පසු ජීවිතයට මුළු සිරුරම වැදගත් වුණත්, සිරුර කල්තබා ගැනීමට නම් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කළ යුතු වුණා. මෙයට පිළියමක් ලෙස එම ඉන්ද්‍රිය කොටස් විශාල බුජම් වල බහා ඥාතීන් වෙත ලබාදෙනු ලැබුවා. හෘදය සිරුර තුළම ඉතිරි කළේ ප්‍රාණයෙන් කොටසක් එහි ‍රැඳී තිබෙන බවට වූ විශ්වාසයෙනුයි.

මේ සඳහා භාවිත කළ බුජම් වර්ග සතරක් තිබුණා. මේවායේ මූඩි ඔසිරිස් දෙවිගේ පුත් හෝරස්ගේ දරුවන්ග් සිවුදෙනාගේ හිස්වල හැඩයන්ට සකස් කිරීම සිරිත වී තිබෙනවා. ඒ අනුව උකුස්සෙකුගේ හිසක් ඇති “කෙබෙශෙනෙෆ්”ගේ බුජමෙහි අන්ත්‍රයන් සහ බහිස්‍රාවී පද්ධති කොටසුත්, සිවල් හිසක් ඇති “ඩුවමුතෙෆ්”ගේ බුජමෙහි ආමාශයත්, මිනිස් හිසක් ඇති “ඉම්සෙත්”ගේ බුජමෙහි අක්මාවත්, සහ අවසන් වශයෙන් බැබුන් හිසක් ඇති “හපි”ගේ බුජමෙහි පෙනහැලිත් බහාලනු ලැබුවා.

සිරුරක් සංරක්ෂණය

සිරුරක් මමිකරණය, එනම් සංරක්ෂණය සඳහා ආදි මිසරවාසීන් භාවිතා කළ මූලික ද්‍රව්‍ය කීපයක් තිබුණා. සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්, සහ සෝඩියම් සල්ෆේට් වලින් සෑදුනු නේට්‍රන් නම් ලවණ මිශ්‍රණය මෙයින් මූලිකම ද්‍රව්‍යය වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

ලෝහයෙන් තැනූ සංරක්ෂණ බඳුන්. මේවා පොහොසතුන් සඳහා භාවිතා කෙරුණා    (History for Kids)

වැඩිම මිලට සපයන උසස්ම සංරක්ෂණයේ දී ප්‍රථමයෙන් සිරුර සෝදා ගල් ලෑල්ලක් මත තබනවා. සංරක්ෂකයින් විසින් කොකු ආධාරයෙන් මළසිරුරේ මොළය, නාසය තුළින් පිටතට ගන්නා අතර, පිටතට නොඑන කොටස් ඖෂධ ආධාරයෙන් සෝදා හරිනවා. ඉන්පසු උරස් සහ උදර කුහරයන් විවෘත කර එහි ඇති සියළුම ඉන්ද්‍රියයන් පිටතට ගෙන, ඒ කුහරය සෝදා හැරෙන්නේ පොල් වයින් සහ සැර සහිත කුළුබඩු වලින්. මින්පසු “මිර්” නම් ශාක රෙසින, කුරුඳු, සහ අනෙකුත් සුගන්ධ ද්‍රව්‍ය වලින් එම කුහරය පුරවා මසා, දින 70ක් එම සිරුර නේට්‍රන් මිශ්‍රණයට බහා තබන අතර, එම කාලය අවසානයේ සිරුර සෝදා, ඇලෙන කපු රෙදි පටි වලින් සිරුර ඔතා, ආරක්ෂක යන්ත්‍රයන් යොදා පවුලේ ඥාතීන් වෙත සිරුර බාර දෙනවා. ඥාතීන් විසින් තනන ලද මිනිස් සිරුරක හැඩැති ලී පෙට්ටියක සිරුර බහා තැන්පත් කිරීම සාමාන්‍ය සිරිත වුණා.

