අපේ පැරැන්නෝ ගමන් බිමන් ගිය හැටි

වර්තමානයේ පාරකට බැස්සහම නානප්‍රකාර අරුමෝසම් වාහන වර්ග වලින් පාර පිරිලා ඉතිරිලා වගේ දැනෙනවාද? අද කාලයේ ගමන් බිමන් සඳහා යොදා ගන්නේ මේ වාහන වර්ගයි. කිසිම පුද්ගලික වාහනයක් නොමැති අය වුනත් ඒ සඳහා බස්, දුම්රිය හා ත්‍රීවිලර යොදාගන්නවා. කොටින්ම කියනවනම් අද ගමන් බිමන් යන්න ඒ කාලේ වගේ කට්ටක් කන්න ඕනේම නෑ. අද කාලයේ අපි මෙහෙම ගියත් අපේ පැරැන්නෝ මේ තරම් සුවපහසුවෙන් ගමන් බිමන් ගියේ නැහැ. ඔවුන් ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරලා තියනවා. ඒ ගැන හොයල බලන්න තමයි අද අපි මේ සැරසෙන්නේ. මගහැරුණු  දෙයක් තියනවනම් comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

පැරණි ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සම්බන්ධතා ගම්මානයට පමණක් සීමා වී තිබීම නිසා ගැමියන්ට එතරම් දුර බැහැර පළාත් වලට ගමන් බිමන් යන්න කිසිඳු උවමනාවක් තිබුනේ නෑ. කෙටි ගමන් බිමන් සඳහා ඔවුන් ගියේ පයින්මයි. නමුත් ඇති හැකි අය ඒ කියන්නේ රජවරු ඇතුළු ප්‍රභූන් නොයෙකුත් යාන වාහන වර්ග භාවිතා කරනු ලැබුවා.

පයින් ගමන් කිරීම

වර්ෂ 1800 දී ගාලු පාර (lankapura.com)

වර්ෂ 1800 දී ගාලු පාර (lankapura.com)

සාමාන්‍ය  ජනතාවගේ එකම ගමන් බිමන් ක්‍රමය වූයේ කකුල් දෙකට වාරු දී පයින් ගමන් කිරීමයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා සාමාන්‍ය ජනතාවගේ එකම ප්‍රවාහන මාධ්‍ය වුයේ පයින් ගමන් කිරීමයි. මේ බව බොහෝ අවස්ථාවන් වල පැරණි මුලාශ්‍ර වල සදහන් කරලා තියනවා.

සිරිවර්ධන පුරවරයේ වීර වික්‍රම රජු මහියංගණය චාරිකාවේ දිනකට ගවු හතක් ගිය බවද දෙවන රාජසිංහ රජුගේ සහෝදරයා වන විජයපාල කුමරු දෝලාවෙන් ගමන් කිරීමේ හැකියාව තිබුනත් ගවු තුනක් පයින් ගමන් කළ බව මහාවංශයේ සදහන්. රජවරුන්ද බොහෝ අවස්ථා වල පයින් ගමන් කළබවට සාක්ෂි වේ.

උඩරට රාජධානි සමයේ මෙරටට පැමිණි විදේශ තානාපතිවරුන්, රාජ දුතයන් රජු හමුවට පැමිණියේ පයින් ගමන් කිරීමෙන්. ලැනරෝල් නමැති ප්‍රංශ ජාතික තානාපතිවරයා පයින් ගමන් නොකර රජු හමුවට පැමිණ රාජ උදහසට පවා ලක් වෙනවා. 18 වන සියවසේදී පවා සාමාන්‍ය මිනිසුන් බෝට්ටු මගින් සීතාවක ගඟ තරණය කර අනතුරුව උඩරටට ගියේ පයින් බව සදහන් වෙනවා.

1736 දී රජු බැහැ දැකීමට ගිය දානියෙල් අද්රින් තානාපති ඇතුළු 1500ක් පිරිස ගමන් කළේද පයින් බව එහි ගමන් කළ හයිට් යොහාන් නමැති ලේඛකයා තම පොතේ චිත්‍ර සටහන් සහිතව නිරූපනය කරලා තියනවා. තානාපති රැගත් දෝලාව හැර අනෙක් සියලුම දෙනා පයින් ගමන් කළ බව තවදුරටත් සටහන්.

