Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරන්නේ මෙහෙම යි

1901 ඇරඹුණු නොබෙල් ත්‍යාග ප්‍රදානය අද වන විට වාර්ෂිකව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, ආර්ථික විද්‍යාව, සාමය යන ක්ෂේත්‍රවල ජයග්‍රහණ වෙනුවෙන් ඇගයීම් සිදු කරයි. ස්කැන්ඩිනේවියානු පුද්ගලික පදනමක් පවත්වාගෙන යන මෙම ඇගයුම් උලෙළට ජයග්‍රාහකයන් තෝරා ගන්නේ කෙසේ ද? එයට අපටත් ඉල්ලුම් කළ හැකි ද? 

ඊට ප්‍රථම එහි නිර්මාතෘවරයා දෙසට මඳක් හැරෙමු.

 ඇල්ෆ්‍රඩ් නොබෙල් – medium.com

 

නොබෙල් නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල්

පේටන්ට් බලපත්‍ර 300කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන ඇල්ෆ්‍රඩ් නොබෙල් ස්වීඩන ජාතික රසායන විද්‍යාඥයෙකි. ඔහු සහ ඉංජිනේරුවකු වූ ඔහුගේ පියා නයිට්‍රොග්ලිසරීන් භාවිතයෙන් පිපිරීම් සිදු කිරීම සඳහා වසර ගණනාවක් අත්හදා බැලීම්වල නිරත ව සිටියේ ය. 1860 කාලයේ කළ විවිධ අත්හදා බැලීම් අසාර්ථක වූ අතර එසේ කළ එක් පිපිරීමක දී ඔහුගේ සහෝදරයා පවා මිය ගියේ ය. නමුත් අවසානයේ කළු පැහැති වෙඩි බෙහෙත්වලින් දැල්විය හැකි, ඩෙටනේටරයක් සහිත නයිට්‍රොග්ලිසරින් අඩංගු සංයෝගයක් සැකසීමට ඔහු සමත් විය. නොබෙල් එම නිෂ්පාදනයට ‘ඩයිනමයිට්’ යන නම ලබා දුන් අතර, එය පතල් කර්මාන්තය තුළ විකිණීමට අදහස් කළේ ය.

එම සොයා ගැනීම යුද බිමට පිවිසීමට වැඩි කල් ගත වූයේ නැත. නොබෙල් වඩාත් බලගතු හා මරණීය ආයුධ නිෂ්පාදනයට දායක වූ අතර, ඩයිනමයිට් සහ ආයුධ වෙළෙඳාමෙන් ඔහු ඉහළ පෙළේ ධනවතෙක් බවට පත් විය. ඊට පරස්පර ව ඔහු සාමවාදියෙක් (pacifist) ද විය. ඔහු අපේක්ෂා කර ඇත්තේ ඔහුගේ නිෂ්පාදන නිසා හමුදාව ලබන විනාශය දැක, ලෝක රජයයන් තම හමුදා විසුරුවා හැරීමට තීරණය කරනු ඇතැයි කියායි. 

1891 දී ඔහු කළ එම ප්‍රකාශයට සාක්ෂි සපයන්නේ ඔස්ට්‍රියානු ආදිපාදවරියක් වන බර්තා ය. ඔවුන් දෙදෙනාගේ හමුවක දී මෙම අදහස් ප්‍රකාශ වී තිබේ. 63 හැවිරිදි නොබෙල් 1896 දී මෙලොවින් සමුගෙන වසර 18කින්, එනම් 1914 දී ප්‍රථම ලෝක යුද්ධය ඇවිළී ගියේ ලොව පුරා මිලියන ගණනක ජනතාවකට දිවි අහිමි කරමිනි.

නොබෙල්ගේ අවසන් කැමති පත්‍රය – nobelprize.org

 

මානව සංහතියට ඉහළ සේවයක් කළ අයට ත්‍යාගයක්

තම මරණයට වසරකට පෙර, තම තෙවන අවසාන කැමැත්ත ප්‍රකාශ කරමින් ඔහු නව පදනමක් සඳහා ඩොලර් මිලියන 200ක අරමුදල් වෙන් කළේ ය. මෙම පදනමෙහි අරමුණ වූයේ ගෙවුණු වසරක් තුළ මානව සංහතික වෙත ඉහළ සේවයක් කළ අයට ඇගයීමක් ලබා දීම යි.

