ශ්‍රී ලංකාවේ උස ම ගම ශාන්තිපුර හදපු හැටි

නුවරඑළියට ගොස් සීත කඳුකරයේ අත්දැකීම් විඳ දරා ගන්නා අයගෙන් වැඩි දෙනකුට මඟ හැරෙන තැනක් තමයි ලංකාවේ උසම ගම්මානය නැරඹීමට යාම. නුවරඑළියට නුදුරින් තේවතු සහ එළවළු වගා පිරිවරා ගත් බිමක කිකිලියමාන කඳු අතර තමයි මේ සොඳුරු ඉසව්ව පිහිටා තිබෙන්නේ. මෙහි උස නුවරඑළියට වඩා ඉහළ නිසා එහි සීතල නම් තවත් වැඩි යි. කිකිලියමාන වනයට යාබද ව කැලෑවක් ලෙස පැවති බිමක් ගම්මානයක් බවට පත්වුණේ අදින් අවුරුදු 59කට පෙර යි. අපි බලමු ඒක වුණේ කොහොමද කියලා.

කඳු බෑවුම්වල පිහිටි නිවාස සහ වගා බිම් – mihisarisara facebook page

ගමන් මඟ

ශ්‍රී ලංකාවේ උස ම ගම්මානය වන ශාන්තිපුරයට නුවරඑළිය නගරයේ සිට කිලෝ මීටර් 5ක දුරින් පිහිටා තිබෙනවා.  නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ බඹරකැලේ දක්වා පැමිණි බඹරකැලේ විහාරය අසලින් වම් අතට හැරී කඳු බෑවම තරණය කරමින් යන වංගු සහිත අතුරු පාර දිව යන්නේ ශාන්තිපුරට යි.   දිගින් වැඩි ලොකු බස් වගේ වාහන මේ පටු පාරේ අධික වංගු නිසා ගමන් කිරීමට නම් බැහැ. ගම දක්වා පොදු ප්‍රවාහන සේවයක්  ද කුඩා බස්රථ මගින් ක්‍රියාත්මක වෙනවා.  නුවරඑළිය ගැන නොදන්නා අයට මෙම පිවිසුම් මග හඳුනා ගැනීමට අසීරු ව ඇත්තේ ඒ සඳහා නාම පුවරුවක් හෝ සවිකර නැති හින්ද යි. මේ මාර්ගය ද අධික බෑවුම නිසා නිතරම අබලන් ලෙසයි පවතින්නේ.

ගමේ පිහිටීම

ශාන්තිපුර ගම්මානය පිහිටා තිබෙන්නේ කිකිළියාමාන කඳු මුදුන වටා පිහිටි බෑවුමක යි. මුහුදු මට්ටමේ සිට අඩි 7,300 ක් තරම් ඉහළින් තමයි ගම පැතිර තිබෙන්නේ.  කඳු බෑවුමේ පිහිටි නිම්න බිමක ගම නිර්මාණය කළත් පසු ව ගම කන්ද ඉහළටත් ආක්‍රමණය කර ඇති බවයි පේන්නේ. කන්දේ වනාන්තර ගම ඉස්මත්තේ දකින්න ලැබෙනවා. මෙම ගම්මානය තුළ මේ වන විට පවුල් නවසීයකට ආසන්න පිරිසක් පදිංචිව සිටිනවා. නාගරික පහසුකම්වලින් සමන්විත නිසා ඔබට පැරණි සිටිසර සිටියාවක් නම් එහිදී විඳ ගැනීමට ලැබෙන්නේ නැහැ.

  මිහිදුමින් බර ශාන්තිපුර – yourchoiceway.com

ගමේ උපත

1950 දශකයේ මේ අවට තේවතු පාලනය කළේ ඉංග්‍රීසි ජාතිකයන්. 1948 දී අපට නිදහස ලැබුණත් සුද්දන්ගේ දේපල ඒ විදිහට ම තිබුණා. මේ ඉංග්‍රීසින්ට අයත් නුවරඑළිය නගරයට ඉහළින් සුන්දර කඳු බෑවුමක  පිහිටි තේ වත්තක “හෙඩ්බාස්” කෙනකු හැටියට වැඩ කරමින් සිටි පුද්ගලයකුට  සිතට පැමිණි අපූරු සිතිවිල්ලක් නිසා තමයි  ළඳු කැලෑවක් ගම්මානයක් බවට පත්වුණේ.  