පරලොව සහ මමිකරණයේ දෙවි අනුබිස් මමියක් සකස් කරයි    (ladyegypt.com)

දෙවනියට මිල අඩු ක්‍රමයේදී සිරුර විවෘත කරන්නේ නැහැ. සීඩර් නම් ශාක තෙල් වර්ගය ගුදයෙන් සිරුර තුළට ඇතුල්කර, එය පිටතට ඒම වැළැක්වීමට විවර වලට ඇබයන් යොදනවා. ඉන්පසු දින 70ක නේට්‍රන් ප්‍රතිකාරය මෙයට ද ලබාදෙනවා. දින 70 අවසානයේ මේ සීඩර් තෙල නිසා අභ්‍යන්තර මෘදු සිරුරු කොටස් දියවී ගොස්, ඇබ ඉවත් කිරීමෙන් පසු පිටතට ගලා ඒම නිසා ඉතිරිවන්නේ සම සහ අස්ථි කොටස් පමණයි. මෙසේ සකස්කළ සිරුර ඔහුගේ ඥාතීන් වෙත ලබාදෙනවා.

තෙවනි ක්‍රමයේ දී විරේක ක්‍රම මගින් අභ්‍යන්තර කොටස් පිටතට ගන්නා අතර, දින 70ක නේට්‍රන් (හෝ ඇතැම්විට මිල අඩු සාමාන්‍ය ලුණු) ප්‍රතිකාරයෙන් පසු ඥාතීන් වෙත ලබාදෙනවා.

මිනිස් සිරුරු පමණක් නොව, ඔවුන් ජීවත් වූ කාලයේ ඔවුනට අයත් වූ සුරතල් බල්ලන්, බළලුන්, මසුන්, මුවන්, පක්ෂීන්, සහ හරකුන් පවා මෙලෙස මමිකරණය කිරීමට හුරුව සිටියා.

බළල් මමී     (ladyegypt.com)

අවමංගල්‍ය චාරිත්‍ර

ඥාතීන් විසින් සිරුර ලබාගත් පසු ඔවුන්ගේ වත්කම් අනුව එය මිනිස් සිරුරක හැඩයට සකස් කළ ගල් හෝ ලී පෙට්ටියක බහාලනවා. අවමංගල්‍ය උත්සවය ප්‍රසිද්ධියේ සිදුකරන්නක් වන අතර, එකල මුදල් ගෙවූ පසු හඬා වැලපෙන කාන්තාවන් ද සිටි බව හෙරඩෝටස් සඳහන් කරනවා.

අවමංගල්‍ය උත්සවයෙන් පසු පොහොසතුන් සහ වැදගතුන් මෙම දෙණ සොහොන් ගෙයක තැන්පත් කරන්නේ “ශාබ්ති” නම් බෝනික්කන් වර්ගයකුත් සමඟයි. මියගිය තැනැත්තා මරණින් අවදි වූ පසු මන්ත්‍රයක් ජපකර මේ බෝනික්කන්ට ප්‍රාණය ලබා දෙන අතර, ඉන්පසු සදාකාලිකවම ඔහුගේ සියළු කටයුතු ඔවුන් විසින් සිදුකරනු ලබන බව ඊජිප්තු විශ්වාසය වුණා. එසේම මරණින් පසුවට අවශ්‍ය වන ආහාර පාන, ඇඳුම්, සහ ආයුධ ආදියද මේ සමඟම තැන්පත් කෙරුණා. තවත් අවසන් චාරිත්‍ර කීපයකින් පසු සිරුර සොහොන් ගෙය තුළ තබා, වසා ඥාතීන් නික්මයනවා.

ශාබ්ති බෝනික්කන්     (Flickr)

මේ මමිකරණය අති සාර්ථක සංරක්ෂණ ක්‍රමයක් බව කිව යුතුයි. මෙතෙක් හමුවී ඇති ඇතැම් මමී වසර 3,000කටත් වඩා කාලයක් සුරක්ෂිතව තිබීම එයට සාක්ෂියක් ලෙස සලකන්න පුළුවන්. පසුකලෙක ඊජිප්තුව මුහුණදුන් සතුරු ආක්‍රමණත්, වැසියන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටීමත් සමඟ මෙම සිරිත අභාවයට ගිය බව විශ්වාස කළ හැකියි.

මූලාශ්‍ර: ancient.eu

discoveringegypt.com

කවරයේ පින්තූරය:  පරලොවට අධිපති අනුබිස්  දෙවියන්  විසින් මමිකරණය  සිද්ධ කිරීම නිරුපණය  කිරීමක් (ancientneareast.org)

Related Articles