මේ සඳහා ඔහු ක්ෂේත්‍ර පහක් සහ ඒ එකිනෙකට සුදුසුස්සන් තෝරා දිය යුතු ආයතන ද නම් කර තිබේ. මෙම ත්‍යාග සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී ජාතිකත්වය බාධාවක් කර නො ගන්නා ලෙස ඔහු විශේෂයෙන් දක්වා ඇති අතර, තෝරාගැනීමේ නිර්ණායක පසුව 1900 දී පිහිටවූ නොබෙල් පදනම තීරණය කළේ ය.

මෙම ක්ෂේත්‍ර යටතේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යනාදිය ඇතුළත් වේ. ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට, හමුදාව විසුරුවා හැරීමට හෝ අඩු කිරීම සහ සාම සම්මේලන පිහිටුවීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා උපරිමයෙන් කැපවූ පුද්ගලයාට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට ඔහු දක්වා තිබේ. පසුකාලීන ව සයවැනි ක්ෂේත්‍රයක් එනම් ආර්ථික විද්‍යාව ද එයට ඇතුළත් වූ අතර, ඊට පෙරමුණ ගෙන තිබුණේ ස්වීඩන මහ බැංකුව යි.

නොබෙල් ත්‍යාගයට නාම යෝජනා ලැබෙන ආකාරය

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන නොබෙල් කාණ්ඩ හතර සඳහා නාමයෝජනා ලැබෙන්නේ ආරාධනයෙන් පමණි. මේ එක් එක් විෂයය සඳහා කමිටු පවතින අතර, ඒවා ක්ෂේත්‍රයේ සියලු ම ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ හිටපු නොබෙල් ලාභීන් වෙත නාමයෝජනා යවයි.

අනතුරුව, සෑම නොබෙල් කමිටුවක් ම විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් අවසන් ලැයිස්තුවක් නිර්මාණය කර, රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය වෙත යවයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගවල ජයග්‍රාහකයන් සඳහා එහිදී ඡන්ද විමසීමක් පවත්වා අවසාන ජයග්‍රාහකයා තෝරා ගනියි.

සෑම ක්ෂේත්‍රයක ම නාමයෝජනා පත්‍ර රහසිගත ව තබා ගැනීම ද විශේෂත්වයකි. ජයග්‍රාහකයන් වාර්ෂික ව හෙළි කෙරුණ ද තෝරා ගත් අයගේ විස්තර හෙළදරව් කරන්නේ වසර 50කට පසුව යි.

 2009 දී බැරැක් ඔබාමා නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් අවස්ථාව – guim.co.uk

 

සාහිත්‍යය සහ සාම ත්‍යාග සඳහා වෙනස් ක්‍රමයක්

සාහිත්‍යය සහ සාම ත්‍යාග සඳහා වෙනස් නාමයෝජනා ක්‍රියාවලි තිබේ. සාහිත්‍ය කමිටුව, නාමයෝජනා සඳහා ආරාධනා යවන නමුත් සුදුසුකම් ලත් පුද්ගලයන්ට අමතර නාම යෝජනා ඉදිරිපත් කළ හැක. මෙම සුදුසුකම් ලත් පුද්ගලයන් ලෙස සැලකෙන්නේ විශ්ව විද්‍යාලවල සාහිත්‍යය හෝ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් සහ ජාතික සාහිත්‍ය සංගම්වල සභාපතිවරුන් වැනි අය යි. සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා තෝරාගන්නේ ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයන් 18 දෙනා ය. එම සාමාජිකයන්ට ස්වීඩන් ලේඛකයන්, සාහිත්‍ය විශාරදයන් සහ ඉතිහාසඥයන් ඇතුළත් වේ.

සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ආරාධනා යැවෙන්නේ නැත. සුදුසුකම්ලත් නාමයෝජනාකරුවකුට පමණක් මේ සඳහා පුද්ගලයන් නම් කළ හැකි අතර, ඇමතිවරුන්, හිටපු නොබෙල් සාම ත්‍යාගලාභීන්, සමාජ විද්‍යාව, නීතිය, දර්ශනය සහ ආගම වැනි ක්ෂේත්‍රවල විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ සාම පර්යේෂණ ආයතනවල අධ්‍යක්ෂවරුන්ට ඒ සඳහා අවස්ථාව තිබේ.

සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා තෝරාගන්නේ ස්වීඩන ජාතිකයන් නොව නෝර්වේජියානුවන් ය. නොබෙල් තම අවසාන කැමති පත්‍රයේ දක්වා ඇත්තේ සාම ත්‍යාගලාභියා නෝර්වීජියානු පාර්ලිමේන්තුව තෝරා පත් කළ පස් දෙනකුගෙන් යුත් කමිටුවක් මඟින් තෝරා ගත යුතු බව යි. සාම ත්‍යාගය පමණක් ඔස්ලෝ හි දී ප්‍රදානය කෙරෙන අතර අනෙක් සියල්ල ස්ටොක්හෝම්හි පැවැත්වෙන උත්සවවල දී ප්‍රදානය කෙරේ. 2021 දී කොරෝනා උවදුර නිසා නිවසේ දී ම තම ත්‍යාග ලබා ගැනීමට ජයග්‍රාහකයන්ට සිදු විය.

 ස්වීඩන ක්‍රෝන නෝට්ටු – wsj.net

 

මුදල් ත්‍යාග ලැබෙන ආකාරය

ආරම්භයේ පටන් ම ගෞරව නාමයක් සමඟ දැවැන්ත මුදල් ත්‍යාගයක් ලබා දීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය නම් දරා තිබේ. 1901 දී ප්‍රථම වරට ලබා දුන් ත්‍යාග මුදල ස්වීඩන ක්‍රෝන 150,000ක් (රු. ලක්ෂ 51) විය. නොබෙල්ගේ උපදෙස් අනුව මෙම මුදල ක්ෂේත්‍ර පහ තුළ (1968 දී ආර්ථික විද්‍යාව සමඟ 6ක්) සමාන ව බෙදාහරින ලෙස යි.

ප්‍රථම ප්‍රදානෝත්සවයේ දී සාම ත්‍යාගය සඳහා ජයග්‍රාහකයන් දෙදෙනෙක් නම් කෙරුණු අතර, ඔවුන් අතරේ සාම ත්‍යාගය සඳහා වූ මුදල සමානව බෙදිණි. මෙලෙස එක් ක්‍ෂේත්‍රයකට තුන් දෙනෙක් දක්වා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ලැබෙන අතර, ඔවුන් අතරේ මුදල් ත්‍යාගය සම ව බෙද යි.

මුදල්වලට අමතර ව කැරට්-18 රත්‍රං පදක්කමක් ද අතින් ලියූ නොබෙල් ඩිප්ලෝමාවක් ද පිරිනැමේ.

නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමෙන් අනතුරු ව යමකුගේ ක්‍රියා කලාපය වෙනස් වුවහොත් ඊට ත්‍යාගලාභියාට දඬුවම් හිමි නොවේ. මෙය වඩාත් පැහැදිලි වූ අවස්ථාවක් වූයේ, 1991 දී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලද අවුන් සාන් සුකී ගේ පසුකාලීන ක්‍රියා කලාපය යි. 2017 දී රෝහින්ග්‍යා හි ආන්තික ප්‍රජාවට එල්ල වූ ප්‍රහාර ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් බොහෝ දෙනෙක් ඇයගෙන් එම ‍ගරු නාමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය ද නෝවීජියානු නොබෙල් කමිටුව පැවසුවේ ජයග්‍රහණයෙන් පසුව අදාළ පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන ඔවුන් වග නොවන බව යි.

කවරයේ ඡායාරූපය: නොබෙල් රන් පදක්කම - nobelpeaceprize.org 

මූලාශ්‍ර:

nobelprize.org
howstuffworks.com
investopedia.com
theguardian.com

Related Articles