 සමාජ සේවය ගැන ලොකු ඇල්මක් තිබූ මේ පුද්ගලයාගේ නම ටී. විලියම් ප්‍රනාන්දු. තේවත්තේ වැඩකරන ගමන්ම ශාන්ති යෝජනා ක්‍රමය නම් පොඩි  සමිතියක් හදලා ඉඩම් නැති පවුල් 7ක් කැඳවා ගෙන ඇවිත් තේවත්තට යාබද එහා පැත්තෙ කැලෑවේ පදිංචි කරවුවා. ඒ 1950 දශකයේදි යි. ඒ කාලෙ මේ සීතල වැක්කෙරෙන පහසුකමක් නැති කැලෑවක ඉන්න කවුද කැමති වන්නේ. මේ නිසා සමහරු ගම අත්හැරලා ගියා.

උසම ගමට පෙනෙන නුවරඑළිය- mihisarisara facebook page

 

ඒ කාලෙ මේ පැත්තෙ තේ වගාව අයත් ව තිබුණේ විටෝල් බවුස්ටන් සමාගම සතුව යි. එහි නම  ඔලිපන්ට් වතුයාය යි.  යුරෝපීය වතු පාලකයා එම වත්තේ මෙම හෙඩ්බාස්ට පණිවිඩයක් යවා ගෙන්වාගෙන මේ වැඩේ ගැන හොඳට ම දොස් කිව්වා. ජනතාව පදිංචි කරවූ ඉඩම් තේවත්තට අයත් ඒවා නොවන බවත් ඒවා ආණ්ඩුවේ කැලෑ ඉඩම් බවත් ඔහු තර්ක කළා.  

පොදු ජනතාව අතර ආදරයට ලක්වූ තන්තුලගේ  විලියම් ප්‍රනාන්දු  1960 වසරේ දී නුවරඑළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට තේරී පත් වෙනවා. ඒ සමඟ ම වසර ගණනාවක් තිස්සේ ඔහුගේ සිත තුළ ඇති දැඩි වී නොයෙකුත් පීඩා විඳිමින් සිටිය ශාන්ති යෝජනා ක්‍රමය වඩාත් ක්‍රමවත් ව ආරම්භ කරනවා.  ඔහු 1965 දක්වා නුවරඑළිය ආසනය නියෝජනය කරනවා. ඔහු නුවරඑළිය නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. විලියම් ප්‍රනාන්දුගේ අන්තිම කැමැත්ත පරිදි ඔහු මිය ගිය පසු මිහිදන් කළේත් ශාන්තිපුර ගම්මානයේ ම යි.  

කිකිලියමාන පසුබිමේ පිහිටි ගම්මානය- yourchoiceway.com

 

1960 වසරේ අගභාගය වනවිට එක් අයකුට අක්කර තුන්කාල බැගින් ලබාදෙමින් පවුල් 100 කට ආසන්න සංඛ්‍යාවක් අර  යුරෝපීය ජාතිකයාට අයත් ඔලිපන්ට් වත්ත ආසන්නයේ  පදිංචිකොට තිබෙනවා.   පදිංචිකරුවන් තෝරා ගැනීමේ දී ඉඩම් කච්චේරියක් තබමින් නුවරඑළියේ පදිංචිකරුවනට මුල්තැනක් දී තිබෙන බව සඳහන්.  මෙම කාලවකවානුව නුවරඑළිය නගරය ආශ්‍රිත ප්‍රදේශවල සිංහල ජනතාව අඩුවෙන් පදිංචිව සිටි  කාලයක්.

මුල් ම ගම්මානයේ  අධික බෑවුම් සහ දුෂ්කර වංගු සහිත කැලෑ පාර, අවුරුද්දේ වැඩි හරියක් සුළං සහිත වැස්ස කියලා  සමහරු ඉඩම් අරගෙන ටික දවසකින් අතහැරලා දාලා ගිය බවත් පැවසෙනවා. ටික කාලයක් ගතවන විට නුවරඑළියේ ඉඩම් හිඟයක් ඇතිවූ අතර ඒ නිසා ශාන්තිපුර ඉඩම්වල වටිනාකමත් ඉහළ ගියා. අද ඔබට දැකගැනීමට ලැබෙන්නේ බිම් අඟලක් පවා හිස්ව නැති ගමක්.