නොයෙක් තැන් වල ජලය, වැලි, බොරළු, කඳු සහිත පාරවල් වල පාවහන් විරහිතව ගමන් කිරීම ඉතාමත් වෙහෙසකර කාර්යක් බව ලංකාවේ දස වසරක් සේවය කළ යොහාන් යකොවූ සාර් නැමති ලේඛකයා ලංකාව පිලිබඳ විස්තරයේ සටහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින් පාලනය කළ කාලයේ ලංකාවේ සේවය කළ ක්‍රිස්ටෝපර් ස්විට්සර් කූඩැල්ලන්ගෙන් සිදු වන කරදරය පිළිබඳව ”ලැම දක්වා පොවුවන වතුරේ බැස කූඩැල්ලන්ගේ මහත් වඳ හිංසාවට ලක් වෙමින් ” ලෙස සටහනක් තබනවා.  තෝමස් ස්කිනර්, කැප්ටන් ඩෝසන්, ජෝන් ඩේවි වැන්නවුන්ගේ සටහන් වලද පයින් ගමන් කිරීමේ විස්තර හා දුෂ්කරතා සටහන් වෙලා තියනවා.

දෝලාව

1800 දී පමණ භාවිතා කළ දෝලාවක් කොලඹ කටුගේ තුළ ඇති අයුරු (www.serendib.btoptions.lk)

1800 දී පමණ භාවිතා කළ දෝලාවක් කොලඹ කටුගේ තුළ ඇති අයුරු (www.serendib.btoptions.lk)

ලෝහ හා ලී වලින් කුඩා ගෘහයක් මෙන් අලංකාරයෙන් නිර්මාණය කර මිනිසුන් විසින් එය කර තබා රැගෙන යෑම දෝලාවෙන් ගමන් කිරීම ලෙස හදුන්වනවා. රජ දවසේ රජු ඇතුළු ප්‍රභූන් ගමන් කළේ දෝලාවෙන්. අනුරපුර යුගයේ සිට බ්‍රිතාන්‍ය යටත් යුග කාල සීමාව දක්වා මෙම මාධ්‍යය ඉතාමත් ප්‍රසිද්ධයි. නොයෙකුත් පැරණි කෘතීන් වල සිවිකා, කූනම්, රන්දෝලි, ඉදෝලි, ඉදෝලු, හිදෝලි, පල්ලක්කි ලෙස දෝලාව හදුන්වලා තිබෙනවා. දෝලාවේ ගමන් කරන පුද්ගලයාගේ තත්වය අනුව එය නිර්ණය කිරීමට යොදා ගන්නා ලෝහ වර්ග, දැව වර්ග හා කැටයම් වර්ග වෙනස් වෙනවා. එකළ භාවිත කළ දෝලා වර්ග හා එහි ගමන් කළ පිරිස් මේ ආකාරයට දක්වන්නට පුළුවන්.

කුණම – රජුගේ ගමන් බිමන් සඳහා (වහළ රනින් නිම කළ බව සදහන් වේ)

දෝලිය – අග බිසව සඳහා

ඉදෝලිය – රජුගේ සෙසු බිසෝවරුන්

දෝලාව – අමාත්‍යවරුන් ඇතුළු ප්‍රභූවරුන්

පල්ලක්කිය – ගිලන් වූ භික්ෂුන් වහන්සේලා

රන් දෝලිය – දේවාභරණ වැඩම කරවීමට

රන් සිවිගේ – ධාතු වැඩම කරවීමට.

දුටු ගැමුණු රජු විසින් එළාර රජු පරදවා ඔහුගේ සොහොන ඉදිකළ ස්ථානයෙන් කිසිඳු දෝලාවකින් ගමන් යා නොහැකි බවත් තමන් ඇතුළු ඕනෑම ප්‍රභූ වරයෙක් එම ස්ථානය පසු කළ යුත්තේ පයින් ගමන් කිරීමෙන් බව ප්‍රකාශ කර තිබෙන අයුරු මහාවංශයේ සටහන් වෙනවා. රජු මරණාසන්න මොහොතේ රුවන්වැලි සෑය දැක ගැනීමට තිස්ස කුමරු රජු දෝලාවකින් ගෙන ගිය බවටත් මහා වංශයේ සටහන් වී තිබෙනවා.

අනතුරුව පෘතුග්‍රීසි යුගයේදී ද දෝලාව ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් බව සදහන් වෙනවා. කිතු දහම වැළදගත් කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා කුමරිය මන්නාරමේ සිට මහනුවරට ගෙන යාමේදී දෝලාවේ ලීයක් කඩා වැටුණු බව සදහන්.