5  ශාන්තිපුර එළවළු වගාබිම් – mapio.net

ශාන්තිපුරය

වර්ෂ 1962 වනවිට  ගම්මානය වඩාත් විධිමත් ව ආරම්භ කර එයට ශාන්තිපුර යන නමත් ලබා දී තිබෙනවා. ශාන්ති යනු ඔහුගේ බිරිඳගේ නම බවයි පැවසෙන්නේ.  මන්ත්‍රී විලියම් ප්‍රනාන්දුගේ වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ඒ කාලේ හැකියාව ලැබී තිබෙනවා.  ඒ අනුව තමයි ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේ දී ශාන්තිපුර ගම්මානය පිහිටුවා අවසන් කර තිබෙන්නේ.  

ග්‍රෙගරි වැව පෙනෙන අයුරු- mihisarisara facebook page

 

නාගරික ආරක ගැමි ජනතාවක් සිටින මෙහි ප්‍රධාන ජීවන වෘත්තිය ගොවිතැන යි. කඳු බෑවුම්වල හෙල්මළු ක්‍රමයට සැකසූ එළවළු කොටුවල තමයි ඔවුන් ගොවිතැන් කර තිබෙන්නේ. ගමේ සෑම ඉඩකඩකක් ම ඉතා අරපිරිමැස්මෙන් වගාවලට යොදාගෙන තිබෙනවා.

කැරට්, බීට්, නොකෝල්, ගෝවා, සලාද කොළ, අර්තාපල් වැනි වගාබිම් සෑම තැනක ම දැකගත හැකි යි. ජතනාවගෙන් සියයට 95ක් ම  ආදායමක් උපයා ගන්නේ ගොවිතැන් කිරීමෙන්. සුළු පිරිසක් රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවලටත් යොමුවී සිටිනවා.

එළවළුවලට අමතරව ශීතලට ඔරොත්තු දෙන යුරෝපීය මල් වගාවත් සිදුවෙනවා. කානේෂන්, රෝස, ඩේසි. කපුරු ඇතුළු මල් වර්ග රාශියක් කුඩා පරිමාණයෙන් ගෙවතුවල වගා කරනවා. කිකිලියමාන වනයේ සිට පැමිණෙන වල්ඌරන්ගෙන් මේ වගා ආරක්ෂා කර ගැනීමත් ගැමියන්ට ප්‍රශ්නයක්. ඒ සඳහා ඔවුන් වගාබිම් වටා පොලිතින් ආවරණ හා වැට සකස් කර ඇති අයුරු දැකගත හැකියි.

උසින් ම පිහිටි විහාරය- Safarisrilanka.blogspot.com

උසම දේවල් ගොඩක්

ශ්‍රී ලංකාවේ වඩාත් උසින් ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ ශ්‍රී පාදස්ථානය යි. එහෙත් මෙරට උසින් ම පිහිටි පන්සල පිහිටියේ මෙහි යි. එය මුල් කාලයේ දී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණ ද  පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට තිබෙනවා.

 ශ්‍රී ලංකාවේ පිහිටි උසින් පිහිටි බස් මගී ආවරණය,  උස ම ජලාශය ආදී බොහෝ උස ම ස්ථාන ඇත්තේ මේ ගමෙ යි.  වැඩි ම උසකින් පිහිටි  ක්‍රිස්තියානි පල්ලිය, මුස්ලිම් පල්ලිය හා තේ කර්මාන්ත ශාලාව තියෙන්නෙත් ශාන්තිපුරේ.

8  නුවරඑළියම පෙනෙන තැන- serendives.blogspot.com

නැරඹුම් මධ්‍යස්ථානය

ශාන්තිපුර ගම ආරම්භ වන තැන කලාපුර කියන ගමට යාබද ව රජය මෑතක දී නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. ඒ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට යි.

එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනුයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින්.  නැරඹුම් මධ්‍යස්ථානය තුළ සංචාරකයන්ට විශේෂ පහසුකමක් නම් තිබෙන බවක් පේන්නෙ නැහැ.   මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළ වේදිකාවට ගොඩවූ විට අවට පරිසරය කදිමට නැරඹීමට පුළුවන්.  එක් පසකින් ශ්‍රී පාදස්ථානයත්  තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් දැකගත හැකි යි. මේ දර්ශනය වඩාත් පැහැදිලි ව දැක ගැනීමට නම් මීදුම නැති හොඳින් ඉර පායන දිනක් විය යුතු යි.

ගිනිකොණ දිගින් ග්‍රෙගරි වැව හා වැව් ඉමෙන් එහා හක්ගල කන්දත්, නිරිත දිගින් සමනළ කඳුවැටියත්  ක්ෂීතිජයේ සලකුණු වී තිබෙනවා. දකුණු පසින් සමනළ කන්දට ම ඈඳුණු කිරිගල්පොත්තත්  උතුරු දෙසින් කිකිළියාමාන කඳු මුදුනත් පේනවා. ඊසාන පැත්තෙන් පිදුරුතලාගල කඳු මුදුන විශාල ප්‍රාකාරයක් වගේ අතේ දුරින් වගේ පේනවා. එහි උසින් අඩි 8281ක්.  එය ශාන්තිපුරට වඩා උස අඩි 939ක් පමණයි.

9 කිකිලියමාන මිහිඳුම අතරින්- Safarisrilanka.blogspot.com

 කිකිලියමාන කන්ද

ලංකාවේ උසින් හයවැනි තැන ගන්නා මේ කන්දෙන් තමයි ගම කෙළවර වන්නේ.  එහි මුදුනේ උස අඩි 7350ක්. ඒ කියන්නේ ගමට වඩා අඩි කිහිපයයි කන්ද උස. නුවරඑළිය නගරයේ බටහිර සීමාව මේ කන්දෙන් සලකුණු කරනවා. අද නම් එහි පිහිටා තිබෙන්නේ ඉහළ කඳුකර ස්වභාවික වනයක් නොවේ. පයිනස්, යුකැලිප්ටස් ආදී නැවත වගාකළ වනාන්තරයක්. යටි රෝපණයේ නෙළු පඳුරු, මහරත්මල්, කීන ආදී ගස් දැකගත හැකියි.  

සුද්දන්ගේ කාලෙ තේ වගාවට මේ වනාන්තර විනාශ කිරීම නිසා නොඉඳුල් වනය විනාශ වී ගිහින්.   කඳු මුදුන වටා තරමක් ඉතිරි ව පවතින වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් ලෙස පවතිනවා. කුඩා ක්ෂීරපායින් සහ පක්ෂීන් ද මේ අවට දැකගත හැකි යි. කිකිළියාමාන කඳු මුදුනේ පොලිස් තොරතුරු මධ්‍යස්ථානය හා සන්නිවේදන කුලුණු පිහිටා තිබෙන අතර, රූපවාහිනි විකාශන කුලුනකුත් ඉදිකර තිබෙනවා.

 ගම අවට කඳුකරය- Safarisrilanka.blogspot.com

උස ම ජලාශය

ශ්‍රී ලංකාවේ උස ම ජලාශය පිහිටා තිබෙන්නෙත් ගම කෙළවර මේ කඳු මුදුනේ. කිකිලියමාන කන්දෙන් උපත ලබන ජල උල්පත්වලින් පෝෂණය වන එම කුඩා ජලාශයෙන් ශාන්තිපුර ගම්මානයේ වගාවලට අවශ්‍ය ජල පහසුව ලබා දෙනවා. දිගු කලක් පුරා ගම්වැසියන් ජලය ලබාගත්තේ තම ඉඩම් කෙළවරේ ම තිබෙන පිරිසුදු ජල උල්පත්වලින්. පසුගිය දශක කිහිපය තුළ කඳුබෑවුම්වල ජල පෝෂක විනාශ වීම නිසා වියළි කාලයට මේ ගමටත් ජල හිඟය බලපානවා.  ජල පෝෂක ප්‍රදේශ සහිත කඳු මත ගම්මාන ඉදිකිරීම නිසා දීර්ඝකාලීනව සිදුවන පාරිසරික ප්‍රතික්‍රියා මේ වනවිට ශාන්තිපුරයට මෙන් ම නුවරඑළියටත් බලපා තිබෙනවා. 

කවරයේ ඡායාරූපය: ශාන්තිපුර සිට පිදුරුතලාගල -  facebook 

මූලාශ්‍ර:

Intnews.lk

Dinamina.lk

Lankadeepa.lk

Related Articles