උඩරට රාජධානියේ සිරකරුවෙක්ව සිටි රොබට් නොක්ස් එදා හෙළදිව කෘතියේ දෙවන රාජසිංහ රජු සියළු ගමන් ගියේ දෝලාවෙන් බවත් එය ඉන්දීය රජවරුන්ගේ දෝලාවන්ට නොදෙවෙනි ආකාරයේ අලංකාරයෙන් යුක්ත වූ බව සදහන් කර ඇත. පෙරහැර වල ගමන් කිරීමේදී දේවාල වලට අයත් ස්ත්‍රීන්ද නිලමෙවරුන්ගේ හා දුක්ගන්නාරාළගේ භාර්යාවන් ඇතුළු දූ දරුවන් දෝලා වල ගමන් කළ බව ජෝන් ඩේව් තම කෘතියේ සටහන් කරනවා.

බ්‍රිතානයේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරයා වන සර් ප්‍රෙඩ්රික් නොර්ත් රට වටා සංචාරයන් සඳහා දෝලාව යොදාගෙන තිබෙනවා. එසේ කොළඹ සිට තංගල්ලට ගිය එක් වරකදී දෝලාවන් 13කුත් ඔසවාගෙන යන්නන් 160 දෙනෙකුත් යොදා ගත් බව සටහන් වේ. රොබට් බ්‍රවුන්රි ආණ්ඩුකාරවරයා භාවිතා කරන ලද්දේ ඉන්දියාවෙන් ගෙන්වන ලද දෝලාවක්. මහනුවර යුගයේ මෙන්ම යටත් විජිත මුල් යුගයේ පවා සෑම ප්‍රභූ වරයෙකුටම දෝලාව භාවිතා කළ නොහැකි වුණා. භාවිතා කළ හැකි වූයේ ගොවිගම නම් කුලයේ ප්‍රභූ වරුන්ට පමණක් බව මුල්ම බ්‍රිතාන්‍ය කොමසාරිස්වරයා වූ ජෝන් ඩොයිලි සදහන් කරනවා.

19 වන සියවස තෙක් ප්‍රබල ගමනාගමන මාධ්‍යයක් ලෙස භාවිත කළ දෝලාව ක්‍රමයෙන් සමාජයෙන් ඈත් විය. දෝලාව ඔසවාගෙන යාමට දෝලාකරුවන් නොසිටීම එයට මුලික හේතුව වෙනවා. 1901දි කළ සමීක්ෂණයකට අනුව එකළ ශ්‍රී ලංකාවටම සිටියේ දෝලාකරුවන් 12 දෙනෙකු පමණයි.

ඇතුන් හා අශ්වයින්

කර්මාන්ත ශාලාවකට බොයිලේරුවක් ප්‍රවාහනය කරන අයුරු ( lankapura.com)

කර්මාන්ත ශාලාවකට බොයිලේරුවක් ප්‍රවාහනය කරන අයුරු ( lankapura.com)

රජ දවස ගමනාගමනය සඳහා වනයෙන් අල්ලාගෙන හිලෑ කරගත් අලි ඇතුන්ද, ඉන්දියාවේ සින්ද් ප්‍රදේශයෙන් ගෙන්වනු ලැබු අශ්වයින්ද යොදාගනු ලැබුණි. යුධ කටයුතු සඳහා රජු ප්‍රමුඛ සේනාව ගමන් කලේ ඇතුන් හා අශ්වයින් පිටේ බව මහා වංශයේ අවස්ථා කීපයක සදහන් වෙනවා. එළාර රජු හා දුටුගැමුණු රජු අතර සටනේදී දෙදෙනාම ඇතුන් පිටේ නැඟී සිටි බව සදහන්. එකළ රජුගේ අශ්වයා “මංගල අශ්වයා” ලෙසත් රජු ගමන් කළ ඇතා “මංගල හස්තියා” ලෙසත් හදුන්වලා තිබෙනවා. ගැමුණු රජුගේ දස මහා යෝධයින්ගෙන් අයෙක්  වන වේලුසුමන පැහැර ගත්තේ එළාර රජුගේ මංගල අශ්වයායි.

ඇතුන් හා අශ්වයන් පිටේ ගමන් කිරීම මහනුවර යුගයේ ඉතාමත් ප්‍රසිද්ධ ගමනාගමන මාධ්‍යක් බව මන්දාරම් පුවතේ සදහන් වෙනවා. මෙහි ඇත් පන්තිය හා අස් පන්තිය ලෙසයි සෙනරත් රජුගේ හමුදාවේ සිටි අශ්වයින් හා ඇතුන් හදුන්වලා තියෙන්නේ. මෙම යුගයේ ඇත් වාහනය හා අස් වාහනය ලෙස ඇතුන් හා අශ්වයින් හදුන්වලා තිබෙනවා. මහනුවර යුගයේ අශ්වයින් පිට ගමන් කිරීම සාමාන්‍ය ජනතාව අතරත් පැතිරී තිබුණි. නමුත් නායක්කර් වංශිකයන් රජ වූ විට එය ප්‍රභූන්ට පමණක් සිමා වුණා.

ශ්‍රී ලංකාවේ සිටින ඇතුන් මුළු අග්නිදිග ආසියාවේ සිටින බුද්ධිමත්ම ඇතුන් බවද, ඔවුන්ව මනා ලෙසින් පුහුණු කර ඇති බවද, අශ්වයින් යොදාගෙන හගුරන්කෙත උඩමළුවේ වැව රවුමේ තරඟ පැවැත්වූ බවත් ඉන් ජයගන්නා අශ්වාරෝහකයින්ට දෙවන රජාසිංහ රජු සිලිං 10ක් හෝ 5ක මුදලක් ප්‍රධානය කළ බවත් රොබට් නොක්ස් පවසනවා. ජුවන්ද බරෝස් නැමති පෘතුග්‍රීසි ලේඛකයාගේ සටහන් වල සිංහල රජුට අශ්වයින් 150කින් පමණ යුත් හමුදාවක් සිටිය බව සටහන් වෙනවා. බ්‍රිතාන්‍යන් උඩරට යටත් කරගත් පසුත් අශ්වයන් ගමනාගමනයට යොදා ගත බව ජෝන් ඩොයිලිගේ සටහන් වල දැක්වෙනවා.19වන සියවසේ ඇති වූ ප්‍රවාහනයේ සීග්‍ර දියුණුවත් සමඟ ඇතුන් හා අශ්වයින් පිටේ ගමන් කිරීම සම්පුර්ණයෙන්ම නැවතුනු බව පෙනී යනවා.

ටොම් ජෝන් හෙවත් ඩැන්ඩිය

(www.lankaweb.com)

(www.lankaweb.com)

උඩට ආවරණයක් සහිතව මනා සැප පහසුවකින් යුක්තව සරසන ලද පුටුවකින් ඔසවාගෙන යාම බ්‍රිතාන්‍ය යටත් විජිත මුල් සමයේ ලංකාවේ පැවති තවත්  ගමනාගමන ක්‍රමයක්. ටොම් ජෝන් රථයෙන් වැඩිපුර ගමන් කරන ලද්දේ කුලවත් කාන්තාවන්ය. උණ දඬු දෙකක පුටුව බැඳ මිනිසුන්ගේ කර මතින් රැගෙන යන ඩැන්ඩියේ රොබට් බ්‍රවුන්රි ආර්යාවද ගමන් කරන්නට යෙදුනි. 1819 දී ජෝන් ඩේව් ඌව පළාතට ගමන් කලේ මෙවැනි වාහනයකින්ය.

රික්ෂෝ රථය

(www.oldindianphotos)

(www.oldindianphotos)

මිනිස් බලයෙන් ක්‍රියා කරන රික්ෂෝ රථ මුලින්ම ලංකාවට ගෙන එන ලද්දේ 1883 දී විටෝල් සහ සමාගම විසින්. එම වකවානුවේදී රික්ෂෝ රථයක් මිලදී ගැනීම තම සමාජ තත්වය විහිදා දැක්වීමේ සංකේතයක් ලෙසත් හදුන්වා දෙන්නට පුළුවන්. එකළ ප්‍රකට ධනවතෙක් වන චන්ද්‍රසේකර මුදලාලි විසින් රික්ෂෝ රථ 12ක් මිලදී ගෙන ඉන් 11ක් විහාර වලට පුජා කළ බව සදහන්.

ඉන්දීය රාජ්‍ය සේවකයෙකු මෙන් හිස බැදී තලප්පාවකින් යුක්ත වූ රික්ෂෝකරු මුල් කාලයේදී යුධ හමුදා තුර්යවාදක ඇදුමකට සමාන ඇදුමකින් සැරසි ඉදලා තිබෙනවා. ඒ වගේම ඔහුට තව අතවැසියෙකුත් අවශ්‍ය වෙලා තිබෙන්නේ කදු වලදී රික්ෂෝවට පිටුපසින් තල්ලු දැමීමටයි. විල්ලුදු රෙදි, පිත්තල තහඩු හා මිනි ගෙඩි වලින් රික්ෂෝව සරසලා තියෙනවා.

රික්ෂෝ රථ වල මුදල් අය කරන ලද්දේ දුර ප්‍රමාණය අනුව නම් නොවේ. ගමන් කරන කාලයටයි. කුලී රථයක් ලෙස ඉතාමත් ජනප්‍රියතාවකට පත් රික්ෂෝ රථය එකළ කොතරම් භාවිතා කළාද කියනවනම් නිදහස ලැබෙන විට ශ්‍රී ලංකාවේ රික්ෂෝ රියදුරන් 3129ක් සේවය කරලා තියනවා.

තැපැල් රථය නොහොත් අශ්ව කෝච්චිය

වම් පසින් පෙනෙන්නේ අශ්ව කොච්චියයි පසුව එය එන්ජිමක් සහිත රථයක් බවට පත්වූ අයුරු දකුණු පස රූපයෙන් පෙනේ .( www.slpost.gov.lk)

වම් පසින් පෙනෙන්නේ අශ්ව කොච්චියයි පසුව එය එන්ජිමක් සහිත රථයක් බවට පත්වූ අයුරු දකුණු පස රූපයෙන් පෙනේ .( www.slpost.gov.lk)

ශ්‍රී ලංකාවේ තැපැල් සේවාව දියුණු කිරීම සඳහා 1832දී ආසියානු රටක මුල්ම රථය ලෙසින් අශ්වයින් දෙදෙනෙක් විසින් අදිනු ලබන රෝද හතරේ රථයක් හදුන්වා දුන්වා. කොලඹ සිට මහනුවර දක්වා ධාවනය වූ අශ්ව කෝච්චියේ මගියකුගෙන් ශත 25ක් අය කරනු ලැබුවා. කොලඹ සිට නුවරට ගමන් කිරීම සඳහා පැය 14කුත් නුවර සිට කොළඹට ගමන් කිරීමට පැය 12කුත් අවශ්‍ය වුණා. මගී ගමනාගමනය සඳහා වැවිලිකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වූ අශ්ව කෝච්චිය 1838දී ගාල්ල, රත්නපුරය, මාතලේ, ගම්පොල හා නුවරඑළිය වැනි කෝපි  වගා කරන ප්‍රදේශ වලට හදුන්වා දුන්නා.

ට්‍රෑම් රථය

යෝර්ක් වීදියේ ට්‍රෑම් රථයක් (lankapura.com)

යෝර්ක් වීදියේ ට්‍රෑම් රථයක් (lankapura.com)

කැළණි ගඟේ තොටුපලේ සිට කොටුවටත්, කොටුවේ සිට බොරැල්ලටත් ද්විත්ව ධාවන පථයක විදුලියෙන් ගමන් කරන බස් සේවාව මුලින්ම ලංකාවට හදුන්වා දෙන ලද්දේ 1890 එංගලන්තයේ බවුස්ටඩ් සමාගම විසින්. කරත්ත හා රික්ෂෝ වෙනුවට කාර්යක්ෂම සේවාවක් වූ මෙය ඉතා ඉක්මනින්ම සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත වුණා. ට්‍රෑම් රථ සඳහා රියදුරන්ද, මගීන්ගෙන් මුදල් අය කර ගැනීමට කොන්දස්තරවරුන්ද සේවයට ගනු ලබනවා. ඔවුන්ට දිනක වැටුප ලෙස රුපියල 1.20ක මුදලක් ලැබෙනවා. සේවයට බැදී අවුරුදු හතකින් රුපියල් 2 දක්වා වැටුප ඉහළ යනවා.

කොලඹ ජනාකීර්ණ ප්‍රදේශ වලට විධිමත් ප්‍රවාහන සේවාවක් වූ ට්‍රෑම් රථයට විරුද්ධ වූ  කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් එයට ගල්මුල් ප්‍රහාර පවා එල්ල කරනු ලබනවා. 1944 දී මුදල් ගෙවා කොලඹ මහ නගර සභාව විසින් ට්‍රෑම් රථ සේවාව මිලදී ගත්තත් සේවක වැටුප් ඉහළ යාම හා නඩත්තු වියදම ඉහළ යාම නිසා ක්‍රමයෙන් මෙය පරිහානියට පත් වෙනවා.

ඉන් අනතුරුව මෝටර් රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙනු ලැබිය. පසුව හදුන්වා දුන් බස් සේවාව හා දුම්රිය සේවාව නිසා මිනිසුන්ගේ ගමන් බිමන් කටයුතු හොදින් කරගැනීමට හැකිවුණා. වර්තමානය දක්වා ප්‍රවාහන සේවය දියුණු වී පැමිණියේ ඔන්න ඔය ආකාරයටයි.

Related Articles